ශ්‍රී ලංකාවෙහි සාහිත්‍ය කලා ක්ෂේත්‍රයන් හි මහා පුරුෂයෝ ද මහා කාන්තාවෝ ද වෙත්. ඔවුන් සියල්ලම පාහේ තමන් නිරත කලා ක්ෂේත්‍රයෙහි විශිෂ්ට සම්ප්‍රදාන මගින් මෙරට පමණක් නොව එතෙර පවා ගෞරව සම්මානය දිනාගත්තෝ වෙත්. අපගේ මහා සාහිත්‍යකරුවා හෙවත් කොග්ගල මහා ප්‍රාඥයා ලෙස විරුදාවලී ලත් මාර්ටින් වික්‍රමසිංහගේ නාමය සමග බැඳී තිබෙන නාමාවලියෙහි මහා පුරුෂයන් අතර සිංහල වේදිකා නාට්‍යයෙහි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සිනමාවෙහි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සංගීතයෙහි පණ්ඩිත් අමරදේව, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, චිත්‍ර ශිල්පයෙහි ජෝර්ජ් කීට්, ශ්‍රී ලාංකික නර්තන විෂය, නර්තන කලාව, මුද්‍රා නාට්‍ය ක්ෂේත්‍රයෙහි මහා පුරුෂයා සේ සැලකෙන මහා නර්තනපති ආචාර්ය චිත්‍රසේන අමරණීය චරිත වෙත්. මේ නාමාවලියට ඇතුළත් විය යුතු යයි නිසැකව ම මතකයට නැගෙන කාන්තා චරිතයක් හෝ දෙකක් වේ නම් එහි පෙරමුණ ගන්නී ආචාර්ය වජිරා චිත්‍රසේන ම වන්නී ය. ආචාර්ය සුමිත්‍රා පීරිස් අනෙක් කාන්තා චරිතයට හිමිකම් කියන්නී යයි සිතමි.
ශ්‍රී ලංකා මාතාව විසින් බිහි කරන ලද ගීත කෝකිලාවන් වේ. නිළි රැජිණක් වේ. ඒ රැජිණන් අතර මතකයට එන රුක්මණී දේවී, නන්දා මාලිනී, මාලිනී ෆොන්සේකා ආදීන් අතර ආචාර්ය වජිරා චිත්‍රසේනගේ නම සටහන් ව ඇත්තේ ශ්‍රී ලාංකීය නර්තන කලාවේ යුග ස්ත්‍රිය ලෙසයි. නර්තන කලාවේ අග රැජිණ ලෙස වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සුදුසුකම් ලබන්නී වූයේ ආචාර්ය වජිරා චිත්‍රසේන යි. වජිරාගේ නාමය අන් කාන්තා නම් අතර සටහන් වන්නේ සුවිශේෂී ලක්ෂණයක් ද සහිත ව යයි සිතීම අසාධාරණ නොවේ.
ශ්‍රී ලාංකීය මුද්‍රා නර්තන කලාව කුමක් ද යන්න ලොව පුරා විදේශ රටරාජ්ජ රාශියක ජනයා හමුවේ ප්‍රදර්ශනය කොට තම මව්බිමට කිත් පැසසුම් ලබා දුන් මහා කලාකාරිය, නෘත්‍යංගනාවිය වීම වජිරාගේ සුවිශේෂත්වයයි. මෑත දවසක දැයෙන් සමුගත් ඈ ශ්‍රී ලංකා මාතාව බිහි කළ පින්වන්තියක් වන්නී ම ය.
නර්තන කලාවෙහි, මුද්‍රා නාට්‍යයෙහි වජිරා පිළිබඳ කතාංගය ඉතා දීර්ඝ වූත්, විස්මිත වූත් එකකැයි සිතේ. ඈ නිසැකව ම ශ්‍රී ලාංකේය නාට්‍යාංගනාව යි. ඈ ප්‍රගුණ කොට ඇත්තේ අපගේ සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදාය යි. එහෙත් චිත්‍රසේනගේ ගුරුහරුකම්, මඟ පෙන්වීම් ඔස්සේ වජිරා තම නර්තන කලාව වඩාත් නිර්මාණශීලී ව ගොඩනගා ගන්නට සමත් වූ බව චිත්‍රසේන හා එක් වී රැඟූ මුද්‍රා නාට්‍යවලින් මෙන් ම ඇගේ ස්වීය නිෂ්පාදන හා රංගන තුළින් ද මනාව ඔප්පු කොට සිටියා ය. මීරියම් පීරිස්, චන්ද්‍රලේඛා වැනි නර්තනවේදිනියන් පිරිමි රංග වස්ත්‍රයෙන් සැරසී සාම්ප්‍රදායික උඩරට නටුම් ඉදිරිපත් කළ සමයෙහි 1949 දී රඟ දැක්වුණු චිත්‍රසේනගේ රාවණා මුද්‍රා නාට්‍යයෙහි දී සෝමබන්ධු විද්‍යාපති නිර්මාණය කරන ලද කාන්තා රංග වස්ත්‍ර හැඳ සාම්ප්‍රදායික උඩරට නැටුමට එක් වූ පළමු නාට්‍යාංගනාව වජිරා වූවා ය.චිත්‍රසේන රාවණයානන් වූ කල වජිරා එහි මුවාගේ චරිතය මුද්‍රාවෙන් නිරූපණය කළාය.
බාල වියෙහි දී නැටුමට ආසාවක් නොදැක්වූ වජිරා නර්තනයට සමීපවන්නේ තම මවගේ ඕනෑකමට බවයි පැවසෙන්නේ. චිත්‍රසේන කලායතනයේ දී ඇගේ යොවුන් වියේ දී ඈ ඇසුර ලබන්නේ, නිරතුරුව ඇයට හමුවන්නී ආනන්ද සමරකෝන්, සෝමදාස ඇල්විටිගල, අමරදේව, සුනිල් සාන්ත ආදී විශිෂ්ට පුරුෂයන් ය. ඔවුන්ගේ නිර්මාණ වජිරාගේ නිර්මාණ සඳහා අනුප්‍රාණය සැපයූවා වන්නට පුළුවන. ආනන්ද සමරකෝන්ගේ කුමුදුනී ගීතය අසා එහි මිහිරෙන් මත් වූ වජිරා තම ප්‍රථම මුද්‍රා නාට්‍යය ළමුන් වෙනුවෙන් නිෂ්පාදනය කළාය. ඉර, හඳ හා මල් ඇගේ ප්‍රථම මුද්‍රා නාට්‍යයෙහි චරිත වීය. කිසිදු සංවාදයකින් තොරව, මුද්‍රාවන්ගෙන් පමණක් චරිතයක් නිරූපණය කරමින්, එම චරිතයෙහි අභ්‍යන්තරික හැඟීම් හා වෙනස් වන චලන ඉදිරිපත් කිරීම, ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරගැනීමට සමත් වන සේ නිරූපණය අතිශයින් දුෂ්කර වූත් අභියෝගාත්මක වූත් කාර්යයකි. එහෙත් වජිරාගේ කලාව එවන් දුෂ්කර වූත්, අභියෝගාත්මක වූත් කටයුත්තක් නිර්මාණශීලී ව ඉදිරිපත් කිරීමයි. ඈ ඒ අභියෝග මනාව ජයගත්තියක බැව් කරදිය, නල දමයන්ති වැනි මුද්‍රා නාට්‍ය රංගනයෙන් ඔප්පු කොට සිටියාය.
චණ්ඩාලි මුද්‍රා නාටකයෙහි දී චණ්ඩාල දියණිය ලෙස ඇගේ ප්‍රථම රංගනයෙන් ද, නල දමයන්ති ඉඟි නළුවෙහි (1950) හංසයා ලෙස ද කරදියෙහි (1961) ධීවර කාන්තාවක ලෙස ද තම මුද්‍රාවන්ගෙන්, සිරුරින් පෑ රංගන විස්මිත ය. ඔප නොදැමූ ගලක් බඳු වූ වජිරා අගනා වටිනා මාණික්‍යයක් සේ ඔප වැටී ප්‍රභාවත් ව දිදුලන්නට පටන් ගන්නේ චිත්‍රසේනගේ සෙවනෙහි ලද ගුරුහරුකම්, නර්තනාභ්‍යාස මනාව පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් වජිරා නිරතුරුවම චිත්‍රසේන විසින් ඇයට ලබා දුන් නිදහස හා ඉඩහසර තුළ අලුතින් යමක් නිර්මාණය කිරීමට උත්සාහ ගත්තීය. දේශීය සාම්ප්‍රදායික නර්තන කලාව හදාරමින් එහි තුළ වූ සාධනීය ලක්ෂණ උකහා ගනිමින්, සම්ප්‍රදාය නොබිඳෙන ලෙස ද, ඊට හානි නොවන ලෙස ද විකෘති නොවන ලෙස ද දේශීයත්වය රැකගනිමින් බිහි කළා වූ ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවෙහි අරුමැසි විසිතුරු මැවූ කාන්තාව වජිරා ම වූවාය.
ඈත දියඹට ගිය පිරිස් වෙරළට පැමිණෙන තෙක් මඟ බලා සිටිනා ධීවර ගැහැනියකගේ අපේක්ෂා, ඈ මුහුණ දෙන අනපේක්ෂිත ගැටලු, ඇගේ ආදරය, ශෝකය, මේ සියල්ල කැටි කොට ගත්, නර්තන චමත්කාරයක් ප්‍රාණවත් ව ප්‍රබල ව නිමවන වජිරාගේ කරදිය මුද්‍රා නාට්‍යයෙහි රංගන ප්‍රතිභාව වේදිකාව මත වජිරා රඟනු සජීවී ව නැරැඹූ කිසිදු ප්‍රේක්ෂකයකුගේ මතකයෙන් කිසි දිනක ඈත්ව නොයනු නො අනුමාන ය. ඇගේ ඉසියුම් හාවභාව ලීලා ප්‍රාණවත් ය. වදනින් නොපැවසෙන දහසක් ඉඟියෙන් කියැවුණු බව මතකය. වේදිකා නාට්‍යයක, චිත්‍රපටයක හෝ රූපවාහිනී නාට්‍ය රංගනයක දී මෙන් සංවාද මගින්, ගායනා මගින් නළුවකුට හෝ නිළියකට තම චරිතය ගොඩ නගා ගැනීමට ලබෙන ආනුශංසික සහාය කිසිවක් නොලබමින් හුදු වදනින් තොර වූ මුද්‍රා, අංග චලන මගින් ප්‍රතිනිර්මාණය කිරීමට සිදුවන චරිතයකට ජීවය එක් කිරීමට සමත්වන්නේ නර්තනයෙහි, මුද්‍රා, අංග චලන රිද්මයෙහි මනා අවබෝධයක් හා පුහුණුවක් සතු නිර්මාණකරුවකුට හෝ කාරියකට පමණි. වජිරා මෙම වාසනාව දෝතින් දරා උපන් අපගේ කාලයෙහි නර්තනාංගනාවියයි. වීරවරියයි.
ඈ තම ගමන් මගට අතරමග නතරවීමට ඉඩක් නොලැබෙන ලෙසින් අනාගත මග සකස් කොට තබා හමාරය.
ඇගේ දියණිය උපේකා මෙන් ම ඇගේ දියණියන් වන තජී නාංගනා, හේෂ්මා හා උමී හා වජිරා ද චිත්‍රසේන ගමන් මගෙහි යමින් පර්යේෂණාත්මක අත්හදා බැලීම් හි නිරතවෙමින් මෙරට මුද්‍රා නාට්‍ය කලාවේ අනාගතය වෙනුවෙන් කැපවී සිටින චන්න උපුලී හා රවිබන්දු ආදී සිසු සිසුවියන් ද වජිරාගේ මෙහෙවර අනාගත පරම්පරා වෙනුවෙන් සුරක්ෂිතව ඉටුකරනු ඇතැයි විශ්වාසයක් අපට ඇත.
ආචාර්ය වජිරා චිත්‍රසේන විසින් ජාතියට ඉටුකරන ලද කලා සම්ප්‍රදාන හා ඇගේ කාර්ය සාධනය අගයමින් ශ්‍රී ලංකා රජය විසින් ඈ වෙත පුදන ලද ගෞරව සම්මාන සියල්ලට අමතරව ඈ ජීවිතයෙන් සමුගැනීමට වසර කිහිපයකට පෙර ඉන්දීය රජය විසින් 2020 වසරේ දී පුදන ලද පද්ම ශ්‍රී ගෞරව සම්මානය ඈ විසින් ඉටුකරන ලද කලා මෙහෙවරට ඈ ලද ඉහළ ම හා උසස් ම සම්මානය යි.
ආචාර්ය වජිරා හා මහාචාර්ය ඉන්ද්‍රා දසනායකට පද්ම ශ්‍රී ගෞරව සම්මානය පුදන ලද්දේ 2020 වසර වෙනුවෙනි. ඉන්දීය රජය විසින් සිවිල් වැසියකුට පුදදෙනු ලබන සිව්වන ඉහළම සම්මානය ලෙස සැලකෙන පද්ම ශ්‍රී සම්මානය පළමු වතාවට දිනාගත් ශ්‍රී ලාංකික කලාකරුවා වූයේ 2002 දී සම්මානලාභියා වූ පණ්ඩිත් අමරදේවයි. වසර දහ අටකට පසුව 2020 වසරේ කලාව වෙනුවෙන් පද්ම ශ්‍රී ගෞරව සම්මානය පුදන ලද්දී ආචාර්ය වජිරා චිත්‍රසේන වෙතය. ඉන්දීය ජනරජ දිනයේ දී මෙම සම්මානය ලබා ගැනීමට භාරතයට යෑමට නොහැකි වූ වජිරාට 2021 නොවැම්බර් 17 වැනි දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා සංස්කෘතික අමාත්‍යවරයා ප්‍රධාන උත්සවයක දී ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් ජීවිතයේ එක වරක් පමණක් පිදෙන පද්ම ශ්‍රී සම්මානයට ආචාර්ය වජිරා හිමිකම් ලැබුවාය.
ජාතියෙන් සමුගත් මහා කලාකාරිය වජිරා චිත්‍රසේන, කරදිය, නල දමයන්ති මුද්‍රා නාට්‍ය සමග දශක ගණනාවක් පුරා සුවහසක් රසික ප්‍රේක්ෂක ප්‍රජාවකගේ ආත්මය සුවපත් කළ කලාවක හිමිකාරිය, ඔබට සුවබර රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. ජාතියේ මහා නර්තනවේදියා වූ ආචාර්ය චිත්‍රසේන, මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් අමරදේව මහා ගේය කාව්‍ය රචකයා වූ ආචාර්ය මහගම සේකර සමාගමයෙහි ඔබට තනිකමක් පාළුවක් නොදැනෙනු ඇත. අපි සැම ඒ පාළුවෙන් හා තනිකමින් වේදනා විඳිමින් සිටිමු. සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ යන්න අද අපට ඇසෙන්නේ මෙලෙස යයි සිතේ. ‘සුළං රැල්ලේ පාව එන්නේ, ඔබ සැමගෙ නාමය වේ.’
● බුද්ධදාස ගලප්පත්ති
[email protected]