ශ්‍රී ලාංකික චිත්‍රකතා කලාවේ කෘතහස්ත විශිෂ්ටයා

731

චිත්‍ර යනු මිනිසා ගේ ප්‍රාථමික අවධියේ සිට ප්‍රකාශන මාධ්‍යයක් ලෙස භාවිත කරන ලද කලාකර්මයකි. මෙයට අවුරුදු 30000කට පමණ පෙර ලෝකයේ විවිධ ස්ථානවල ස්වාභාවික ව නිර්මාණය වී තිබුණු ගුහා තුළ පදිංචි වී සිටි මානවයන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර ඔවුන් ගේ භාවමය ලෝකයේ මානව විද්‍යාත්මක යථාර්ථයක් ගෙන හැර දක්වයි. ආජන්ටිනාවේ සැන්ටා කෲස්, ස්පාඤ්ඤයේ ඇල්ටාමීරා මෙන් ම ලක්දිව තන්තිරිමලේ වැනි ස්ථානවල ද මේවා දැකිය හැකි ය. එක් අතකින් මේ චිත්‍ර, චිත්‍රකථා ලෙස අර්ථකථනය කළ හැකි වන්නේ, ඒවා මගින් අතීත කථාවක් ද කියැවෙන නිසා ය.

නූතන යුගයේ කලකට පෙර අප රටේ අතිශය ජනප්‍රිය කලාංගයක් වූ චිත්‍රකථාව යනු මෙකල ජනතාව ගේ දෛනික විනෝදන මාධ්‍යයක් වූ ටෙලිවිෂන් කලාවේ එකුන් ප්‍රාථමික අවධිය යැයි කිය හැකි ය. චිත්‍රකථාව, ටෙලිවිෂන් මාධ්‍යයට සාපේක්‍ෂ ව එකුන් වන්නේ, චිත්‍රකථාවෙහි රූප චලනය නොමැති නිසා ය.

ශ්‍රී ලාංකික චිත්‍රකතා කලාවේ කෘතහස්ත විශිෂ්ටයා

කතාමාලාවට අදාළ ශබ්ද පථය, අක්‍ෂර සහ සංඥා ලෙසින් අදාළ රූප රාමුවෙහි ම දක්වනු ලැබේ. චරිතයක් කල්පනා කරන විට ද, චරිත අතර රහස් සංවාද සිදු වන විට ද, එක් එක් චරිතයක් අනෙකාට පහර දෙන විට ද, ඒවා විවිධ සංඥා මාර්ගයෙන් පාඨකයාට සන්නිවේදන කරනු ලැබේ. මේ අනුව චිත්‍රකථාව යනු ස්වයංකථන කලා මාධ්‍යයක් ලෙසින් අර්ථකථනය කළ හැකි ය. එහි චරිත ටෙලිවිෂන් කලාවේ මෙන් ශබ්ද නගා සංවාදයේ නො යෙදෙති. එහෙත් පාඨකයා ගේ මනෝලෝකය තුළ එකී චරිත ශබ්ද නගා හැසිරෙති.

චිත්‍රකථා බෙහෙවින් ජනප්‍රිය වූයේ 70, 80 දශකවලදී ය. එකල ඒ වෙනුවෙන් ම පළ කෙරුණු විචිත්‍ර සඟරා පන්නයේ කුඩා පුවත්පත් වාර ප්‍රකාශන රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙන් ම මුද්‍රණය කර බෙදා හරින ලදී. ඒ සමග ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි රසාලිප්ත කථා රචකයෝ ද, චිත්‍රශිල්පියෝ ද ජනතාව ගේ ජනප්‍රියත්වයට පත් වූ හ.

සුසිල් ප්‍රේමරත්න, බන්දුල හරිශ්චන්ද්‍ර, ඇන්ටන් බී. පෙරේරා, අනුර සිරිවර්ධන, සිංහ, ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන, පී.ඒ. ලීලාරත්න, සරත්මධු, දයා රාජපක්‍ෂ, ෆිලික්ස් පෙරේරා වැන්නෝ එදා චිත්‍රකථා ලෝලීන් ගේ ලෝක තුළ රැව් දුන් හ. මේ ආකාරයේ සකලවිධ චිත්‍රකථා ශිල්පීන් අතර වඩාත් ම නූතනවාදී චිත්‍රකථා ශිල්පියා වූයේ ජනක රත්නායක යැයි කිය හැකි ය. ඔහු චිත්‍ර ශිල්පයේ ද, කථා රචනයේ ද විශිෂ්ටයෙකි. ජනක රත්නායක ගේ නූතනවාදී ගුණය පසක් වන්නේ ඔහු යාවත්කාලීන වෙමින් අදටත් පුවත්පත් ක්‍ෂේත්‍රයේ වෘත්තීය ජීවිතය ගත කරන නිසා ය. ජනක රත්නායක ගේ චිත්‍රකථාවලින් ප්‍රසිද්ධ වුණු විවිධ ප්‍රබන්ධිත චරිත චිත්‍රකථා රසිකයන් අතර ජනප්‍රිය වූයේ උන්මාදයක් ලෙසිනි. ඊට බෙහෙවින් හේතු වූයේඔහු ගේ චිත්‍රවලින් ප්‍රකාශමාන වූ තාරුණ්‍යයේ දඟකාර විචිත්‍රත්වය ය.

1977න් පසු මෙරට ස්ථාපිත කරන ලද විවෘත ආර්ථිකයෙන් පසු ප්‍රචලිත වී ගිය බොහෝ තරුණ විලාසිතා සහ විනෝදන මාධ්‍ය ජනක රත්නායක විසින් ලාංකික පාඨකයන්ට හඳුන්වා දෙන ලද්දේ ’70 දශකයේ මුල් අවධියේ දී ය. ඔහු ගේ ඇතැම් චිත්‍රකථාවලින් ප්‍රකට වූයේ ගැඹුරු ජීවන දහමකි. ඒ අතරින් කිහිපයක් පසු කාලීන ව සිනමා සහ ටෙලිනාට්‍ය කෘති වශයෙන් ද නිර්මාණය විණි. අත්තික්කා මල්, සුසීමා, පාට පාට හීනයක්, කැලෑ අශ්වයෝ, යළි පිපුණු මලක්, අවන්ති, කලු සුදු අශ්වයෝ, එදා මගේ හද අරගත්, ඊගල් ෆෙදර්, හිරුට හොරෙන් පිපිණු මලක්, තෙමුණු සරුංගල් වැනි චිත්‍රකථා නිර්මාණ බෙහෙවින් පාඨක ජනතාව අතර ජනප්‍රිය විණි.

‘දිවයින’ පුවත්පතේ සමාරම්භක ප්‍රථම සාමාජිකයා ලෙස උපාලි පුවත්පත් සමාගමට බැඳුණු ජනකරත්නායක, දැනට වසර 50කට අධික කාලයක් තිස්සේ පුවත්පත් කලාවේ නිරත වී සිටී. මේ අප ඔහු ගේ වෘත්තීය ජීවිතය අළලා පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි.

ශ්‍රී ලාංකික චිත්‍රකතා කලාවේ කෘතහස්ත විශිෂ්ටයා

ඔබ දැනට වසර අවුරුදු 50ක අධික කාලයක් තිස්සේ පුවත්පත් කලාවේ නිරත ඉන්නවා. මේ කාලය තුළ බොහෝ දේ වෙනස් වෙලා තිබෙනවා. මුද්‍රණ කලා මාධ්‍ය, අන්තර්ජාල, ඩිජිටල් අවකාශ, ටෙලිවිෂන්, ජංගම දුරකථන ඇවිත් ලංකාවේ ජනතාව ගේ ලෝකය පුළුල් වුණා. මේ සියල්ල අතරේ ජනක රත්නායක කියන චරිතය දිහා ජනක රත්නායක බලන්නේ කොහොම ද? මොනව ද ඔබ ගැන ඔබට හිතෙන්නේ?

මම මූලික වශයෙන් චිත්‍රකථා ශිල්පියෙක්. මම මගේ වැඩ කොටස ඉටු කළා කියලා හිතනවා. ඒ ගැන මම තෘප්තිමත්. වෙනත් චිත්‍ර ශිල්පීනුත් ඉන්නවා. ඔවුනුත් ඔවුන් ගේ කලාවේ නිරත වෙනවා. මට අරක කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා කියලා පසුතැවීමක් නැහැ. මම අදටත් මගේ වෘත්තීය බොහොම තෘප්තියෙන් කරගෙන යනවා.

චිත්‍රකථාව කියන කලා මාධ්‍යය ’70, ’80 දශකවලදී බෙහෙවින් ජනප්‍රිය වුණා. මට මතකයි ඒ කාලේ සමරුපොත්වල ඒ චිත්‍රකථාවල චරිත, විවිධ චිත්‍රශිල්පීන් ලවා අන්දවා ගන්න පුදුම උනන්දුවක් තිබුණා. ඇතැම් අය පාසල් පොත්වල අන්තිම පිටුවේ කටුවට ඒ චරිත ඇඳගෙන තිබුණා. ඒ වගේ ම බිත්ති සැරසිලි විදියටත් ඒ චරිත පාඨකයන් අතර ජනප්‍රිය වුණා. අද වන විට චිත්‍රකථා මාධ්‍යය තිබෙන්නේ මොන වගේ තැනක ද?

අද වෙනකොට චිත්‍රකථා මාධ්‍යය ටිකක් ජනතාව ගෙන් ඈත් වෙලා තිබෙනවා. චිත්‍රශිල්පීනුත් දැන් වෙනත් වෙනත් මාධ්‍යවල කටයුතු කරනවා. සමහරු ඩිජිටල් මාධ්‍යය තෝරාගෙන තිබෙනවා. සමහරු ටෙලිවිෂන් සහ සිනමා මාධ්‍යයට ඇවිත් තිබෙනවා. තවත් අය වෙළෙඳ දැන්වීම් ශිල්පීන් විදියට කටයුතු කරනවා.

චිත්‍රකථාවක් නිර්මාණය කිරීම පහසු නෑ. කථාවක් තෝරාගෙන නිර්මාණය කරන්න ඕන. චරිත තෝරාගන්න ඕන. ඒවා රූපරාමු වශයෙන් සතිපතා අඳින්න ඕන. ඒ වෙනුවට පුවත්පතක විශේෂාංගයකට චිත්‍රයක් නිර්මාණය කරන එකත් පහසු දෙයක් වෙලා තිබෙනවා. මේ සියලු කාරණා නිසා අද චිත්‍රකථා මාධ්‍යය භාවිතයෙන් ඈත්වෙලා තිබෙනවා තමයි.

අද ටෙලිවිෂන් මාධ්‍යය ජනතාව අතර ජනප්‍රියයි. ඒ අතර මෙගා ටෙලිනාට්‍ය කියලා ජාතියකුත් ඇවිල්ලා තිබෙනවා. ඒවා සතිපතා, දිනපතා කොටස් 100ක්, 200ක් විකාශය වෙනවා. ලංකාවේ මේ වගේ ටෙලිනාට්‍ය නැති කාලයක ඔබ වැනි අය චිත්‍රකථා නමින් කලා මධ්‍යයක් නිර්මාණය කරලා පාඨකයන් අතරට කොටස් 100ක්, 200ක් ගෙන ආවා. ඇත්තට ම චිත්‍රකථාව කියන්නේ වර්තමානයේ අපි දකින මෙගා ටෙලිනාට්‍යවල මුද්‍රිත ප්‍රකාශනය ද?

ඔව් එහෙම හිතන්නත් පුළුවන්. අපි විවිධ රූපරාමු නිර්මාණය කළා. ආකර්ෂණීය කතා ඉදිරිපත් කළා. ජනප්‍රිය චරිත ගොඩනැගුවා. පාඨකයන් ඒ කතා කියවන්න පුවත්පත් එනකල් මග බලාගෙන හිටියා. ඇත්තට ම ටෙලිනාට්‍ය විතරක් නෙවෙයි සමහර විට සිනමා ශාලාවකට වෙන ම ගිහිල්ලා ලබන්න පුළුවන් අත්දැකීමත් අපි පුවත්පත මාර්ගයෙන් ඔවුන්ට ලබා දුන්නා කියලා කියන්නත් පුළුවන්.

ලංකාවේ ප්‍රාමාණික චිත්‍රකථා ශිල්පියෙක් වන ඔබ ගෙන් මම දැනගන්න කැමතියි කොහොම ද කතා තේමාවක් තෝරා ගන්නෙ? පාට පාට හීනයක්, අත්තික්කා මල්, ඊගල් ෆෙදර්, යළි පිපුණු මලක්, සුදු කලු අශ්වයෝ, තෙමුණු සරුංගල් වගේ කතා එකිනෙකට වෙනස්. ඇඳුම්, ජීවන පරිසරය එකිනෙකට වෙනස්. සමහර අය අඳින්නේ ගෝත්‍රික ඇඳුම්. සමහර චරිත ඩෙනිම් වගේ නූතන විලාසිතාවලින් සැරසෙන්නෙ. මේ චරිත සහ කතා තේමා ලාංකික පාඨකයන් වැළඳ ගනීවි කියලා කොහොම ද මුලින් හිතට ගන්නෙ? මොකක් ද ඇගයීම් ක්‍රමය?

ඒක ඉතිං අත්දැකීමෙන් ලබාගන්න ඕන දෙයක්. එක කතාවකින් තවත් කතාවකට මාරු වෙනකොට මම අනුමාන කරනවා ’මෙන්න මේ වගේ කතාවක් පාඨකයන්ට ගැලපෙයි’ කියලා. සමහරවිට විදේශීය නවකථාවක් කියවලා, චිත්‍රපටියක් බලලා මම විඳගත්ත දෙයක් පාඨකයන්ටත් ලබාදෙන්න ඕන කියලා හිතපු අවස්ථාත් තිබෙනවා. මේ වගේ වෘත්තියක කාලයක් යෙදිලා ඉන්නකොට නිකං ඉවෙන් වගේ තේරෙන්න ගන්නවා ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙන කතා. ඒ අනුමානය තමයි ඉතිං නිර්මාණයට පාදක කරගන්නෙ.

ඔබ මුලින් චිත්‍රකථා මාධ්‍යයට පිවිසෙන කොට මොන වගේ ජනප්‍රියත්වයක් ද මේ මාධ්‍යයට තිබුණේ ? පාඨකයන් අතර විශාල ජනප්‍රියත්වයක් තිබුණ ද, එහෙම නැත්නම් ආරම්භ වෙමින් තිබුණු කලාවක් හැටියට ද තිබුණේ ?

ශ්‍රී ලාංකික චිත්‍රකතා කලාවේ කෘතහස්ත විශිෂ්ටයා

චිත්‍රකථාව කියන්නේ හරිම සුන්දර කලාවක්. ඒ වෙනකොට සුසිල් ප්‍රේමරත්න, බන්දුල හරිශ්චන්ද්‍ර වගේ ප්‍රවීණයෝ රටේ ප්‍රචලිත වෙලා හිටියා. ඉතිං ඒ වැඩිහිටි පරපුරෙන් පස්සේ ඊළඟ පරපුර හැටියට අපි අපේ කාර්යභාරය කළා. අපට හිතුණා මේ චිත්‍රකථාව ගොඩක් ජනප්‍රිය කරන්න පුළුවන් මාධ්‍යක් කියලා. අපි ඒ කලාව තවදුරටත් ඉදිරියට අරන් ආවා අපට පුළුවන් විදියට.

ඔබ වැඩි වශයෙන් චිත්‍රකථා නිර්මාණය කරපු ’70, ‘80 දශකවල පාඨකයන් මොන වගේ ප්‍රතිචාර ද දැක්වූයේ ? ඔවුන් ඔබ වැනි අතිශය ජනප්‍රිය චිත්‍රකථා නිර්මාණකරුවන් සමග ලිපි, පෝස්ට්කාඩ් වගේ සන්නිවේදන මාධ්‍යවලින් සම්බන්ධතා පැවැත් වුවා ද? ඒ කතා පිළිබඳ ඔවුන් ගේ අදහස් සඳහන් කරලා එව්වා ද? එහෙම යහපත් පාඨක සංස්කෘතියක් තිබුණා ද?

ඔව් එහෙම නිතර ලියන රසිකයන් සෑහෙන පිරිසක් හිටියා. ඒකෙන් අපටත් මේ වගේ රසිකයන් පිරිසක් ඉන්නවා නේද? ඔවුන්ටත් අපි යමක් කළ යුතුයි නේද? කියනවා වගේ අදහසක් ආවා. ඒ අතරේ ඔවුන් අපේ චිත්‍රකථාවල හොඳ නරක පෙන්වලා දුන්නා. ඒකත් එක අතකින් අපට ලොකු බලපෑමක් කළා චිත්‍රකථා ජනප්‍රිය කරගන්න. මොකද එහෙම ප්‍රතිචාර දක්වන කොට අපට හැකියාවක් ලැබුණා රසිකයන් ගේ අදහස්, බලාපොරොත්තු තේරුම් ගන්න.

ඒ චරිත ඔය තරම් පාඨකයන් අතරේ ජනප්‍රිය වෙන්න සුවිශේෂ හේතුවක් තිබුණා ද? මට තේරෙන හැටියට ඔබ ගේ චිත්‍රකථාවල චරිත ලෙයින් මසින් හැදුණු චරිත විදියට නිර්මාණය කරන්න ඔබට තිබුණු දක්‍ෂතාව තීරණාත්මකයි. ඔබ තුළ දක්‍ෂ චිත්‍රශිල්පියෙක් වහේ ම දක්‍ෂ සාහිත්‍යකරුවෙකුත් ඉන්නවා වගේ පේනවා. ඒ විදියේ විශිෂ්ට ආකාරයට කතා ලිවීමේ හැකියාව කොහොමද ගොඩනගා ගත්තෙ ?

මම වෙනම ලෝකයක් මවන්න උත්සාහ ගත්තෙ නෑ. අපි අතරේ ම ඉන්න චරිත තමයි මගේ චිත්‍රකථාවලට යොදා ගත්තෙ. කතා නිර්මාණය කළෙත් ඒ විදියට තමයි. මූලික කතා සාරාංශයක් හිතේ තියාගෙන සතිපතා කොටසින් කොටස නිර්මාණය කළ නිසා, කොපමණ දීර්ඝ වුණත් එවැනි චිත්‍රකථාවක් මහන්සි නොවී රචනා කරන්න මට අවස්ථාව උදා වුණා. කොටසින් කොටස රිද්මය තියාගෙන කථාවේ රසය නැති කරගන්නෙ නැතුව ඒක නිර්මාණය කරන්න පුළුවන් වුණේ කාලයක් යනකොට ලබාගත්ත අත්දැකීම්වලින්.

ඔබ තූළ ඉන්න ජනක රත්නායක කියන ලේඛකයා අවදි කරවලා නවකථාවක් ලියන්න කියන්න කවුරුත් ආරාධනා කරලා නැද්ද? එහෙම නැත්නම් අලුත් ම චිත්‍රපටි පිටපතක් වගේ වෙනස් සාහිත්‍ය නිර්මාණයක් කරන්න?

මගේ කතා නිර්මාණය කිරීමේ ලේඛන කුසලතාව ගැන බොහෝ අය කතා වෙලා නං තිබෙනවා. නමුත් කවදාවත් නවකථාවක් ලියන්න කියලා එහෙම මට ආරාධනාවක් ලැබිලා නෑ. චිත්‍රකථාවේ චරිත ගොඩනැංවීම ටිකක් වෙනස්. සතිපතා පළවන නිර්මාණයක් නිසා කුතුහලය රඳවාගන්න වෙනවා. ඒ අතරේ සාර්ථක කථාවකුත් රචනා කරන්න ඕන. ඒක සමාජයට හානිකර වෙන්නත් බෑ. එහෙම තමයි මගේ කථාවල සාහිත්‍යය මම ම නිර්මාණය කරගත්තෙ. ඒක වෙනත් කෙනෙක් රචනා කරනවාට වඩා ලේසියි. එතකොට මට ම ඕන විදියට චිත්‍රකථාව නිර්මාණය කරන්න පුළුවන්. ඒකෙන් ලැබෙන තෘප්තිය විශාලයි.

ඔබේ පවුල් පසුබිම කොහොම ද?

තාත්තා ගණකාධිවරයෙක්. අම්මා සංගීත ගුරුවරියක්. ඒ දෙන්නාට ම චිත්‍ර අඳින්න හැකියාවක් තිබුණේ නෑ. නමුත් අපේ මාමලා දෙන්නෙක් හිටියා හොඳට චිත්‍ර අඳින. ඔවුන් වෘත්තීය හැටියට කළෙත් චිත්‍ර අඳින එක. ඒ පවුල් පසුබිම මට ගොඩක් බලපෑවා කියලා කියන්න පුළුවන්.

පාසලෙන් මොන වගේ දායකත්වයක් ලැබුණේ?

මම පාසල් ගියේ නාලන්ද විද්‍යාලයට. පාසලේදී විද්‍යාව අංශයෙන් තමයි ඉගෙන ගත්තෙ. විශේෂ වශයෙන් මම චිත්‍ර ඉගෙන ගෙන නෑ. නමුත් මගේ විද්‍යා ගුරුවරයා දැනගෙන හිටියා මට චිත්‍ර අඳින්න පුළුවන් කියලා.

ඔබේ චිත්‍රකථාවල අපි දැකපු විශේෂ ලක්‍ෂණයක් තමයි ඒ ඒ ස්ථානවල සත්‍ය ස්වරූපයෙන් ම ඒවා ඇඳලා තිබුණා. ගාලු මුවදොර පිට්ටනිය නම්, මහනුවර දළදා වීදිය නම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නම් ඒ තැන්වල තිබෙන සැබෑ දර්ශන තමයි ඔබ ඇඳලා තිබුණේ. එහෙම කළේ ඇයි? ඒක ප්‍රගුණ කළේ කොහොම ද?

මට ඉක්මනට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබෙනවා. ඉතිං මම කළේ ඒ ඇත්ත ස්ථානවලට ගිහිල්ලා ඒ දර්ශන කටුසටහන් හැටියට ඇඳගෙන ඇවිල්ලා ඉතුරු කොටස් මතකයෙන් සම්පූර්ණ කරපු එක. මම එහෙම කළේ ඒකෙන් රසිකයා තුළ කතාව පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න. නිකං පිටරටවල දර්ශන අඳිනවාට වඩා අපේ රටේ ස්ථාන ඇන්දා ම කථාවේ සජීවී බවක් තිබුණා. ඒක නිකං ඇත්තට ම සිදුවෙන කථාවක් වගේ අදහසක් රසිකයා ගේ හිතට ආවා.

‘70 දශකයේ මුල් ම කාලේ ‘සුසීමා’ වගේ ජනප්‍රිය කතාවක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තේමාවක් ඔබ සාකච්ඡා කළා. ඒ කාලේ අද වගේ මත්ද්‍රව්‍ය සුලබ ව තිබුණේ නෑ. එහෙම කාලයක ඔබට හිතුණේ නැද්ද මත්ද්‍රව්‍ය වගේ සමාජයට අහිතකර දෙයක් වක්‍රාකාරයෙන් ප්‍රචාරය කරන්න උදව් කරනවා කියලා.

නෑ, මම කොයි වෙලාවකවත් මත්ද්‍රව්‍යවල නම් සඳහන් කළේ නෑ. ඒකෙන් ලැබෙන දේ මොකක්ද කියලා විස්තර කළේ නෑ. ඒ නිසා රසිකයන්ට අවස්ථාවක් ලැබුණේ නෑ එහෙම පෙළඹීමක් ඇති වෙන්න.

ඒ කතාවේ ස්වරදේව කියන චරිතයට පෞද්ගලික ශබ්දාගාරයක් තිබුණා. එහෙම ඒවා එදා තිබුණේ නෑ. ඔබ නේ ද ලංකාවේ ප්‍රචලිත වෙන්න ඉස්සර පෞද්ගලික ශබ්දාගාර සංකල්පය සමාජයට ගෙනාවේ.

‘සුසීමා‘ කතාව මම ඇන්දේ කර්තෘතුමන් ගේ ඉල්ලීමකට. ඒ කාලේ අපේ මාමලා ගේ මිතුරන් චිත්‍රපටිවල ටයිටල් ඇන්දා. මාත් ඒවාට සහභාගි වෙලා තිබෙනවා. ඉතිං ඒ චිත්‍රපටිවලිනුත් ආභාෂය අරන් තමයි මම ඒ වගේ කතාවක් ඇන්දේ. ඒ කාලේ නං අද වගේ ලංකාවේ පෞද්ගලික ශබ්දාගාර තිබුණේ නෑ තමයි.

ඔබට හිතෙන්නෙ නැද්ද කවදාක හරි චිත්‍රපටියක් නිර්මාණය කරන්න? ඒ සඳහා තාක්ෂණය විතරයි නේ අඩු. කතා තේමා, රූප රාමු සියල්ල ඔබ සතුයි. ඒ ගැන මොකක්ද අදහස ?

එහෙම නං හිතිලා නෑ. මං චිත්‍රකථා ශිල්පියෙක් විදියට ගොඩක් තෘප්තිමත්. මං මගේ වැඩ කොටස රට වෙනුවෙන් කළා කියලා හිතනවා. හිතේ කිසිම පසුතැවීමක් නෑ.

කුමාර ලියනගේ

ශ්‍රී ලාංකික චිත්‍රකතා කලාවේ කෘතහස්ත විශිෂ්ටයා
advertistmentadvertistment
advertistmentadvertistment