ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ ආදර්ශවත් ජන නායකයා

330

මහාමාන්‍ය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මැතිතුමා ශ්‍රී ලංකා ධරණි තලය තුළ පහළ වූ අප්‍රමාණ මිනිසුන් අතර උත්කෘෂ්ට එඩිතර වීර ලංකා පුත්‍රයකු ලෙස මෙරට විරාජමාන වූ ශ්‍රීමත් ජෝන් කොතලාවලයන් ලක් රජයේ තෙවැනි අග්‍රාමාත්‍යවරයා විය.

19 වැනි සියවසේ අග භාගයේ මෙරට කීර්තිමත් පොලිස් නිලධාරියෙකු වූ ජෝන් කොතලාවල (1865-1907) පොලිස් පරීක්ෂකවරයා ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවලයන්ගේ පියතුමන් ය. වර්ෂ 1897 අප්‍රේල් මස 04 දා බම්බලපිටිය බම්බලවත්ත සිය පියාගේ නිවසේ දී ජෝන් ලයනල් කොතලාවල ළදරුවා මෙලොව එළිය දුටුවේය. මූලිකව මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ ඉන්පසු කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබීය. පියාගේ එඩිතර ගතියත්, මෑණියන් සතු චිත්ත ධෛර්යයත් තුළ හැදී වැඩුණු ජෝන් ලයනල් වයස අවුරුදු 10 ක් තරම් කුඩා අවදියේදී පියාගේ අභාවය සිදුවීම ඔහුගේ ජීවන ගමනේ අභාග්‍ය සම්පන්න සිදුවීමක් විය.

සිය පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වූ ජෝන් ලයනල් කොතලාවලට ජස්ටින් කොතලාවල හා ෆීඩා ඇලිස් කොතලාවල යනුවෙන් සහෝදර සහෝදරියන් දෙදෙනකු විය. කුඩා කාලයේදීම පිය සෙනෙහස අහිමි වූ ජෝන් ලයනල් කොතලාවලයන්හට ජීවිතය කියා දුන් ආදරණීය මෑණීයන්ට යෝධ ශක්තියක් වූයේ මැණියන්ගේ බාල සොහොයුරිය වූ ඇලන් ආටිගලගේ දයාබර ස්වාමි පුරුෂයා වූ ෆෙඩ්රික් රිචඩ් සේනානායක හෙවත් එෆ්. ආර්. සේනානායකයන්ය. ඩී. එස්. සේනානායක හා එෆ්. ආර්. සේනානායකයන් ඇසුරෙහි ගුරුහරුකම් ලද ජෝන් ලයනල් හට ජීවිතයේ කුඩාකළ දැඩි දුෂ්කර කාලයන්ටද ආර්ථික අපහසුකම්වලටද මුහුණ දීමට සිදුවිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරකටද ඉන්පසු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලිපිකරු පදවියකටද පත්වූ මෙතුමන් රාජ්‍ය සේවය පිළිබඳ පන්නරයක් ලැබීය. 1922 සැප්තැම්බර් 15 වෙනි දින ලංකා පාබල හමුදාවේ දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරි පදවියකට පත්විය. පවුල හා විවාහය වර්ෂ 1928 දී පමණ සේනානායක පරපුරේ හා බණ්ඩාරනායක පරපුරේ ඥාතීත්වයන් කැටිව එෆී මන්ත්‍රිනි ඩයස් බණ්ඩාරනායක මැතිනිය සමඟ විවාහ ගිවිස ගන්නා ලදී. විවාහයෙන් පසු ජෝන් ලයනල් හා එෆී මන්ත්‍රිනි ඩයස් දෙදෙනාට දාව ලක්ෂ්මිණි කොතලාවල දියණිය උපත ලැබීය.

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ ආදර්ශවත් ජන නායකයා

දේශපාලන ජීවිතය

“සිය රටටමයි කවදත්” යන්න ජෝන් ලයනල් කොතලාවලයන්ගේ ජීවිතයේ අභියෝග ජයගත් සුවිශේෂි පාඨය විය. ඒ ඔස්සේ සිය ජීවිතය මෙහෙය වූ කොතලාවලයන් පියාගේ අභාවයෙන් හිස් වූ නිවසේ පාලනය කුඩා වියේදීම භාරගන්නා ලදී. 1916 දී කේම්බ්‍රි‍ජ් සරසවියට ඇතුළුවී එහි අධ්‍යාපනය නිම වීමෙන් සිය රටට පැමිණි ජෝන් කොතලාවලයන් 1924 දී ඩී. එස්. සේනානායක මැතිතුමාගේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට සහාය වීමෙන් දේශපාලනයට මුල් පියවර තබන ලදී. ජෝන් ලයනල් කොතලාවලයන් 1931 දී වැඩි ඡන්දයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වන්නේ ලාබාළතම තරුණ මන්ත්‍රීවරයා වශයෙනි.

සිය දේශපාලන ගමන් මඟෙහි වැදගත් සන්ධිස්ථාන කිහිපයක් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ රැඳුණි. ඩී. එස්. සේනානායකයන් ආරම්භ කළ ගොවි ජනපද ව්‍යාපාරයන්හි මින්නේරි ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කිරීමේ භාග්‍යය කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා (1931-1935) ලෙස ජෝන් කොතලාවල තරුණ මන්ත්‍රීවරයාට හිමි විය. 1953 ඔක්තෝම්බර් 12 වැනි දින මෙරට තෙවැනි අග්‍රාමාත්‍යවරයා වීමේ භාග්‍යය හා වගකීම සර් ජෝන් ලයනල් කොතලාවලයන්ට හිමිවිය. අගමැතිවරයකු ලෙසට පත්වීම සිය මෑණියන් වූ ඇලිස් ආටිගල මැතිණියට දැන්වූයේ සියලු කාර්යයන්හට මව්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් අපේක්ෂා කළ ආදරණීය පුතකු ලෙසය.

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ ආදර්ශවත් ජන නායකයා

එලිසබෙත් මහ රැජිණගේ ඔටුනු පැළදීමේ මෞලි මංගල්‍යය නැරඹීමට මේ වන විට ඔහුගේ මෑණියන් එංගලන්තයට ගොස් සිටියේය. 1953 සැප්තැම්බර් 26 දින එවකට 28 හැවිරිදි වියේ සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහා රාජිණියගේ ලංකා සම්ප්‍රාප්තිය සර් ජෝන් අග්‍රාමාත්‍යතුමන්ගේ ජාත්‍යන්තර දේශපාලන සමීපත්වය මැනවින් තහවුරු කරන්නක් විය. එහි ප්‍රථිපලයක් වූයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයකු මෙරට ආණ්ඩුකාරවරයා කරවීමේ අවස්ථාවද සර් ජෝන් ජය ගැනීමයි. 1954 දි ශ්‍රී පාදස්ථානයට විදුලිය ලබාදීම සර් ජෝන් මුහුණදුන් තවත් දුෂ්කර ව්‍යාපෘතියකි. එවැනි අවධියක සිතීමට පවා නොහැකි වූ මෙම කාර්යය සාර්ථකව අවසන් කළ හැකි වූයේ එතුමන්ගේ සැලසුම් සහගත හා කාර්යක්ෂම දේශපාලනික හා පුද්ගල හැකියාව තුළිනි.

සිය දේශපාලන දිවිය තුළ මෙරට විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වූ පේරාදෙණිය සරසවියේ ගොඩනැඟිලි නිර්මාණයට දායක වීමටද එතුමන්ගේ සේවා කාලය තුළ හැකි විය. 1931 – 1935 දී කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ අමාත්‍ය ධුරයෙන් පසු 1936 දී යළිත් වරක් නිතරඟයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්විය. 1939 දී දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී හමුදා පාලන මධ්‍යස්ථානයේ සාමාජික ධුරයක් දරන ලදී. එසේම පශ්චාත් යුද තත්ත්වය පිළිබඳ කාරක සභාවේ සභාපතීත්වය දැරීය. 1946 අලුතින් පිහිටවූ එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති වරයෙකු විය. 1947 දී දොඩන්ගස්ලන්ද ඡන්ද කොට්ඨාසයේ මන්ත්‍රීවරයා වශයෙන් පත් කරනු ලැබ අනතුරුව ගමනාගමන හා රජයේ වැඩ පිළිබඳ ඇමතිධුරය දැරූ එතුමන් 1951 පාර්ලිමේන්තු සභානායක පදවියද හෙබවීය.

කඳවල වලව්ව හා ජීවිතයේ සැඳෑ සමය

ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් සිය ජීවිතයේ වැඩි කාලයක් ගතකළේ රත්මලාන කඳවල වත්තේ පිහිටි වලව්වේ ය. කලාව අගයන්නකුගේ කලාගාරයක් ලෙසත්, ලේඛකයෙකු, ශාස්ත්‍රඥයෙකුගේ දැනුම් කෝෂ්ඨාගාරයක් ලෙසත් සොබා දහමේ නේකවිධ ගස් වැල් මලින් හා සුන්දර සතා සිවුපාවුන්ගෙන් යුත් පාරිසරික සෞන්දර්යයෙන් ආඪ්‍යය වූ සිත නිවන විවේකී පාරිසරික කලාපයක් ලෙසද එදා කඳවල වත්තත් කඳවල වලව්වත් දෙස් විදෙස් කාහටත් නිදහස් ආශ්වාදජනක සොඳුරු තෝතැන්නක් විය.

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ ආදර්ශවත් ජන නායකයා

කඳවල වත්ත අක්කර 100ක භූමි භාගයකින් සමන්විත විය. 1924 දී ප්‍රසිද්ධ වෙන්දේසියකදී මේ විප්ලවකාරී තරුණයා ප්‍රතිවිරුද්ධ ඉල්ලුම්කාර අබ්දුල් ගෆූර් නමැති ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයා අභිබවා තරඟයට ලන්සු තැබුවේ තමා සන්තකව එතරම් මුදලක් නොමැති බව දැන දැනමය.

පසුව අවශ්‍ය මුදල් නොමැති බැවින් එතැනින් පැන යන්නට තැත්කරද්දී අල්ලා ගත් සර් ජෝන්ව, ජෝන් කොතලාවල නම් වූ එවකට ලංකාවේ කීර්තිධර පොලිස් නිලධාරියාගේ පුතා බව සැළවීමෙන් පසු සියල්ලෝම ඔහුට මෙම ඉඩම ලබාදීමට සහාය වී ඇත.

මිලට ගත් කඳවල වත්ත රබර්, කුරුඳු, පොල් හා කුඹුරු අක්කර 15 කින් සමන්විත වූ සරුසාර භූමියක් විය. 1925 දී කඳවල වලව්ව සඳහා මුල්ගල් තබා 1926 වැඩ නිමවූ 1927 සිට සිය ජීවිත කාලය පුරාවටම එතුමන්ට සෙවණ දුන් නිවස එය විය. නිවසේ කොතැනක සිට පිටත බැලුවද පරිසරය හොඳින් දර්ශනය වන අයුරින් තනා ඇති මෙම මන්දිරය ඉතාමත් සරල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉදිකළ අපූර්ව නිර්මාණයක් විය. කාටුන්වලට ප්‍රිය කළ සර් ජෝන් සුප්‍රකට කාටුන් චිත්‍ර ශිල්පී ඕබ්‍රි ඒ. කොලට් ලවා සිය කාර්යාල කාමරයේත් කඳවල වලව්වේ බිත්තිවලත් විකට කාටුන් ඇන්දවීය.

ඒ අනුව දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් 48 දෙනාගේ විකට රූ එතුමන්ගේ කාර්යාල කාමරයේ බිත්ති මත අදටද හොඳින් ආරක්ෂිතව දකින්නට ඇත.

රාජකීය උද්‍යානයක සලකුණක් ලෙස සලකන 1858 – 1932 කාලයේ ජීවත්වූ Dorothy Frances gurney විසින් ලියන ලද උද්‍යානයේ ගීතය කඳවල උද්‍යානයේ කුරුළු බඳුනක ලියවා සවිකොට තබන්නට ඇත්තේ ද උයනේ අපූර්වත්වය කියා පෑමටය. එය පසුකාලීනව සර් ජෝන් කොතලාවලයන්ගේ පිළිරුව පිහිටවූ පොකුණ මධ්‍යයේ කුළුනක පිහිටුවා තිබූ බවට එවකට වලව්වේ විසූවන්ගේ මතකයන් සාක්ෂි දරයි.

අලි ඇතුන් මුවන්, මොනරුන්, ගෝනුන් ඇතුළු සත්ත්වයන් රැසක් සිටි මේ උයන නිසැකයෙන්ම සත්ව උද්‍යානයක් බඳුවිය. කඳවල වලව්ව දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අපූර්ව නවාතැනක් මෙන්ම සුන්දර නැරැඹුම් මධ්‍යස්ථානයක් විය.

එතුමන්ගේ කුළුපග මිතුරකු වූ බුරුමයේ යූ ටින් ටූම් හා ඔහුගේ පවුලේ අය ලංකාවේ ගතකළ කාලයේ නැවතී සිටියේ මෙම මන්දිරයේ කාමරයකය. අද එම කාමරය “බුරුම කාමරය” ලෙස හඳුන්වයි. සර් ජෝන් කොතලාවලයන් ජීවිතයේ සැදෑ කාලය මේ මන්දිරයේ සුරතලුන් මෙන්ම තමාට සේවය කළ ආදරණීයන් සමඟ සිත් සේ නිදහසේ කාලය ගෙවීය.

අක්කර 100කින් යුත් මේ මහා භූමිය අවස්ථා දෙකකදී කොටස් කර විවිධ කාර්යයන් සඳහා ලබාදී ඇත. රත්මලාන හෙවත් එදා කොළඹ ගුවන් තොටුපළ සඳහා 1957 දී අක්කර 17ක් ලබාදී ඇත. සිය ජීවිතයට සෙවණ දුන් කඳවල වලව්ව සහිත අක්කර 47ක සම්පූර්ණ භූමියම බොහෝ කලක සිට එතුමන්ගේ සිතේ පැවති අරමුණක් වෙනුවෙන් ආරක්ෂක විද්‍යා පීඨයක් සඳහා 1979.07.11 දින එවකට ජේ. ආර්. ජයවර්ධන රජයට පවරාදෙන ලදී.

සිය නිවසේ සේවය කළ ආදරණීය සේවකයන්හට අක්කර 3 ක කොටස් කර ලබා දුන්නේ අපිරිමිත මානව දයාවෙනි. මේ අපූර්ව මිනිසා සිය දිවිය තුළ ලැබිය හැකි උතුම් ගෞරව බහුමානයන්ටද පාත්‍ර වූයේ මෙරට වෙනත් රාජ්‍ය නායකයකුට හිමි නොවූ තරම් ගෞරව පෙළහර ලැබීමෙනි.

1948 වසරේදී KBE හෙවත් බි්‍රතාන්‍ය අධිරාජ්‍යය විසින් ලබාදෙන ඉහළ ගෞරව නාමයක් වන නයිට් නාමය ද, 1954 දී ප්‍රංශ සමූහාණ්ඩුව විසින් පිරි නමන උසස්ම සම්මානය වූ “The Legion of Honour” සම්මානයද 1954 දී එලිසබෙත් මහ රැජිණ විසින් “The Companions of Honour” ගෞරව නාමය ද පිරිනමා ඇත. 1980 ඔක්තෝම්බර් මස 01 දින ජීවන ගමනේ අවසන් දින කිහිපය ගෙවමින් සිටියදී මෙරට ස්වේච්ඡා බල සේනාවේ ගරු ජෙනරාල් පදවියෙන් පිදුම් ලැබූයේ රෝහල්ගතව සිටියදී ය. වසර 83ක් ආයුවිඳ 1980 ඔක්තෝම්බර් මස 02 දා මහාමාන්‍ය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල නම් මහා යුග පුරුෂයා දැයේ සමස්ත දේශපාලනඥයන්ටත්, නායකයන්ටත්, ඉසුරුමතුන්ටත් අපූර්ව ආදර්ශයක් වෙමින් සිය අවසන් හුස්ම හෙළුවේය. සර් ජෝන් කොතලාවල නාමය දෙස් විදෙස් ජනාදරයට පාත්‍රවූ විශිෂ්ට නාමයක් වූවා නොඅනුමාන ය.

සැකසුම – පුරාවිද්‍යාඥ මංජුල කරුණාතිලක
කෞතුකාගාර භාරකරු ශ්‍රීමත් ජෝන් කොතලාවල අනුස්මරණ කෞතුකාගාරය

advertistmentadvertistment
advertistmentadvertistment