ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ.
ප්රජාතන්ත්රවාදයට ගරු කරන සජිත් ප්‍රේමදාස මහතාට සියලු පාර්ශ්ව සහාය ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙරේදා (03දා) කොළඹදී පැවැති රැස්වීමකදී පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් නායකයන් ඇතුළු පක්ෂයේ නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවකදී ඔහු එසේ කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු එහි නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව මීට පෙර ගත් තීරණ සැලකිල්ලට ගනිමින් අවසන් තීරණයක් ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට මෙහිදී තීරණය කෙරිණි.
මෙහිදී තවදුරටත් කතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවැසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මේ ගත්ත තීරණය ඓතිහාසික තීරණයක්. පක්ෂයේ එක කොටසක් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිස ආණ්ඩුවේ තනතුරු අරගෙන පක්ෂයේ අවසරයකින් තොරව වැඩ කිරීම නිසා මේ අර්බුදය ඇතිවුණා. ගිය සතියේ විධායක සභාවක් කැඳවුවා කියනවා. එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන අයත් ඒකට ඇවිල්ලා හිටියා.
අපේ සංවිධායකවරුන්ගේ විරෝධය මැද්දේ තමයි ඔවුන් ඉක්මනින් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බ වෙලා තියෙන්නේ. මොනවද කතා කළේ, මොකටද එකඟ වුණේ කියලා අපි දන්නේ නැහැ. ඒක දන්නේ එතුමන්ලා විතරයි. සංවිධායකවරු දන්නෙත් නැහැ. ඔවුන් රනිල් වික්රමසිංහත් එක්ක වෙනම එකතු වෙන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට එතුමන්ලා කිසිදු ආකාරයෙන් නොයෙක් විදිහට අපි සලකන්නේ නැහැ. හේතුව ඔවුන් අනීතිකව බලහත්කාරයෙන් ආණ්ඩු බලය පාවිච්චි කරමින් ඩාර්ලි පාරේ මූලස්ථානය අල්ලගෙන ඉන්න අනවසර පිරිසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි තීරණය කළා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙන්න. එදා 2023 නොවැම්බර් 11 වැනිදා අපේ පක්ෂය ගත්ත ආණ්ඩුවට නොයෑමේ තීරණයේ තමා අපි තවමත් ඉන්නේ.
අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමැතිවරුන්ට රිසිසේ හොරකම් කරන්න අවස්ථාව දුන්නා ඔහුට අවශ්‍ය බලය රඳවා ගන්න. සීනිබදු වංචාවේ ඉඳලා ගත්තම මේක අතිවිශාල වංචාවක් සිදුවූ යුගයක්. හොරකම් කරලා කොහොම හරි ජනාධිපති වීමේ සිහිනය සැබෑ කරගන්නයි මේ හදන්නේ.
ඒකාධිපති ලෙස මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අද වෙනකොට මේ රටේ පොලිස්පතිවරයෙක් නැහැ. තමන්ට ලැබුණු කුඩා බලය තුළ මෙහෙම නම් ක්‍රියාකරන්නේ ඉදිරි අවුරුදු පහේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපති ධුරය ලබා දුන්නොත් මේ රට ඒකාධිපතියකුගේ අතටයි යන්නේ.
ඒ නිසා මේ වෙලාවේ සියලු දෙනාගේ තීරණය මත ප්රජාතන්ත්රවාදය ගරු කරන සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරවීමට අපේ සහයෝගය ලබාදෙනවා. මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි. මේ ජනාධිපතිවරයා පරාය කළ යුතුයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා සහාය දෙන්න අපිත් තීරණය කළා. ඒ සඳහා අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. සන්ධානයේ කොටස්කාර පාර්ශ්වයක් විදිහට අපේ සහාය එතුමාට ලබාදෙනවා.
අරුණ බෝගහවත්ත සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්