අතුරු තහනමක් ඉල්ලා අයිතිවාසිකම් පෙත්සමක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ලබන මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ලෙස හා එම ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයකු ඊයේ (14දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
පිළියන්දල පදිංචි ශාන් රණසූරිය මහතා නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති අතර දෙවන වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (3) ව්‍යවස්ථාව අනුව එම පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා නම්කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ජූලි 24 වැනිදා ලබාදුන් නියෝගය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතරින් සුදුසු අයකු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පළමු වන වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කාර නීතිඥවරයා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන් ඇතුළු රටේ ජනතාවට දැඩිව බලපාන සිද්ධීන් සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග අනුව කටයුතු නොකිරීමෙන් වගඋත්තරකාර ජනාධිපතිවරයා තමන්ගේ මෙන්ම රටේ ජනතාවගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද පෙත්සම්කාර නීතිඥ ශාන් රණසූරිය මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
රටේ පවතින අනාරක්ෂිත වාතාවරණය අනුව විශේෂයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති වකවානුවක මහජන ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා පොලිසියට නායකත්වය දීමට නිසි බලයලත් නිලධාරියකු පත් නොකර එම තනතුර පුරප්පාඩුව පැවතීම ඉතාමත් අහිතකර තත්ත්වයක් බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
තමා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන නිසා පොලිස්පති ධූරයේ වැඩ බැලීමට නිලධාරියකු පත් කිරීමේ හැකියාව නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් එලෙස ප්‍රකාශ කළ ඔහුම පුරප්පාඩු වූ අධිකරණ අමාත්‍ය ධුරයට ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පත්කිරීම සිදුකර ඇති බවත් පෙත්සම්කරු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.
ඒ.ජේ.ඒ. අබේනායක