ශ්‍රීලනිප උරුමය සහ අනාගත අභියෝග…

269

අධිරාජ්‍යවාදී යටත්විජිතවාදයට ගොදුරු වූ සියලූ ම ආසියානු, අප‍්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල නිදහස් ව්‍යාපාර ආරම්භ වූයේ ස්වදේශිකයන්ගේ උරුමයන් වූ භාෂා, ආගමික සම්ප‍්‍රදායයන් සහ ජීවන ක‍්‍රම ආරක්‍ෂා කිරීමේ උද්ඝෝෂණ වශයෙනි. එය අනෙකුත් ආසියානු රටවලට මෙන් ම ශ‍්‍රී ලාංකීය සමාජයට ද පොදු කරුණකි. ක‍්‍රිස්තු වර්ෂ 1505 දී ඇරඹුණු යටත්විජිත පාලනයට එරෙහිව දිගින් දිගට ම අවි බලයෙන් කළ ස්වදේශික අරගල අවසාන වූයේ ක‍්‍රිස්තු වර්ෂ 1817-1818 කාලයේ දී සහ 1848 දී ඇති වූ ඌව-වෙල්ලස්ස හා මාතලේ ජන නැගිටීම් හෙවත් කැරැලි ඉතා සාහසික ලෙස බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් මර්දනය කිරීමෙනි.

බුද්ධිමය, ශාස්ත‍්‍රීයමය, මතවාදමය සහ සිවිල් ක‍්‍රියාකාරී උද්ඝෝෂණ මාලාවක් ලෙසින් නිදහස් අරගලයේ දෙවැනි අදියර 19 වැනි සියවසේ මැද භාගයේ සිට ආරම්භ විය. එහි ලා ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරනු ලැබුවේ පානදුරාවාදය මුල් කරගත් පංච මහාවාද සහ අනගාරික ධර්මපාලතුමා පෙරටු කොට ගත් දේශපේ‍්‍රමී ජන නායකයින් විසින් මෙහෙයවනු ලැබූ උද්ඝෝෂණ සහ පුනරුද ක‍්‍රියාමාර්ග ය.

ශ්‍රීලනිප උරුමය සහ අනාගත අභියෝග…

ජාතික පුනරුද ව්‍යාපාරය ඉදිරියට ඇදී යන අතර ම මෙරට තහවුරු වන අධිරාජ්‍ය පාලනය සමඟ ගොඩ නැඟුණු වාණිජ, වැවිලි නිෂ්පාදන ක‍්‍රමයන්ට සමාන්තරව වරප‍්‍රසාද ලත් දේශීය ප‍්‍රභූ සමාජ කණ්ඩායමක් ද 19 වැනි සියවස අග භාගයේ දී සහ 20 වැනි සියවස මුල භාගයේ දී ගොඩනැගුණු අයුරු ද හඳුනාගත හැකි ය. මෙ ලෙස ගොඩ නැගුණු නව ”කොම්ප‍්‍රදෝරු දේශීය ධනපති පන්තිය” තම තරුණ දරුවන් විදේශ ගත කළේ යටත්විජිත පාලනයේ ඉදිරි සහායකයන් වීමේ සිහිනය සාක්‍ෂාත් කරගැනීමේ අටියෙනි. එසේ වුව ද විදේශගත වූ එම තරුණ පිරිස ඒ වන විට එංගලන්තයේ ඉස්මතු වෙමින් පැවැති සමාජ දේශපාලන සංවාදයේ ඇතැම් ප‍්‍රවාහ තුළට ඇදී ගිය අයුරු ද අපට නිරීක්‍ෂණය කළ හැකි ය. එ ලෙස ඔවුන් ඇදී ගිය ප‍්‍රධාන දේශපාලන දහරා තුනකි. ඒවා නම්;

  1. සාම්ප‍්‍රදායික ධනේශ්වර ක‍්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණ ආත්ම කරගෙන ගොඩ නැගුණු කොන්සවේටිව් මතවාදය
  2. කම්කරු පන්තිය හා මධ්‍යම පන්තිය තුළ වර්ධනය වූ ලිබරල් නිදහස්වාදී මතවාද
  3. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ඇතිවුණු සෝවියට් දේශය පන්නයේ සමාජවාදී රාජ්‍යයන් බිහිකිරීමේ සමාජවාදී මතවාද

20 වැනි සියවස මුල් භාගයේ දී උසස් අධ්‍යාපනය හමාර කොට මෙ රටට ආ සමාජවාදී මතවාද කරපින්නා ගත් තරුණයන්ගේ දේශපාලනමය කටයුතු ලංකා ජාතික සංගමය, තරුණ සංගම් ව්‍යාපාරය, සූරියමල් ව්‍යාපාරය තුළින් අපට හඳුනාගත හැකි ය.

මෙලෙස එංගලන්තයේ දී තම අධ්‍යාපනික කටයුතු අවසන් කර ආපසු මෙ රටට පැමිණි තරුණයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ දේශපාලනික භාවිතාවන් උක්ත මතවාද තුන තුළ ම හඳුනාගත හැකි අතර ලංකා ජාතික සංගමය ගොඩ නැගීමට ද එතුමා සම්බන්ධ විය. එයට අමතර ව, එතුමා සූරියමල් ව්‍යාපාරය සමඟ ද සබඳතා පැවැත්වූ බව අපට දැකගත හැකි ය. මේ වන විට යටත්විජිත පාලනයේ සමාජ සංස්කෘතික බලපෑම් හඳුනාගෙන සිටි එතුමා එයට පෙර මෙ රට ක‍්‍රියාත්මක වූ ජාතික පුනරුද ව්‍යාපාරවලට නායකත්වය දුන් ආගමික සහ සමාජ සංවිධානවල ක‍්‍රියාකාරීත්වයන් ද නිරීක්‍ෂණය කර තිබිණි.

පූජ්‍ය හික්කඩුවේ සුමංගල හිමි, අනගාරික ධර්මපාලතුමා ප‍්‍රමුඛ කරගත් බෞද්ධ නියෝජනය ද එම ව්‍යාපාරයේ දෙවැනි අදියර වශයෙන් හඳුනාගත හැකි කුමාරතුංග මුනිදාස, පියදාස සිරිසේන, හේමපාල මුනිදාස, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඞී. එම්. රාජපක්‍ෂ, සී. ඩබ්ලිව්. වික‍්‍රමාරච්චි, මහා කවි ආනන්ද රාජකරුණා වැනි අය ප‍්‍රමුඛ කරගත් බුද්ධිමය නියෝජනය ද නිවැරැදි ව නිරීක්‍ෂණය කළ බණ්ඩාරනායක මහතා ඒ අනුව සිතා සිංහල මහ සභාව පිහිටුවීමට කටයුතු කළේ ය.

1947 වර්ෂයේ පැවැත් වුණු ප‍්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු අගමැති ධුරය භාරගන්නා ලෙසට බණ්ඩාරනායක මහතාගෙන් කුරුණෑගල මන්ත‍්‍රී එච්. ශ‍්‍රී නිශ්ශංක මහතා ඉල්ලා සිටියේ ඒ වන විට මෙ රට ජාතික ව්‍යාපාරයේ කාහල නාදය බවට ”සිංහල මහ සභාව” පත් වී තිබුණු නිසා ය. නැති වූ අනන්‍යතා සොයා යන බුද්ධිමය හා දාර්ශනික පදනමක් මෙන් ම ජාතිය නැවතත් නඟා සිටුවීමේ අවශ්‍යතාව එම ව්‍යාපාරය තුළ පැවැති බව ස්වාධීන බහුතර ජනතාවට ද ඒත්තු යමින් තිබිණි. කෙසේ වුව ද, එම යෝජනාවට එකඟ නොවූ බණ්ඩාරනායක මහතා නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරයා වීමේ වරම ඞී. එස්. සේනානායක මහතා වෙත හිමි කර දුන්නේ ය. ඉක්බිතිව 1951 ජුලි 12 වැනි දා අයවැයට විරුද්ධ වෙමින් බණ්ඩාරනායක මහතා ආණ්ඩුවෙන් ඉවත්වන විට ඊළඟ මැතිවරණය පැවැත්වීම සඳහා ශේෂ වී තිබුණේ වසරකටත් අඩු කාලයකි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ප‍්‍රමුඛ කණ්ඩායම 1951 සැප්තැම්බර් මස 2 වැනි දා කොළඹ නගර ශාලාවේ දී නිල වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගනු ලැබීය. එයට පෙර පාමංකඩ යමුනා මන්දිරයේ දී රැස්වුණු පක්‍ෂ ක‍්‍රියාකාරීන් අතර මූලිකත්වය ගත් එච්. ශ‍්‍රී නිශ්ශංක මහතා අලූත් පක්‍ෂයේ නම ද, වර්ණය ද, ලාංඡුනය ද යෝජනා කළේ ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමේ උත්සවය පිළිබඳව වාර්තා කරන එකල ප‍්‍රකාශයට පත් වූ ”ලංකාදීප” පුවත්පත පවසනුයේ කොළඹ නගර ශාලා භූමියේ අතුරු සිදුරු නැති තරමට ම ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු බවකි. එම අවස්ථාව ගැන වාර්තා කළ ” සිංහලේ” පුවත්පත 15,000 අධික සෙනඟක් නගර ශාලා බිමේ පොරකකා සිටි බවක් සඳහන් කර තිබේ.

”අපේ පක්‍ෂය සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයක්. ඒක සමාජවාදීය කියලා කියන්නේ කාටත් අපි සාධාරණ වන අතර ම මේ රටේ දුගී දුප්පත් කම්න් සිටින මහජනතාවට, අපේ රටට ඔරොත්තු දෙන තරමින්, ඉහළ ම ජීවන තත්ත්වයක් ලබාදීමට යි අපි අදහස් කරන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදීය කියලා කියන්නේ අපේ පක්‍ෂය ඒක පුද්ගලයෙකුගේ නැත්නම් කණ්ඩායමක ඒකාධිපතිකම කවරදාකවත් නුරුස්සන, ඇත්ත වශයෙන් ම මහජන පක්‍ෂයක් නිසා ය.”

1951 සැප්තැම්බර් මස 2 වැනි දා කොළඹ නගර ශාලාවේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කරමින් එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා එ සේ කීවේ ය.

මෙම රැස්වීමේ කැඳවුම්කරුවන් අතර දෙමළ නායකයකු වූ සී. තංගරාජා මහතා ද මුස්ලිම් නායකයකු වූ බදුර්දීන් මහමුද් මහතා ද සිටීම විශේෂයෙන් ම සඳහන් කළ යුතු ය. එ ලෙස නව දේශපාලන ගමනක් අරඹා මාස හයකින් එළැඹි මැතිවරණයේ දී රාජ්‍ය බලය හිමි කරගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අසමත් වුව ද විපක්‍ෂ නායක ධුරය බණ්ඩාරනායක මහතාට හිමිවිය. ඉක්බිතිව, 1956 වසරේ පාර්ලිමේන්තු මහ මැතිවරණය උදාවන්නේ 1947 වසරෙන් පසු අනුකාරක බමුණු කුලයේ ධනේශ්වර පාලනයට එරෙහිව නැගී සිටි දේශපේ‍්‍රමී ජනතාව දියත් කළ තවත් ජාතික අරගලයක් වශයෙනි.

1815 දී අහිමි වූ ජාතික නිදහස යළි දිනාගැනීමේ අරගලය බාල්දු කරමින් 1948 දී ලබාගත් ඩොමීනියන් තත්ත්වයේ දේශපාලනික බලාධිකාරය යටතේ පවත්වා ගෙන ගිය සැඟවුණු වහල්භාවයට එරෙහි ජනතාවගේ මතය 1956 මහ මැතිවරණය හමුවේ සංවිධානය වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයක් වශයෙනි. එ කල සමාජයේ පැවැති නිවැරැදි සමාජ සංස්කෘතික නියෝජනය මෙම පංච මහා බලවේගය නම් වූ ජාතික එකමුතුව තුළින් පිළිබිඹු විය.

ආරම්භයේ සිට ම සෑම වාර්ගිකයකුට ම දොර විවර කළ සංහිඳියාවේ දේශපාලන කඳවුරක් ලෙසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කළේ ය. එච්. ශ‍්‍රී නිශ්ශංක මහතා යෝජනා කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යන නම ස්ථීර කළේ ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පති ලෙසින් කටයුතු කළ බදුර්දීන් මහමුද් මහතා විසිනි. එය අනුමත කිරීමේ යෝජනාව ගෙන එනු ලැබුවේ අධිනීතිඥ සී. තංගරාජා මහතා විසිනි. මේ වන විට රට තුළ සිටි සාමාන්‍ය, විකල්ප මතධාරී, නිදහස්, සාමකාමී, උගතුන්ගේ බුද්ධිමතුන්ගේ සහ ආගමික නායකයන්ගේ අවධානය දිනාගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමත් විය.

1956 වසරේ බලයට පත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුල් කරගත් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ජනතාව විසින් හඳුන්වනු ලැබුවේ ”අපේ ආණ්ඩුව” ලෙසිනි. මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතා 1956 පෙරළිය විග‍්‍රහ කළේ ” බමුණුකුලයේ බිඳවැටීමක්” ලෙසිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භයේ සිට ම වාමවාදී ප‍්‍රගතිශීලී මතවාද ඉවසුවේ ය. ඒවා පිළිගෙන හැකි පමණින් ක‍්‍රියාවට ද නැගුවේ ය. 1956 වර්ෂයේ බලයට පත් වූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ වැදගත් කාර්ය භාරයක් සමාජවාදී නායකයකු වූ පිලිප් ගුණවර්ධන මහතා විසින් ඉටු කරනු ලැබුවේ ය.

මෙ රට නිදහසින් පසු සමාජය පරිවර්තනය කිරීමේ කාර්යයට පුරෝගාමීත්වය ලබා දෙන ලද්දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසිනි. 56 දී බලයට පැමිණි බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව පැවතියේ වසර හතරකටත් අඩු කාලයකි. එහෙත් එම කාලය තුළ මෙ රට ආර්ථික සමාජ සංස්කෘතික ක්‍ෂේත‍්‍රයේ ඓතිහාසික ප‍්‍රතිසංස්කරණ කීපයක් ම සිදුකිරීමට එම ආණ්ඩුවට හැකි විය. වරාය ජනසතු කළ අතර බස් ප‍්‍රවාහන සේවා රාජ්‍ය අංශයට එකතු කළේ ය. විදේශීය යුද කඳවුරු ඉවත් කළ අතර සමාජවාදී ලෝකයට රට යා කළේ ය. විදුදය, විදුලකර මහ පිරිවෙන් විශ්වවිද්‍යාල කිරීමෙන් ජාතියේ අනාගත උරුමකරුවන් සඳහා වන අධ්‍යාපන වරප‍්‍රසාද පුළුල් කළේ ය. සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කොට දෙමළ භාෂා භාවිතයට අදාළ විධිවිධාන ද පනවනු ලැබී ය. අධ්‍යාපනයේ ද ප‍්‍රතිසංස්කරණ සිදු කළේ ය. එම ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ”කුඹුරු පනත” ග‍්‍රාමීය ආර්ථිකයේ විප්ලවයක් ඇති කිරීමට ද සමත් විය.

බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වී මෙන් බිඳ වැටුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රාජ්‍ය බලය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ 60-64 කාලය තුළ දී නැවතත් ස්ථාපිත කෙරිණි. එම කාලය තුළ ජාතික ආර්ථීක වැඩසටහනක් වෙනුවෙන් බර කර්මාන්ත ඇරඹීම, ඛනිජ තෙල් ජනසතුව, සියලූම පෞද්ගලික පාසල් රජයට පවරාගෙන නිදහස් ජාතික අධ්‍යාපනය අර්ථවත් කිරීම ආදී ප‍්‍රගතිශීලි සමාජ-ආර්ථික ප‍්‍රතිසංස්කරණ විශාල ප‍්‍රමාණයක් හඳුන්වාදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයට හැකි විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉතිහාසය අධ්‍යයනය කරන විට පෙනී යන ප‍්‍රධාන හා මූලික කාරණා වනුයේ පක්‍ෂයේ ප‍්‍රගතිශීලී සංවර්ධන දැක්ම, පක්‍ෂයේ සමගාමී මිත‍්‍ර බලවේග වූ වාමාංශික ව්‍යාපාර සමඟ වරින් වර ඉස්මතු වූ ප‍්‍රතිවිරෝධතා සහ බාහිරින් හා අභ්‍යන්තරිකව මතු වූ ගැටුම්කාරී තත්ත්වය යනාදිය ය. 1962 දී දියත් කිරීමට උත්සාහ කළ හමුදා කුමන්ත‍්‍රණය, 1965 දී පක්‍ෂයේ කණ්ඩායමක් බාහිර මෙහෙයුමකට ගොදුරු වී පක්‍ෂය අත්හැර යෑම, 1977 දී ඉතාමත් බරපතල ලෙසින් දේශපාලනික බලය පිරිහීම යනාදිය මේ යටතේ අපට විමසා බැලිය හැකි ය. තව ද එයින් පසු වකවානුව තුළ ඇති වූ ගැටලූ විශ්ලේෂණය කිරීමේ දී ද මෙම ප‍්‍රතිවිරෝධතා සමනය කරගැනීමට නොහැකිවීමේ ඛේදවාචකය නිරීක්‍ෂණය කළ හැකි ය. මෙම සියලූ කරුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ස්වයං-විවේචනාත්මකව විමසා බැලිය යුතු වේ.

නිදහසින් පසු අඛණ්ඩව වසර තිස් හයකට අධික කාලයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය රට පාලනය කළේ ය. එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට රට පාලනය කළ හැකිව ඇත්තේ වසර තිස් පහක කාලයක් පමණි. 1994 වර්ෂයෙන් පසු මෙම 2019 වර්ෂය දක්වා ම රාජ්‍ය නායකත්වය හිමි වී ඇත්තේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතිහාසයේ ඉතාමත් ගැටලූ සහගත, අර්බුදකාරී යුගය වශයෙන් සැලකිය හැක්කේ 1977 වර්ෂයෙන් ඇරැඹි ජේ. ආර්. ජයවර්ධන යුගයයි. පක්‍ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීමෙන්

ඇරැඹුණු එම යුගය පක්‍ෂ නායකයන් නැක්සලයිට්වරුන් යැයි නම් කරමින් හිර භාරයට ගැනීම; සහල් සහනාධාරය ඉවත් කිරීම; 80 වැඩ වර්ජනයෙන් ලක්‍ෂයක් දෙනා හට රැකියා අහිමි කිරීම; සංවර්ධන සභා මුවාවෙන් උතුර ගැටුමකට යොමු කරවා යාපනයේ පුස්තකාලය ගිනි ලා යාපන නගරය විනාශ කිරීම; 83 ජූලි මහා කලබලය; ප‍්‍රගතිශීලි වමේ පක්‍ෂ තහනම; ජනතා විමුක්ති පෙරමුණ පාතාලයට තල්ලූ කිරීම; භීෂණයේ මුවාවෙන් ග‍්‍රාමීය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන්, වමේ නායකයන්, තරුණ තරුණියන් හැට දහසකට අධික පිරිසක් මරා දැමීම; 60-65 ආණ්ඩුව විසින් සහ 70-77 ආණ්ඩුව විසින් ඇති කළ සියලූම බර කර්මාන්ත ශාලා, ටයර්, වානේ, යකඩ, ලෝහ, කඩදාසි, රෙදිපිළි, පිඟන්, බස් වැඩපොළ ඇතුළු සියලූ කර්මාන්ත වසා දැමීම සහ විකුණා දැමීම; චිත‍්‍රපට කර්මාන්තය ඇතුළු සියලූ සංස්කෘතික ව්‍යාපාරය නිදහස් වෙළෙඳාම යටතේ විනාශ වීමට ඉඩහැරීම; උතුරු-දකුණු ගිනිගත් කැරැලිකාර ත‍්‍රස්ත ව්‍යාපාරයකට ගොදුරු කරමින් 30 අවුරුදු මහා යුද්ධයකට රට විවෘත කිරීම; ජනමත විචාරණය මඟින් ඡුන්ද ක‍්‍රමය විනාශ කිරීම යන දුර්දාන්ත ක‍්‍රියාමාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පමණක් නොව සියලූ ප‍්‍රගතිශීලි බලවේගවල සමාජයීය පදනම වියවුල් කොට, දුර්වල කොට විනාශ කිරීමේ ඒකායන අරමුණකින් ක‍්‍රියාත්මක වන්නට විය. ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු ඇරඹුණු පේ‍්‍රමදාස යුගයේ දී එම තත්ත්වය තවදුරටත් තීව‍්‍ර විය.

1994 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි බලයට පත්වන්නේ පක්‍ෂය පමණක් නොව රට ද සමාජය ද මහා විලෝපනයකට මුහුණ දී තිබිය දී ය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලබාගත් එම ජයග‍්‍රහණයෙන් පිට කෙරුණේ සමාජය තුළ කැකෑරෙමින් තිබුණු අයුක්තියට එරෙහි, අසාධාරණයට එරෙහි, සංවර්ධන පිපාසය වෙනුවෙන් යොමුවුණු බලාපොරොත්තුවකි. එ ලෙස පිට කෙරුණු සමාජ ආවේගයේ තරම කෙතරම් වී ද යත් එයින් පසු එළඹුණු කිසිදු ජනාධිපතිවරණයක දී එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයකු ජයග‍්‍රහණය කරවීමෙන් ජනතාව වැළැකී තිබේ. මෙම ජනතා ප‍්‍රතික්ෂේපයේ ප‍්‍රතිඵලයක් වශයෙන් 2010 සහ 2015 වසරවල පැවැත්වූ ජනාධිපතිවරණ සඳහා සිය පක්‍ෂයේ අපේක්‍ෂකයකු සහභාගී කරවීමේ ආත්ම විශ්වාසය පවා එක්සත් ජාතික පක්‍ෂයට අහිමි විය.

2015 වන විට අඛණ්ඩව වසර 22ක අඛණ්ඩ කාලයක් මෙම දේශයෙහි රාජ්‍ය බලය හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නායකත්වයට හැකි වී තිබිණි. ත‍්‍රස්තවාදී උවදුර දුරු කළ 2009 වසරේ සිට 2015 වසර දක්වා වූ කාලය තුළ පක්‍ෂය තුළ ස්වයං විවේචනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සක‍්‍රීය ලෙස ක‍්‍රියාත්මක කළේ නම් ප‍්‍රගතිශීලී බලවේග සමඟ එකතු වී තවදුරටත් ඉදිරි ගමනක යෙදී රට මෙහෙයවීමේ හැකියාව පක්‍ෂ නායකත්වයට තිබිණි. එහෙත් සැම දෙනා සමඟ එක් වී ඉදිරියට යෑමේ වගකීම මග හැරුණු හෙයින් අනපේක්‍ෂිත දේශපාලන පෙරළියකට මුහුණපෑමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිදුවිය. කෙසේ වුව ද, එයින් පසුව ද රාජ්‍ය නායකත්වය හෙබවීමට ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයකු පත්වීම ගැන අපි සතුටු විය යුතු වෙමු. එහෙත් මෙම පෙරළිය මනා ලෙසින් ග‍්‍රහණය කර නො ගැනීම ද ඒ තුළින් අපගේ දේශයට ලබාදිය හැකි ජයග‍්‍රහණ හිමිකර දීමට පක්‍ෂ නායකයන් එකමුතු නොවීම ද හේතු කොට ගෙන මේ වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් දේශපාලනික අර්බුදයක අත්දැකීම් විඳිමින් සිටියි.

කෙසේ වුව ද ගත වූ වසර 70 කට ආසන්න කාලය දෙස ආපසු හැරී බැලීමේ දී අපට ආඩම්බර විය හැකි කරුණ වනුයේ මෙ රට ජාතික නිදහස ස්ථාපිත කිරීම; නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබසාධනය සහ ජාතික සංස්කෘතික පුනර්ජීවනය; නොබැඳි ජාත්‍යන්තර ප‍්‍රතිපත්තිය; නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම යනාදී සියලූ කාර්යයන් පිළිබඳ ගෞරවය හිමිවන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බව ය. එහෙත් එවන් උදාර වූ කාර්ය භාරයක් පිළිබඳව ආඩම්බර වීමේ හැකියාවක් එක්සත් ජාතික පක්‍ෂයට නැත. එම පක්‍ෂය විසින් උරුම කරගෙන ඇත්තේ නිදහස් අධ්‍යාපනයට එරෙහිවීම, ජාතිවාදී ගැටුම් ඇතිකිරීම, සමාජය තුළ භීෂණය වැපිරීම, සමාජ අස්ථාවරත්වය ඇතිකිරීම, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා දුර්වලකිරීම, සමස්ත සමාජය ම ආර්ථික අගාධයකට තල්ලූ කරදැමීම වැනි දුර්දාන්ත කාර්යයන්ට මග කැපීමේ ඉතිහාසයකි.

1947 වර්ෂයෙන් පසු මෙ රට දේශපාලන ඉතිහාසය සමාජ දේශපාලනික ඇසින් විමසන විට පැහැදිලි වන කරුණ වනුයේ ගැමි, කෘෂිකාර්මික, ස්වදේශීය සමාජ තීරුවට පක්‍ෂය විවෘත කිරීමේ පක්‍ෂයේ නිර්මාතෘවරුන්ගේ අපේක්‍ෂාව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් සිය ඉතිහාසය තුළ දී සාක්‍ෂාත් කරගත් බව ය. තව ද පක්‍ෂ නායකත්වය හරහා රාජ්‍ය නායකත්වයට පත්වීමේ වරම ද රටේ විවිධ පාර්ශ්ව වෙත හිමිකර දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමත් වී තිබේ. පක්‍ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව දශක කිහිපයක් බණ්ඩාරනායක පවුල සතුව තිබුණු පක්‍ෂයේ නායකත්වයත් ඒ හරහා උරුම කරගත් රාජ්‍ය නායකත්වයත් දකුණේ ගිරුවාපත්තුවේ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ මහතා හිමිකර ගත්තේ ය. ඉක්බිතිව පක්‍ෂ නායකත්වය ද රාජ්‍ය නායකත්වය ද රජරට තමන්කඩුව පොලොන්නරුවට හිමිවිය. ඒ ගොවි ජන පදනමක් සහිත මෛත‍්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂ නායකත්වයටත් රාජ්‍ය නායකත්වයටත් පත්වීමෙනි. මේ අනුව පොදු ජනතාව අතුරෙන් මතු වූ අයකුට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔස්සේ රාජ්‍ය නායකත්වයට පත්විය හැකිය යන පක්‍ෂ නිර්මාතෘවරුන්ගේ අපේක්‍ෂාව යථාර්ථයක් බවට පත්කිරීමට පක්‍ෂය සමත් විය.

එහෙත් 20 වැනි සියවස මුල් භාගයේ මෙ රට සිටි ඉහළ ම ධන කුවේරයා වූ ආටිගල මුදලිගේ දියණියන් තිදෙනා විවාහ කරගත් සේනානායක පවුලත්, කොතලාවල පවුලත්, ජයවර්ධන පවුලත් වටා තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය කේන්ද්‍රගත වී තිබේ. ඉතා කෙටි කාලයකට එම බලය බිඳදැමීමට රණසිංහ පේ‍්‍රමදාස මහතා සමත් වූයේ මාර යුද්ධයක නිරතවීමෙනි. එහෙත් එම වෙනස ද ඉතා කෙටි කාලයක් තුළ අවසන් කෙරිණි. එහෙයින් තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ බලය සංකේන්ද්‍රණය වී ඇත්තේ උක්ත ඥාති බැම්මෙන් බැඳුණු පවුල් කිහිපය අතර ඉතාමත් වැඩවසම් ආකාරයකිනි.

පක්‍ෂ නිර්මාතෘවරුන් අපේක්‍ෂා කළ සමාජ සහභාගීත්ව සාධකය පොදු මහජනතාව විසින් දෙවැනි තැනෙහි ලා සලකන වාතාවරණයක් මැද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට යම් අර්බුදයකට මුහුණ පා තිබේ. මේ වන විට පක්‍ෂය මුහුණ පා සිටින යථාර්ථය එයයි. මෙවර පවත්වනු ලබන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 68 වැනි සංවත්සරයට සමගාමීව මේ පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් ඇති කරවීමට අපි ක‍්‍රියා කළ යුතු වන්නෙමු.

තව ද 20 වැනි සියවස උදාවේ සිට ලෝකවාසී පීඩිත ජනතාවට මහත් බලාපොරොත්තු ඇති කළ ”සමාජවාදී ලෝකය” පිළිබඳ සිහිනය 80 දශකය අග භාගයේ දී මිලින වී ගියේ සෝවියට් දේශයේ බිඳවැටීමත් සමඟ ය. නූතන ගෝලීයකරණය සංදර්භයට අනුරූපව සමාජවාදී සංකල්පය අර්ථ නිරූපණය කිරීමට මහජන චීනය සමත් වී තිබේ. ජාතිකවාදී පදනමක් මත අර්ථ දැක්වුණු චීනයේ සමාජවාදී අත්දැකීම් කියුබාව, වියට්නාමය වැනි රටවල සමාජවාදී පක්‍ෂ විසින් සමාලෝචනය කරමින් සිටියි. ලෝකවාසී අධිරාජ්‍ය විරෝධී මහජනවාදී, ස්වදේශිකවාදී දේශපාලන ව්‍යාපාර ද මෙම සමාලෝචනයට එක් විය යුතුව තිබේ.

ආරම්භයේ සිට ම තමන් උරුම කරගත් ජාතික නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙළක් සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පෙනී සිටිය යුතු ය. ජාතිකවාදී ස්වදේශීය සංහිඳියාවේ අවශ්‍යතා යළි යළිත් පෝෂණය කළ යුතු ය. කල්ලි, කණ්ඩායම්, පුද්ගලයන් කෙරෙහි විශ්වාස කිරීමට යොමුවීමේ අනතුරින් ජනතාව මුදවා ගෙන ප‍්‍රතිපත්ති, මතවාද, සංකල්ප වටා සකස් කෙරුණු සුපැහැදිලි ජාතික. ප‍්‍රතිපත්ති මාලාවක් වටා ඔවුන් ඒකරාශී කළ යුතු ය. මෙම අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා වන පැහැදිලි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමත් ඒ සඳහා සියලූ දේශ හිතෛෂි වාමවාදී බලවේග සමගි මාවතට කැඳවාගෙන ඒමත් 68 වැනි සංවත්සරය සමරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධානතම වගකීම් වනු ඇත්තේ ය.

මහාචාර්ය
රෝහණ ලක්‍ෂමන් පියදාස

advertistmentadvertistment
advertistmentadvertistment