ශ්‍රී පාදය දේශ ගවේශකයන්ගේ ඇසින් දකිමු…

482

ලෝකයේ කඳු ශිඛර අප‍්‍රමාණව තිබේ. එහෙත් ශී‍්‍ර පාදස්ථානය පිහිටි ‘සමනල’ කන්ද තරම් ගෞරව සම්මානයට හා පූජනීයත්වයට පත් වූ වෙනත් ස්ථානයක් නැති බව පැහැදිලිය. වර්ෂයකට හය මසක් තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ වැඳුම් පිදුම්වලට ලක් වී ඇති ශී‍්‍ර පාදස්ථානය පිහිටි ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට අඩි 7420 කි.

හිමාලය කන්ද ලෝකයේ සුප‍්‍රකට කඳු ශිඛරයකි. හින්දුන්ට හිමාලය යම්තාක් අගනේද බෞද්ධයන්ට සමනල කන්ද ඒ හා සමානය. ‘‘සමන්ත කූට, සුමන කූට, සමන්ගිර හා ශී‍්‍ර පාදස්ථානය’’ නමැති නම්වලින් හඳුන්වන සමනල කන්දෙහි බෞද්ධ ඉතිහාසය බුද්ධ කාලය දක්වාම දිවයන්නකි. බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩිය අවස්ථාවේ සබරගමුවේ ප‍්‍රාන්ත නායකයාව සිටි සුමන සමන් නරපතියාගේ ආරාධනයෙන් සමනල කඳු මුදුනේ වම් ශී‍්‍ර පාද ලාංඡනය පිහිටු වූ බව බෞද්ධයන්ගේ මතයයි. ඒ බව සනාථ කරන ඓතිහාසික වාර්තා රාශියකි. ඒ අතරින් ‘මහාවංශයහි’ ඇති වාර්තා ප‍්‍රමුඛස්ථානයක් ගනී.

සිරිපා වන්දනා වාරය ඇරැඹෙන්නේ උඳුවප් මස පුන් පෝය දිනයෙන්ය. වෙසක් මස පුන් පෝය දිනයෙන් අවසන්වන සිරිපා වන්දනාව ආරම්භ වූයේ කුමන කාලයකදී දැයි ස්ථිරවම කිව නොහැකිය. නමුත් II වන සියවසේ සිට සිරිපා වන්දනාව ඇරඹුන බවට සාධක හමුවේ කි‍්‍ර.ව. 1055-1110 දක්වා පොලොන්නරුවේ රජ කළ මහා විජයබාහු රජතුමා පිහිටුවා ඇති ‘අඹගමුව’ සෙල්ලිපියෙන් ඒ බව පැහැදිලි වේ. මහා විජයබාහු රජතුුමා ශී‍්‍ර පාදස්ථානය වෙනුවෙන් කරන ලද සේවාව එහි සඳහන් වී ඇත. එතුමාගේ වන්දනා ගමනින් පසු දේශීය රජවරු සහ රාජ්‍ය නායකයෝ බොහෝ දෙනෙක් සිරිපා වන්දනාවේ ගිය බවට ලිඛිත සාධක බොහෝය. ඈත අතීතයේ සිට මෙහි පැමිණි දේශ ගවේෂකයන්, විවිධ ගත් කතුවරුන්, කවියන් හා වෙළෙන්දන් වැනි අය සිරිපා වන්දනාවේ ගිය බවට සාධක තිබේ. ඔවුන් පැමිණ සිරිපා වැඳ සිරිපා ලාංඡනය ගැන විවිධාකාර අදහස් ප‍්‍රකාශකර ඇත.

ඇතැමුන් ආරංචි මාත‍්‍රයෙන් පමණක් සිරිපා ලාංඡනය ගැන ප‍්‍රලාප දොඩා ඇති බව පැහැදිලි වේ. ඉතිහාසයෙහි සඳහන්වන පරිදි සිරිපා වැඳීමට ගිය ප‍්‍රථම විදේශිකයා ලෙස ගී‍්‍රක ජාතික මහා ඇලෙක්සැන්ඩර් රජු (කි‍්‍ර.පූ. 323) විදේශිකයන්ගේ නාම ලේඛනයෙහි සඳහන්ව ඇත. මෙම රජු සිරිපා වන්දනාවේ ගොස් ‘මහගිරිදඹේ’’ ගල් පඩි කප්පවා සිරිපා මළුවට නැඟ්ග බවට ‘‘අෂ්රාජ්’’ නමැති පර්සියානු කවියා සඳහන් කර තිබේ. තවද ඇලෙක්සැන්ඩර් රජු මහගිරදඹේ නැඟීමට පහසු කරලීමට ගලවිද දම්වැල් දැමූ බව ජනප‍්‍රවාදයේ පවතී.

ශ්‍රී පාදය දේශ ගවේශකයන්ගේ ඇසින් දකිමු…

කී‍්‍රව. 30 දී පමණ කාශ්මීරයේ රජ කළ ‘‘මේඝවර්ණ’’ රජු සමනල කන්ද තරණය කළ බවත් එතුමා ආපසු යන ගමනේදී එරටෙහි වැවක් බැඳීම සඳහා මෙරටින් සිංහල තරුණයන් පිරිසක් රැගෙන ගිය බව ‘‘රාජ තරංගනී’’ නම් කෘතියෙහි සඳහන් වේ.

චීන ජාතික ‘‘පාහියන්’’ නමැති භික්ෂුව කි‍්‍ර.ව. 412 දී පමණ ලක්දිව චාරිකා කරමින් සිට සිරිපා වන්දනා කිරීමට ගිය තොරතුරු ස්වකීය චාරිකා සටහනෙහි විස්තර කර ඇත. උන්වහන්සේගේ සටහනෙහි සඳහන් වන්නේ ‘‘සමන් ගිරේ’’ මෙන්ම ‘‘නාගදීපයෙහි’’ සිරිපා සටහන් ඇති බවයි.

හත්වන සියවසෙහි මැද භාගයේදී ලක්දිවට වැඩිය චීන ජාතික ‘‘වජිරබෝධි’’ නමැති භික්ෂූන් වහන්සේ අනුරාධපුර මහා විහාරයේ වසමින් ලංකාවේ තොරතුරු රැස් කළ අතර එම තොරතුරු තුළ ශී‍්‍ර පාදස්ථානය ගැන කරුණු අන්තර්ගතයට තිබේ.

චීන ජාතික ‘‘හ්‍යුංසාන්’ ලක්දිවට පැමිණියේ හත්වන සියවසේදීය. ඔහු සඳහන්කර ඇත්තේ ලක්දිව නිරිත දිග පිහිටි සිරිපා සටහන සහිත ලංකා පර්වතයේදී බුදුරජාණන් වහන්සේ ‘‘ලංකාවකර සූත‍්‍රය’’ දේශනා කළ බවය.

අරාබි ජාතික ‘‘සුලෙයිමාන්’’ නමැත්තා දේශාටනයේ යෙදුණේ කි‍්‍ර.ව. 851 දීය. ඔහු ලංකාව හඳුන්වා ඇත්තේ ‘‘සෙරන්ඩිබ්’’ යන නාමයෙනි. සමනල කන්ද හඳුන්වා ඇත්තේ ‘‘අල් රුහුන්’’ යනුවෙනි. එහි අදහස වූයේ රෝහණ පර්වතය යන්නයි. පාපයේ සාපයට දඬුවම් වශයෙන් ‘‘ආදම්’’ ස්වර්ගයෙන් බැහැර කළ පසු ඔහු තනි පයින් මෙම කඳු මුදුනෙහි විසූ බවත්, එසේ සිටීම නිසා ඔහුගේ පා සටහන ගලේ එබී ගිය බවත් ඉස්ලාමිකයන් විශ්වාස කරන බව සුලෙයිමාන් සඳහන් කර ඇත.

අපරදිග සංචාරකයන් කිහිප දෙනෙක් සිරිපා වන්දනාවේ ගොස් ඒ පිළිබඳ වාර්තා තබා තිබේ. ඒ අය අතරින් ‘‘මාර්කෝ පෝලෝ’’ නමැත්තා කි‍්‍ර.ව. 1349 දී සිරිපා වන්දනාවේ ගොස් තබා ඇති සටහනේ කියැවෙන්නේ දම්වැල්වල සහාය නැතිව සමන්ගිර තරණය කිරීම අපහසු බවය.

ශ්‍රී පාදය දේශ ගවේශකයන්ගේ ඇසින් දකිමු…

සමනල කන්ද තරණය කර වැදගත් විස්තරයක් කරන අපරදිග සංචාරක පර්සියන් ජාතික ‘‘ඉබන්බතුතා’’ වැදගත් වේ. කි‍්‍ර. ව. 1325 දී ඔහු ලංකාවට පැමිණි සමයේ උතුර පාලනය කර ඇත්තේ ‘‘ආර්ය චක‍්‍රවර්තී’’ නමැති රජ කෙනෙකි. ඔහු ඉබන්බතුතාට සමන්ගිර තරණය කිරීම සඳහා පහසුකම් සැපයූ බව කියවේ. ඉබන්බතුතා සඳහන් කරනුයේ ඔහු මහගිරිදඹේ නඟිනවිට දම්වැල් දොළහක් තිබුණ බවකි. ඔහු පැමිණි වකවානුවේ සමන්ගිර ප‍්‍රදේශය පාලනයකර අත්තේ අලගක්කෝනාරය. බතුතා ඒ නම සඳහන් කර ඇත්තේ ‘‘අල්කෝනාර්’’ යන වචනයෙනි. තවද ඔහුගේ විස්තරයෙහි ‘‘කොන්තර’’ යනුවෙන් විශේෂ වචනයක් තිබේ. එයින් අදහස් කරනුයේ ‘‘රත්නපුර’’ විය හැකි බව ඉතිහාසඥයෝ විශ්වාස කරති.

ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කළ පෘතුගීසී ජාතික ‘‘වඩාරෝඩෝ බාර් බෝසාරා’’ නමැති නාවිකයා පවසා ඇත්තේ ලංකාවේ උස කඳු මුදුනට මුස්ලිම් වන්දනාකරුවන් අගය කරන ආදම්ගේ පාදය යයි සලකන පා සටහනක් ඇති බවය.

පෘතුගිසි ජාතික ‘රුබයිරෝ’ නැමති ඉතිහාසඥයා ලංකාවට පැමිණ ඇත්තේ 16 වන සියවසේය. ඔහු පවසා ඇත්තේ සමනල කන්ද ලොව ඇති අත්භූත කරුණු අතරින් එකක් බවය. ‘‘ක්වරෝස්’’ නමැති පෘතුගිසි ජාතික පූජකවරයා ලංකාවේ ඓතිහාසික තොරතුරු ලේඛනගත කිරීමේදී සඳහන් කර ඇත්තේ එවකට චීනයේ සිටි රජෙකු විසින් ශී‍්‍ර පාදස්ථානයට පූජා කිරීම පිණිස රන් කලං දහසක් සහ රිදී කලං පන් දහසක් සත්වෙනි විජයබාහු රජු වෙත එව්ව පුවතකි.

ලංකාවේ සිරකරුවෙකු ලෙස ‘‘රොබට් නොක්ස්’’ කන්ද උඩරට විසුවේ දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේය. ඔහු ලංකාව ගැන විස්තර ලියා ඇති ග‍්‍රන්ථයේ ශී‍්‍ර පාදස්ථානය ගැන මෙසේ සඳහන් කර ඇත. ‘‘මේ දිවයිනෙහි උස් යැයි සම්මත කන්ද පිහිටා ඇත්තේ කන්ද උඩරටට දකුණෙනි. මෙයට සිංහල භාෂාවෙන් ‘‘සමනල’’ යැයි කියනු ලැබේ. එහෙත් පෘතුගිසීන් විසින් හා යුරෝපීයන් විසින් මෙයට ‘‘ඇඩම්ස් පීක්’’ යැයි කියනු ලැබේ. එය සීනිපාන් ගෙඩියක් මෙන් ක‍්‍රමයෙන් සිහින්ය. එහි මුදුනේ මිනිසෙකුගේ වැනි එයට වඩා විශාල අඩි දෙකක් පමණ දිග වූ පා සටහනක් තිබේ.’’

ඉංගී‍්‍රසි ජාතික ‘‘ටැනන්ට්’’ නමැති පඬිවරයා සමන්ගිර මුදුනේදී දක්නට ලැබන සිත්කලූ දර්ශනය හා සමාන දර්ශනයක් ලොව අන් කිසිම තැනක දී දක්නට නොලැබෙන බව පවසා තිබේ.

‘‘ජෝන් ස්ටිල්’’ මහතා ‘‘ජංගල් ටයිඞ්’’ (වන ප‍්‍රවාහය) නමැති ග‍්‍රන්ථය ලියමින් සිරිපා අඩවිය නොයෙක් තැන්වල ඇවිද ගවේෂණය කළ අයෙකි. ඔහු මෙම ප‍්‍රදේශයේ එක් ගලකට පැමිණි විට එයින් මහත් හඬක් නැඟුන බවත්, එම ගලෙහි ඇත් රූපයක් හා ඇඟිලි හයක් සහිත දිගු කළ අතක ලාංඡනයක් කොටා ඇති බවත් කියයි. ඒ වගේම ‘‘බෑණ සමනල’’ කඳු පාමුල ගල් ගුහා රාශියක් ඇති බව සඳහන් කරයි.

‘‘ගෝඞ් ඔෆ් ඇඩම්ස්පීක්’’ නමැති ග‍්‍රන්ථය ලියූ ඉංගී‍්‍රසි ජාතික ‘‘විලයම් ස්කින්’’ සමනල කන්ද ගැන විශාල විස්තරයක් එම ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත. ඔහුගේ කෘතියෙහි සමන් දෙවිඳු ගැන වැඩි විස්තරයක් සඳහන් වේ.

මේ හැර විදේශික සංචාරකයෝ තවත් විශාල පිරිසක් සමනල කන්ද තරණයකර තිබේ. ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ශී‍්‍ර පාද ලාංඡනය ගැන විවිධ මත ඉදිරිපත්කර ඇති අතර එම පා සටහනේ විශාලත්වය පිළිබඳ විවිධ වූ ප‍්‍රමාණයන් ඉදිරිපත්කර තිබේ. ඒ අනුව කි‍්‍ර. ව. 10 වන ශත වර්ෂයේ සමන්ගිර තරණය කළ චීන ජාතික ‘‘මාවෝජුකුටා’’ සඳහන් කරනුයේ පාද ලාංඡනය අඩි 10 කට වඩා දිගු බවකි.

කි‍්‍ර.ව. 129 දී සමනල කන්ද තරණය කළ ‘‘ජෝන් ද මරිඤ්ඤෝලී’’ නමැති බිෂොප්වරයා මෙම පා සටහනහි දිග අත්ලෙන් දෙක හමාරක් ( 2 1/2) බව කියා තිබේ. එමෙන්ම කි‍්‍ර.ව. 1347 පැමිණි ඉබන්බතුතා පවසනු ලබන්නේ මෙම පා සටහන වියත් 11 ක් (අඩි 5 1/2) දිග බවකි. කි‍්‍ර.ව. 14 වැනි සියවසෙහි ඉංගී‍්‍රසි ජාතික ‘‘ජෝන් මැන්ඩවිල්’’ සමන්ගිර තරණය කර ලියා ඇති සටහනේ පාද ලාංඡනයෙහි දිග අඩි 8 ක් ලෙසත් ගැඹුර අඩි 2 ක් ලෙසත් සඳහන් කර ඇත.

දෙවැනි රාජසිංහ රජ සමයෙහි මෙරට හිරකාරයෙකුව සිටි ‘‘රොබට් නොක්ස්’’ (කි‍්‍ර.ව. 1660 – 1679) පාද සටහන අඩි 5 1/2 කින් යුක්ත බව ඔහු ලියූ ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. කි‍්‍ර.ව. 1819 දී සමනල කන්ද තරණය කළ ඉංගී‍්‍රසි ජාතික ‘‘මාර්ෂල්’’ ගේ සටහනක ලියවී ඇත්තේ එම පාද ලාංඡනය අඩි 5 1/2 ක් දිග ලෙසය. තවද කි‍්‍ර.ව. 1829 දී ‘‘ටැනන්ට්’’ නම් වූ ඉංගී‍්‍රසි ජාතික පඬිවරයා සමන්ගිර තරණය කර එම පා සලකුණෙහි දිග අඩි 2 බව සඳහන් කර තිබේ.

පුරාණයේ සිට විදේශීය සංචාරකයෝ සමන්ගිර තරණය කර ශී‍්‍ර පාදස්ථානය පිළිබඳ විවිධ මත ඉදිරිපත් කර තිබේ. කෝටි සංඛ්‍යාත ජනතාවතගේ ගෞරවයට පාත‍්‍ර වී ඇති සමනල කඳු ශිඛරය තරණය කරන වාරය එළැඹී තිබේ. වෙනත් වාරවලදී මෙන් නොව මෙම වන්දනා වාරයෙදී සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් පරිසරය සුරකමින් බැතිබරව වන්දනාමාන කිරීමට අපි වග බලා ගනිමු.

පරකඩුවේ
සෝමපාල මෙනේරිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment