ශ්‍රී ලංකාවට එරෙහිව උතුරෙන් අලුත් තුරුම්පුවක්… ඩයස්පෝරාවත් හවුල්

2451

ජනපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන සැලසුම දියත්කළ
රේවතන්ගේ නම ඉන්ටර්පෝල් ලයිස්තුවෙන් ඉවත් වේ

ශ‍්‍රී ලංකා රජය කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් නම් කළේය. එහෙත් කැනඩා කොටි ඩයස්පෝරාව ප‍්‍රමුඛ කොටි හිතවාදී ගැරී ආනන්ද සංගරී අගමැති ජස්ටින් ටෲඩෝ ලවා සුමංගල ඩයස්ව එරට පිළිගන්නේ නැතැයි කියා සිටියේය. මේ නිසා මාස කීපයක් තිස්සේ එරටදී ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට තානාපතිවරයකු සිටියේ නැත.

අවස්ථාව පැමිණි බව තේරුම් ගත් ඔන්ඩාරියෝ නගර සභාවේ කොටි හිතවාදී මන්ත‍්‍රී විජේ තනබාලසිංහම් නගර සභා මන්ත‍්‍රීවරු ලවා ශ‍්‍රී ලංකාවට එරෙහිව ද්‍රවිඩ සමූල ඝාතන පනතක් සම්මත කරගනු ලැබීය.

මෙලෙස ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වුවත් කැනඩා රජය තම නීතිපති ලවා එය නතර කිරීමට කි‍්‍රයා කළේ නැත. කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකෙන්සිද ඒ ගැන ශ‍්‍රී ලංකා රජයට දැනුම් දුන්නේ නැත. මේ පසුබිම මැද රජය කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයකු ලෙස හර්ෂ කුමාර නවරත්න නමැත්තෙක් පත් කළේය.

මේ පත් කිරීම සවනය වූ කැනඩාවේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීහු බරපතළ කම්පාවකට පත්වූහ.

මේ හර්ෂ කුමාර කවුද? 2002 ඊනියා ඔස්ලෝ ගිවිසුමේ සිවිල් කි‍්‍රයාකාරකම් ප‍්‍රධානියකු ලෙස කටයුතු කළේ මොහුයි. මොහු ආරම්භ කළ සේවා ලංකා පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජ්‍ය සභාපති ලෙස වේලූපිල්ලේ රේවතන් නමැති කොටියෙක් පත්වී තිබුණි. ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලීම පවරා තිබුණේ මොහුටය. බත්තරමුල්ලේ නිවසක පදිංචිව සිටි රේවතන්ගේ වාහනය යාපනයේ සිට කොළඹ එද්දී පරීක්‍ෂාවට පවා ලක්වූයේ නැත.

මේ ඝාතන සැලසුම හෙළිවීමත් සමඟම රේවතන් ඉන්දියාවට පැන ගියේය. එහෙත් හර්ෂ කුමාර නමැත්තා දේශපාලන බලවතෙකු නිසා ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමක් සිදුවූයේ නැත. මේ තත්ත්වය මැද ඉන්ටර්පෝල් පොලිසිය රේවතන්ගේ ඡායාරූපය පළකරමින් රතු නිවේදනය ප‍්‍රකාශයට පත් කළේය. 2017 නොවැම්බර් 03 වැනිදා ‘ඉරිදා දිවයින’ ආරක්‍ෂක විශේෂාංගයේ රේවතන්ගේ ඡායාරූපය පළවිය. මේ වේලූපිල්ලේ රේවතන් ගැන අද වනතුරු විමර්ශන සිදු නොවීය. එහෙත් රජය සහ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ ගැන නොදනී. රේවතන් සේවය කළේ හර්ෂ කුමාර නවරත්නගේ සේවා ලංකා පදනමේ බවත් වාර්තා වූයේ නැත.

මේ පසුබිම මැද හර්ෂ කුමාර එකවරම කැනඩාවේ මහ කොමසාරිස් ලෙස පත්කරනු ලැබුවේ කාගේ වුවමනාවකටද?

ඔහුගේ නම පාර්ලිමේන්තු කමිටුව ද අනුමත කර තිබේ.

එහෙත් සේවා ලංකා පදනමට වේලූපිල්ලේ රේවතන් ඇතුළු වූයේ කෙසේද? ඔහු සහ හර්ෂ කුමාර නවරත්න අතර සබඳතාවය කුමක්ද යැයි විමර්ශනයක් සිදුනොවූවත් බුද්ධි අංශ වලට රේවතන්ගේ පසුබිම අනාවරණය වී තිබුණි. මේ අතර ඔස්ලෝ ගිවිසුමට මුල්වූ හර්ෂ කුමාර වත්මන් රජය විසින් කැනඩාවේ මහ කොමසාරිස් ලෙස පත්කිරීම දේශපේ‍්‍රමීන්ට ගැසූ කනේ පහරක් විය.

රේවතන්ගේ කොටි මෙහෙයුම් ගැන සෙවීම නතර කිරීමට සිදුවූයේ යහපාලන රජයට පෙර පැවැති රජයේ ප‍්‍රබල දේශපාලකයකු තමන්ට අවශ්‍ය පරිදි නැටවූ පුද්ගලයකු නිසා බව බුද්ධි අංශ ආරංචි මාර්ග තවදුරටත් හෙළි කළේය. මේ අතර කොටි ඩයස්පෝරාව මෙන්ම කොටි හිතවාදී මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරී හර්ෂ කුමාර නවරත්නගේ පත්වීමට එරෙහිවී නැත. එසේම රේවතන්ගේ නම ඉන්ටර්පෝල් ලැයිස්තුවෙන්ද ඉවත්වී ඇත. එය සිදු වූයේ පසුගිය යහපාලන රජය සමයේය. මෙවන් පසුබිමක් මැද නෝර්වේ, කොටි ගිවිසුමට උරදුන් හර්ෂ කුමාර වත්මන් රජය යටතේ කැනඩා මහ කොමාරිස් ධුරයට පත් කිරීමට නිර්දේශ කළේ කවුද? ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවන අවස්ථාවේ ඔහු ඊට එරෙහිව හඬනැ`ගුවේ නැත. වසර ගණනාවක් තිස්සේ දේශපේ‍්‍රමීහු ජිනීවා ගොස් කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සමඟ වාද විවාද ඇතිකර ගනිමින් යුද අපරාධ චෝදනා සාවද්‍ය බව පවසද්දී හර්ෂ කුමාරගෙන් ඊට සහයක් ලැබුණේ නැත. එවන් පසුබිමක් මැද මොහුගේ පත්වීම දේශපේ‍්‍රමීන් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙයට වසර කීපයකට පෙර බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරා ප‍්‍රධානීන් අතර පැවැති රහස් සාකච්ඡාවකදී වන්නි මෙහෙයුමට ද්‍රවිඩ සමූල ඝාතනය යැයි නම් කළ යුතු බවට තීරණය විය. 2011 දෙසැම්බර් මස නෙදර්ලන්ත පාර්ලිමේන්තුවට ජන සංහාර පනතක් ඉදිරිපත් වී සම්මත විය. ඉන්පසු ලන්ඩන් – ටොරොන්ඩෝ පැරිස් ඇතුළු කොටි ඩයස්පෝරාව සිටින නගරවල වන්නි මෙහෙයුම වෙනුවට ද්‍රවිඩ සමූල ඝාතන මෙහෙයුමක් දියත්වූ බවට පුළුල් ලෙස ප‍්‍රචාරය විය.

ඉන් පෙන්නුම් කළේ කොටි සංවිධානයේ ත‍්‍රස්ත කි‍්‍රයා වසංකර ශ‍්‍රී ලංකා හමුදාව උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කර වූ බවයි.

මෙවන් පසුබිමක් මැද ඔන්ටාරියෝ නගර සභාව සම්මත කළ ද්‍රවිඩ සමූල ඝාතන පනත හෙවත් 70 – 104 ක නම්වූ පනත සම්මත කර ඊට ආණ්ඩුකාරවරිය ද අත්සන් තැබුවාය. එහෙත් කැනඩා නීතිපතිවරයා එම නීති විරෝධී පනතට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැත. කැනඩා අගමැති ජෙගන් ටෲඩෝ සහ කොටි හිතවාදී මන්ත‍්‍රී ගැරී ආන්ද සංගරිගේ දැඩි බලපෑම් ඊට හේතු විය.

ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් අතර කැනඩාව ද වේ. මේ අතර විදේශ කටයුතු ඇමැති ජී එල් පීරිස් මෙරට කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකෙන්සි හමුවී ද්‍රවිඩ සමූල ඝාතන පනත සම්මත වීමට ඉඩදීම ගැන කනගාටුව පළ කළේය.

එහෙත් කැනඩා මහ කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවට පක්‍ෂපාතී අයකු නොවේ. කැනඩාවේ ගෝත‍්‍රික කාන්තාවන් සහ ගෝත‍්‍රික ළමුන් දහස් ගණනක් සමූල ඝාතනය වීමත් ඇෆ්ගනිස්තානයේ සේවය කළ කැනඩා භටයන්ට යුද අපරාධ චෝදනා එල්ලවීම ගැනත් කැනඩා අගමැති ටෲඩෝගේ අවධානයට යොමුවී නැත.

එසේම කොටි අවි ජාලයේ ප‍්‍රධානී කනගරාජා රවිශංකර්ට වව්නියා මහාධිකරණයෙන් තිස් වසරක සිරදඬුවමක් නියම විය. රවිශංකර් විගස කැනඩාවට පැන ගියේය.

අගමැති ටෲඩෝගේ රජය මේ අපරාධකරුට එරට දේශපාලන රැකවරණ දුන්නේය. ශ‍්‍රී ලංකා පොලිසිය රවිශංකර්ට ඉන්ටර්පෝල් වරෙන්තුවක් ප‍්‍රකාශයට පත්කර ඔහුව මෙරටට එවන ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප විය.

එසේම ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් දේශපාලකයන්ගේ නම් සඳහන් වූ පැන්ඩෝරා ලියැවිලි ප‍්‍රකාශයට පත්වූවත් කැනඩා කොටි ජාලයට එරට නෝමාස් කෝෂියා, කැනඩා ට‍්‍රස්ට් සහ රෝයල් බෑන්ක් යන ආයතනවල බැංකු ගිණුම් තිබුණත් එම තොරතුරු වසන් විය. කැනඩා රහස් පොලිසියේ ත‍්‍රීබල් මෙහෙයුමින් කැනඩා කොටි ජාලය ඩොලර් මිලියන 3 ක් සිංගප්පූරු මුදල් හුවමාරුව වෙත එවා තිබූ බව අනාවරණය විය. මෙම ත‍්‍රීබල් මෙහෙයුමින් කැනඩාව කොටි පාරාදීසයක් බවද තහවුරු විය. 2009 මැයි 18 දා වන්නි මෙහෙයුම අවසන් වන විට කැනඩාවේ ඬේවිඞ් ජුලියන් ඇතුළු කොටි සිව්දෙනෙක් හමුදාවට අසුවී තිබුණි.

මෙම කැනඩා ද්‍රවිඩයන් සිව්දෙනා කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් මුදාගෙන ආපසු එරටට යවනු ලැබූහ.

මේ අතර කැනඩා අගමැති ටෲඩෝ ශ‍්‍රී ලංකා හමුදා නායකයන්ට එරෙහිව හයිබි‍්‍රඞ් අධිකරණය මගින් දඬුවම් කළ යුතු යැයි පවසා ඇත.

එසේම කොටි හිතවාදී කැනඩා මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරී යහපාලන රජය සමයේ උතුරට පැමිණියේය. ඔහු එහිදී පැවසුවේ වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්ට ජාත්‍යන්තර අධිකරණය මගින් දඬුවම් කළ යුතු බවකි. ත‍්‍රීබල් මෙහෙයුමින් සොයාගත් රහස් ලියැවිලි වලින් කොටි නැව් හතරක තොරතුරු ද හෙළි විය. මේ නැව් පාලනය කරන ලද්දේ රවි ශංකර් හෙවත් සංකිලිය. මේ අතර කොටින්ට අරමුදල් සැපයීමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වූ ලෝක ද්‍රවිඩ සංවිධානය පසුබිමේ අරමුදල් සපයන ලද්දේ අම්බාල් ටේ‍්‍රඩින් සමාගමයි. එහි ශාඛාවක් මෙරට ද තිබුණත් එදා සිටි රජය එම සමාගමේ කොටස්කරුවන් ගෙන් ප‍්‍රශ්න කළේ නැත. මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ ගුවන් හමුදාව සතු එම් අයි 24 සහ කෆීර් යානා විනාශ කිරීම සඳහා මිසයිල ලබාදෙන ලෙස ප‍්‍රභාකරන් කළ ඉල්ලීම අඩංගු වීඩියෝ තැටියක් ද කැනඩා පොලිසියට හමුවිය. මේ සඳහා කැනඩාවේ කොටි හිතවාදියකු වූ සුරේන් ස්කන්ධරාජා දියත් කළ සැලසුම ඇමෙරිකානු එෆ් බී අයි පොලිසියට අසුවිය.

නිව්යෝර්ක් අධිකරණය ඔහුට වසර 2 ක සිරදඬුවමක් නියම කළේය. එහෙත් පුදුමයට හේතුවන සිද්ධියක් හෙළි විය. ඒ ශ‍්‍රී ලංකා රජය එම කොටි කි‍්‍රයාකාරිකයාට එල්ල වී ඇති චෝදනා ඉවත්කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලිපියක් එවීමයි.

මේ ලිපිය යැව්වේ කවුදැයි අදවන තුරු හෙළිවී නැත.

ශ්‍රී ලංකාවට එරෙහිව උතුරෙන් අලුත් තුරුම්පුවක්… ඩයස්පෝරාවත් හවුල්

ද්‍රවිඩ ජනතාව සමඟ සංහිඳියා කි‍්‍රයා මාර්ගයකට අවතීර්ණ වන නිසා වෝටර්ලූ සුරේන් හෙවත් සුරේෂ් ස්කන්ධරාජාට එරෙහි චෝදනා අහෝසි කරන ලෙස 2013 නොවැම්බර් මස ඇමෙරිකාවට යැවූ එම ලිපියේ සඳහන් විය. මෙම ලිපිය ගැන ශ‍්‍රී ලංකාවේ ජනතාවට වසන් වූවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිටි ද්‍රෝහියෙක් ඊට සම්බන්ධ බව හෙළි විය.

මේ අතර කැනඩාවේ ප‍්‍රභාකරන් ලෙස හඳුන්වනු ලැබූ හිටපු මන්ත‍්‍රී නේතන් ශාන් හිටපු මන්ත‍්‍රිනී රාධිකා සීතා සබෙෂන්, ටොරොන්ඩෝ නගරාධිපති ජෝන් ටෝරි සහ ටොරොන්ඩෝ හිටපු පොලිස් ප‍්‍රධානියාට ද මෙරටට පැමිණ මුල්ලිවයික්කාල් යෑමට යහපාලන රජය අවසර දුන්නේය. යහපාලන රජය සමයේ ශ‍්‍රී ලංකාවේ සතුරන්ට මෙරටට ඒමට ඉඩ ලැබෙද්දී ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවට එරෙහි සිය පළිගැනීමේ මෙහෙයුම දිගටම දියත් කළාය. ඇය මේ සතියේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව තම විමර්ශන වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තෙවැනි කමිටුවට ඉදිරිපත් කළාය. එම වාර්තාවේ සඳහන් වූයේ ඇගේ නිර්දේශයයි. මේ නිර්දේශ කුමක් දැයි හෙළිවී නැතත් ඇය දක්වා ඇති ප‍්‍රධාන නිර්දේශය ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධරීන් 28 දෙනා යුද අපරාධවලට වගකිව යුතු බවයි. එසේම අතුරුදන්වූවන් ගැන ද ශ‍්‍රී ලංකා රජය වගවීම දැරිය යුතු බව ද බැෂලේ නිර්දේශ කර ඇතැයි වාර්තා විය. එහෙත් අතුරුදන්වූවන් ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව යන රටවල සිටින අතර ඒ ගැන ඇය විමර්ශනය කර නැත. ශ‍්‍රී ලංකා හමුදාව ඝාතනය කළ බව දැක්වූ කොටි කාන්තාවන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපට දැකගත හැකි විය. මෙම කාන්තාවන්ගේ ඡායාරූප සහිතව අප අතුරුදන්වූවන් ගැන අනාවරණය කළත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය යොමුවූයේ නැත.

අතුරුදන්වූවන් ගැන මානව හිමිකම් කොමසාරිස් බැෂලේ ශ‍්‍රී ලංකාවට චෝදනා එල්ල කරද්දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කිසිදු බලධාරියෙක් ඊට අභියෝග කිරීමට මේ දක්වාම ඉදිරිපත් වූයේ නැත.

මෙම අතුරුදන් වුණේ කවුරුන්ද? ඔවුන් පදිංචිව සිටියේ කුමන පළාතේ හෝ නගරයේද? මොවුන්ගේ ඥාතීහු කවුරුන්ද? මෙකී ප‍්‍රශ්න වලට ද්‍රවිඩ සන්ධානයද අද වනතුරු ප‍්‍රතිචාර දක්වා නොමැත. එසේම යුරෝපා රටවල සිටින ද්‍රවිඩයන් කවුද? මේ ශ‍්‍රී ලාංකික ද්‍රවිඩයන් ගැන කිසිම යුරෝපා රටක් ශ‍්‍රී ලංකා රජයට හෙළිකර නැත. අතුරුදන්වූවන් ගැන විමර්ශන කරන්නේ ස්විට්සර්ලන්තයේ සිටින සිංහල ද්‍රවිඩ දේශපාලන රැකවරණ ලබන්නන් බව නිදසුන් ලෙස දැක්විය හැකිය. මේ අතුරුදන්වූවෝ දේශපාලන සිරකරුවන් ලෙස ස්විට්සර්ලන්තයේ පෙනී සිටිති. පියා – බිරිය පුත‍්‍රයා දියණිය ද දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වාගනිමින් ස්විට්සර්ලන්තයේ සිටින්නේ නම් කවර කතාද?

ස්විස් ප‍්‍රිබුන් නුවර සිටින ශ‍්‍රී ලාංකික ගුරුවරියක් ස්විස් මාධ්‍යවලට පැවසුවේ මිනිසුන් මරා මහමග දමා ඇති අයුරු තමා දුටු බවත්ය. ස්විස් සංක‍්‍රමණික කාර්යාල මේ තක්කඩි ශ‍්‍රී ලාංකිකයන් කරන ප‍්‍රකාශ පිළිගෙන ඇත.

එම ප‍්‍රකාශවලට සහතික දී ඇත්තේ ඇතැම් දේශපාලකයන්ය. කොටි ඩයස්පෝරාවේ බොරු ද්‍රවිඩ සමූල ඝාතනය කැනඩාවේ සිට ඉතාලියේ පැලර්ටෝ නගරය දක්වා ව්‍යාප්ත වී පැලර්ටෝ නගර සභාව ද ද්‍රවිඩ සමූල ඝාතනය පිළිගනිද්දී අපේ ඉතාලි තානාපති ද බලා සිටියේය. පැලර්ටෝ නගරයේ කොටි හිතවාදීන් විශාල සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ට නගරාධිපති ලියෝ ලූකා ඔර්ලන්ඩෝ තම ග‍්‍රහණයට ගැනීමට හැකි විය. පැලර්ටෝගි ඩෙලි ප්ලාසා සංකීර්ණයේ පැවැති උත්සවයකදී ද්‍රවිඩ සමූල ඝාතන අවබෝධතා ගිවිසුමක් ද අත්සන්කර ඇත. මේ සමූල ඝාතන යෝජනාව නගරාධිපති වෙත යොමුකර ඇත්තේ මාරියා සින්නයියා නාගරික මන්ත‍්‍රීවරියයි. ඇය පසුබිමේ සිටියේ ඉතාලි ද්‍රවිඩ සංගමයය, ගියෝවානි ඊළාම් තරුණ සංගමයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව උතුරෙන් අලුත් තුරුම්පුවක්… ඩයස්පෝරාවත් හවුල්

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය ඇමතූ නගරාධිපති ඔර්ලන්ටෝ නිල යෝජනාවක් ඉදිරිපත් කිරීමටත් යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමටත් තමා කි‍්‍රයාකරන බව පවසා ඇත. මෙලෙස පැලර්ටෝ නගරාධිපති කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම ඉටුකරද්දී මිලානෝ මොදර්නා ඇතුළු නගර කීපයක සිංහලයන් රජයට එරෙහිව ජිනීවාහි විරෝධතාවයක් දියත් කරනු ලැබීය. එහෙත් ඊට සහභාගි වූයේ සුළු පිරිසකි.

advertistmentadvertistment