ශ්‍රී ලංකාවේ දේශීය කෘෂිකර්මය හා දේශිය වෛද්‍ය ක්‍රමය

77

මේ ලිපිය පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් කැලණිය දුම්රියපළ පාරට සම්බන්ධ ගැමුණු මාවතේ පිහිටි පඤ්ඤානන්ද ධර්මායතනයේ පැවැති දේශීය වෛද්‍ය සභා සාකච්ඡාවකට සහභාගී වූ ප‍්‍රධාන පෙළේ දේශීය වෛද්‍යවරයෙක් මෙන්ම ලංකාවේ දේශීය සටන් ක‍්‍රමය වූ අංගම්පොර ශිල්පයේ විශිෂ්ටතමයාවන යූ. පී. උක්වත්ත මහතා සමග කළ සාකච්ඡාවකට මුල් වූ පෙරවදන හා ධම්මවිජය හිමියන්වන ම විසින් අසන ලද ප‍්‍රශ්න මත පදනම්වූවකි.

වසර දෙදහස් පන්සියයක් ඉක්මවා ඇති ශ‍්‍රී ලංකා ඉතිහාසය දීපවංශ, මහාවංශාදී වංශකතාකරුවන් විසින් ලේඛනගත කරන ලද්දකි. ඉන්දියාවේ බුද්ධ කාලයේ පටන් අශෝක අධිරාජයා දක්වා ඉතිහාසය ඉන්දියානු ජනතාවට ලැබුණේ මහාවංශය කියවූ ඇලෙක්සැන්ඩර් කණිංහැම් හා එක්ව ඊට අදාළ සෙල්ලිපි කියවූ ජේම්ස් ප‍්‍රින්සෙප් නිසාවෙනි. ඇලෙක්සැන්ඩර් කණිංහැම්ගේ මුණුබුරෙකු වූ මහාචාර්ය රොබින් කණිංහැම් මහතා ලූම්බිණි සල්උයනේ තිබී පසින් වැසීගිය සුවිශේෂ සල්ගසේ අවශේෂයන් සොයාගෙන සිදුහත් උපත පිළිබඳ මහාවංශයේ එන පුවත විද්‍යාත්මක ලෙස තහවුරු කරන තුරු යුරෝපීය ඉතිහාසඥයන් විශ්වාස කළේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක‍්‍රටීස්, පයිතරගස් හා පොටගෝරස් ආදි ගී‍්‍රක්වරුන් බුදු හිමියන්ට වඩා පැරණි අය ලෙසයි. එහෙත් ලංකාවේ වංශකථා ගත සත්‍යය මහාචාර්ය රොබින් කණිංහැම්ගේ විද්‍යාත්මක සොයාගැනීමත් සමග එතෙක් ග‍්‍රීක ඉතිහාසය ඉහළින් තැබූ ඉතිහාසඥයන් ද පිළිගෙන තිබේ. ලංකා ඉතිහාසය ඉංග‍්‍රීසියට නැඟූ ඉංග‍්‍රීසි ජාතික කොඞ්රින්ටන් හා ජර්මන් ජාතික විල්හෙල්ම් ගයිගර් ලංකා ඉතිහාසය යුරෝපීයයන් හමුවේ ගෙනහැර දක්වා තිබේ. මහාවංශයට අනුව ගෞතම බුදු හිමියන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවට ගොඩබට විජය කුමාරු ඇතුළු පිරිස ලක්වැසි යක්‍ෂ, නාග, දේව ආදී දේශීය ජනතාවන් මත පදනම් වී සිංහල ජාතිය ගොඩනැඟු බව ප‍්‍රකාශ වී තිබේ. වසර දෙදහස් හයසියයක් තරම් පැරණි වූ සිංහලේ උදාර ඉතිහාසය තුළ ලංකා භූමියෙන් තුනෙන් දෙකක් තරම් වූ වියළි කලාපයේ ගොඩනැඟුණු තිස්දාහක් පමණවන ලොකු, කුඩා හා මධ්‍යම ප‍්‍රමාණ වැව් සහ හැටදාහක් පමණවන ඇළවේලි මත පදනම් වී පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් විරුදාවලිය ලැබූ සෞභාග්‍යවත් සමාජය ගොඩනැඟුණු බව ලොවම පිළිගන්නා සත්‍යයක් වී තිබේ. මිගාර සෙන්පතියාගේ කතාවට මුලා වී තම පියාගේ වස්තුව ඉල්ලූ කාශ්‍යපගෙන් එල්ල වූ මරණ තර්ජනය හමුවේ පවා තමාසතු එකම වස්තුව කලාවැවේ රැස්කළ ජලය යැයි ප‍්‍රකාශ කළ ධාතුසේන රජතුමා විසින් කරවන ලද යෝධ ඇළ ( ජයගඟ) ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව මගින් තහවුරුකර ඇත.

මේ ලිපිය ලියන ම විසින් අසන ලද ප‍්‍රශ්න

ශ්‍රී ලංකාවේ දේශීය කෘෂිකර්මය හා දේශිය වෛද්‍ය ක්‍රමය
  1. ලංකා ඉතිහාසය ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, පෘතුගීසි, ස්පාඤ්ඤ, ලන්දේසි, ජර්මන් හා රුසියානු ඉතිහාසය මෙන් දෙගුණයක් තරම් පැරණියි නේද?
  2. වසර දෙදහස් හයසියයක් ඉක්මවූ ලංකාවේ සිංහල ජනතාව ජීවත් වූයේ බි‍්‍රතාන්‍යය පාලන සමයේ ලංකාවට එංගලන්තයෙන් ගෙනා ඇලොපති වෛද්‍ය ක‍්‍රමයෙන්වත් ජර්මන් හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමයෙන්වත් නොවන බව පිළිනොගන්නේ කවරෙක්ද? ලක්වැසි ජනතාව ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති නීරෝගී ජනතාවක් වූයේ දේශීය වෛද්‍ය ක‍්‍රමයක් ජාතික වූ කෘෂිකර්මයත් නිසා නොවේද?
  3. තවමත් ලංකා භූමියෙන් සියයට හැත්තෑවක් පමණ ප‍්‍රදේශයක් ග‍්‍රාමීය හා වන පරිසරයන් සහිත බිමක් නේද? ලංකාවේ භූමියෙන් සියයට විස්සක් පමණ අර්ධ නාගරික (අර්ධග‍්‍රාමීය) ප‍්‍රදේශවන අතර මහ නගර භූමි ප‍්‍රමාණය ලක් බිමෙන් සියයට දහයකට වැඩි නෑ නොවේද?
  4. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ ජනගහනයෙන් සියයට අසූවක් තරම් ප‍්‍රමාණයක් නාගරිකයන් වෙද්දී ලංකාවේ ජනගහනයෙන් සියයට අනූවක් තරම් ප‍්‍රමාණයක් ග‍්‍රාමීය හා අර්ධ නාගරික වීමේ අගය මතුවන්නේ ඒ හා බැඳුණු සොබා පරිසරය නිසා නේද?
  5. මොනරාගල දිස්ත‍්‍රික්කයේ නිල්ගල ඔසු උයන හා ගාලූ දිස්ත‍්‍රික්කයේ කන්නැලිය ඔසු උයන වැනි ඔසු උයන් රටේ ප‍්‍රදේශයවල කරවූ මහා වෛද්‍ය බෝසත් බුද්ධදාස රජතුමා ගමින් ගමට වෛද්‍යවරු පත්කර ගම් දහයකට එක් කුඩා වෛද්‍ය ස්ථානයක් හා ගම් සියයකට එකක් බැගින් රෝහල් කරවූයේ දේශීය වෛද්‍ය ක‍්‍රමයේ පදනම මත පිහිටා නේද?
  6. ලක්වැසි ජනතාවට අවශ්‍ය දේශීය ඖෂධවලින් වැඩිම ප‍්‍රමාණයක් සොයා ගන්නේ ගෙවතුවල වැවෙන ගස්, වැල් පැළෑටිවල දලූ, කොළ, මල්, පොතු හා මුල් ආදියෙන් නේද? ගම්වැසියන් අඟුල් ආධාර හා ආඩතෝඩ නමින් හඳුන්වන පාවට්ටා ගසට අඟුල් ආධාර නම ලැබුණේ ගෙවත්තේ පස සේදී යෑම වැළැක්වීමට පාවට්ටා ගස උපයෝගී කරගත් නිසානේද? ගස් දිගේ ඇඳී අතු දක්වා වැඩෙන රසකිඳ, කිරිඅඟුණ ආදී ඖෂධීය වැල්වර්ග ගැන නොදන්නා ගැමියෙකු සිටී නම් ඒ බටහිර අනුකාරයකු වන්නෙක් පමණක් නේද?
  7. කොඬොල, හිඟුරල හා රාජල වැනි වැල් වර්ග පවා ඖෂධීය ගුණයෙන් යුතු පෝෂ්‍යදායක ආහාර ලෙස ජනතාව අතර ප‍්‍රකට වී තිබෙනවා නේද? වෙල් ආශ‍්‍රිතව වගා කරන ඉන්නල පවා රසගුණ ආහාරයක් බව නොදන්නේ කවරෙක්ද?
  8. නැෙඟනහිර පළාතට අයත් මඩකලපුවට කිට්ටුවෙන් පිහිටි රජරට ප‍්‍රදේශවන මින්නේරිය, හිඟුරක්ගොඩ, පොලොන්නරුව හා තිරිකුණාමලයට කිට්ටුවෙන් පිහිටි කන්තලේ සරුසාර ගොවිබිම් නේද? මඩකලපු දිස්ත‍්‍රික්කයට අයත් ඕට්ටමාවඩි, කාත්තන්කුඩි හා කලවංචිකඩි වැනි ප‍්‍රදේශවල මුස්ලිම් ජනයා දිගු කලක් ජීවත් වූයේත් මින්නේරිය, හිඟුරක්ගොඩ හා පොලොන්නරුව ප‍්‍රදේශවලින් ලැබුණු ආහාරවලින් නේද?
  9. අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් කල්මුණේ, අක්කරපත්තු හා සම්මාන්තුරෙයි ප‍්‍රදේශවල දෙමළ, මුස්ලිම්, ජනතාවටත් අවශ්‍ය තරමට සහල් ලැබෙන්නේ දිගාමඩුල්ලේ සිංහල ගොවි ජනතාවගෙන් නේද? දිගාමඩුල්ලේ නැති දේශීය ඖෂධ වර්ග පවා ලැබෙන්නේ දිගාමඩුල්ලට කිට්ටුවෙන් පිහිටි සියඹලාණ්ඩුව (සියඹලන්දූව) වැනි මොනරාගල දිස්ත‍්‍රික්කයට අයත් වනගත ප‍්‍රදේශවලින් නේද?
  10. රත්නපුර දිස්ත‍්‍රික්කයේ සිට දෙණියාය දක්වා විහිදෙන සිංහරාජ වනයේ නැති ඖෂධ වර්ග මොනවාද?
  11. බෑනසමනල, කුණුදිය පවර්වත, ගවරවිල හා සමනලකඳු පෙදෙසට අයත් බිම්වල නොවැවෙන්නේ වියළි කලාපයට විශේෂ වූ ඖෂධ වර්ග පමණක් නේද?
  12. මුළු සබරගමුවත් ඌව පළාතත් දේශීය ඔසු උයන් බිමක ස්වභාවය ගැනීමට හරස් වී ඇත්තේ තේ, රබර් වගාව පමණක් නේද? ගිනිගත්හේන, කිතුල්ගල, කළුගල, රුවන්වැල්ල, යටියන්තොට, දෙහි ඕවිට, ඇහැළියගොඩ, ගැටහැත්ත, වෙලන්ගල්ල, දිගෝව, පරගොඩ, කුරුවිට,එරත්න ප‍්‍රදේශවල පැතුරුණු වන ඔසු වර්ග කියා නිම කළ හැකිද?
  13. කිතුල්ගල වැනි ප‍්‍රදේශ හා බැඳුණු කිතුල් හකුරු හා කිතුල් පැණි ඖෂධීය ගුණයෙන් යුතු පැණිරස කෑම බීම නේද?
  14. කුඹුක්කන, ඔක්කම්පිටිය, හැබබැස්ස, යාල වන බිම, වැල්ලවාය, රන්දෙණිගල ප‍්‍රදේශවල වැවෙන ඖෂධීය ගස්, වැල්, පැළෑටි වියළි තෙත් කලාප දෙකට ම පොදු ඒවා නොවේද?
  15. ඈ කාරය නොකියවෙන දෙමළ ජනව්‍යවහාරය අනුව වව්නියාව බවට පත් වී ඇති වැව්නියාව නැමැති රජරට උතුරේ සරුබිම ඖෂධීය පැළෑටිවලින් පිරුණු සාර භූමියක් නේද? උතුරු ලංකාවේ ධාන්‍ය ගබඩාවන් මහවැව්වලින් (මහා කුලම්වලින්) සමන්විත ප‍්‍රදේශය මාන්කුලම්වූයේ දෙමළ ඌරුවට අනුව හැඩගැසීම නිසා නේද? එසේ වූවත් නැෙඟනහිර උතුර සීමාවට අයත් තිරිකුණාමලෙන් සේරුවිලට කිට්ටු කන්තලෙත් දෙමළ ඌරුවට වෙනස් නොවුණේ සේරුවිල පින්බිමේ ආශිර්වාදය නිසාද? ඉන්දියන් සාගරයේ මුතු ඇටයවන් සුන්දර ශ‍්‍රී ලංකාවට ඓතිහාසික උද්‍යාන භූමියක් වූ අතර එසේම අනාගතයේත් ලොවටම ආදර්ශයක් වියයුතු නොවේද?

පූජ්‍ය මාලේවන ධම්මවිජය හිමි
(පෙර අනගාරික ධර්මසේකරතුමා)

advertistmentadvertistment