ශ්‍රේෂ්ඨ භාරත පුත‍්‍ර මහත්මා ගාන්ධි

1121

ඔක්තෝබර් 02දාට (අදට) යෙදෙන 152 වන ජන්ම සමරුව නිමිත්තෙනි.

මහත්මා ගාන්ධි නම් ශ්‍රේෂ්ඨයා එක් ජාතියකට එක් ආගමකට, එක් දේශයකට අයත් වූ පුද්ගලයෙකු නොව මුළු විශ්වයටත්, මානව සංහතියටත් අයත් වූ විශ්වාන්තරවාදී මනුස්ස රත්නයකි. මහා භාරතය හෙවත් ඉන්දියාව ලොවම බබළන්නා සුවිශේෂී පුද්ගලයන් විශ්වයටම දායාද කළ දේශයකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාධිරාජ ධර්මාශෝක, ස්වාමි විවේකානන්ද, රවීන්ද්‍රනාත් තාගෝර්, ශ‍්‍රී නේරු, සර්ව පල්ලි රාධ ක‍්‍රිෂ්ණන්, ආචාර්ය විනෝභා භාවේ සහ සත්‍ය ශ‍්‍රී සායි බාබා එයින් කිහිප දෙනෙකි. මෙම මිනිස් මුතු වැලේ තවත් සුවිශේෂී මුතු ඇටයකි මොහන්දාස් කර්මචාන් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධිතුමා.

මෙයට වසර 152 ට පෙර 1869 ඔක්තෝබර් මස 02 දින උපත ලද මහත්මා ගාන්ධිතුමාගේ සම්පූර්ණ නාමය වූයේ මෝහන්දාස් කර්මචාන්ද් ගාන්ධිය. මොහු මහත්මා ගාන්ධි ලෙස නම් කළේ රවීන්ද්‍රනාත් තාගෝරයන් විසිනි.

මහා ආත්මයක් ඇති පුද්ගලයා යන්න මහත්මා යන්නෙන් අර්ථ ගැන්විනි. දෙවියෙක් නොවුණත් දෙවියෙක් බඳු තත්ත්වයට පත් වූ මහත්මා ගාන්ධි මුළු ලෝකයේම ගෞරව පුද සත්කාරය ගරු බහුමන් ලබන පුද්ගලයකු බවට පත් වූයේ ඔහුගේ දර්ශනයත් ක‍්‍රියා පිළිවෙතත් නිසාය.

ශ්‍රේෂ්ඨ භාරත පුත‍්‍ර මහත්මා ගාන්ධි

එක් අවස්ථාවකදී ඉංග‍්‍රීසි ආණ්ඩුව ගාන්ධිට විරුද්ධව නඩු පැවරුවේය. නඩුව විභාගයට ගැනිනි. නඩුව විභාග වෙද්දි රජයේ ඇටර්නි ජනරාල්වරයා ගාන්ධිට චෝදනා කළේ ඉන්දියාවේ සියලූම මිනිස් ඝාතනවලට වගකිවයුත්තා ගාන්ධි ලෙස නම් කරමිනි. ගාන්ධි සිනාසෙමින් ඔහුගේ

වාග් ප‍්‍රහාරවලට සවන් දුන්හ. අවසානයේ විනිශ්චයාසනයේ සිටි විනිසුරුවරයා මෙසේ පැවසුවේ උසාවියේ සිටි සියලූ දෙනාම මවිතයට පත් කරමිනි. ”මහතාණෙනි ඔබ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු ලෙස මම පිළිගනිමි. ඔබ මිනිසෙකු නොවේ සාන්තුවරයෙකි. නමුත් මහත්මයාණනි, මම යුක්තිය ඉටු කළ යුතු වෙමි. එබැවින් මට සිදු වී ඇත්තේ ඔබට සාමාන්‍ය මිනිසකු ලෙස සලකා කටයුතු කිරීමටයි.” එවිට සිය කතාව අරඹමින් ගාන්ධිතුමා ප‍්‍රකාශ කළේ, ”ස්වාමිනි මා ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ ලොව සිටිනා ඉතාම දුර්වල මිනිසා ලෙසටයි’ යැයි යනුවෙනි.

ශ්‍රේෂ්ඨ භාරත පුත‍්‍ර මහත්මා ගාන්ධි

ලෝකයා ගාන්ධිතුමා කොපමණ බලවතා ලෙස සැලකුවද ඔහු එයින් හිස උදුම්මවා ගත්තේ නැත. ඔහු සැම තැනම සරල මිනිසකු විය. වරක් ගාන්ධි සාමාන්‍ය ඇඳුමින් සැරසී ගමනක් යනවා දුටුවිට ඔහු හමු වූ ගමේ ප‍්‍රභූවරයෙකු ගාන්ධිගෙන් විමසුවේ ඔබ ඔය වගේ දුප්පත් මිනිසෙකු වගේ ගමේ සැරිසරන්නේ ඇයි යනුවෙනි. ”මම කොහොම ඇඳලා ගියත් මේ ගමේ මිනිස්සු මම ගැන දන්නවා නොවැයි” ගාන්ධි පිළිතුරු දුන්හ. ”නැහැ මම දැකලා තියෙනවා ගමෙන් පිට පළාත්වලත් ඔය විදියටම ඇඳගෙන සැරි සරනවා.

”ආ එහෙමද ඉතින් ඒ මිනිස්සු මම කවුද කියලා දන්නෙ නෑනේ.” ගාන්ධිගේ පිළිතුර විය. ගාන්ධි කිසිවිටෙක දුම්රියේ පළවෙනි හෝ දෙවෙනි පන්තියේ ගියේ නැත. ඔහු දුම්රියේ ගියේ සෑම විටකම තුන්වන පන්තියේ සාමාන්‍ය මිනිසුන් සමගය. ගාන්ධිටත් දුම්රියේ පළවෙනි පන්තියේ යාමට සියලූ සුදුසුකම් තිබුණත් ඔහු මෙසේ ගමන් කිරීම ඔහුගේ හිතවතුන්ට ප‍්‍රශ්නයක් විය. දවසක් දුම්රියේ තුන්වන පන්තියේ යාමට ප‍්‍රවේශ පත‍්‍රයක් ගෙන නැවතුම්පළේ සිටින ගාන්ධිගෙන් හිතවතෙකු විමසුවේ ඇයි ඔබ දුම්රියේ තුන්වන පන්තියේම ගමන් කරන්නේ කියාය. ගාන්ධි දුන් පිළිතුරින් හිතවතා තුෂ්නිම්භූත විය. මම තුන්වන පන්තියේ යන්නේ හතරවැනි පන්තියක් දුම්රියේ නැති නිසා යැයි ඔහු පිළිවදන් දුනි. ගාන්ධි ඒ තරමට සරල විය. ගාන්ධි මේ තරමට සරල වූයේ ඉන්දියාවේ තිබූ දුක්ඛිත සමාජ තත්ත්වය අවබෝධ කරගත් නායකයකු නිසාය. ඉන්දියාවේ ජනගහනයෙන් ලක්ෂ ගණන් දරුවෝ එකල ජීවත් වූයේ අඳින්න රෙදි කඩක් නොමැතිව නග්න ස්වභාවයෙනි. මහජනයා ජීවත් වූයේ අඩ නිරුවත්වය. උඩු කය වසා ගැනීමෙන් තොරවය. මෙවන් මිනිසුන්ගෙන් ගහණ වූ ඉන්දියාවේ ජීවත් වන ගාන්ධි සුපිරි ඇඳුමෙන් සැරසී ඔවුන් අතරට යාම ලජ්ජාවක් ලෙස සැලකුවේය. එලෙසම ඉන්දියාවේ ජනතාවට එදා තුන්වේල සපයා ගැනීම අපහසු විය. දරුවෝ මන්දපෝෂණයෙන් පෙළුණි. ඇවිදින ඇටසැකිළි මෙන් සිටි ජනයා කොපමණ කුසගිනි තිබුණද සතුන් මරාගෙන කෑවේ නැත. දෙවියන් වෙනුවෙන් දැක්වූයේ පුදුම භක්තියකි. ගාන්ධි මේ සිරිත් අනුගමනය කළේ ඉතා බැතිබරවය. ගාන්ධිගේ ආහාර වේල ඉතා සරල එකකි. මස් මාංශ අනුභව නොකළ මෙතුමා ආහාරයට ගත්තේ එළවළු පමණි. රට ඉඳි සහ එළු කිරිද, දොඩම් යුෂ හෝ පලතුරු යුෂ වීදුරුවක් ඔහුගේ ආහාර වේල විය. දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය ඔහු පිළිකුල් කළේය. හින්දු දහම ඔහු ගරු කළ ආගමික දර්ශනය විය. නමුත් බුදුන් වහන්සේට ගාන්ධි තුළ තිබූ ගෞරවය ඉමහත්ය. ගාන්ධි මාක්ස්වාදය හෙළා දැක්කේය. සමාජවාදය ගොඩනැගෙන්නේ හිංසාව තුළින් බව ගාන්ධිගේ අදහස විය. කඩව්, මරව්, බිඳිව්, දියව් ආදී අණ කිරීම් ගාන්ධිගේ බස් වහර තුළ නොවිනි. ගාන්ධි අවිහිංසාවේ ගැඹුරටම ගිය කෙනෙකු විය. ඔහුගේ මුළු මහත් දර්ශනයේම ප‍්‍රධාන බලවේගය වූයේ අවිහිංසාවය. ඔහු තම හිතවතාටත් විරුද්ධවාදියාටත් සැලකුවේ එම අවිහිංසා ධර්මයෙනි. මුළු මහත් ඉන්දියාවටම මෙම ධර්මය හුරු පුරුදු කළ යුතු බව ඔහුගේ අදහස විය. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන්ට අවිහිංසාවෙන් පිළිතුරු දිය යුතු බව ගාන්ධි මහා බි‍්‍රතාන්‍යයට උපදෙස් දුන්නේය. නැතිනම් ලක්ෂ ගණනක් මිනිස් ජීවිත ලොවට අහිමි වීම වැළැක්වීය නොහැකි බව ගාන්ධිගේ අදහස විය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉන්දියාව ගලවා ගැනීමට ගාන්ධි ඉදිරියට ගෙනා ප‍්‍රබලම අවිය වූයේ අවිහිංසාවාදයයි. වර්ෂ 1858 වසරේදී ඉන්දියාව එංගලන්තයේ අධිරාජිනිය වූ වික්ටෝරියා රැුජිණගේ බලයට නතු විය. එයින් වසර 11 කට පසු ඉන්දියා නිදහසේ පියා වූ ගාන්ධි උපත ලැබීය.

ඉංග‍්‍රීසි පාලනය ඉන්දියාවේ ජනතාවගේ සිත් සතන් සිත් ගත්තක් නොවින. ඔවුන් දිනෙන් දිනම ඉන්දියාවේ අභිමානය හෑල්ලූ කළහ. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොළනියක් ලෙස පාලනය වන ඉන්දියාවේ ජීවත් වූ අභිමානවත් බ‍්‍රාහ්මණ, ක්ෂත‍්‍රීය, වෛශ්‍ය හා හරිජන කුලවල ජනතාව පරගැති පාලනය තුළින් මිදෙන්නට වෙර දැරූහ. එම සටනට අධ්‍යාත්මිකව හා දාර්ශනික නායකත්වය දීමට ඉදිරියට පැමිණියේ වෛශ්‍ය කුලයෙන් බිහි වූ මහත්මා ගාන්ධිය. ඔහුට එක් වූ ප‍්‍රධාන සටන් සගයා වනුයේ බ‍්‍රාහ්මණ වංශිකයෙකුව සිටි ජවහර්ලාල් ශ‍්‍රී නේරුය. ගාන්ධි නම් ඉන්දියාව ය. ඉන්දියාව නම් ගාන්ධිය. ගාන්ධිගේ හා ඉන්දියාවේ වෙනසක් නැත. එබැවින් ගාන්ධිට ගරු කිරීම ඉන්දියාවට දක්වන ගරුත්වයකි. දේශපාලනය යනු තවත් අයෙකු පරාජය කිරීමට වෙර දරන තැනක් ලෙස ඔහු හැඳින් වූයේය. රටේ නිදහස දිනා ගැනීමට උපවාසය, සත්‍යග‍්‍රහය හා පා ගමන්වල යෙදීම යන ත‍්‍රිත්වය ගාන්ධිගේ

අවිහිංසා ක‍්‍රියාමාර්ගයන් විය. එංගලන්තය, ඉන්දියාවේදී බිහි වූ ප‍්‍රධානම ආයුධ 3 මෙය විය. ගාන්ධි හා නේරු වැනි ඉන්දීය නායකයන් මෙහෙයවන නිදහස් සටනේ උණුසුම ලංකාවට ද දැනිනි. ලංකා ජාතික සංගමය ගොඩ නැගීමට ඉන්දියාවේ ද ආදර්ශයක් ලැබෙන්නට ඇතැයි සිතිය හැක. ඉන්දීය නිදහස් සටනේ ලංකාවේ සිටි වාමාංශික නායකයන් වූ ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. සිල්වා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන හා සෙලීනා පෙරේරා යන අයගේද

සහය හිමි විය. ඉන්දියාවේ ස්වදේශීය ව්‍යාපාරය ආදර්ශයට ගත් ලංකාවේ ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයන් දේශීය චින්තනයට අනුව ජාතික ඇඳුම තෝරා ගත්හ. බර්නාර්ඞ් අලූවිහාරේ, මුදියන්සේ තෙන්නකෝන් වැනි දේශපාලකයන් ගාන්ධිගේ අඩිපාරේම ගමන් කරන නායකයන් විය. ඔවුන් ගාන්ධිගේ ඇඳුම ද ගාන්ධි භාවිතා කළ තොප්පියද භාවිතයට ගෙන තිබුණි. මහත්මා ගාන්ධි ඇතුළු ඉන්දීය දේශමාමක අවිහිංසාවාදී විප්ලවය නිසා 1947 අගෝස්තු මසදී ඉන්දියාවට නිදහස ලැබිණි. නිදහස් ඉන්දියාවේ නිදහස් සුවය විඳිමින් ජීවත් වීමට ගාන්ධිට නිදහස ලැබුණේ මාස කිහිපයකි. ඒ අනුව සිත් පිත් නොමැති හින්දු අන්තවාදියකු විසින් යාඥා මෙහෙයකට එමින් සිටි ගාන්ධිට 1948 ජනවාරි 30 වෙනිදා වෙඩි තැබීය.

පළමු වෙඩිල්ල ගාන්ධිගේ කකුලට වැදුණු අතර දෙවන වෙඩි තැබීමෙන් ඔහු බිමට ඇද වැටුණි. තෙවැනි වෙඩි තැබීමත් සමග මොහු සදහටම දෙනෙත් පියා ගත්හ. ගාන්ධි ලෝකයට අහිමි වී ගෙවී යන්නේ 73 වැනි වසරයි. ඔහු උපත ලබා වසර 152 කි. ඔහු මිය ගියත් ඉන්දියාවේ ජීවත් වූ ගාන්ධි මේ වන විට ලෝකයේම පුරවැසියෙකු වී අවසානය. ඔහු අදත් රටෙන් රට ජීවත් වේ. ඒ ශ්‍රේෂ්ඨම මිනිස් රත්නයක් ලෙසයි.

ලංකාවට ද ගාන්ධි පැමිණ ජනතාවගේ නිදහස් අරගලය උද්‍යෝගිමත් කිරීමට ක‍්‍රියා කළහ. ගාන්ධි ඇසුරු කළ ලාංකික නායකයන් ඉන්දියාවට නිදහස ලැබීමට වසරකට පමණ පෙර ලංකාවේ ප‍්‍රබලම දේශපාලන සංවිධානය වූ එක්සත් ජාතික පක්ෂය පිහිටු වූයේය. එම පක්ෂයේ ගාන්ධි අනුගමනය කළ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වූයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාය. එතුමා ඉන්දියා නිදහස් සටන පිළිබඳව මතකයෙන් කරුණු කාරණා ඉදිරිපත් කිරීමට තරම් දක්ෂයෙක් විය. ඔහු ඉන්දියා නිදහස් සටනේ උණුසුම ලංකාවේ නිදහස වෙනුවෙන් හේතු වුණු අයුරු තමන්ගේ වැදගත් දේශනවලදී ගලපා ඉදිරිපත් කළහ.

මහත්මා ගාන්ධිට ලංකාවෙන් ඉන්දියාවට ගොස් සිටි අනගාරික ධර්මපාලතුමන්ගෙන්ද බොහෝ විට උපදෙස් හා අනුග‍්‍රහයන් ලැබුණු බව ශ‍්‍රීමත් ධර්මපාල චරිතය කියවන විටදී අවබෝධ වේ. සමහර අවස්ථාවලදී ධර්මපාලතුමන් ගාන්ධිතුමාගේ ඇතැම් කටයුතු විවේචනය කළේ සත්භාවයෙනි. ඒ අවස්ථාවලදී මහත්මා ගාන්ධි හිස වනමින් ධර්මපාලතුමන්ගේ උපදෙස් පිළිගත් බව වැටහේ. මහත්මා ගාන්ධි ලංකාවට පැමිණි අවස්ථාවේදී දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයකට සහ එදා ලංකා නිදහස් සටනට උරදී ක‍්‍රියා කළ ජාතික නායකයන් කිහිපදෙනෙකුගේ

නිවාසවලට ද පැමිණි බව සඳහන් වේ. එසේ පැමිණි ගමනේදී ගාන්ධිතුමාගේ පාදස්පර්ශයෙන් සුපිරිසිදු වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ උගත් අයෙකු ලෙසද, මහත්මා ගාන්ධිගේ

දේශපාලන දර්ශනයෙන් පෝෂිත වූ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු ලෙස ද මා ගාන්ධිතුමන්ගේ මෙම 152 සමරුවේදී එතුමාගේ ශ‍්‍රී නාමය සිහිපත් කරමින් ගෞරව දක්වන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

1994 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද ගාන්ධිතුමන්ගේ මෙම පා ගමන් මෙහෙයුම ක‍්‍රියාවට නැංවූ නායකයෙකි.

එම පා ගමන් හැඳින්වූයේ ජනබල මෙහෙයුම ආදී නම් වලිනි. මහත්මා ගාන්ධිතුමන් නිතරම බලය බෙදීම පිළිබඳව දේශනා කළ අයෙකි. ග‍්‍රාම රාජ්‍ය සංකල්පය යන ගම නගා සිටුවමින් රට ගොඩනැගීමේ සංකල්පය එතුමා දැරූ අදහසකි. එම ග‍්‍රාම රාජ්‍ය සංකල්පය ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපත්ති සකස් කළ නායකයා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒ අනුව එතුමන් විසින් එම රජයේ ස්වදේශ කටයුතු භාර ඇමැතිවරයා වූ මා හට ඒ වගකීම පවරන ලදී. ඒ අනුව ගාන්ධිතුමන්ගේ දර්ශනයෙන් අප ලද ආභාෂය අනුව එම කටයුතු මා සැලසුම් කරේ ඉමහත් ප‍්‍රීතියෙනි. එය ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබීමේදී අපගේ රජය වෙනස් වූ හෙයින් අද ඒ උදාර සංකල්පය අප රට තුළ ක‍්‍රියාත්මක නොවීම රටම ලද අභාග්‍යයකි. ඉන්දියාවේ නායකයන් හා ලංකාවේ නායකයන් අතර පවතිනුයේ අනාදිමත් කාලයක සිට පැවත එන රාජ්‍ය තාන්ත‍්‍රික මිතු දමකි.

එය වඩාත් ඔප්නංවමින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි වත්මන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 1990 සුවසැරිය ගිලන්රථ සේවාව අපේ පාලන කාලයේදී මෙරටට පරිත්‍යාග කරන ලද්දේය. එය මෙම කොවිඞ් වසංගතයේදි අපිට පිහිට වූයේ සුරදූතයෙකු ලෙසය. මෙම සියලූ ක‍්‍රියාදාමයන් මහත්මා ගාන්ධිතුමන්ගේ ශ‍්‍රී නාමයට ගෞරවයක් ලෙස මා සලකමි.

ශ්‍රේෂ්ඨ භාරත පුත‍්‍ර මහත්මා ගාන්ධි
වජිර අබේවර්ධන,
සභාපති – එක්සත් ජාතික පක්ෂය
advertistmentadvertistment
advertistmentadvertistment