ශාකවල සෞඛ්‍යය මනින්න නාසාහි ශ්‍රී ලාංකික විද්‍යාඥයා හැදූ චන්ද්‍රිකාවක් ගුවනට

210

ශාකවලින් වාෂ්ප කෙරෙන ජල වාෂ්ප ප්‍රමාණය (උත්ස්වේදනය) අධෝරක්ත කිරණ මගින් ග්‍රහණය කරගෙන එම ශාකවල සෞඛ්‍ය තත්ත්වය (නිරෝගී බව) මැනිය හැකි විශේෂිත චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉකුත් 18 වැනිදා (බ්‍රහස්පතින්දා) අලුයම අභ්‍යවකාශගත කිරීමට ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර, නාසා ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාගේ මූලිකත්වයෙන් යුත් විද්‍යාඥයන් කණ්ඩායමක් කටයුතු කර ඇත.

‘හයිපස්පෙක්ට්‍රල් තර්මල් ඉමේජ්’ නමැති සිද්ධාන්තය ඔස්සේ මෙසේ පොළොව මත ඇති ශාකවලින් චන්ද්‍රිකාව ලබාගන්නා දත්ත මගින් ජලය අනවශ්‍ය භාවිතය වළකා, වගාවන්ට අවශ්‍ය ජල ප්‍රමාණය, අවශ්‍ය අවස්ථාවේදී නිකුත් කිරීමට මහා පරිමාණ වගා කටයුතු සිදු කරන ගොවීන්ට ඉතා නිවැරදි තොරතුරු ලබා දිය හැකි බවද, යම් වගාවක හෝ ශාකයක සෞඛ්‍ය තත්ත්වය මේ මගින් නිශ්චය කරගත හැකි බවද ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මේ දිනවල ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වෙන ”Beauty of Sri Lanka-2024” වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය සඳහා එක්ව සිටින මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් සමූහයක් 19 සිකුරාදා නාසා ආයතනයේ සිදුකරන්නට යෙදුණු සංචාරයේදී කරුණු දක්වමිනි. මෙම සංචාරයAmerica-Sri Lanka Photography and Art Society මගින් සංවිධානය කරන ලද අතර, ආචාර්ය සරත් ගුණපාල මහතාගේ මැදිහත්වීම මත නාසා ආයතනයේ විශේෂ නිරීක්ෂණ අවස්ථාවක් ශ්‍රී ලාංකික කණ්ඩායමට ලබාදී තිබිණි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ආචාර්ය සරත් ගුණපාල මහතා කියා සිටියේ නාසා ආයතනය මගින් ස්ථාපිත කරන ලද තමන්ගේ අධීක්ෂණයෙන් යුත් ‘මයික්‍රෝ ඩිවයිස් ඇන්ඩ් සෙන්සස්’ නමැති අංශය මගින් අභ්‍යවකාශයට මුදාහරින චන්ද්‍රකා ඇතුළු උපකරණවල අනවශ්‍ය බර සහ අනවශ්‍ය දත්ත ඉවත් කර ඒවා සැහැල්ලු තත්ත්වයට (SWAP-Size Waste And Power) පත්කිරීමට අදාළව කටයුතු ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී අභ්‍යවකාශගත කෙරෙන උපකරණ නව තාක්ෂණික නිමාවෙන් යුක්ත වනු ඇති බවත්ය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment