ශාන්ගේ බිරිඳ  රිමාන්ඩ්

504

මතුගම බාලිකා පාරේ නිවසක දී තුන්දරු මවකට ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් මතුගම පාතාලයේ නායකයා බව කියන ‘‘ශාන්’’ නමැත්තාගේ බිරිඳ ලබන මාර්තු මස 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම මහෙස්ත‍්‍රාත් ධම්මික උඩුවේවිදාන මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

තුන්දරු මවක වන චන්දිමා දිල්හානි පෙරේරා නමැති 40 හැවිරිදි කාන්තාව ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව නුගේගොඩ ප‍්‍රදේශයේ නිවසක සැ`ගවී සිටින බවට ලැබුණු තොරතුරක් මත පෙරේදා (24දා) රාත‍්‍රී එහි ගිය කළුතර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීහු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත්හ.

මතුගම පාතාලයේ කණ්ඩායම් දෙකක් අතර පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ කාන්තාවට සැකකාර කාන්තාව අවස්ථා හතරකදී දුරකථනයෙන් කථා කර මරණීය තර්ජන එල්ල කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සහ සැකකාර කාන්තාවගේ සැමියා වන ශාන් නැමැත්තා අතර කලක පටන් ආරවුලක් තිබූ බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාවට අයත් මතුගම නගරයේ පිහිටි වෙළෙඳසලක්ද මීට සති කීපයකට උඩදී ප‍්‍රහාරයට ලක්විය. එම ප‍්‍රහාරය එල්ල කර තිබුණේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සම්බන්ධ බව කියන පාතාල කල්ලිය විසින් බව හෙළි විය. මෙම සිද්ධියට එකට එක කිරීමක් ලෙස ප‍්‍රහාරය එල්ල කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඇත්තේ සැකකාර කාන්තාව විසින් බවද අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාවගේ සැමියා වන මතුගම ශාන් නමැත්තා මේ වනවිට ප‍්‍රදේශය අතහැර පලා ගොස් සිටින බවද පොලිසිය පවසයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment