“ඩයලොග් අභියෝග කුසලාන” රග්බි තරගාවලිය
දිවයිනේ ප්‍රමුඛතම පාසල් 16 ක සහභාගිත්වයෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” පාසල් අවුරුදු 19 න් පහළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ 07 වැනි සතියේ දෙවන දින තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගනිමින් කැපී පෙනෙන්නට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඉසිපතන විදුහල, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනී විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
ශාන්ත පීතර විදුහල මෙන්ම ඉසිපතන විදුහල ද ලීග් ක්‍රමයට ක්‍රියාත්මක වූ මෙවර මූලික වටයේ දී ප්‍රතිවාදී සියලුම පාසල් කණ්ඩායම් පරාජයට පත් කරමින් තම අපරාජිත බව ආරක්ෂාකර ගැනීමට සමත් වීම කැපී පෙණුනි.
මෙවර තරගාවලියේ “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල සමත් වන අතර වාරයේ දී “බී” කාණ්ඩයේ පෙරමුණ තහවුරු කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය. ඒ අනුව ඉසිපතන සහ ශාන්ත පීතර දෙවිදුහල් සටහන් කර ගෙන ඇති ජයග්‍රහණ ප්‍රමාණය 07 බැගිනි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙන සුපිරි සිව් දෙනාගේ වටයට අපහසුවකින් තොරව සුදුසුකම් ලබා ගැනීමට ශාන්ත පීතර විදුහලට මෙන්ම ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි.
මේ සති අන්තයේ දී ශාන්ත පීතර විදුහල හමුවේ මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 42 – 03 ක් ලෙස ද, කොළඹ ඉසිපතන විදුහල හමුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 41 – 27 ක් ලෙස ද, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල හමුවේ ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 39 – 12 ක් ලෙස ද, මහනුවර ශාන්ත අන්තෝනී විදුහල හමුවේ මහනුවර ශ්‍රී සුමංගල විදුහල ලකුණු 25 – 17 ක් ලෙස ද පරාජය ලැබීය.
මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් පළමු තරග 06 ම පරාජය ලැබූ ශාන්ත අන්තෝනි විදුහල පළමු ජයග්‍රහණය ඉකුත් ඉරිදා (04දා) සටහන් කර ගැනීමට සමත් වීම කැපී පෙණුනි. ඒ මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිවයි.
මූලික වටයේ දී ශාන්ත පීතර විදුහල ලකුණු ප්‍රමාණය 42 ක් ලබා ගන්නා අතර වාරයේ දී ඉසිපතන විදුහල ලකුණු 39 ක් වාර්තා කර ගැනීමට සමත් විය. රාජකීය විදුහල ලකුණු 35 ක් ද ත්‍රිත්ව විදුහල ලකුණු 32 ක් ද ලබා ගත්හ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර