ශාන්ත පීතර සහ ඉසිපතන අවසන් සටනට

80

ජනාධිපති කුසලාන රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බී සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද “ජනාධිපති කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බී තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙන අවසන් තරගය ඉරිදා (15) ප:ව: 04.00 ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඩයලොග් ආසියාටා සමාගමේ සංවිධාන ශක්තිය ඇතිව ක්‍රියාත්මක කෙරුණු මෙවර ලීග් තරගාවලියේ ශූරතාව තහවුරු කර ගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ලීග් අනු ශූරතාව හිමි කර ගත් කොළඹ ඉසිපතන විදුහල අතර මෙවර අවසන් තරගය පැවැත්වේ.

ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ප්‍රමුඛතම පිළිමළුන් පිටුදැකීමේ පාසල් අවුරුදු 19 න් පහළ රග්බී තරගාවලිය මෙය වන අතර එහි ශූරයන් වෙනුවෙන් “ජනාධිපති කුසලාන” ප්‍රදානය කෙරේ.

මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණ ඇතිව ඇතිව ශාන්ත පීතර, ඉසිපතන, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ වෙස්ලි, කොළඹ සහිරා සහ කොළඹ ඩී. එස්. සේනානායක යන විදුහල් සටන් වැදුණි.

“ජනාධිපති කුසලාන” පිළිමළුන් පිටුදැකීමේ රග්බී තරග ඉතිහාසය 1985 වසර දක්වා ඈතට දිවෙයි. එම කාලය තුළ වැඩි ගෞරව හිමිකර ගනිමින් පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල සමත්වී සිටී. ඉසිපතන විදුහල වසර 11 ක් ශූරතාව දිනා ගන්නා අතර වාරයේ දී ශාන්ත පීතර විදුහල ශූරතාව තහවුරු කර ගෙන ඇති වසර ගණන 08 කි. 2023 වසරේ ශූරතාව ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ දිනා ගත්හ.

මෙවර ලීග් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය ශාන්ත පීතර සහ ඉසිපතන යන දෙවිදුහල් අතර ක්‍රියාත්මක කෙරුණු අතර එහි ජයග්‍රහණය ශාන්ත පීතර විදුහල සතු විය.

සමබර දක්ෂතා සපිරි ක්‍රීඩකයන් රැසක් දෙපිල නියෝජනය කිරීම හේතුවෙන් මෙම අවසාන තරගය තියුණු හා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනුමාන කළ හැකිය.

මෙවර අවසන් පූර්ව වටයේ දී කොළඹ ඉසිපතන විදුහල හමුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ද ශාන්ත පීතර විදුහල හමුවේ කොළඹ වෙස්ලි විදුහල ද පරාජය ලැබීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

සංස්කරණය – සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment