ඔවුන්ට ඕනෑ වුණේ ශිෂ්‍යයින්ගේ මළසිරුරු මතින් බලයට එන්නයි
මළසිරුරු පෙරහැරක් දකින්න බැරි නිසා මා බලය අත්හැරියා – රටින් පලා ගිය හසීනා ඉන්දු – ආසියානු ප්රවෘත්ති සේවයට කියයි
බංග්ලාදේශයට අයත් ප්‍රකට ශාන්ත මාටින් (සෙන්ට් මාටින්) දූපතේ ස්වාධිපත්‍යය ඇමරිකාවට පවරා දෙමින් බෙංගාල බොක්කේ ආධිපත්‍යය දැරීමට අවස්ථාව දුන්නා නම් තමාට තවදුරටත් බංග්ලාදේශයේ පාලන බලය පවත්වාගෙන යෑමට හැකිව තිබූ බව බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂික් හසීනා පවසා ඇතැයි අයි.ඒ.එන්.එස්. හෙවත් ඉන්දු – ආසියානු ප්රවෘත්ති සේවය වාර්තා කර තිබේ.
ජන අරගලයකින් බලයෙන් නෙරපීමෙන් පසු ඉන්දියාවට පලා ගොස් සිටින බංග්ලාදේශ හිටපු අගමැතිනිය ඉන්දියාවේදී ඇය ප්‍රසිද්ධියේ නොපැවසූ කතාවක අන්තර්ගතය හෙළි කරමින් අයි.ඒ.එන්.එස්. ප්රවෘත්ති සේවය මේ බව සඳහන් කර තිබේ.
එම පුවත් වාර්තාවට අනුව තමා බංග්ලාදේශ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණේ සිය රට තුළ මළසිරුරු ගොඩගැසෙනවා දැකීමට අවශ්‍ය නොවූ නිසා බව 76 හැවිරිදි හිටපු අගමැතිනි ෂික් හසීනා පවසා තිබේ. මෙම අනාවරණය කිරීම් අගමැති නිල නිවසෙන් නික්ම යෑමට පෙර සිදු කිරීමට හිටපු අගමැතිනියට අවශ්‍යව තිබුණ ද විශාල ජනකායක් ඇය සිටි නිල නිවාසය වෙත පැමිණීමත් සමගම රටින් පලා යෑමට සිදුවීම හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වී ඇති බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ෂික් හසීනා පවසා ඇත්තේ තමා නායකත්වය දුන් අවාමි ලීගය ඉලක්ක කර සිදු කර ඇති ප්‍රහාර සම්බන්ධයෙන් තමාට වේදනාවක් ඇති බවත් තමා ඉතා ඉක්මනින්ම බංග්ලාදේශයට යළි පැමිණෙන බවත්ය.
“මා බංග්ලාදේශයේ අනාගතය වෙනුවෙන් යාච්ඤා කරමි. මා ඉල්ලා අස්වුණේ මළසිරුරු පෙරහැරක් දැකීමට අවශ්‍ය නොවූ බැවිනි. ඔවුන්ට අවශ්‍ය වුණේ ශිෂ්‍යයන්ගේ මළසිරුරු මතින් බලයට පැමිණීමටයි. එහෙත් මා එයට ඉඩ ලබා දුන්නේ නැහැ. අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා. කරුණාකර රැඩිකල්වාදීන්ගේ හැසිරවීමට ලක්වන්න එපා යැයි මා මගේ රටේ ජනතාවගෙන් අයැද සිටිනවා. මා තවදුරටත් බංග්ලාදේශයේ රැඳී සිටියේ නම් තවත් ජිවිත විශාල සංඛ්‍යාවක් නැතිවීමටත් රටේ බොහෝ සම්පත් විනාශ වීමටත් ඉඩ තිබුණා. මා රටින් පිටව යෑමට ගනු ලැබුවේ අතිශයින්ම අසීරු වූ තීරණයක්. මා ඔබගේ නායකයා වූයේ ඔබ මාව තෝරා පත්කර ගැනීම නිසායි. ඔබලා මගේ ශක්තියයි” යැයි බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය පවසා තිබේ.
ඉකුත් මැයි මාසයේදී ෂික් හසීනා සිය රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව අනාවරණය කර තිබුණු අතර එම කුමන්ත්‍රණය ඇය විසින් හඳුන්වා තිබුණේ බංග්ලාදේශය තුළ නව ක්‍රිස්තියානි රටක් නිර්මාණය කිරීමේ සුදු මිනිසාගේ කුමන්ත්‍රණයක් ලෙසයි. එහිදී එක්තරා රටකට බංග්ලාදේශය තුළ ගුවන් හමුදා කඳවුරක් පිහිටුවීමට ඉඩ ලබා දෙන්නේ නම් ඇයට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවනු බව ද සඳහන් කර තිබිණි. අනතුරුව සති කිහිපයකට පෙර රැකියා කෝටා ක්‍රමය වෙන් කිරීමේදී බංග්ලාදේශ රජය විසින් අලුතින් හඳුන්වා දුන් පිළිවෙතට එරෙහිව රට පුරා විරෝධතා හටගත් අතර එය අවසානයේදී බංග්ලාදේශ නායකත්වයට එරෙහි වූ පුළුල් ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය.
ඒමන්ති මාරඹේ