ශාන්ත සෙබස්තියන් දේවස්ථාන පුරාණය හා කඳාන

128

ජෝකීනු ඇල්බෑර්තු පියනම කඳාන දෙව්මැඳුරේ ප‍්‍රථම පූජකවරයා ය. (1836 – 42) එතුමා ඉන්දියාවේ ඔරතෝරියානු නිකායේ පැවිදිවූ ද්‍රවිඩ පියනමකි. ඊට පෙර කඳාන දෙව්මැඳුර, නාගොඩ මීසමට අයත් උප දේවස්ථානයක් ලෙස පාලනය වී ඇත.

එදා කඳාන ග‍්‍රාමයේ හැම ඉඩමකම පාහේ, සරු පොල් වගාවක් තිබී ඇත. ගම්මු තම ඉඩම්වල හැම පොල් ගස් දහයකින්ම එකක ඵලදාව, දෙව්මැඳුර නඩත්තු කිරීම සඳහා, පරිත්‍යාග කර ඇත. දෙව්මැඳුර අසලින් ගලා යන හැමිල්ටන් ඇළ, එදා, කොළඹ හා පුත්තලම අතර, ප‍්‍රධාන වෙළෙඳ ගමන් මඟ විය. ඉතිහාසඥ එල්. ආර්. බ්රෝහියර් සඳහන් කර ඇත්තේ, පුත්තලම සිට කොළඹ දක්වා කුළුබඩු, ඇත්දළ, රා, හා දැව ප‍්‍රවාහනය කර ඇත්තේ, හැමිල්ටන් ඇළ හරහා බවය. ප‍්‍රවාහනය සඳහා, ඇළ දෙපස ලී කඳන් ගොඩගසා තිබූ බැවින්, ප‍්‍රදේශයට ‘ කඳාන‘ යන නම පටබැඳුණු බවට ප‍්‍රවාදයක් තිබේ.

දැව හා කුළුබඩු පුරවා ගත් බෝට්ටු, කැලණි ගෙඟ් සිට මුතුරාජවෙල මැදින්, හැමිල්ටන් ඇළ ඔස්සේ, මීගමුව, මහඔය, පුත්තලම හරහා කල්පිටිය දක්වා ගමනාගමනයේ යෙදී ඇති බව, ලේඛකයා සිය කෘතියේ සඳහන් කරයි.

එදා කඳානේ බොහෝ පිරිමි, ගෙදර වැඩ කටයුතු කරද්දී, ඉණට ලණුවක් ( දිය ලණුව) බැඳ, අමුඩය ගසා ගෙන සිට ඇති අතර, කාන්තාවන් තණපටින් හා කම්බායෙන් සැරසී සිට ඇත. එහෙත්, ආගමික කටයුත්තක් සඳහා දේවස්ථානය කරා යද්දී, පිරිමින් සරමෙන් හා බැනියමෙන් ද, ස්ත‍්‍රීන් රෙද්ද හා හැට්ටයෙන් ද සැරසී ආ ගිය බව ලේඛකයා සඳහන් කරයි. ඉංග‍්‍රීසි පාලන යුගයේ, රා මැදීමේ කර්මාන්තයෙන් කඳානේ ආර්ථික තත්ත්වය සරු වී ඇත. එ මගින් අලූත් ධනපති පන්තියක් ප‍්‍රදේශයේ බිහිව ඇත. පසුකලක කඳානේ දෙව්මැඳුර අද පවතින තැන දක්වා දියුණු කරනු ලැබ ඇත්තේ ඒ නව ධනවත් පරම්පරාවේ දූ පුතුන් හා මුනුපුරු මිනිපිරියන් විසිනි. රා මැදීම හරහා ධනවත් වූ කඳානේ ග‍්‍රාමීය නායකයන්හට, ඉංග‍්‍රීසි ආණ්ඩුව විසින් ‘ගම්මුලාදෑනි‘ ධුර පිරිනමා ඇත. එදා ගම්මුලාදෑනිකම ඉතා ගරු ගාම්භීර තනතුරක් විය. ඔවුනට නියමිත නිල ඇඳුමක් ද වූ බව පවසන ගොඞ්රි කුරේ ලේඛකයා, එය හිසේ ගැසූ නැමි පනාවකින් හා දණහිසෙන් පහළට වැටෙන සේ ඇඳිය යුතු, උගුරේ සිට පහළට සුදු බොත්තම් පේළියක් සහිත කළු කබායකින් සමන්විත වූ බව පෙන්වා දෙයි. අතීතයේ සිට නාඩගම් හා වාසප්පු රඟ දැක්වූ පරම්පරාවක් ද, ඉපැරණි ‘ටීටර්’ අවට ගම්වලට ගෙන ගොස් පෙන්න්නන් ගේ පරම්පරාවක් ද, කඳානේ ජීවත්ව සිට ඇත. පසුකලක කඳානේ සිනමා කර්මාන්තය (නායගම් චිත‍්‍රාගාරය ) බිහිවීම පසුපස ද ඒ පරම්පරා සිට ඇත.

ජ්‍යෙෂ්ඨ නීතීඥ ගොඞ්ප‍්‍රී කුරේ ලියන ලද කඳාන ග‍්‍රන්තය ඇසුරිනි

ශාන්ත සෙබස්තියන් පුරාණය කඳාන – සිරිල් එඬේරමුල්ල

advertistmentadvertistment