අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව ලබන 29 වැනිදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව තර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දැනුම් දුන්නාය.මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය.එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා රිය අනතුරකට ලක් කොට ඝාතනය කිරීමේ සූදානම පවතින බවට තොරතුරු ලැබී ඇතැයි වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීයේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන බව කියා සිටියේය.