ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම සිදුවූයේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකය. සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමෙන් ලක්දිව භික්ෂුණි ශාසනයේ ආරම්භය සිදු වීමත් ලක්දිව ශාසන ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීමකි.
ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වූ උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනු ලැබුවේ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයකය. එවකට දේවානම්පියතිස්ස රජතුමා අරිට්ඨ කුමරු අත දූත පණිවිඩයක් යවමින් භාරතයේ පාලකයා වූ ධර්මාශෝක රජතුමාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස බුදුන් වහන්සේට බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹදිව සිට දඹකොළ පටුනින් සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට වැඩම කළහ.
ක්‍රි.පු 288 දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ශිණ ශාඛාව අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කෙරිණ. ඒ අදවන් පොහෝ දිනයක ය. දකුණු ආසියාවේ පැරණිතම ශාකය වන්නේ ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය.
උඳුවප් පොහෝ දිනය මෙරට නව සංස්කෘතික පදනමක් නිර්මාණයවූ පොහෝ දිනයක් ලෙස ද හැඳින්විය හැකිය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීමත් සමග උන්වහන්සේ ආරක්ෂා කිරීම පිණිස අටළොස් (18) කුලයකට අයත් පිරිසක් ද ඒ සමග පැමිණියහ.
එවකට ලාංකීය පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා සහ භාරතයේ පාලකයා වූ ධර්මාශෝක රජතුමා අතර පැවැති මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ නව සමාජ සංස්කෘතියක් නිර්මාණය විණ. මිහිඳු මාහිමියන් වැඩම කර වීමෙන් ශ්‍රී ලංකාව තුළ බුදු දහම ව්‍යාප්තිය සිදුවීමත්, සංඝමිත්තා තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර වීමත් බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා බෝධි ආරක්ෂක කුලවල ජනයා මෙහි පැමිණීමත් මෙයට හේතුවයි. එම කුලවල පිරිස් පැමිණී මෙන් පසු මෙරට ශිල්ප කලාව, සංස්කෘතික කලා කටයුතු නව මාවතකට ගමන් කළහ.
උඳුවප් පොහෝදා පැමිණි බෝධි ආරක්ෂක කුල දහඅට මෙසේ හැඳින්විය හැකි ය. කරච්ච කුලය- බෝධීන් වහන්සේට සේසත් වැඩම වීම, කුලිංග කුලය- බෝධීන් වහන්සේට මල් සැපයීම, කප්ප කුලය- බෝධීන් වහන්සේගේ දොරටු ආරක්ෂා කිරීම, පේසාකාර කුලය- බෝධීන් වහන්සේට පැන් වැඩීමට පෙරහන්කඩ සැපයීම, කුම්භකාර කුලය- බෝධීන් වහන්සේට ආහාර පූජාවට මැටි භාජන සැපයීම, මාලාකාර කුලය- බෝධීන් වහන්සේට මල් දම් සැපයීම, ගන්ධකාර කුලය- බෝධීන් වහන්සේට සුවඳ ද්‍රව්‍ය සැපයීම, බලන්ත කුලය – බෝධීන් වහන්සේගේ දොරටු ආරක්ෂා කිරීම, සිබ්බකාර කුලය- බෝධීන් වහන්සේ සැරසීමට කොඩි වියන් සැපයීම, සුද කුලය- බෝධීන් වහන්සේ පිදීමට මුල් තැන් සැපයීම, කම්මාර කුලය- බෝධි වෘක්ෂයේ හටගන්නා පිළිල ඉවත් කිරීමට අවශ්‍ය කතුරු කියත් සැපයීම, ලෝහකාර කුලය- බෝධි පූජා සඳහා අවශ්‍ය ලෝහ භාණ්ඩ සැපයීම, සුවණ්ණකාර කුලය- බෝධි පූජාවට රන් භාණ්ඩ සැපයීම, වටිඨකි කුලය- මහා බෝ මඟුලට මණ්ඩප සැපයීම, චිත්තකාර කුලය- බෝධි පූජාවට වියන් සිතුවම් කිරීම, ආතෝජ්ජවාදක කුලය- බෝධි පූජාවට හේවිසි සැපයීම, ජත්තකාර කුලය- බෝධීන් වහන්සේට පිදීමට සේසත් කොඩි සැපයීම, උද්‍යානපාල කුලය- බෝධි පූජාවට අවශ්‍ය මල් වැවීම මෙම දහඅට කුලවලට පැවරුණු රාජකාරී වෙයි. මෙලෙස පැමිණි පිරිස් ගම්මානවල පදිංචිව සිටිමින් සිය සේවා ඉටු කිරීම සිදු කළහ.
ජය ශ්‍රී මහා බෝධියෙන් ආරම්භ වී රට පුරා ම පැතිරී ගිය පරිවාර බෝධි ශාඛා ව්‍යාප්තියත් සමග සංස්කෘතික බැඳීම් ද ව්‍යාප්ත විණ. මේ අනුව කම්මල් ඉදිවීම, මූර්ති ශිල්ප, ගල් කැටයම් නිර්මාණය ආදී කර්මාන්තයන් මෙරට දියුණු වීම ආරම්භ වී තිබේ.
“ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීම නිසා මෙරට බෝධි වන්දනා සංස්කෘතිය නිර්මාණය කෙරුණා. මෙහිදී බෝධි සංස්කෘතියට පදනම වැටුණේ උඳුවප් පොහෝ දිනයේ දී වීම ද විශේෂත්වයකි.”
“සංඝ මිත්තා තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණින් වහන්සේලා මෙරට වැඩම කළේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. “මෙතෙක් අප රටේ කාන්තාවට මහණ වීමට හෝ පැවිදි උපසම්පදා ලැබීමට හෝ වරම් තිබුණේ නැත. මේ අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ වීම ඉතා වැදගත් සිදුවීමක් වුණා.
ශ්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනය පිහිටුවීම සඳහා මූලික වූයේ අනුලා බිසවයි සෝවාන් ඵලයට පත් අනුලා බිසව එකල රජ වූ දෙවැනි පෑ තිස්ස රජුගේ නෑනණ්ඩියයි. සෝවාන් ඵලය ලබාගත්ත ද මෙහෙණියක වීමට ඇයට වරම් හිමි නොවුණේ ඒ සඳහා භික්ෂුණියකගේ සේවාව නොමැති වීම නිසාය.
“මිහිඳු මාහිමියන් මෙරට භික්ෂු ශාසනය ආරම්භ කළ ද භික්ෂුණී ශාසනය ඇරඹීමට හිමිකම් තිබුණේ නැත. මේ නිසා අනුලා බිසවගේ බලවත් ඉල්ලීම මත මිහිඳු මාහිමියන්ගේ නැඟණියවූ සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කර වීමෙන් පසුව මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ වෙනවා .”
ගෘහණියක් ලෙස ජීවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවන්ට සමාජීය සහ සංස්කෘතික වශයෙන් වැදගත් සමාජ තත්ත්වයක් හිමි වූ බව භික්ෂු ශාසනය පිහිටුවීමෙන් මනාව පිළිබිඹු වෙයි.
දේවානම්පියතිස්සත් රජතුමාගේ නායකත්වයෙන් භික්ෂු ශාසනය සහ භික්ෂුණී ශාසනය රට පුරා ව්‍යාප්ත කළේය. ඒ අනුව භික්ෂූන් වහන්සේලාට දක්වන සමාජ ගෞරවය ආචාර ධර්ම මෙහෙණින් වහන්සේලාට ද ඒ අයුරින්ම දක්වන ලදි. ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව බෞද්ධාගමික උතුමන්ලා ලෙස ගෞරව දැක්වීම ජන සම්ප්‍රදායක් බවට පත් වූයේ උඳුවප් පොහොය දිනක වීම විශේෂත්වයකි.
සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමග සමනොල කන්ද මුදුනට වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පූජණීයත්වයට පත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම ආරම්භ වන්නේ ද උඳුවප් පොහෝ දිනයේ සිට වීම ද විශේෂත්වයකි.
වසරේ අවසන් මාසය වන දෙසැම්බර් මාසය උඳුවප් මාසය ලෙස හඳුන්වයි. අතීතයේ ජනයා උඳු වපුරන මාසය උඳුවප් මාසය ලෙස සලකයි.
මෙම උතුම් පුන් පොහෝ දින බෞද්ධ ජනතාව කෘතවේදීත්වයෙන් සිහිපත් කළයුතු දිනයක්. මිහිඳු මහා හිමියන් මෙරටට වැඩම වීමෙන් පසුව මෙරට බුදු දහම ව්‍යාප්තිය සිදුවිණ. ඒ තුළින් ගස් ගල්වලට වැඳුම් පිදුම් කළ ජනතාව උතුම් නිර්වාණයට මඟ කියන බුදු දහමින් පෝෂණය ලැබුවා.
පසුව සංඝමිත්තා තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන වැඩම වීමත් සමග නව සමාජ සංස්කෘතික දියුණුවක් ඇති විණ. අප මෙම උඳුවප් පින් පොහෝ දින කෘතවේදීත්වයෙන් සිහිපත් කළ යුත්තේ එම නිසයි.
මෙම උතුම් පුන් පොහෝ දින සියලු බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ඒ උතුම් ධර්මස්කන්ධය අනුගමනය කරමින් වෙහෙර විහාරස්ථානවල දාන, සීල, භාවනා ආදී ආගමික වතාවත්වල නියැළෙමින් කටයුතු කළ යුතුයි. වර්තමාන සමාජයේ අපට දක්නට ලැබෙන බොහෝ අපරාධ, වෛරී සිතුවිලි, එකිනෙකාගෙන් සිදුවන පළිගැනීම් ආදී ව්‍යසනකාරී ක්‍රියාවන් සිදු වන්නේ මේ උතුම් දහම අවබෝධ කර නොගැනීම හේතුවෙනි. ඒ අනුව තම ජීවිතයේ අඩුපාඩුකම් මනාව වටහා ගනිමින් ජීවිතය නව මඟකට යොමු කර ගැනීමට මෙම උතුම් උඳුවප් පොහෝ දින අධිෂ්ඨාන කර ගතයුතුව තිබේ.
හෙටට යෙදෙන උඳුවප් පුර පසළොස්වක
පොහෝ දා අනුශාසනාව
අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති
උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි