ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය හෙටයි. බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් රැසක් සිදවූ පොහොය දිනයකි. බිනර පොහොය උදා වන්නේ වස්සාන කාලයේවීමද විශේෂත්වයකි.
භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ අද වන් පොහෝ දිනක ය. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුර වැඩ සිටින සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය, යශෝධරා දේවිය ප්‍රමුඛ කාන්තාවන් පන්සියයක් බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි වීමට අවසරය ඉල්ලා සිටියා. එහෙත් බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර වැඩ සිටින සමයේ එම ශාක්‍ය වංශික කුල කාන්තාවන් කසාවත් පොරවාගෙන විශාල දුරක් ගෙවා ගෙන විශාලා මහනුවර මහ වනයේ කුටාකාර ශාලාවට පැමිණියේ කෙසේ හෝ පැවිදි බව ලබන බව අධිෂ්ඨානයෙනි. ඒ මොහොතේ ද බුදුරජාණන් වහන්සේ පැවිදි බව ලබාදීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ඉතා යහපත් ලෙස කරුණු දැක්වූ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ නිසා කාන්තාවන් හට කරුණු අටකට කැමති වන්නේ නම් පැවිදි වීමට අවසර ලබාදෙන බව වදාළහ. ඒවා නම් අෂ්ඨ ගරු ධර්මයි. එය පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ පන්සියයක් ශාක්‍ය කුල කාන්තාවන් පැවිදි බවට පත්වුණා. මෙම අෂ්ට ගරු ධර්ම වන්නේ,
උපසම්පදාවෙන් වත් සියයක භික්ෂුණියක් වුවද එදින උපසම්පදාව ලැබූ භික්ෂුවකට වැඳ පුදා ගෞරව කළ යුතුය, භික්ෂූන් නොමැති ප්‍රදේශයක භික්ෂුණියන් වස් නොවැසිය යුතු ය, භික්ෂුණියක විසින් අඩ මසක් පාසා භික්ෂු සංඝයාගෙන් පොහොය විචාරා අවවාද ලැබිය යුතු ය, වස් අවසන භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය, ගරු ඇවතකට පත් භික්ෂුණිය විසින් උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතු යි, වසරක පරිවාස කාලයක් ශිෂ්‍ය මානවිකාවක සිට උභතෝ සංඝයාගෙන් උපසම්පදා ලැබිය යුතුය, කවර හේතුවක් නිසා හෝ භික්ෂුණිය විසින් භික්ෂුවකට ආක්‍රෝස පරිභව නොකළ යුතුය , භික්ෂුන් වහන්සේලා විසින් භික්ෂුණියකට අවවාද කිරීම් සිදුකළ යුතු අතර භික්ෂුණීන් භික්ෂූන්ට අවවාද නොකළ යුතු යන්න සඳහන් කර තිබේ.
එකල භාරතීය බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට නිසි තැන නොලැබුණු අතර එම සමාජයේ කාන්තාවක් ඉපදීම ද අභාග්‍යසම්පන්න දෙයක් ලෙස සැලකින. ඒ අනුව කාන්තාව එම සමාජය තුළ හිංසාවට, පීඩාවට ලක්විණ. ඒ අනුව කාන්තා නිදහසේ උපරිම ඵලය නෙළා ගැනීමටත් කාන්තාවන් හට විමුක්තිය උදාවුණේ බිනර පුන් පොහෝ දිනකය.
බිනර පොහොය උදාවන්නේ වස්සාන කාලයේදීය. වැහි සමය උදාවී ඇති බැවින් භික්ෂූන් වහන්සේලාට ධර්ම ප්‍රචාරය සඳහා ගම්දනව්වල සැරිසැරීමට අපහසු වනවා. එබැවින් බිනර පෝයට බණ භාවනා කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරමින් භික්ෂූන් වහන්සේලා කටයුතු කිරීම යෝග්‍ය බව බෞද්ධ ශාසනයේ සඳහන් වනවා.
බිනර පෝය මුල් කරගෙන භික්ෂූන් වහන්සේලා කෙලෙස් වෘතාංග 13 ක් සමාදන්වීමද විශේෂත්වයකි.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබෙන සේරුවාවිල මංගල සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේද බිනර පුන් පොහෝ දිනක ය. එසේ ම තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශ ධාතුන් නිදන් කොට ගිරිහඬු සෑය ඉදි කිරීම සිදුව ඇත්තේ ද අද වැනි බිනර පොහෝ දිනක ය.
මහියංගනය රජ මහා වෙහෙරේ වාර්ෂික පෙරහර මංගල්‍යය බිනර පෝය මුල් කර ගනිමින් සිදුවීමද විශේෂත්වයකි. බිනර පෝය දිනය මේ අනුව සිංහල බෞද්ධ ජනයාට වැදගත් වැදගත් කමක් ගෙන දෙන පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකිය.
අප ජීවිත පෝෂණය වී තිබෙන්නේ බෞද්ධ දර්ශනය තුළිනි. ජීවිතය තුළ සිදු කරන ක්‍රියාවන් මූලික කර ගනිමින් මෙලොව පරලොව සෙත සැලසේ. පුද්ගලයකු යහපතෙහි යෙදෙමින් කුසල කර්මයෙහි යෙදීමත්, අයහපතෙහි යෙදෙමින් අකුසල කර්මයන් සිදු කිරීමත් සිදු වන්නේ තම සිත තුළ ඇතිවන සිතුවිලි මතය. ඒ අනුව මේ උතුම් පොහෝ දිනයේ තම සිත සංවර කර ගනිමින්, දමනය කර ගනිමින් අපගේ ජීවිතය හැඩගස්වා ගැනීමට කටයුතු කළ යුතුය.
“මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති – චක්කංව වහතෝ පදං
ත්‍රිපිටකයෙහි, සූත්‍ර පිටකයේ යමක වර්ගයේ සඳහන් මෙම ගාථාව අප මහා බුදුරජාණන් වහන්සේ චක්ඛුපාල තෙරුන් අරභයා ජේතවනාරාමයේ දී දේශනා කළහ.
අප ජීවිතයේ සෑම ක්‍රියාවකට ම මුල්වෙන්නේ සිතය. ඒ අනුව ජීවිතය තුළ ශ්‍රේෂ්ඨ වෙන්නේ සිතය. යම් යහපත් ක්‍රියාවක් සිදු කිරීමටත්, අයහපත් ක්‍රියාවක් සිදු කිරීමටත් සිත මූලික වේ. යහපත් ක්‍රියාවන්හි කුසලානුකර්මයත්, අයහපත් ක්‍රියාවන්හි අකුසලකර්මයත් අප ජීවිත පසු පස කරත්තයක බැඳි ගොනෙකුගේ පස්සෙන් එන රෝදයක් මෙන් පැමිණෙයි.
මේ අනුව පුද්ගලයෙකු තම ජීවිතය තුළ කරන කියන සියලු දේ පිළිබඳව හොඳින් සිතා කටයුතු කළ යුතුව තිබේ. නොඑසේ නම් තමන් කරන කියන දේ තුළින් තමාට මෙන් ම සමාජය ට ද සිදු වන්නේ අයහපතකි. බුදු දහමට අනුව පව් පිං සිදු කරන්නේ තම සිතින්මය. අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිමින් ලොව සියලු සත්වයා දුකින් මුදා ගැනීමට හැකි වූයේ උන්වහන්සේ තුළ පැවති මහත් අධිෂ්ඨානශීලිත්වය නිසාය. යම් අධිෂ්ඨානයක පිහිටා කටයුතු කිරීමට ඒ අනුව සිත මූලික වෙයි.
ඒ අනුව ජීවිතය තුළ අප සිදු කරන සියලුරෑ කටයුතු හොඳින් සිතා බලා සිදු කළ යුතුය. බෞද්ධ දේශනාවන් තුළ බුදුරජාණන් වහන්සේ පුද්ගල සිත මූලික කර ගනිමින් දේශනාවන් සිදු කර තිබේ. යම් කෙනෙකු හට බෞද්ධ දර්ශනය තුළින් නිර්වානය අවබෝධ කර දිමෙහිලා ඔවුනොවුන්ගේ සිත අවබෝධ කර ගනිමින් ක්‍රියා කර ඇති අයුරු බුද්ධ චරිතයෙහි දක්නට ලැබේ. පටාචාරා, කිසා ගෝතමී ආදී කතා පුවත් තුළ බුදුරජාණන් වහන්සේ ඔවු නොවුන් හට උතුම් වූ නිර්වාණ අවබෝධ කිරීම සඳහා කටයුතු කළ ඇති ආකාරයන් තුළින් එය මනාව පිළිබිඹුවෙයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ “චතුරාර්ය සත්‍යය”ද අවබෝධ කර ගත හැකි වන්නේ පුද්ගල සිත අනුවය. උන්වහන්සේ සිත පිළිබඳව සිදු කළ දේශනාවන් අද සමාජයට ඉතා වැදගත් වෙයි. සමාජයේ බොහෝ අකටයුතුකම් සිදු වන්නේ එම ක්‍රියාවන් සිදු කරන පුද්ගලයාගේ සිතුවිලි මතය. වර්තමාන සමාජයේ නොයෙක් අපරාධ වැඩි වී තිබෙන්නේ ඒ අනුවයි. අද දක්නට ලැබෙන අඬ දබර, පුද්ගල ඝාතන, වංචා දූෂණ බොහෝ සෙයින් වර්ධනය වී තිබෙන්නේ ඔවුනොවුන්ගේ පාපකාරී සිතිවිලි නිසාය. ඔවුන් පින් පව් ගැන නොසිතයි. බොහෝ සෙයින් හිතන්නේ එම ක්‍රියාවන් සිදු කිරීමෙන් තමන්ට ලැබෙන සතුට, වාසි පිළිබඳව පමණි. අනිත්‍ය දහම තුළ අප ලබන්නා වූ මේ කිසිවක් ස්ථිර නොවෙයි, තාවකාලික දෙයක් පමණි.
ඒ සඳහා මේ උතුම් බිනර පුන් පොහෝ දිනයේ අප සියලු දෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිමින් රටට සමාජයට යහපත් පුරවැසියෙකු වන්නට සිත තුළ අධිෂ්ඨාන කර ගත යුතුය.
අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි
සංස්කරණය – සුසිල් ජයකොඩි
0722081522