ශිෂ්‍යත්වයේ ලීක්වුණු තව ප්‍රශ්න ගැන සාක්ෂි තිබේ නම් අදම පොලිසියට දන්වන්න

29

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දැනට පිටවී ඇති බව කියන ප්‍රශ්න තුනට අමතරව තවත් ප්‍රශ්න පිටවී ඇතැයි සාක්ෂි තිබේ නම් ඒ පිළිබඳ තොරතුරු අද (07දා) ළඟම පොලිස් ස්ථානයට ලබාදෙන ලෙස පොලිසිය මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පවතින අර්බුදය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ද තාවකාලිකව නවතා දමා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව 2024/ 09/22 වැනිදා කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඔහු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සැකසීමේ කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබේ.

තවද 2024/ 09/ 24 වැනිදා අලව්ව, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු රජයේ පාසලක ගුරුවරයකු සේම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙහි මුල් සැකකරු විසින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 7ක් දෙවැනි සැකකරුට ලබාදී ඇති බවත් පළමු සැකකරු ලබාදුන් ප්‍රශ්න 7න් 3ක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අංක 5, 13, 27 ලෙස ඇතුළත්ව තිබූ බවත් උපකාරක පන්ති පවත්වන දෙවැනි සැකකරු විසින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනට පෙර සකස් කර තිබූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක 02, 05 හා 06 ලෙස ඉහත ප්‍රශ්න ඇතුළත් කර ඇති බවත් පසුව එය සමාජ මාධ්‍ය මගින් ඔහු විසින් පරිහරණය කරන සමූහයක් වෙත යොමු කර ඇති බවත් හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

දැනට සිදුකර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඉහත සඳහන් ප්‍රශ්න 3ක් පමණක් පිටවී ඇති බවයි.

කෙසේ වෙතත් තවත් ප්‍රශ්න පිටවී තිබෙන බවට දෙමවුපියන් විසින් චෝදනා කරන අතර ඊට එරෙහිව විවිධ විරෝධතා ද පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment