ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකොට ටියුෂන් ගුරුවරුන් 5කට යවලා

303

සහකාර ශාලාධිපති ඇතුළු 6 කට වැඩ වරදී

පෙරේදා (15දා) පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගය ආරම්භ වීමට පෙර ඡායාරූප ගතකොට තවත් ගුරුවරුන් පිරිසකට යැවූ සහකාර විභාග ශාලාධිපතිවරයකු සහ සිද්ධියට සම්බන්ධ තවත් ගුරුවරුන් පස් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත.

අනුරාධපුර නගරයට ආසන්න විභාග මධ්‍යස්ථානයක සහකාර ශාලාධිපතිවරයා විසින් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකර බෙදාහැර ඇති බවට ලද තොරතුරු මත මෙම සහකාර ශාලාධිපතිවරයා ඇතුළු ගුරුවරුන් හයදෙනා මෙසේ ප්‍රශ්න කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර මෙම විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පළමු ප්‍රශ්න පත්‍රය දුරකථනයෙන් ඡායාරූගත කොට උපකාරක පංති පවත්වන ගුරුවරුන් කීපදෙනකුට යැවීම සම්බන්ධයෙන් සැකකාර ශාලාධිපතිවරයා සමග ගුරුවරු පස්දෙනා ද ජංගම දුරකථනය ද විභාග දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටිති. මෙම ප්‍රශ්නපත්‍රය අනුරාධපුර, නොචිචියාගම, කොළඹ, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කීපයකට යවා තිබෙන බවටද තොරතුරු අනාවරණයවී තිබේ.

මේ සම්බන්ධයෙන් අතිරේක විභාග කොමසාරිස් නීල් අතුකෝරල මහතාගෙන් ඊයේ කළ විමසීමේදී පැවසුවේ සිද්ධියට සම්බන්ධ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා මුදා හරින ලද බවයි. ඉදිරියේදී මෙම ගුරුවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කිරීමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“මෙම සිද්ධිය පිළිබඳ විස්තර ශිෂ්‍යත්ව විභාගය පැවති 15දා පෙරවරුවේ දැන ගන්න ලැබුණා. මම ඒ මොහොතේම උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට මේ බව දැනුම් දුන්නා. මෙවැනි දූෂණ සිදු වන්නේ ටියුෂන් ගුරුවරුන් ජාලයක් හරහායි. මෙවැනි අකටයුතුකම් සිදුකරන පුද්ගලයන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් දීමට බලධාරීන් නොපමාව කටයුතු කළ යුතුයි. මෙවැනි දේ නිසා විභාග කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙනවා. ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි.’

නොච්චියාගම- එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment