ශීත ගබඩා වංගුවේදී එළවළු ලොරිය පෙරළෙන හැටි… ශීතගාර තිබුණට එළවළු කල්තබා ගන්න බෑ…

613

* එළවළු පලතුරු නිෂ්පාදනයෙන්  50% අපතේ යනවා
* ලෝකයේ මරණ 5 කින් එකක් නිසි පෝෂණය නැතුව
* ගබඩා තත්ත්වයන් එළවළු වර්ග අනුව එකිනෙකට වෙනස්
* ශීතගාර තිබුණට එළවළු කල්තබා  ගන්න බෑ

උපන්දා සිටම නිර්වස්ත‍්‍රව සිටීමේ පීඩනය තවදුරටත් ඉවසා දරාගත නොහැකි වූවන් සේ සිංහල අවුරුද්දටවත් අලූත් ඇඳුමක් ගන්නට ඕනෑම යැයි කියමින් අප පසුගියදා කොවිඞ් අවදානම මැද්දේ හෝ උරෙනුර ගැටෙමින් රෙදිකඩ අස්සේ කිටි කිටියේ තෙරපුනෙමු. තමාගේ වස්ත‍්‍ර හැකි පමණ පෞද්ගලිකව පරිහරණය කරන්නැයි කියනා අවවාද අනුශාසනා සතර  දික්භාගයෙන්ම දෝරෙ ගලද්දී ‘ෆිට් ඕන්’ කාමර ඉදිරිපිට පෝලිම් ගැසී සිටිමින්, සිය ගණනක් දෙනා ඇඟලා ඉවතදැමූ නිමැවුමක් වුවත් තමාට නම් නියමයි කියා කුල්මත්ව තුරුළු කරගෙන ගෙදර පැමිණියෙමු. තම ජීවිත කාලය තුළදී නැවත වතාවක් සිංහල අවුරුදු නිවාඩුවක් නොලැබෙන බව ගුප්ත බලයකින් දැනුනා සේ මහමගට පැන සිත්සේ සංචරණයේ යෙදුනෙමු. මේ අපේ රටේ ජනතාවගේ එක්තරා කොටසකගේ සිතුම් පැතුම්ය. සිදුකරනා ක‍්‍රියාකාරකම්ය.

ශීත ගබඩා වංගුවේදී එළවළු ලොරිය පෙරළෙන හැටි... ශීතගාර තිබුණට එළවළු කල්තබා ගන්න බෑ...

සෙනරත් ඒකනායක

දැන් සියල්ලේ ප‍්‍රතිඵල ලැබෙමින් තිබේ. ඒ, පෙරකී පිරිසට පමණක් නොව හෝල් සේල් ගානට මුළු රටටමය. පළමු රැල්ලේදී පැවසුවාක් මෙන් නිරෝධායන ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් නොකළද කාට කාටත් මේ වනවිට පාරට බහින්නට නම් තහනම්ය. මාස් පඩි ගන්නා කණ්ඩායමට එතරම් රිදුම් දෙන්නක් නොවූවත්, මහත්සේ අසහනයට පත්වූ පිරිස සුළුපටු නොවේ. ඇතැමුන් කුලියක් මලියක් කරගෙන එදාවේල පිරිමසා ගනිමින් දවස ගොඩදා ගන්නවුන්ය. මහපොළොව හා සටන්වැද එළවළු ගෝනියක් හෝ පලතුරු කූඩයක් නිපදවා තම ජීවිකාව කරගත් ගොවි ජනතාවද මේ අතරය. අලෙවි කරගත නොහැකිව තම අස්වැන්න අපතේ යන බව කියමින් පවසන දුක්ගැනවිලි ජනමාධ්‍යය පුරා ප‍්‍රචාරය වේ. නිෂ්පාදකයාව ගොවිබිමේදීම අතරමං කරමින් අද දවසේ මෙවන් අත්දැකීමක් අප ලැබුවද, නිපදවෙන ආහාර ප‍්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් අපතේ යෑමේ සංසිද්ධිය අඩුවැඩි වශයෙන් මුළු ලෝකයටම බලපාන දෙයකි. එළවළු කල්තබා ගතහැකි ශීතාගාරවත් තිබුණානම් මේ නාස්තිය අවම කරගන්නට තිබුණා නොවේදැයි මේ මොහොතේ කෙනෙකුට කල්පනා වීමද පුදුමයක් විය යුතු නොවේ. එළවළු මල්ල රැගෙනවිත් ගෙදර ශීතකරණයේ තබාගෙන සුමානයක් තිස්සේ කෑමට ගන්නවායින් එහාට අත්දැකීමක් හෝ දැනුමක් නොමැත්තෙකුට එවැනි සත්ක‍්‍රියාවක් ගැන අදහස් ජනිතවීමද ස්වභාවිකය. කලකට ඉහතදීද මෙම අදහස කරලියට පැමිණ තිබුණි. එවිට මෙම ක‍්‍රමවේදයේ ආර්ථික යෝග්‍යතාවය ගැන අධ්‍යයනයක් කර වාර්තාවක් සපයන්නට පවරනු ලැබුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටයි. අදාළ වාර්තාව මගින් පෙන්වාදී තිබුණේ ශීත ගබඩා තුළ එළවළු තබාගෙන වෙළඳපොළට නිකුත්කිරීමේ සිරිත, අප වැනි රටකට ප‍්‍රායෝගික නොවන බවයි. එම විද්වත් මතයට

ගරුකරමින් එදා යෝජනාව අතහැර දමන ලදී. එසේ වුවත් ව්‍යාපාරික අරමුණක් පෙරදැරි කරගෙන ශීතගබඩා තාක්ෂණය ගැන අසම්පූර්ණ චිත‍්‍රයක් පෙන්වා බලධාරීන්ව මේ වෙතට නම්මවා ගැනීමට නැවත වතාවක් යම් බලවේගයන් ක‍්‍රියාත්මක විය හැකි බවද අප බැහැර කළයුතු නොවේ. වර්තමානයේ සිදුවෙන අස්වනු නාස්තිය හා ගොවියා මුහුණදෙන දුක්ගැහැට දකිනා කෙනෙකුට එවන් යෝජනාවක් හමුවේ ‘ඇත්ත නේන්නම්’ කියා කියවුණත් අප පුදුම විය යුතු නැත. එබැවින් බලය ඇත්තෝ කළයුත්තේ කවුරුන් විසින් හෝ තම සිත තුළට රිංගවන ලද අදහසක් බලය පෙන්වා ක‍්‍රියාත්මක කිරීම නොව, ඒවාහි ඇති සාධාරණත්වය හා යෝග්‍යතාව අවබෝධ කරගැනීමට තමා සතු බලය යොදා ගැනීමයි. සුදුස්ස තෝරාගෙන ක‍්‍රියාත්මක කිරීම සඳහා රටට ගැළපෙන ප‍්‍රායෝගික විසඳුම් නිලධාරීන් වෙතින් එලියට පනින්නේ එවිටය.

ශීත ගබඩා වංගුවේදී එළවළු ලොරිය පෙරළෙන හැටි... ශීතගාර තිබුණට එළවළු කල්තබා ගන්න බෑ...

සතුන් කෑම කන්නේ බඩගින්න සංසිඳවා ගැනීමේ අරමුණින් වුවත් ශරීරයට ඉන් සැලසෙන යහපත වන්නේ දේහය පවත්වාගැනීමට අවශ්‍ය ශක්තිය ආහාරය තුළින් නිපදවා ගැනීමට හැකිවීමයි. ආහාර දහනය කිරීමෙන් මෙසේ නිපදවෙන ශක්තිය මනිනු ලබන්නේ කැලරි නමැති ඒකකයෙනි. ලෝක සෞඛ්‍යය සංවිධානය කියන පරිදි 1990 සමයේදී සමස්ත ලෝක ජනගහනයෙන් 18.6% ක ප‍්‍රමාණයකට තමාගේ දෛනික අවම කැලරි අවශ්‍යතාවටවත් සරිලන ආහාරයකට ළංවීමට හැකියාව තිබුණේ නැත. එහෙත් අද වනවිට මෙය 10.8% ක අගයක් දක්වා අඩුවී තිබේ. ආහාරයට සමීපවීමෙන් එසේ ප‍්‍රගතියක් පෙන්වුවද, ළඟට ගත් දේ කටේ දමාගැනීමේ ඉඩකඩ ජනතාවට තිබෙනවාදැයි සැක පහල වෙන්නේ ඔවුන් විසින්ම නිකුත්කළ වෙනත් වාර්තා කියවන විටය. එක තැනක සඳහන් වන්නේ මැලේරියා හා ක්ෂයරෝගය පවා පසුකරමින් මන්දපෝෂණය මානව සෞඛ්‍යයට හානිකර ලෙස ඉදිරියට පැමිණෙන බවයි. 2016 වසරේදී ලෝකයේ සිදුවූ සෑම මරණ 5 කින් එකකකට හේතුව වී ඇත්තේ පෝෂණ ගුණයෙන් අසම්පූර්ණ කෑම පිඟාන බවද ඔවුහු පෙන්වාදෙති. එසේනම් ආහාර බෝග නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ ගියත් කැලරි ඉල්ලූමට ගැළපෙන ආහාර ප‍්‍රමාණයක් ඇඟට ඇතුල්වී නැති බව නම් පැහැදිලිය. මීට ප‍්‍රධාන හේතුව වන්නේ ලෝකයේ ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් පංගුවක්ම මේ වනවිට අපතේ යෑම බව කනගාටුවෙන් වුවද ලියා තැබිය යුතුවේ. එළවළු හා පලතුරු ගැන පමණක් කතාකරනවානම් මේ ප‍්‍රමාණය නිෂ්පාදනයෙන් 50% ක් තරමට අධික ප‍්‍රමාණයකි. මෙවන් බරපතළ හානියකට වගකිව යුතුවන්නේ අස්වැන්න ලෙස නෙළාගත් පසු සිදුවෙන අපතේ යෑම පමණක් නොවන බවද සිහි තබාගන්න. බොහෝ දෙනා පටලවා ගන්නේද මෙතැනයි. ගොවිබිමේදී බෝගයට මුහුණදෙන්නට සිදුවෙන දේශගුණික බලපෑම්, රෝග හා පළිබෝධකයන්ගේ හානිකිරීම්ද මෙම 50% තුළට ඇතුළත් වේ. නියම තරමට බෝගය මෝරන තෙක් නොසිට අස්වැන්න නෙළීමෙන් සිදුවන අහිමිවීම මෙන්ම තරමට වඩා මෝරන තෙක් සිට නෙළීම නිසා සිදුවෙන අපතේයෑම යනාදියත් මේ තුළ ඇත. අවිධිමත් ප‍්‍රවාහන ක‍්‍රමවේදයන්, ගබඩාකරණයේ ඇති දුර්වලතා වැනි දෑ අවසාන වශයෙන් මීට එකතු වූ විට හානි වූ තරම 50% සීමාවේ නතරවීම වුවද පුදුම දනවන්නකි.

මෙරට සිදුවෙන එළවළු හා පලතුරුවල පසු අස්වනු හානිය සමනය කිරීම සඳහා ප‍්‍රාදේශීයව ශීතාගාර ඉදිකර අස්වැන්න ගබඩාකිරීමේ යෝජනාව වනාහී ඇෙඟ් පතේ රුදාව සමනය කෙරුමට කන්පෙත්තක තෙල් ගා පිරිමැදීම වැනි උත්සාහයක් බවට කරුණු කාරණා මේ වනවිටත් විද්වත් ප‍්‍රජාව විසින් හෙළිදරව් කර තිබේ. මෙම පියවර වනාහී අස්වැන්න අපතේ යෑමට හේතුවෙන එක කරුණක් පමණක් අල්ලාගෙන විසඳුමක් සොයන්නට උත්සාහ දැරීමක්ය. එළවළු කල්තබා  ගැනීමට ශීතාගාර භාවිත කිරීමේ ක‍්‍රමවේදය අපට අසල්වැසි බංගලාදේශය වැනි රටවල පවා ක‍්‍රියාත්මක වේ. මේවා තුළ උෂ්ණත්වය මෙන්ම තෙතමනය නොහොත් සාපේක්ෂ ආර්ද්‍රතාවයද පාලනය කරනු ලබයි. ශීතල නිසිලෙස පාලනය නොවුණහොත් ඒ නිසාම ගබඩාව තුළදීම අස්වැන්න විනාශවීම ඇරඹේ. බෝගවලට අවශ්‍ය ගබඩා උෂ්ණත්වය එකිනෙකට වෙනස්ය. එක බෝගයකට සරිලන සේ උෂ්ණත්වය සකස් කළවිට ගබඩාවේ ඇති වෙනත් බෝගයකට එම තත්ත්වය අගුණ වී එය විගසින් හානිවී යයි. කෙසෙල් ඇවරි දෙකක් ගෙදර ගෙනැවිත්, එකක් කෑම මේසය මතත්, අනෙක ශීතකරණය තුළත් තබා මේ අවනඩුව සාක්ෂි සහිතව දින දෙකක් ඇතුළත ඔබට ගෙදරදීම විසඳා ගත හැකිය. මේ නිසා යම් ප‍්‍රදේශයක් සඳහා එක ගබඩාවක් සෑදූ පමණින් අවට ගොවීන් නිපදවන අනේකවිධි බෝග සියල්ලම ඒ තුළට දැමීමේ හැකියාවක් නැත. එසේ කළහොත් එය තුල පවතින උෂ්ණත්වය හා ආර්ද්‍රතාව දරාගත හැකි බෝග පමණක් ඉතිරිවී අනෙක්වා වෙනදාටත් වඩා ඉක්මනින් විනාශවී යයි.

ඊළඟ කාරණය වන්නේ මෙසේ ගබඩා කළ හැක්කේ කොපමණ කාලයකටද යන්නයි. බොහොමයක් එළවළු වලට ශීත ගබඩා තුළ ගත කළ හැක්කේ ඉතා සීමිත දින ගණනක්ය. විශේෂ තාක්ෂණයන් යොදා එළවළු අධිශීත කිරීම මේ සමග අප පටලවා නොගත යුතුයි. ශීත ගබඩා තුළ අධිශීත තත්ත්වයක් නැත. ගබඩා කාලය දින ගණනකට සීමා වන්නේ එබැවිනි. තවත් කාරණයක් වන්නේ මෙම ගබඩා පවත්වාගැනීම විදුලි බලයෙන් කළයුතු වීමයි. මෙරට විදුලිබලය මිල අධිකය. යමෙක් තනි බෝගයක් සඳහා වුවත්, කුඩා ප‍්‍රමාණයේ ගබඩාවක් සෑදුවද එහි නඩත්තු වියදම නම් විදුලිබලය නිසා අනිවාර්යෙන්ම ඉහළ අගයකට යන්නේය. අවසානයේදී වියදම ප‍්‍රතිපූර්ණය කරගතයුතු වන්නේ ගබඩාවට එළවළු දැමූ ගොවියාගෙන්ය. ගොවියා වෙතින් බර පැටවෙන්නේ පාරිභෝගිකයාටය. මේ වනවිටත් ඇතැම් කාලවලදී එළවළු මිල වැඩියි කියා රටේ ජනතාවගෙන් නැගෙන කෙඳිරිල්ල, මේ හමුවේ විලාපයක් නොවනු ඇතැයි පැවසිය හැක්කේ කාටද? තම අස්වැන්න සිසිලන ගබඩාවක තබා  ගනිමින් දින කීපයක් එහා මෙහා කරගන්නට දරන මහන්සියට වඩා පහසුවෙන් වැඬේ ගොඩදා ගතහැකි වගා ක‍්‍රමවේදයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්ම ගොවීන් වෙත පෙන්වා දී තිබේ. ප‍්‍රශ්නය වන්නේ ඔවුන් අවනත නොවීමයි.

‘‘බෝග මිශ‍්‍රකරලා එකම ගබඩාවක දමන්න බැරි තව හේතුවක් තියෙනවා. වැසූ වාහනයක දමාගෙන දුර පළාතකට ප‍්‍රවාහනය කිරීමේදී වුණත් මේ තත්ත්වය බලපාන්න පුළුවන්. ගෙඩි වර්ග ඉදෙනකොට එතිලීන් නමැති වායුව නිකුත්වෙනවා. එතකොට ඒ අවට තිබෙන අනෙක් ගෙඩි වර්ග වුණත් ඉක්මනට ඉදෙන්න පුළුවන්. ඉදුණු මිරිස් කරල් දෙක තුනක් තිබෙන බෑගයක් තුළ ඇති අමුමිරිස් ඉක්මනට ඉදෙන හේතුව මේකයි. දැන් හිතල බලන්න ගබඩාවක එක ළඟින් තක්කාලි හා ලීක්ස් තිබ්බා කියලා. තක්කාලි වලින් එතිලීන් පිටවෙනවා. එතකොට ළඟ තිබෙන ලීක්ස් ඉදෙනවා. ඒ කියන්නේ කොළ කහවෙනවා. මේ අනුව පෙනෙනවා නේද ගබඩාකරණය මොනතරම් සුපරීක්ෂාකාරීව කළයුතුද කියලා…”

එකම ගබඩාවක තැන්පත් කරනවා නොව, වැසූ ලොරි බාගයක දමාගෙන නුවරඑළියේ සිට කොළඹ එන ටිකට පවා සිදුවිය හැකි අනතුරක සේයා පෙන්වා දුන් ආහාර තාක්ෂණ විද්‍යාඥ සෙනරත් ඒකනායක කලක්  ගන්නෝරුවේ ආහාර තාක්ෂණ ඒකකයේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කළ විද්වතෙකි.

‘‘සමහරු අධිශීත තත්ත්වයේ ගබඩා කිරීමත් සමග මෙය පටලවා ගන්නවා. ඒ යටතේ නම් වැඩි කාලයකට ගබඩා කරන්න පුළුවන්. හැබැයි එතනදී යම් රස්නයක් තිබෙන උණුවතුරේ, යම් කාලකට එළවළු ගිල්වා තබලා ඒවායේ තිබෙන එන්සයිම යනාදිය අක‍්‍රිය කළයුතු වෙනවා. ‘බ්ලාන්ච්‘ කරනවා කියලයි කියන්නේ (Blanching). ඊට පසුව වහාම තැම්බීම නතර කරලා ශීත කරනවා. වෙනත් රටවල ඒ ක‍්‍රමයට විශාල එළවළු තොග පවා සකස් කරන බව දකින්න පුළුවන්. ටින්වල ඇසිරීමට පෙර වුණත් මෙය තමයි කරන්නේ. එන්සයිම අක‍්‍රියවීම නිසා අස්වැන්නේ පෙනුම, රස, සුවඳ වගේම පෝෂණ ගුණය වුණත් වෙනස් වෙන්නේ ඉතා අවමයෙන්”

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටී. යමක් කොපි කරන්නට අපට ඇත්තේ උපන් හපන්කමකි. නැතිකම නිසාම අන්ඩ දැමූ කලිසමක් ඇඳගෙන පිටරටින් ආ හිපි තරුණයෙක් පාරේ යනු දැක අපි කරන්නේ හොඳට තිබූ ඩෙනිම කපා අන්ඩයක් මසා ගැනීමයි. එළවළු ප‍්‍රවාහනයේදී සිදුවෙන නාස්තිය අවම කිරීම උදෙසා ප්ලාස්ටික් පෙට්ටි භාවිතා කිරීමට කාලෙකට ඉහතදී නීති පවා පැනවුනි. විදෙස් රටවල එම ක‍්‍රමය ඉතා සාර්ථකව භාවිත කළද, දහසකුත් එකක් නීති පනවා හෝ එය මෙරටදී ජනගත කරන්නට නොහැකි විය. නුවරඑළියේ හා වැලිමඩ එළවළු තොග පිටින් ගෝනිවල අසුරාගෙන, එක මත එක සිටින සේ ලොරිවල පටවාගෙන, ඒ මත මිනිසුන්ද නැගගෙන තවමත් කොළඹ යන්නේ සැලකියයුතු කොටසක් විනාශවෙන බව අයිතිකරුවන් පවා නොදැන නොවේ. විකල්ප යාන්ත‍්‍රණයක් නොමැති නිසාවෙනි. අලාභය කොතැනකින් හෝ ප‍්‍රතිපූර්ණය වන බවද සැබෑය. එහෙත් කසළ කන්ද හා මුසුවෙන මේ අස්වැන්න වනාහී දහදිය හෙළා කළ නිෂ්පාදනයන්ය. ජලය, පොහොර, පළිබෝධනාශක වැනි යෙදවුම් පරිසරයට හලා මහපොලොවෙන් ගොඩගත් සම්පත්ය. රට සවාරියක් ගසද්දී ප්ලාස්ටික් කූඩ පැටවූ එළවළු ට‍්‍රක් පෙළක් අධිවේගී මාර්ගයකදී දුටු පමණින්, එම සුන්දර දසුන මෙරටදී දකින්නට මුල්ගල තබන්නට පෙර ව්‍යායාමයේ ප‍්‍රායෝගික අභ්‍යන්තරය විමසා නොබැලූ නිසා වටිනා සිරිතක් අසාර්ථක වුණි. මතුවූ ප‍්‍රධාන  ගැටලූව වූයේ කොළඹ යන පෙට්ටි ටික ආපසු ගොවිබිම් කරා රැුගෙන එන්නේ කෙසේද යන්නයි. එවන් සරල ප‍්‍රශ්නයකටවත් විසඳුමක් ප‍්‍රසූත කරගන්නට අපගේ බුද්ධියේ දිග පළල එදා මදිවුණේය. පිටරටවලදී නම් රැුගෙන යන පෙට්ටි ගමනාන්තයේදී ප‍්‍රතිචක‍්‍රීකරණය කරනවා යැයි ඊනියා උපදේශකයෙක් නොකී එකයි පුදුමය.! නිසි විද්‍යාත්මක විමසීමකින් තොරව ශීත ගබඩා ඉදිකරමින් එළවළු පලතුරුවල පසු අස්වනු හානියට විසඳුමක් සොයන්නට ගියහොත්, ගබඩාකරණය වෙනුවෙන් ගෙවිය යුතු මුදලට සරිලන පරිද්දෙන් එළවළු මිල සකසා ගන්නට නොහැකිව ‘ශීත‘ කෑල්ල ඉක්මනටම හැලී ගොස් ටික දිනකින් ගමේ ඉතිරිවනු ඇත්තේ ගබඩාව පමණකි. කවුරු කවුරුත් මොන මොනවා හෝ පසු කලෙකදී ඒ තුළ දමන්නටද පුළුවන.

වෙනස්වෙන කාලගුණ රටාවන්ට ගැළපෙන අයුරින් ගොවිපොළේ හානිය අවම කරගෙන ගොවිතැන් කරන්නටත්, නිපදවෙන දෑ රටවැසියාගේ දෛනික පාරිභෝජන සීමාවන් අභිබවා යමින් එකදිගට වෙළඳපොළට පැමිණීම වැළැක්වීම සඳහාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන් කීපයක්ම හඳුන්වාදී තිබේ. වගා කන්නයක ආරම්භයත් සමග ඔවුන් නිකුත්කරන ඉදිරි මාස දෙක තුනකට වලංගු වෙන කෘෂි කාලගුණික පුරෝකථන දැන්වීම ගොවියා විසින් කියවිය යුතුම නිවේදනයකි. කාලගුණය යනු උදේ කියන දේ හවසට වෙනස්වෙන අනාවැකියක් බව අපද පිළිගන්නෙමු. නමුත් උක්ත දැන්වීම හරහා ඉදිරි දේශගුණය පිළිබඳ යම් දැනුවත්වීමක් ගොවියාට නොලැබේ යැයි කියන්නටද බැරිය. දෙවනුව සලකා බැලිය යුත්තේ සති දෙකකට පමණ වරක් නිකුත්කෙරෙන බෝග පුරෝකථන වාර්තාවයි. මෙය

ගොවියාගේ ජංගම දුරකථනයටම ලබාගත හැකිය. ෆේස්බුක් එකේ ඕපාදූප සොයන ඇඟිල්ලෙන්ම තිරය පිරිමදිමින් පහසුවෙන් බලාගත හැකිය. ගමේ ගොවියාට ස්මාට් ෆෝන් තිබේදැයි දැන් ඉතින් අසන්න එපා. ඔහුට බැරිනම් ඔහුගේ දරුවන් හෝ ඒ වැඬේ කරදෙනු ඇත. අවශ්‍ය වනුයේ තොරතුර දැනගැනීමේ උනන්දුව පමණි. කුමක්ද මේ පුරෝකථනය? යම් බෝගයක් සිටුවීමට කලින් එහි අස්වැන්නේ වෙළෙඳ ඉරණම ගැන කෙරෙන කල්තියා දැනුම්දීමකි මෙය. කැරට් සිටුවන ගොවියෙක් තමාගේ අස්වැන්න අනාගතයේදී කුමන මිලකට අලෙවි වන්නේද යන්න සිටුවන මොහොතේදීම දැනගන්නේ මෙතැනදීය. අලෙවිය අපහසුවෙයි, කැරට් සිටුවන්න එපා වැනි බරපතළ අවවාද පවා මෙහිදී නිකුත් කරනා බැවින් වෙනත් බෝගයකට මාරුවීමට වගාකරුවාට හොඳටම ඉඩකඩ තිබේ. එසේ කෙරුවා නම් ශීත ගබඩා තුළ දමමින් රස්තියාදු වන්නට අස්වැන්නක් ගොවියා සතුව ඉතිරිවන්නේ නැත.

නියම බෝගය වගා බිමට දමා ගත්තාට පසුව වුවද උපදෙස් නතර නොවේ. පළිබෝධ උවදුරු අවම කරගැනීමටත්, පරිසරය සුරැුකෙන ආකාරයටත් ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ ක‍්‍රමවේදයන් ඔස්සේ වගාව පවත්වාගෙන යෑම පිණිසත් ලැබෙන උපදෙස් රාශියකි. ඒවා නිසිලෙස පිළිපැද්දානම් වගා බිමේදී සිදුවෙන බෝග හානියද අවම අගයකය.

අවාරයටත් අස්වැන්න බෙදී යන අයුරින්, පරිසර හිතකාමී ලෙස කෙරෙන සාධාරණ ගොවිතැනකට, හොඳට ඉර පායා කලට වෙලාවට වැසි වසින මේ මහපොළොව මත තවමත් හොඳට ඉඩකඩ තිබේ. විද්‍යාත්මකව කෙරෙන විපරම කෙතරම් සාධාරණද, ප‍්‍රායෝගිකද, තිරසාරද යන්න, නිවී යමින් තිබූ කොවිඞ් වසංගතය හිතුවක්කාරකම් හරහා ඇෙඟ් තවරාගත් තරම විමසා බලන පොඩි ළමයෙකුට වුවත් මේ වනවිට තේරුම් ගත හැකිය. ජනතාවට ලැබිය යුතු ආහාරයන්ගේ නාස්තියට වැට බැඳිය යුත්තේ බෝගයේ බීජ පසට යටකළ මොහොතේ පටන්ම මිස නෙලූ අස්වැන්න ගෙදර ගෙනා මොහොතේ සිට නොවේ. මේ සංයුක්ත ක‍්‍රියාවලිය තුළ ශීත ගබඩාවටත් යම් තැනක් නිර්මාණය වී තිබේවි. එතනදී එහි සේවය ලබාගත යුතුය. සියල්ලටම පෙර සුදුස්සාගෙන් සුදුසු උපදෙස් ලබාගැනීමට තරම් කීකරු සමාජයක් මෙරට නිර්මාණය කරගත යුතුය. පවත්නා සිරිත් විරිත් වලට අනුව වඩාත්ම අමාරු වනු ඇත්තේ එයයි.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment