ශී‍්‍ර ලාංකේය කාන්තා නර්තනයේ අභිමානනීය පෞරුෂය වජිරා චිත‍්‍රසේන

1354

2020 දේශබන්දු ආචාර්ය වජිරා චිත‍්‍රසේන මැතිනිය භාරතයේ පුරවැසියකු ලබන ඉහළම ජාතික සම්මානයක්වන ‘පද්ම ශී‍්‍ර’ සම්මානයෙන් පුද ලැබුවාය. ඒ ශී‍්‍ර ලාංකේය සාම්ප‍්‍රදායික නර්තන කලාව තුළින් ජගත් සංස්කෘතියට ඇය එක් කළ මහඟු කලා දායාදයට උපහාර පිදීමක් වශයෙන්ය. පසුගියදා අරලියගහ මන්දිරයේදී අග‍්‍රමාත්‍යතුමා සහ ඉන්දීය තානාපතිතුමා ඉන්දීය රජය වෙනුවෙන් එම සම්මානය ඇයට ප‍්‍රදානය කළහ.

කලාගුරු චිත‍්‍රසේනයන්ගේ සිසුවියක ලෙසින් සිය නර්තන දිවිය ආරම්භ කළ වජිරාවෝ 20වන සියසේ ශී‍්‍ර ලංකාවේ අග‍්‍රගන්‍ය නර්තන ශිල්පිනිය ලෙසින් සැලකුම් ලබන්නීය. ඇයගේ මහත්වූ ප‍්‍රතිභාවත්, විශිෂ්ට ශිල්පීයත්වයත් දීර්ඝකාලීන පර්යේෂණයන් ඔස්සේ උඩරට නර්තන කලාවේ කාන්තා භූමිකාව උදෙසා නව මංපෙත් විවර විය.

වජිරාවන්ගේ ප‍්‍රථම ප‍්‍රසිද්ධ රංගනය වූයේ 1948 ශී‍්‍ර ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් නිෂ්පාදනය කළ ‘පැජන්ට් ඔෆ් ලංකා’ ප‍්‍රසංගයේය. එහි චිත‍්‍රසේනයන් නිර්මාණය කළ ‘රාමායනය’ නර්තනාංගයේ ‘රන් මුවැත්තිය’ ලෙස ඇය රඟපෑවාය. 1952 රබීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘චණ්ඩාලිකා’ නෘත්‍ය නාටකය ඇසුරෙන් චිත‍්‍රසේනයන් නිර්මාණය කළ ‘චණ්ඩාලි’ මුද්‍රා නාටකයේ ප‍්‍රකෘතිගේ චරිතය රඟපාමින් මුද්‍රා නාට්‍ය චරිතාංග නර්තනය පිළිබඳ අත්පොත් තබන්නී, පසුව කරදිය, නල දමයන්නි ආදී මුද්‍රා නාට්‍යවල ප‍්‍රධාන චරිත රංගනය මගින් එම රංග ධාරාවේ අග‍්‍රඵල ලබන්නීය. වජිරාවෝ නර්තන ශිල්පිනියක හා රංග වින්‍යාස ශිල්පිනියක ලෙස චිත‍්‍රසේනයන් සෙවණේ වැඞී ප‍්‍රධාන නර්තන ශිල්පිනියක් ලෙසින් ලොව රටවල් ගණනාවක ස්වකීය නර්තන ප‍්‍රතිභාව විහිදා දක්වමින් බොහෝ පේ‍්‍රක්‍ෂක හා විචාරක පැසැසුම් රැසක් ලබා ගන්නීය. ආනන්ද සමරකෝන් සූරීන් ගේ සංගීතයට අනුව ‘කුමුදුනී’ ළමා මුද්‍රා නාට්‍යය නිර්මාණය කරමින් ඇරැඹුණු ඇයගේ මුද්‍රා නාට්‍යය නිර්මාණය චාරිකාව ‘වනජා, රන් කිකළි, නිල්යකා, නිරාශා, අණබෙරය, හපනා’ ආදී ළමා මුද්‍රා නාට්‍යය මෙන්ම ‘ගිනි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, බෙර හඬ, ශිව රංග’ ආදී කලාත්මක මුද්‍රා නාට්‍ය කෘති ගණනාවක් ශී‍්‍ර ලාංකේය රසිකයන් වෙත දායාද කිරීමට සමත් විය. 1965 හා 1972 වසරවල චිත‍්‍රසේනයන්ගේ ‘නෘත්‍යාංජලී’ සහ ‘නවාංජලී’ නර්තන ප‍්‍රසංග සඳහා වජිරාවෝ සාම්ප‍්‍රදායික ශාස්ත‍්‍රීය අර්ධ ශාස්ත‍්‍රීය හා ජන නැටුම් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළාය. විශේෂයෙන් ලී කෙළි, සවරන්, රබන්, තාලම් ආදී ජන නැටුම් නූතන වේදිකාව සඳහා ප‍්‍රතිනිර්මාණය කරමින් ඇය හඳුන්වාදුන් නව රංග වින්‍යාස ව්‍යාකරණය අද දක්වා බොහෝ ආධුනික නිර්මාණකරුවන් විසින් අනුගමනය කෙරේ.

  • උඩරට නර්තනයේ ලාස්‍ය ආකෘතිය කේතකරණය කිරීම

තාරණ්ඩව ලක්‍ෂණ බහුලව ඇති උඩරට නැටුමේ ලාස්‍ය ශෛලීය ඇය විසින් මනා ලෙස වර්ධනය කරනු ලැබීය. වසර ගණනක අඛණ්ඩව හා ගැඹුරු අධ්‍යයනය ඔස්සේ ඇය උඩරට කාන්තා නර්තනය සඳහා පුළුල් වාග් මාලාවක් නිර්මාණය කළාය. ශී‍්‍ර ලංකාවේ ඉමහල් ලෙස ජනපි‍්‍රය වුණු ඇයගේ ‘ගජගා වන්නම’ නර්තනය තුළ මෙම නර්තන ආකෘතිය මනාව පිළිබිඹුවේ. එම නර්තන වාග් මාලාව හුදු ලාස්‍ය චලනාවලියක් බවට පත් නොකර ඒ තුළින් ප‍්‍රබල පෞරුෂයක් මතු කිරීමට ද ඇය වග බලා ගත්තාය. ඒ සඳහා ඇය තමා තුළ වූ කාන්තා ලාලිත්‍ය අභියෝගයට ලක් කළ බව වජිරාවන් පවසයි.

‘මා නැටුම් හැදෑරීම පටන් ගත් කාලයේ මගේ ගුරුතුමන් (චිත‍්‍ර සේනයන්) මාගේ පරමාදර්ශය වුණා. මා හැමවිට ම ඔහුව දුටුවේ ඉතා ජවසම්පන්න නැටුම් ශිල්පියකු ලෙසයි. මා නිරතුරුවම ඔහු අනුකරණය කළා. ඔහු ඉහළ පැනීමේ අධි මාත‍්‍රා නටන විට එවැනි දේ කාන්තාවකට නුසුදුසුයි කියා මා බැහැර කළේ නෑ. මා ඉහළ පැන නැටීමේ ශිල්ප ක‍්‍රම දිගට ම හැදෑරුවා. පසුව එය නවතම සහ සුවිශේෂී නැටුම් ශිල්ප ක‍්‍රමයක් ලෙස දියුණු වුණා. පසුව අප දෙදෙනා එකට ප‍්‍රසිද්ධ රංගනයක යෙදුණේ මෙම ශිල්ප ක‍්‍රමය ඉදිරිපත් කිරීම සඳහායි. තාරණ්ඩව ලාස්‍ය නම් වූ මෙම නර්තනය උඩරට නැටුමේ ස්තී‍්‍ර සහ පුරුෂ නැටුම් පිළිබඳව කෙරණු පර්යේෂණයක් ලාංකේය වේදිකාවේ ස්තී‍්‍ර නැටුම් විලාසය පිළිගැනීමට ලක්වුණේ මෙතැන් පටන්ය. (උපුටනය වජිරා සමග පිළිසඳරක් 1996-වජිරා චිත‍්‍රසේන 50 වසරක නර්තනය සමරු කළඹ)

පෙරදිග නෘත්‍ය කලාව පිළිබඳ අපේ කලාපයේ වඩාත්ම ප‍්‍රයෝජිත මූල ග‍්‍රන්ථයවන භරතමුනිගේ, නාට්‍ය ශාස්ත‍්‍රයේ සඳහන් එක් නර්තන ප‍්‍රභේදයක් ‘ඒකාහාර්ය ලාස්‍ය’ නම් වේ. එක් පාත‍්‍රයකු විසින් ලාස්‍යාංග නිරූපණය කිරීම අන්තර්ගත මෙම ප‍්‍රභේදය භරත නාට්‍යම්, ඔඩිසි, කුච්චිපුඩි, මෝහිණී ආට්ටම් ආදී නර්තන ශෛලීන්හි ප‍්‍රබලව දෘෂ්‍ය මානය. චිත‍්‍රසේනයන් ඇතුළු පුරෝගාමී ලාංකික නර්තන ශිල්පීන් භාරතීය නැටුම් ඇසුරින් දේශීය වේදිකා නර්තනයෙහි වර්ධනය කළ මෙම ශෛලිය වඩාත් හොඳින් කේතකරණයකොට නිවැරදි ව්‍යාකරණානුකූලව ආකෘති ගතකොට කලාත්මක ලෙස ප‍්‍රමිතිගත ශෛලියක් ලෙසින් වේදිකාව මත ස්ථාපිත කරන්නේ වජිරාවන්ය. වර්තමානයෙහි මෙම ලාංකේය ‘ඒකාහාර්ය ලාස්‍යය’ අප නර්තනයේ ජනපි‍්‍රය ධාරාවක් බවට පත්වී ඇත්තේ ඒ තුළ හොඳ නර්තනියක ගේ ශිල්පීය ශක්‍යතාවන් පෙන්වීමට සුදුසු ආකෘතියක් හමුවන බැවින්ය. 1980, 90 දශකවලදී උපේඛා චිත‍්‍රසේන සහ ඛේමා වැනි ශිල්පිනියන් ඉදිරියට ගෙන එන්නේ වජිරාවන් වර්ධනය කළ මෙම නෘත්‍ය ආකෘතියයි.

ශී‍්‍ර ලාංකේය කාන්තා නර්තනයේ අභිමානනීය පෞරුෂය වජිරා චිත‍්‍රසේන
  • මුද්‍රා නාට්‍ය හා රංග වින්‍යාස ශිල්පිනියක ලෙස

‘Prima Ballerina’ ‘හෙවත් අග‍්‍ර නෘත්‍ය ශිල්පිනී’ යනු බටහිර බැලේ නර්තන කලාවේ ඉතා ගෞරවණීය චරිතයකි. ස්වකීය ප‍්‍රශස්ථ රංගන ප‍්‍රතිභාව මගින් එකී රංග කලාව ආලෝකමත් කිරීම නිසා විශිෂ්ට නර්තන ශිල්පිනියක් සමාජය විසින් එවන් ගෞරවණීය තත්ත්වයෙන් සලකන්නේය. ප‍්‍රකට නාට්‍යවේදියකු, විචාරකයකු වූ බන්ධුල ජයවර්ධනට අනුව වජිරා ලාංකේය වේදිකා නර්තනයේ පී‍්‍රමා බැලරීනාවය. ‘එක්තරා කැළඹිලිකාරී පර්යේෂණ අවධියකින් පසු ශී‍්‍ර ලාංකීය වේදිකා නර්තන කලාවේ විශාරද බැලරීනාව වන වජිරා අප හමුවට එන්නීය. ඇයගේ අත්යන්ත ජන්ම ප‍්‍රතිභාවත්, පරමාදර්ශී සිරුරු හැඩයත් සමගින් ඇය ශී‍්‍ර ලාංකික වේදිකාවේ පෙර බිමට ම කඩා වදින්නේ අවශ්‍යයෙන්ම දේශීය වශයෙන් නිර්මාණය වුණු බැලරීනාවක ලෙසින්ය.’ (උපුටන ‘නෘත්‍ය පූජා’ චිත‍්‍රසේන නර්තන දිවියේ 50 වසර සැමරුම් ග‍්‍රන්ථය)

මුද්‍රා නාට්‍ය රංගනය යනු හුදෙක් නර්තනය මත පදනම් වුණු කලාවක් නොව, නර්තනය, රංගනය සහ ඉසුයුම් භාව ප‍්‍රකාශනය යන අංගත‍්‍රයෙහි මනා සුසංයෝගයකි. චිත‍්‍රසේනයන්ගේ පරමාදර්ශී මුද්‍රා නාට්‍යයවන කරදිය සහ නල දමයන්ති යන කෘතීන්හි සාර්ථකත්වයට උරදුන් මුඛ්‍ය සාධකයක් වන්නේ වජිරාගේ ප‍්‍රබල රංගනයයි. පීඩිත ධීවර තරුණියක ලෙසින් නාට්‍යමය හා භාවරූපී රංගනයක් මගින් කරදිය මුද්‍රා නාට්‍යයේ ‘සිසී’ ලෙසින්ද අතිශය සංගීතමය හා සෞන්දර්ය පූර්ණ රංගනයක් ඔස්සේ නල දමයන්ති හි හංසයා ලෙසින් ද ඇය උපරිම ශිල්පීය සීමා සටහන් කරන්නී. ලාංකේය මුද්‍රා නාට්‍ය චරිතාංග රංගනයේ ප‍්‍රමිතීන් ස්ථාපිත කරයි.

නිවැරදි රේඛා සෞන්දර්ය හා හැඩ තලවලින් සමන්විත නර්තනයක්. භාවාතිෂයමුක්ත මනා පාලනයකින් යුත් ප‍්‍රකාශනාත්මක රංගනයක් සිය ප‍්‍රබල පෞරුෂයක් නිසාම වජිරා ජගත් මුද්‍රා නාට්‍ය සහ නව නර්තනයෙහි මහා නර්තනියන් වන ගලීනා උලනෝවා, මාර්කා ග‍්‍රැහැම් වැන්නවුන්ගේ තලයේ වැජඹෙන්නට සුදුසුකම් ලබන්නීය.

20 වන සියවසේ වේදිකා රංග වින්‍යාසය (Choreography) නම් විෂය තුළ වජිරා අතික‍්‍රමණය කිරීමට සමත් ශිල්පිනියක ශී‍්‍ර ලංකාවේ මෙතෙක් පහළ නොවූ බව මාගේ විශ්වාසයයි. සෞන්දර්යාත්මක මෙන්ම නාට්‍යමය රංග රචනා ඔස්සේ සාම්ප‍්‍රදායික ගැටුමක ප‍්‍රතිනිර්මාණයක්, මුද්‍රා නාට්‍යයක හෝ වෙනත් නිර්මාණාත්මක නර්තනයක වේදිකාවේ ඉදිරිපත් කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමට නම් වජිරාවන්ගේ විවිධ නිර්මාණ සම්ප‍්‍රදාය ඊට ප‍්‍රමාණවත් වේ. තෝරාගත් ප‍්‍රස්තූතයක් පේ‍්‍රක්‍ෂකාභිිමුඛ කිරීම සඳහා දෙන ලද බෙර පදයේ, ගායනයේ හෝ සංගීත කණ්ඩයේ භාවය සහ හැඩය ශාරීරික චලන මගින් ප‍්‍රතිරූපණය කිරීම වජිරාවන් ගේ රංග වින්‍යාස ක‍්‍රමවේදයේ ප‍්‍රබල අංගයකි. ඒ සඳහා බෙර පදයේ හෝ සංගීතයේ භාවමය මූල්‍ය හා සබැඳි චලන මූලය ස්පර්ශ කිරීමටත් ඒ තුළින් අතිශය කලාත්මක වූ චලන විකාශය කිරීමටත් ඇය තුළ වූ අපූර්ව හැකියාව දිගු කලක් චිත‍්‍රසේනයන් යටතේ ලැබූ පරිචය, විදෙස් කෘති අධ්‍යයනය තුළින් ලැබූ ඥානය සහ ශිල්පිනියක ලෙස සතතාභ්‍යාසයෙන් ලැබූවක්ම බව ඇය මෙසේ ප‍්‍රකාශ කරයි. ‘නැටුම් ශිල්පිනියකව සිට නර්තන නිර්මාණකරණයට පිවිසීම මට දැවැන්ත පියවරක් වුණා. කලාකරුවකු ලෙස මගේ ස්වාධීනත්වය හැදෑරීමට එය හොඳ අවස්ථාවක් වුණා. දෙන ලද අඩි රටාවන් විවිධ ලෙස පෙළ ගස්වමින් මා නිර්මාණයේ යෙදුණා. එය පවතින නැටුම් රටාවන් වැඩි දියුණු කිරීමක් වුණා. බෙර පද දෙකක් අතර අත් පා පිළිවෙළට තබා ගැනීම් ආදිය සඳහා සරල රීති මේ තුළින් නර්තනයට එකතු වුණා. නැටුම් ශිල්පිනියක් වශයෙන් මා ලද තෘප්තියට වඩා වැඩි තෘප්තියක් මා නැටුම් නිර්මාණයෙන් ලැබුවා.’

‘ලෝකයේ වෙන රටවල විවිධ නැටුම් ක‍්‍රම පිළිබඳව මා ලැබූ අත්දැකීම්, දේශීය නැටුම් ක‍්‍රම හා සංකලනය කරමිනුයි මා නැටුම් රඟ දැක්වීමෙහි හා නිර්මාණකරණයෙහි යෙදෙන්නේ. පේ‍්‍රක්‍ෂකයාට අප කියන්නට යන දේ හරියාකාරව ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේදිකා ශිල්ප, එනම් සංගීතය, ආලේකකරණය, රංග වස්ත‍්‍ර ආදිය පිළිබඳව මා ඉගෙන ගත්තේ චිත‍්‍රසේන කලායාතනයෙනි. (උපුටනය වජිරා සමග පිළිසඳරක් වජිරා චිත‍්‍රසේන 50 අවුරුදු නර්තන සැමරුම් කළඹ 1996)

වජිරාවන්ගේ රංග වින්‍යාස ආභ්‍යාසයන් අතර සුවිශේෂ වූ කෘති දෙකක් පිළිබඳව සඳහන් කරනු කැමැත්තෙමි. ඉන් එකක් නම් 1967 දී ඇය නිර්මාණය කළ ‘ගිනි හොරා’ මුද්‍රා නාට්‍යයයි. එතෙක් ලාංකේය මුද්‍රා නාට්‍යයෙහි වූ ගීත භාවිතය බැහැර කොට (චිත‍්‍රසේන කරදිය සහ නල දමයන්ති තුළ ගී භාවිතය අවම කළා) සම්පූර්ණයෙන්ම සංගීතයේ හා නර්තනයේ සුසංයෝගයෙන් නාට්‍යමය රංග වින්‍යාසයක් වජිරාවන් මෙහිදී නිර්මාණය කළාය. උඩරට නැටුමේ මූලයන් මත පිහිටුවමින් බටහිර සමකාලීන නර්තනයේ යම් ආභාසයක් සහිතව නිර්මාණය කළ එම මුද්‍රා නාට්‍යය ශී‍්‍ර ලංකාවට නව්‍ය රංග වින්‍යාස ආකෘතියක් හඳුන්වා දුන්නා.

දෙවැනි කෘතිය නම් චිත‍්‍රසේනයන්ගේ අධීක්‍ෂණය යටතේ 1983 වජිරා රංග වින්‍යාසය කළ ‘ශිවරංග මුද්‍රා නාට්‍යය යි. හුදු ශ‍්‍රවණය සඳහා නිර්මිත දීර්ඝ සංගීත කෘතියකට තේමාවක් අන්තර්ගතකොට එය රංග වින්‍යාසයක් මගින් ඉදිරිපත් කිරීමට ලාංකික වේදිකාව තුළ උත්සහ කළ ප‍්‍රථම අභ්‍යාසය ශිවරංග වේ. (පණ්ඩිත් රවිශංකර් ගේ සංගීත කෘතියක් මීට පාදක විය) සංගීත කෘතියේ හැඩ රුව හා විකාශය ඔස්සේ කථාව වර්ධනය කරමින් නාට්‍යමය රංග වින්‍යාසයක් මගින් ශිව හා පාර්වතීගේ කතාව අත්‍යාලංකාර හා උත්කර්ෂණීය රංගයක් ලෙසින් වජිරාවන් නිර්මාණය කළාය.

චිත‍්‍රසේනගේ සිසුවිය ලෙසින් ඇරඹි ඇයගේ දීර්ඝ නර්තන දිවිය ජාතික සහ ජාත්‍යන්තර රංග ශාලාවලින් නැඟුණු අඛණ්ඩ පේ‍්‍රක්‍ෂක අත්පොළසන් හඬ මැඳින් මේ දක්වාම චිත‍්‍රසේනයන්ගේ කලාව ද ආලෝකමත් කරමින් ශිෂ්‍ය පරම්පරා තුනක් හරහා චිත‍්‍රසේන සම්ප‍්‍රදායේ වත්මන් නියෝජිතයන්ටද අනුප‍්‍රාණයක් වෙමින් ලාංකේය නර්තන කලාව අනාගතය දක්වා ගෙන යන මහා යාත‍්‍රාවක් බවට පත්වී ඇත.

ශී‍්‍ර ලාංකේය කාන්තා නර්තනයේ අභිමානනීය පෞරුෂය වජිරා චිත‍්‍රසේන
දේශබන්දු ආචාර්ය වජිරා චිත‍්‍රසේන මහත්මිය ඉන්දීය රජයෙන් පිරිනැමුණු ‘පද්ම ශ‍්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබු අයුරු.

වජිරාවන්ගේ සමස්ත කලා මෙහෙවර ධාරාවන් කීපයක් ඔස්සේ පහත අයුරින් සඳහන් කළ හැකිය.

  • නිවැරදි රේඛා හා හැඩතල පවත්වා ගනිමින් සාම්ප‍්‍රදායික රාමුව නොබිඳිමින් එය වඩාත් ප‍්‍රසාරණය කරමින් උඩරට නර්තනයෙහි ලාස්‍ය ආකෘතිය ස්ථාපිත කිරීම.
  • කරදිය ‘සිසී’, නලදමයන්ති ‘හංසයා’ හා චණ්ඩාලිකා ‘මායා’ වැනි චරිත ඔස්සේ ශී‍්‍ර ලාංකේය මුද්‍රා නාට්‍ය චරිතාංග රංගනය පිළිබඳ ප‍්‍රමිතීන් සකස් කිරීම.
  • ‘කරදිය, නල දමයන්ති, කිංකිණි කෝළම, ශිවරංග’ යන මුද්‍රා නාට්‍ය හා අනිකුත් මුද්‍රා නාට්‍යවල රංග රචනා ඔස්සේ ශී‍්‍ර ලංකාවට උචිත නූතන මුද්‍රා නාට්‍ය රංග වින්‍යාසයන් හා අංග චලන ව්‍යාකරණයක් හඳුන්වාදීම
  • 1950 දශකයේ සිට පුරෝගාමී ළමා මුද්‍රා නාට්‍යය නිර්මාණය කරමින් ඒ සඳහා පැහැදිලි ආකෘතියක් හඳුන්වාදීම.
  • හුදු සාම්ප‍්‍රදායික නර්තනයන්ගේ පරිපූර්ණ වේදිකා නර්තන ශිල්පියෙකු පුහුණු කිරීම සඳහා සාම්ප‍්‍රදායික මූලයන්ගේ ආභාසයෙන් පුළුල් සරඹ අභ්‍යාස හා චලන මාලාවක් නිර්මාණය කිරීම.
  • තමාගෙන් පසු ජාතික තලයට පැමිණිය හැකි වෘත්තීය මට්ටමේ දෙවැනි ගෝල පරපුරක් බිහි කිරීම.
  • වසර හැත්තෑවක ශී‍්‍ර ලාංකේය නව නර්තන ඉතිහාසය තුළ ගුරුවරියක හා නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කළ වජිරා චිත‍්‍රසේනයන් අතික‍්‍රමණය කිරීමට කිසිදු ලාංකේය නර්තන ශිල්පිනියකට මෙතෙක් නොහැකි වීම.

වජිරාවන් පිළිබඳව චිත‍්‍රසේනයන් 1985 දී කියූ කියමනකින් මෙම ලිපිය අවසන් කිරීමට සුදුසු යැයි සිතමි.

‘දේශීය නැටුමට වජිරාගේ දායකත්වය ‘සුවිශාල වූ හා ඉතා ඈතට විහිදී යන්නකි. ඇයගේ නිර්මාණශීලී බලපෑම නිසැක වශයෙන්ම අනාගත ශී‍්‍ර ලංකාවේ නර්තන වේදිකාවට ප‍්‍රබල ආභාසයක් වනු ඇත.

රවිබන්ධු විද්‍යාපති

ශී‍්‍ර ලාංකේය කාන්තා නර්තනයේ අභිමානනීය පෞරුෂය වජිරා චිත‍්‍රසේන
advertistmentadvertistment
advertistmentadvertistment