ලොවපුරා කිතුනුවන් හැඬ වූ වතිකානුවේ අඳුරුතම දවස
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වූ බව ‘දිවයින සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙයි’ උන්වහන්සේ ලොව පුරා බිලියනයකට අධික කතෝලික ජනතාවගේ අසහාය ආගමික නායකයා විය. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ ආරාමයේදීය. නියුමෝනියා රෝගය හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝමයේ ගෙමෙලි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ෆැන්සිස් පාප්වහන්සේ අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය. පෙරේදා (20 දා) වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්ව සිටියහ. ඊයේ (21දා) උදෑසන පාප් වහන්සේගේ අභාවය වතිකානු කැමරලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල් විසින් නිවේදනය කරන ලදී.
“ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පියතුමාගේ අභාවය පිළිබඳව මම දැඩි ශෝකය ප්‍රකාශ කළ යුතුයි, එතුමාගේ මුළු ජීවිතයම ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේගේ පල්ලියට සේවය කිරීම සඳහා කැප කරන ලදි” යනුවෙන් වැඩිදුරටත් එහි සඳහන්ව තිබිණි.
එතුමා පළමු ලතින් ඇමෙරිකානු පාප් වහන්සේ විය. රෝමානු කතෝලික පල්ලියේ නායකයා ලෙස කටයුතු කළ වසර 12 තුළ පාප් වහන්සේ කිහිප වරක්ම රෝහල්ගත කෙරුණු අතර වයස අවුරුදු 21දී පෙනහලුවලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට උන්වහන්සේට ජීවිත කාලය පුරාම සිදු විය.
ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හීදි මෙතුමා ලොවට බිහිවිය. පූජක පුතකු ලෙස පුහුණුව ලැබීම සඳහා දෙව්සත්හලට ඇතුළත් වීමට පෙර එතුමා කෙටි කලක් රසායනාගාරයක තාක්ෂණික ශිල්පියකු වශයෙන්ද, රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියකු ලෙස ද කටයුතු කර තිබේ. මෙතුමා 1969දී ජේසු නිකායික පියතුමකු වශයෙන් පූජකවරය ලබාගත් අතර 1973 සිට 1979 දක්වා ආජන්ටිනාවේ ප්‍රාදේශීය නායකයාණන් ලෙස කටයුතු කර තිබේ.
1998 වසරේදී බුවනොස් අයර්ස් හි අගරදගුරුතුමන් ලෙස මෙතුමා පත්කරන ලද අතර 2001 වසරේ දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් අතින් කාදිනල් ධුරයට ඔසවන ලදි. 2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ පාප් තනතුර සඳහා එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස බර්ගොග්ලියෝ කාදිනල්තුමා තෝරා ගන්නා ලදි. පාප් පදවියට පත් වීමෙන් පසු ෆ්‍රැන්සිස් යන නාමය ලබාගත් මෙතුමාගේ පෞද්ගලික නාමය වූයේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ යන්නයි. සාමාන්‍ය ජීවිතයේදී ෆ්‍රැන්සිස් පාප්තුමන් නිහතමානී, සරල, අල්පේච්ඡ ජීවිතයක් ගතකරන පුද්ගලයකු ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියක් උසුළුවේය. අරාබි අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ පළමු පාප් වහන්සේ වූයේ එතුමාය.
පළමු වන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් 2015 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ද සංචාරයක නිරත විය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධානතම අරමුණ වූයේ, ජෝශප් වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා ලෙස ඔසවා තැබීමය. යුද සමයේදී පවා මන්නාරම මඩු දේවස්ථානයට පැමිණි උතුරේත් දකුණේත් ජනතාව ජාති භේද ආගම් භේද අතහැර සහෝදරත්වයෙන් යුතුව ජීවත් වූවා සේම යුද්ධයේ කටුක බව අමතක කොට එකිනෙකාට සමාව දෙමින් සමස්ත ශ්‍රී ලංකාවාසීන් සහෝදරත්වය පෙරදැරි කරගෙන ජීවත් විය යුතුව ඇතැයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මන්නාරම මරුද මඩු දේවස්ථානයේ පවැත්වූ විශේෂ දේව මෙහෙකයෙන් පසුව ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
පාප් වහන්සේ කෙනකුගේ අවසන් අවමංගල්‍යය වූයේ 2005 දී පැවැත්වුණු දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේගේ අවමංගල්‍යය වන අතර, ඉතිහාසයේ විශාලතම ක්‍රිස්තියානි එක්රැස්වීම්වලින් එකක් වූ එය හේතුවෙන් මිලියන හතරක ජනගහනයක් රෝමයට පැමිණෙන්නට ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට පැය කීපයකට පෙර ඇමෙරිකානු උප ජනපති ජේ. ඩී. වෑන්ස් උන්වහන්සේ බැහැදැක තිබේ.
චතුර පමුණුව