ශුන්‍ය අවස්ථාව

1894

ආණ්ඩුව ගෙදර යන්නෙත් නැත; ගෝල්ෆේස් අය ගෙදර යන්නෙත් නැත. ලංකා ඉතිහාසයේ කිසියම් ආණ්ඩුවකට විරුද්ධව හටගත් ලොකුම මහජන කැළඹීම මෙය බව අපගේ නිරවුල් අදහසයි. 2010 ජනාධිපතිවරණයේදී මේ රටේ ඇතැම් කාන්තාවන් මහින්ද රාජපක්ෂ ජනපති කරවීම සඳහා ඡන්දය පාවිච්චි කළේ ඔහු යුද ජයග්‍රහණයට දුන් නායකත්වය නිසා නොව ඔහුගේ මුහුණට තේජස් පෙනුමක් එක් කළ උඩු රැවුල නිසාය. 2010 දී යුද ජයග්‍රහණයේ සැබෑ අයිතිකරු පිළිබඳ මතභේදයක් හටගෙන තිබිණි. කට්ටියකගේ මතය වූයේ යුද ජයග්‍රහණයේ අයිතිය ගෙඩිය පිටින්ම ගෝඨාභය රාජපක්ෂ සතු බවය. තවත් කට්ටියක් කීවේ මහින්ද රාජපක්ෂ එහි අයිතිකරු බවය. තුන්වන පිරිසකගේ මතය නම් යුද හමුදාපති සරත් ෆොන්සේකා යුද්ධය දිනූ බවය. මෙහිදී අපි ප්‍රභාකරන්ටත් කිසියම් ගෞරවයක් ලබා දෙමු. ඉහත සඳහන් තුන්දෙනා තනි තනිව හෝ වෙන් වෙන්ව හෝ යුද්ධය දිනා ගත්තේ ප්‍රභාකරන් පරාජය භාරගත් බැවිනි. එය වෙනම කතාවක් සේ සලකා පසුව සාකච්ඡා කරමු. මේ වෙලාවේදී මේ රටේ මිනිසුන් රාජ්‍ය නායකයා සහ පාර්ලිමේන්තුව ගැන කියන කතා ඉතාම දරුණු විවේචන ලෙස සැලකිය යුතුයි. ගෝල්ෆේස් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට යකා නටද්දී ඒ පළාතේ සිටි යුද හමුදාව සහ පොලිසිය සියලු දේ ගාණට කළමනාකරණය කර ගත්තේය. කිසිවිටක ලේ හැලීමක් සිදු වුණේ නැත. කිසිවිටක පොලිස් වෙඩිල්ලක් පත්තු වුණේ ද නැත. කිසිවිටක විරෝධතාකරුවෙක් වෙඩි කා මැරුණේ නැත. එකෙක් දෙන්නෙක් මළා නම් මැරුණේ හාට්ඇටෑක්වලිනි. එහෙත් රඹුක්කන පොලිසිය වැඩේ කෑවේය. රඹුක්කනදී හටගත් විරෝධතාව පොලිසිය විසින් අවම බලය යොදා මැඬ පැවැත්වීමට යෑමේදී පොලිස් වෙඩි පහරින් එක් විරෝධතාකරුවකුගේ බඩවැල් එළියට පැමිණ ඔහු මිය ගිය අතර තවත් හතර දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ වෙන්ටිලේෂන් යන්ත්‍රවලට සම්බන්ධ කිරීමට සිදු විය. ආණ්ඩුවට එරෙහිව ජන රාශියක් විසින් පවත්වනු ලබන විරෝධතාවක් සිවිල් යුද්ධයක් කිරීමේ හැකියාව පොලිසියේ අවම බලය නමැති ක්‍රියාවලියට ඇත. අවම බලය නමැති සාධකයට හරියාකාර නියුක්තියක් ඇති බවක් අපට නොපෙනේ. නිරායුධ විරෝධතාකරුවාට බැටන් පොල්ලකින් පහර දෙන විට එම බැටන් පොල්ල අවම බලය බවට පත් වේ. විරෝධතාකරුවා ෂොට් ගන් එකක් රැගෙන එන විට පොලිසිය සතු අවම බලය වන්නේ මැෂින් තුවක්කුවයි. විරෝධතාකරුවා ළඟ මැෂින් තුවක්කුවක් තිබෙන විට පොලිසියේ අවම බලය කාලතුවක්කුව විය හැකිය. බෝම්බවලට ද මෙය මේ ආකාරයෙන්ම ආදේශ කළ හැකිය. අරක්කු මුඩියට සෙට් කරන බෝම්බ ඩප්පිය අතැති විරෝධතාකරුවාට බැටන් පොල්ලෙන් පහරදී කළ හැකි මඟුලක් නැත. එවිට පොලිසිය කරන්නේ ඔහු වෙත අත් බෝම්බයක් විසි කිරීමය. රඹුක්කන සිද්ධියේදී අවම බලය පාවිච්චි කළ ආකාරය ඉතාම අසංවිධිත බව දැනගන්නට තිබේ. සාමාන්‍යයෙන් උග්‍ර කලහකාරී තත්ත්වයක් තුළදී කලහකරුවන්ගේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පොලිසියට නියෝග ලැබේ. රඹුක්කනදී ලැබුණු එම ‘ෆයරිං ඕඩරය’ ක්‍රියාත්මක කරන ලද්දේ විරෝධතාකරුගේ බොකු බඩවැල් එළියට ඇද දැමීමෙනි. බොකු බඩවැල් කතාව කියන විට කුඩා කාරණයක් මතක් වේ. 1980 දී ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට විරුද්ධව සමස්ත වැඩ වර්ජනයක් ඇති විය. මේ වැඩ වර්ජනයේ එක් නායකයකු වූයේ වාසුදේව නානායක්කාර ය. ජේ. ආර්. ගේ ජාතික සේවක සංගමයේ බයිසිකල් චේන් මැරයෝ වාසුදේවගේ උදරය පිහියකින් කපා පැන දිවූහ. එවිට අතුණුබහන් එළියට පැමිණි අතර ඒවා නැවත බඩ තුළට ඇතුළු කර එළියට නොඑන පරිදි ඉස්පිරිතාලේට යන තුරු දෑතින් අල්ලා සිටීමට වාසුදේවට සිදු විය. ශ්‍රී ලංකාව යනු ශිෂ්ටාචාරයේ බොහෝ දුරක් පැමිණි රටකි. මහාවංශයට අනුව අවුරුදු 2500 ක ලිඛිත ඉතිහාසයක් අපට තිබේ. සුප්‍රකට පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගලට අනුව ශ්‍රී ලංකාවට අවුරුදු 6500 ක ශිෂ්ට ඉතිහාසයක් තිබේ. රාමායනයට අනුව මේ ඉතිහාසය අවුරුදු 15000 කට වඩා වැඩිය. මෙතරම් ශිෂ්ට වූ ජාතියක මිනිසුන්ගේ බඩ බොකු එළියට ඇදිය යුතු නැත.

එක එකාට ඕනෑ පරිදි තමන් ඉල්ලා අස් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවසීය. හැබැයි ඇත්තම කතාව නම් මහින්ද රාජපක්ෂ තවදුරටත් බලය රැඳී සිටීම ඔහු වටා සිටින පල් හොරුන්ට අත්‍යවශ්‍ය බවය. අගමැති රාජපක්ෂ පවසන්නේ කිසියම් පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම් තමා බලය අත්හරින බවයි. එහෙත් විශාල ජන කොටසක් තමන් ප්‍රතික්ෂේප කරමින් පාරට බැස සිටින මොහොතක නායකයන් කළ යුත්තේ නම්බුකාර ලෙසත් නිහතමානී ලෙසත් එළියට බැසීම ය. මීට මාස තුනකට පෙර මේ අර්බුදය බුබුළු දැමීමට පටන් ගත් මුල් අවස්ථාවේ තමන්ට මෙය කළමනාකරණය කර ගැනීමට බැරි බව කියමින් ජනාධිපතිතුමා ඉල්ලා අස්වූයේ නම් ජනතාව තුළ ඔහු කෙරෙහි මහත් ගෞරවයක් ඇති වීමට ඉඩ තිබුණි. එසේ නම් වැඩි කරදරයක් නැතුවම ඉදිරි ජනාධිපතිවරණයකදී තරග කිරීමටත් ජය ගැනීමටත් ඔහුට හැකි වනවා ඇත. එහෙත් ඒ අවස්ථා සියල්ල අවසන් වී තිබේ. රාජපක්ෂවරුන් පිළිබඳව දැන් ඇත්තේ ශුන්‍ය අවස්ථාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment