ශුභාශුභ නිමිති දැනගත හැකි පුරාතන ලාංකීය නාඩි ශාස්ත්‍රය නොහොත් නළ ශාස්ත්‍රය

499
දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. අතීතයේ සිට මිනිසා තම කායික සහ මානසික සුවය සඳහා විවිධ ශාස්ත්‍රීය ක්‍රමවේදයන් අනුගමනය කර ඇත. වර්තමානයේ බටහිර වෛද්‍ය ක්‍රම මෙන්ම පෙරදිග ආයුර්වේදාගත ශිල්පීය ක්‍රම මගින් රෝග ව්‍යුපශමනයට අවශ්‍ය ඖෂධ භාවිත කරනු ලබයි. මිනිසාගේ යහ පැවැත්ම උදෙසා නිර්මිත පෙරදිග ශාස්ත්‍රීය ක්‍රමවේදයන් අතරින් ආයුර්වේද, ජ්‍යොතිෂ, භූතවිද්‍යා යනාදියට වැදගත් තැනක් හිමි වේ. මේ අතරින් නාඩි පරීක්ෂා යනු පෙරදිග ආයුර්වේදයේ දක්නට ලැබෙන විශේෂ ශාස්ත්‍රයකි. මෙතුළින් ත්‍රිදෝෂයන් පිළිබඳ තක්සේරුව සහ රෝග විනිශ්චය සිදුකළ හැකි බව ආයුර්වේදීය ග්‍රන්ථ තුළ අවධාරණය කර ඇත. නිදසුනක් ලෙස යෝග රත්නාකර නම් ග්‍රන්ථයට අනුව ශරීරයේ පවත්නා සියලු රෝග නාඩි පරීක්ෂාවෙන් හඳුනාගත හැකි ය.

නූතන ස්පන්දන වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ආයුර්වේදයේ ද නාඩි යන්නෙන් මුළු ශරීරය පුරාම පවත්නා ජීවය අර්ථවත් කෙරේ. එහි දැක්වෙන රෝග විනිශ්චය සඳහා පවත්නා අවයව සහ ස්ථාන අටෙන් (නාඩි, මුත්‍රා, මුහුණ, ඇස, දිව, කථනය, සම, ඉරියව්ව) අතිශය වැදගත් එකක් වන්නේ නාඩි පරීක්ෂාවයි. එහි දී රෝග පරීක්ෂාව තුළින් සිදු කරන විනිශ්චය රෝගය පිළිබඳව සිදු කරන සාධාරණ පුරෝකථනයක් ලෙසින් හැඳින්විය හැකි ය. වා පිත් සෙම් විසම වීමත් එතුළින් හට ගන්නා රෝගාබාධයනුත් නිවැරදිව පුරෝකථනය කිරීමේ හැකියාව නාඩි පරීක්ෂාවට ඇත. මෙම ශාස්ත්‍රය විස්තර කිරීම සඳහා ලියවී ඇති කෘති 30 කට අධික ප්‍රමාණයක් දැකිය හැකිය. යෝග රත්නාකර, රාවණකෘත නාඩි පරීක්ෂා, නාඩිඥාන, භෝජරාජකෘත නාඩි ප්‍රකාශ, නාඩි ප්‍රබෝධ යනු එම ග්‍රන්ථ වලින් කිහිපයකි.

ලාංකීය නාඩි ශාස්ත්‍රය නොහොත් නළ ශාස්ත්‍රය

අප මෙහි දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඉහතින් දක්වා ඇති ආයුර්වේද, ජ්‍යොතිෂ, භූතවිද්‍යා යන විෂයන්ට කිසියම් සබඳතාවක් ඇති එහෙත් එම ශාස්ත්‍රීය ක්‍රමවේදයන්ට මදක් වෙනස් වූ ශාස්ත්‍රයකි. මෙය හුස්ම ගැනීමේ ශාස්ත්‍රය ලෙස සරලව පැවසිය හැකි ය. පුරාතන නිමිති ශාස්ත්‍ර ක්‍රමයක් ලෙසින් හැඳින්විය හැකි මෙතුළින් නාසයෙන් ඇතුළු වන සහ පිටවන වායුව අනුව ශුභාශුභ දැන ගැනීම විශේෂත්වයයි. පුරාණ ලක්දිව මෙය දියුණු මට්ටමක පැවැති බවටත් නොයෙක් අවස්ථාවල ජය, සාර්ථකත්වය සහ සුවය උදෙසා භාවිත කර ඇති බවටත් සාධක සාහිත්‍යාත්මක මූලාශ්‍ර මගින් සොයාගත හැකි ය. ශරීර සුවතාව උදෙසා නූතනයේ භාවිත කෙරෙන නවීන යන්ත්‍රෝපකරණ සහ ඖෂධ වෙනුවට පැරැන්නන් සතුව ස්වභාවික ක්‍රමවේදයන් පැවැති බවට සාධකයක් ලෙස මෙම ශාස්ත්‍රය පෙන්වා දිය හැකි ය. පුරාණයේ පඬිවරු මිනිස් සිරුරේ සුවපත් බවත් ප්‍රාණවත් බවත් පවත්වා ගැනීමට නළ ශාස්ත්‍රය පුරුදු කළ බව සඳහන් වේ. මෙමගින් කයට මෙන්ම සිතට ද කිසිදු හානියක් නොවන ලෙස තම කායික මානසික නිරෝගීතාව පවත්වා ගැනීමට හැකි වූයේ ඔවුන් සතු මෙම විශේෂඥ ඥානය නිසාවෙනි.

මෙය ‘නාඩි’ නොහොත් ‘නළ ශාස්ත්‍රය’ යන නමින් හඳුන්වා ඇත. ශරීරයේ ඇතුළත පවත්නා සියලු අංගයන්ගේ නිසි ක්‍රියාකාරීත්වයට හුස්ම ගැනීමේ කාර්යය පරම හේතුවක් බැවින් ආශ්වාසය සහ ප්‍රශ්වාසය නිසි ලෙස පවත්වා ගැනීම නිරෝගී බව ලැබීමටත් දීර්ඝායුෂ ලැබීමටත් හේතු වේ. බුදු දහමෙහි ආනාපානසති සූත්‍රයේ දී කය ඍජු කොට තබා සිහිය කමටහනට අභිමුඛ කොට එළවා හිඳිමින් සිහි ඇතිව ම ආශ්වාස කිරීමත් සිහි ඇති ව ප්‍රශ්වාස කිරීමත් මහත්ඵල මහානිශංසදායක බව පෙන්වා දී ඇත.

“ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. ඉධ භික්‍ඛවෙ, භික්‍ඛු

අරඤ්ඤගතො වා රුක්‍ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලංකං

ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති

සතො පස්සසති”

  • මජ්ඣිම නිකාය, ආනාපානසති සූත්‍රය

මෙය හුස්ම ගැනීම පිළිබඳ ශාස්ත්‍රයක් හෙයින් පළමුව ශරීරය තුළ පවත්නා වායුවෙහි ස්වභාවය අවබෝධ කරගෙන තිබීම වැදගත් වේ. ශරීරය තුළ පවත්නා වායුව ප්‍රාණ, අපාන, සමාන, උදාන, ව්‍යාන යනුවෙන් කොටස් පහකට බෙදා දැක්වේ. එම කොටස් පහ ශරීරයේ ස්ථාන පහක් ආශ්‍රය කොට පවතී. මේවායින් ප්‍රාණ වායුව චිත්තජ හෙයින් හෘදයෙහි ද අපාන වායුව ගුදයෙහි ද සමාන වායුව නාභි ප්‍රදේශයෙහි ද උදාන වායුව බොටුවෙහි ද ව්‍යාන වායුව සර්ව ශරීරයෙහි ද පැතිර පවතී. මෙයින් ජීවිතීන්ද්‍රියයාගේ පැවැත්මට අතිශයෝපකාරී වන්නේ ප්‍රාණ වායුවයි. හෘදය වස්තුවේ පිම්බීම සහ හැකිළීම හේතුවෙන් වායුව ශරීරාභ්‍යන්තරයට ගමන් කිරීමත් පිටතට නික්මීමත් සිදුවේ. එයින් නාඩි තුළට ලේ ගමන් කිරීමත් නාඩින්ගේ ගමනාගමනයත් සිදුවන බව නාඩිඥානතරඩ්ගි නම් සංස්කෘත ග්‍රන්ථයේ විස්තර වේ. මේ අනුව නාසාපුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනු ලබන්නේ ප්‍රාණ වායුව ලෙස හැඳින්විය හැකිය.

මනුෂ්‍ය ශරීරය තුළ සංඛ්‍යා වශයෙන් නාඩින්ගේ ප්‍රමාණය හැත්තෑ දෙදහසකි. ඒ අතරින් ඉඩා, පිඞ්ගල සහ සුෂුම්නා යන නාඩි ප්‍රධාන වේ. ඉඩා නාඩිය මේරුදණ්ඩය නොහොත් කොඳු ඇට පෙළෙහි වම් පසින් දිවෙන අදෘශ්‍යමාන නිල මාර්ගයක් ලෙසින් සැලකේ. ගුදය ආසන්නයේ ඇති පහළම කුණ්ඩලීනී චක්‍රය වන මූලාධාරයෙන් ඇරඹෙන එය කොඳු ඇට පෙළට සමාන්තරව ඉහළ නැග ශීර්ෂ කුහරය තුළ දී අතුරු මාරු වී දකුණු නාස් පුඩුව දක්වා ගමන් කරයි. චන්ද්‍රයාට අධිපති වූ මෙම නාඩිය ඍජුවම ආශ්වාසය සහ ප්‍රශ්වාසය සමග සම්බන්ධ වන බව පැහැදිලි වේ. පිඞ්ගල නාඩිය සුෂුම්නාවට දකුණු පසින් සමාන්තරව ඉහළ නගී. එය පහළම කුණ්ඩලීනී චක්‍රයෙන් පටන්ගෙන දකුණු පසින් සුෂුම්නාව දිගේ ඉහළ නැග හිස තුළ දී පැති මාරු වී වම් නාස් පුඩුව දක්වා ගමන් කරයි. හිරුට අධිපති වූ මෙම නාඩිය ද සම්බන්ධ වන්නේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය සමගයි. සුෂුම්නා නාඩිය ඉඩා හා පිඞ්ගල නාඩි දෙකට මැදිව සුෂුම්නාව දිගේ ඉහළට පිහිටයි. මෙය වායුවට අධිපති වේ. වා පිත් සෙම් යන ත්‍රිදෝෂ සමග සම්බන්ධ වන්නේ ද මෙම නාඩි තුනයි. ඒ අනුව වාතයට සුෂුම්නා නාඩිය ද පිතට පිඞ්ගල නාඩිය ද සෙමට ඉඩා නාඩිය ද සම්බන්ධ වේ.

නළ පරීක්ෂා කළ යුතු ක්‍රමය

නාඩි නොහොත් නළ පරීක්ෂා කළ යුතු ක්‍රමයක් මෙම ශාස්ත්‍රයේ විස්තර වේ. අප සිදු කරන ආශ්වාසය සහ ප්‍රශ්වාසය සෑම විටම නාස්පුඩු දෙකෙන්ම සිදු නොවේ. ටික වේලාවක් පරීක්ෂාකාරීව සිටින විට මෙය අපටම අත්හදා බැලිය හැකිය. අපගේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය දිවා රෑ දෙකෙහිම දකුණු නාස් පුටයෙනුත් වම් නාස් පුටයෙනුත් මාරුවෙන් මාරුවට වෙනස් වෙමින් සිදු වේ. මෙම වෙනස් වීම අනුව පුද්ගලයෙකුගේ ජීවත් වන ආයුෂ ප්‍රමාණය, කිසියම් ශුභ කටයුත්තක් ආරම්භ කළ යුතු කාලය, එදිනෙදා කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කළ හැකි ආකාරය දැනගත හැකි ය. දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම හිරුගේ ශක්තිය හේතුවෙනුත් වම් නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සඳුගේ ශක්තිය හේතුවෙනුත් සිදුවන බව පුරාතන ඍෂිවරුන්ගේ මතයයි. කාලය මැනීමට කිසිදු උපකරණයක් නොමැතිව වුවද දැහැන් වඩන යෝගීන් තම ආශ්වාස සහ ප්‍රශ්වාසයේ මිම්මෙන් මේ අසවල් වේලාව යැයි නිවැරදිව පැවසීමට සමත්ව සිටි බව පැවසේ.

අලුත පුරුදු කරන්නන් විසින් නළ පරීක්ෂාව ආරම්භ කරන්නේ මෙසේ ය. අත් දෙකේ ඇඟිලි නමා එක අතක ඇඟිලි මුල ඇට අනික් අතේ ඇඟිලි කරුමුල් අතරට සම්බන්ධ වී සිටින සේ දෑත සකස් කොට තබා එසේ සම්බන්ධ වන තැන නාස්පුට අතර ඇති සම්බන්ධයේ යටි දාරයේ හේත්තු කොට ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු ය. ඉන්පසුව සුළං වේගය දැනෙන්නේ වම් පිටිඅල්ලේ ද දකුණු පිටිඅල්ලේ ද යන්න දැනගත යුතු ය. වම් පිටිඅල්ලේ නම් එය ඉඩා නාඩිය හා සම්බන්ධ වාම නාළය වන අතර චන්ද්‍රයාට අධිපති වන බව ද ඉහත දක්වා ඇත. ආශ්වාස ප්‍රශ්වාස කරන විට සුළං වේගය දැනෙන්නේ දකුණු පිටිඅල්ලේ නම් එය පිඞ්ගල නාඩිය හා සම්බන්ධ දකුණු නළ වන අතර සූර්යයාට අධිපති වේ. සමහර විට නළ දෙකෙහි සුළං වේගය එක සමාන වේ. නාඩි නොහොත් නළ පරීක්ෂා කළ යුතු තවත් ක්‍රමයක් මෙම ශාස්ත්‍රයේ විස්තර වේ. එනම්, කැඩපතේ රැඳෙන ප්‍රශ්වාසයෙන් ඇතිවන වාෂ්පය කරණකොටගෙන සිදු කරන පරීක්ෂාවයි. ඉහතින් දක්වා ඇති දෑතින් සිදු කරන නළ පරීක්ෂාව ළදරුවන් සහ රෝගීන් විෂයෙහි තරමක් අපහසු බැවින් මෙම කැඩපත ආශ්‍රයෙන් සිදු කරන පරීක්ෂාව ළදරුවන් සහ රෝගීන් විෂයෙහි ඉතා පහසු ක්‍රමයක් බව පෙන්වා දිය හැකි ය.

නාඩි පරීක්ෂාවෙන් සිදු කළ හැකි ඵලාඵල කථනය

ඉහතින් දක්වා ඇති ආකාරයට ආශ්වාස ප්‍රශ්වාස කරන විට සුළං වේගය දැනෙන්නේ වම් පටිඅල්ලේ නම් එය ඉඩා නාඩිය හා සම්බන්ධ චන්ද්‍ර නාළය ක්‍රියාත්මක අවස්ථාව බව දත යුතු ය. එවැනි අවස්ථාවක තම කාර්යය සඵල කර ගැනීම සඳහා සිදු කිරීමට යෝග්‍ය කටයුතු මෙම ශාස්ත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ ය.

  1. පිළි හැඳීම,
  2. ආභරණ පැළඳීම,
  3. බීජ වැපිරීම
  4. ධාන්‍ය රැස් කිරීම
  5. ධනෝපාර්ජනය
  6. ගෙවල් සෑදීමට මුල්ගල් තැබීම
  7. නව කර්මාන්තයක් ආරම්භ කිරීම
  8. විවාහය
  9. බෙහෙත් ගැනීම
  10. ප්‍රතිකාර කිරීම
  11. විෂහරණය
  12. විදේශගත වීම

ආශ්වාස ප්‍රශ්වාස කරන විට සුළං වේගය දැනෙන්නේ දකුණු පටි අල්ලේ නම් එය පිඞ්ගල නාඩිය හා සම්බන්ධ සූර්යයා හා සම්බන්ධ නාළය ක්‍රියාත්මක අවස්ථාව බව දත යුතු ය. එවැනි අවස්ථාවක තම කාර්යය සඵල කර ගැනීම සඳහා සිදු කිරීමට යෝග්‍ය කටයුතු මෙම ශාස්ත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ ය.

  1. දෙවියන් වැඳීම
  2. අක්ෂර ශාස්ත්‍රය ඉගැන්වීම
  3. පොත් ලිවීම
  4. කවි කීම
  5. මන්ත්‍ර පුරුදු කිරීම
  6. ආහාර අනුභවය
  7. ස්නානය
  8. වෙළඳාම් කිරීම
  9. රථවාහනාදිය පුරුදු කිරීම
  10. රෝග දුරු කිරීමට ඖෂධ ගැනීම
  11. ශයනය

ආශ්වාස ප්‍රශ්වාස කරන විට නළ දෙකෙහි සුළං වේගය එක සමාන වේ නම් කිසිදු ශුභ කටයුත්තක නිරත නොවිය යුතු බව මෙම ශාස්ත්‍රයේ විස්තර වේ. මෙම සූක්ෂ්ම වූ සුෂුම්නා නාඩිය ඉඩා හා පිඞ්ගල, නාඩි දෙකට මැදිව සුෂුම්නාව දිගේ ඉහළට (කොඳු ඇට පෙළ තුළ) පිහිටයි. මෙය සියලු පාපයන්ට සහ පරිහානියට හේතුකාරක වූයේ වෙයි. විනාශදායක වූ මෙම නාඩිය අග්නියට සමාන කොට ඇත්තේ එනිසා ය. ශුභ කටයුතු සඳහා අයෝග්‍ය වන්නේ ද එනිසා ය. එහෙත් මෙම නාඩිය ක්‍රියාත්මක අවස්ථාවේ දී භාවනාදී කටයුතු සඳහා නුසුදුසු නොවන බව දක්වා ඇත.

මෙසේ ආශ්වාස ප්‍රශ්වාස කරන සුළං වේගය අනුව පුද්ගලයෙකුගේ ශරීරසුවතාව, ඵලාඵලාදිය ගණනය කළ හැකි ය. නළ පරීක්ෂා කිරීමෙන් පසුව සිදු කරන කටයුතු අධික ඵල සහිත වේ. එසේම ශුභ මුහුර්තය කොතරම් විශිෂ්ට වුවත් නළ පරීක්ෂා කිරීමෙන් තොරව සිදු කරන වැඩවල විපාක අවම විය හැකි බව මෙම ශාස්ත්‍රයේ විස්තර වේ.

කුඹුරුවෙල සීලානන්ද හිමි


advertistmentadvertistment