ශේෂ පත්‍රය

1079

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගම රටේ රාජ්‍ය පාලන ව්‍යුහය තුළ වෙනස් වීම් කිහිපයක් සිදුවනවා ඇත. මේ වන විට වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබේ. ඉදිරි දින කීපය තුළදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්දයක් මගින් ඔහුගේ ජනාධිපති ධුරය ස්ථිර කිරීම හෝ වෙනත් ජනාධිපතිවරයකු පත්කර ගැනීම සිදුවීමට නියමිත ය. ඒ අතර අලුත් අගමැතිවරයෙක් ද ශ්‍රී ලංකාවට ලැබෙනවා ඇත. මේ කොයි එක සිදුවුණත් දැනට පාර්ලිමේන්තුවේ තිබෙන ඔළුගෙඩි 225 අතරින් දාම් අතක් ඇදීම ඇර වෙනත් යමක් සිදුවන බවක් නොපෙනේ. අලුත් අගමැතිතුමාගේ පත්වීමත් සමගම අලුත් කැබිනට් මණ්ඩලයක් ද රටට ලැබෙනවා ඇත. කැබිනට් පත්වීම් සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකියාවක් තිබේ නම් මනූෂ නානායක්කාරත්, හරීන් ප්‍රනාන්දුත් ඇමැතිවරුන් වීමට නියමිතය.

එහෙත් කොයික කොහොම වුණත් ජනතාව ජනතාවම ය. අපි තවමත් ඒ හිටි තැන එහෙමම හිටිමු. උදේ සිට රෑ වන තුරුම රැකියා කරන අපි, රෑ සිට එළිවන තුරුම තෙල් පෝලිමේ සිටිමු. අපේ ගෙවල්වල උදවිය ගෑස් පෝලිමේත්, භූමිතෙල් පෝලිමේත් ලගිති. සියලුම බඩු ගිනි ගණන්ය. මුහුණේ ගාණ සබන් කෑල්ලක් රුපියල් දෙසීයකට කිට්ටුය. මෙයට දෙදිනකට පෙර පාන් රාත්තල තවත් රුපියල් 20 කින් නැග්ගේය. ඊළඟ සතියේදී එය තවදුරටත් මිල ඉහළ යෑමට ඉඩ තිබේ. තෙල් නැව් පෝලිමක් එන බවත් ඊට පසු පසින් ගෑස් නැව් පෝලිමක් එන බවත් අපට අසන්නට ලැබේ. හැබැයි මේ නැව් එකක්වත් ලංකාවට එන නැව් නොව ලංකාව පසුකර පෝලිමේ යන ඒවාය. බස් ගාස්තුව නිතිපතා වැඩිවේ. ගෙල වැලලා ගැනීම සඳහා කඹයක් ගැනීමටවත් මුදල් නැතිව අපි ළත වෙමු.

ශ්‍රී ලංකාවට මෙවැනි ඉරණමක් හිමිවූයේ ඇයි? එයට හේතුව මේ රට තනිකරම දේශපාලන ප්‍රාණ ඇපයක් බවට පත්වීමය. අපේ රටේ දේශපාලකයෝ ජනතාව ප්‍රාණ ඇපයට ගත්හ. ඒ අතර බලවත් රටවල් අපේ රට ප්‍රාණ ඇපයට ගත්හ. කවුරු අප ඇපයට ගත්තත් අපේ බඩ කට පිරෙන්නේ ඉතාම ස්වල්ප වශයෙනි. මේ රට දියුණු වන බවක් කිසිසේත්ම නොපෙනේ.

රටක් අස්ථාවර තත්ත්වයට පත්වන හැම අවස්ථාවකදීම ජනතාව පාස්පෝට් කන්තෝරුව ඉදිරිපිට ලක්‍ෂ ගණනින් පෙළ ගැසෙති. එහිදී හැම දෙනාම අදහස් කරන්නේ වෙනත් රටකට යෑමටය. මේ අතර තම රටට නොයන ලෙසත් නීති විරෝධී ලෙස ආවොත් පලවා හරින බවත් කියමින් ඔස්‌ට්‍රේලියාව පත්තර පිටු පුරා පාච්චල් සහගත දැන්වීම් දමයි. ඔස්‌ට්‍රේලියාව අපට එසේ සලකද්දීත් බෝට්ටුවෙන් හෝ ඒ රටට පැන යෑමට මේ රටේ ජනයා අවදානමක් ගන්නේ නැති බැරිකම නිසාය. මේ රටේ ආර්ථිකය කඩාවැටී භයානක ආකාරය තක්සේරු කර බලන විට ගොඩ ඒමේ ඉඩකඩක් කිසිසේත්ම නොපෙනේ. අපට පෙනෙන්නේ රට

දිගින් දිගටම අභාවයට යන බවය. පසුගිය අවුරුදු 25 තුළ ලෝක ආර්ථිකය සහමුලින්ම වෙනස් විය. අන්තර්ජාලය මගින් ලෝකය එක යායක් බවට පත්කරන ලදී. මේ නිසා පිටස්තර ලෝකයේ විභූතිය වසාගෙන සිටීමටත් ඒ ජනතාවට නොපෙන්වීමටත් හැකියාවක් කිසිදු බලවතෙකුට නැත. මිනිසුන් රට හැර යෑමේ ස්ථාවරයෙහි දැඩි ලෙස එල්බ සිටිති. මෙහිදී රටින් එළියට යන්නේ කායික ශ්‍රමය පමණක්ම නොවේ. මානසික ශ්‍රමය ද මෙහිදී රටින් පිටතට යයි. ඒ අනුව උසස් උපාධි ඇති අපේ බුද්ධිමත් මිනිස්සු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිල්ලර කඩවල බඩු කිරනු දැකිය හැකිය. ජර්මනියේ පාරවල්වල අගල් කපනු දැකිය හැකිය. ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකාව වැය කළ ධනය අපතේ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවට කෙළ වුණේ ඇයි? ඇතැමෙකුගේ මතයට අනුව අප විනාශයට පත්වූයේ පක්‍ෂ දේශපාලනය නිසාය. එහෙත් පක්‍ෂ දේශපාලනය මීටත් වඩා සරුවට ඇති රටවල් ඕනෑවටත් වඩා ලොව පුරා ඇති අතර ඒවා මහත් සේ දියුණු වූ රටවල්ය. එසේ නම් මෙහි තිබෙන්නේ පක්‍ෂ දේශපාලනයේ වරද නොව පක්‍ෂ දේශපාලනය සිදුකරන දේශපාලනඥයන්ගේ වරදය. ශ්‍රී ලංකාවේ දේශපාලනය මුල සිටම ඉදිරියට ආවේ දූෂණය සහ වංචාවේ හංවඩුව සහිතවය. පදින්නට බයිසිකලයක් හෝ ඉහලන්නට කුඩයක්වත් නැතිව බට පතුරක් මෙන් ප්‍රාදේශීය සභාවලට එන දේශපාලන හැකරැල්ලා අවුරුදු 10 ක ඇවෑමෙන් යෝධ ඌරකු බඳුව සමාජය ඉදිරියේ පෙනී සිටී. ඔහුගේ අතපයේ හැම තැනම මුදල් තිබේ. ඔවුන් දේශපාලනය කරන්නට පටන් ගන්නේ ණය වීමෙනි. ඒ ණය බේරීම සඳහා දේශපාලනයට පැමිණි දවසේ පටන්ම ඔවුහු හොරකම් කරති. බාර් පර්මිට් සහ පෙට්‍රල් ෂෙඩ් යහමින් තිබෙන මහජන මන්ත්‍රීලා මේ රටේ බහුලය. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වඩා වත් පොහොසත් කමක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට තිබේ.

මේ සියල්ලේම රහස හොරකම ය. පාසල්වලට දරුවන් දැමීම, රස්සාවල්වලට තරුණයන් දැමීම, පාරට තාර දැමීම ඇතුළු හැම දෙයකින්ම ගසා කෑමට ඔවුන්ට සිදුව තිබේ. ගෝඨාභයට කෙළවන ලද්දේද මේ නීච දේශපාලන සම්ප්‍රදාය විසිනි. ගෝඨාභයට අවස්ථාවක් නොදීම ඔහු වටා සිටි පල්හොර දේශපාලනඥයෝ හොරකම් කිරීමට පටන් ගත්හ. දැනට ඇද වැටී තිබෙන රාජපක්‍ෂ ආණ්ඩුවේ ස්ථර දෙකක් තිබිණ. පළමුවන ස්ථරය වන්නේ රාජපක්‍ෂවරුන් සමග මුලසිටම සිටි හොරුන්ගේ ස්ථරය ය. දෙවැන්න ගෝඨාභය රවටාගෙන වියත්මග හරහා පැමිණි හොර ස්ථරය ය. අන්තිමට සියලු වන්දි එක මිනිසකු විසින් ගෙවිය යුතු අවස්ථාව එළැඹිණ. ගෝඨාභය රාජපක්‍ෂට තමන් උපන් රටේවත් නොසිට පලා යන්නට සිදුවන්නේ එහෙයිනි. මෙය අවාසනාවන්ත දේශපාලන කතාවක තවත් පටන් ගැන්මක් පමණි. අපට කිරීමට සිදුව ඇත්තේ ඉදිරියට වෙන දේ බලා සිටීම ය.

advertistmentadvertistment
advertistmentadvertistment