ශ‍්‍රී පාද රක්‍ෂිතයෙන් ශ‍්‍රී ලංකාවට ආවේණික නව නෙළු ශාකයක් සොයා ගනී

797

නව නෙළු විශේෂයක් ශ‍්‍රී පාද ස්වභාව රක්ෂිතයෙන් සොයා ගෙන ඇති අතර එම විශේෂය මුලින්ම වාර්තා වූ මැදහින්න ප‍්‍රදේශයේ නමින්  ‘Strobilanthus medahinnensis Nilanthi’ ලෙස නම් කර ඇත. පර්යේෂණ කණ්ඩායමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලන්ති රාජපක්ෂ, නුවන් ජයවර්ධන, මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රදීපා බණ්ඩාරනායක සහ හිරුණ සමරකෝන් ඇතුළත් වන අතර මේ නව විශේෂය හඳුන්වාදීම සඳහා ඔවුන් රූප විද්‍යාත්මක ලක්ෂණ මෙන්ම නවීන තාක්ෂණය ඔස්සේ යමින් අණුක ජීව විද්‍යාව උපයෝගී කරගෙන ඇත. මෙය ශ‍්‍රී ලාංකිකයෙකු විසින් ප‍්‍රථම වරට සොයා ගන්නා ලද නෙළු ශාකය වන අතර එම තොරතුරු ප‍්‍රසිද්ධියට පත් කර ඇත්තේ 2021.08.10 දින ”Biotaxa˜ සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ”Phytotaxa˜ අන්තර් ජාතික පර්යේෂණ සඟරාවේ පර්යේෂණ පත‍්‍රිකාවක් මඟිනි. මෙවර ”Phytotaxa˜ මුල් කවරය මෙම නෙළු ශාකයෙන් සැරසීම පර්යේෂකයන් සහ ශ‍්‍රී ලංකාව ලද මහත් භාග්‍යයකි.

ශ‍්‍රී පාද රක්‍ෂිතයෙන් ශ‍්‍රී ලංකාවට ආවේණික නව නෙළු ශාකයක් සොයා ගනී

නෙළු ශාක පිළිබඳ අධ්‍යයනයේ දී රක්ෂිත ප‍්‍රදේශ වෙත ගොස් එම ශාක පිළිබඳ අධ්‍යයනයටත්, පර්යේෂණ සඳහා එම ශාක නිදර්ශක එකතු කිරීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති අතර මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP) මගිනි.

ශ‍්‍රී පාද රක්‍ෂිතයෙන් ශ‍්‍රී ලංකාවට ආවේණික නව නෙළු ශාකයක් සොයා ගනී

විවිධ වර්ණයෙන් යුත් අලංකාර මල් හටගන්නා නෙළු ශාක ඇකැන්තේසියේ කුලයේ (Family Acanthacea) ස්ට්‍රොබිලැන්තස් ගණය (Genus Strobilanthus) යටතේ  වර්ගීකරණය කර ඇත. ලොව පුරා නෙළු විශේෂ 450 ක් පමණ ව්‍යාප්ත වී ඇති අතර බොහොමයක් විශේෂ නිවර්තන හා උප නිවර්තන ආසියානු කලාපයේ හමුවේ. නව විශේෂය සොයා ගැනීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ දී ස්වභාවික පරිසරයේ දැකගත හැකි  Strobilanthus විශේෂ සංඛ්‍යාව 33 ක් පමණ වන අතර ඉන් විශේෂ 27 ක් ශ‍්‍රී ලංකාවට ආවේණික ශාක වේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතෙන් (FFPO) නෙළු විශේෂ 14 ක් ආරක්ෂිතය.

ශ‍්‍රී පාද රක්‍ෂිතයෙන් ශ‍්‍රී ලංකාවට ආවේණික නව නෙළු ශාකයක් සොයා ගනී

පර්යේෂණ පත‍්‍රිකාවේ ප‍්‍රධාන සංස්කාරක නිලන්ති රාජපක්ෂ ප‍්‍රථම වරට ශ‍්‍රී පාද ස්වභාව රක්ෂිතයේ මැදහින්න ප‍්‍රදේශයෙන් මෙම නෙළු ශාක විශේෂයේ ශාක කිහිපයක් නිරීක්ෂණය කර ඇත්තේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේය. ඉන් පසුව පර්යේෂණ කණ්ඩායම විසින් වැඩිදුර අධ්‍යයනයේ දී මෙම නව නෙළු විශේෂය ශ‍්‍රී පාද රක්ෂිතයේ උස මීටර් 1400 පමණ සිට මීටර් 1500 දක්වා ප‍්‍රදේශයක ව්‍යාප්තව පවතින බව සොයා ගෙන ඇත. දේශීය ව්‍යාප්තිය සැලකූ විට පහත රට තෙත් කලාපයේ සහ කඳුකර කලාපයේ නෙළු ශාක විශේෂ බොහොමයක් හා අතරමැදි හා වියළි කලාපයේ නෙළු විශේෂ ස්වල්පයක් ව්‍යාප්ත වී ඇත. එනම් මුහුදු මට්ටමේ සිට මීටර් 30 සිට මීටර් 2400ක් පමණ ඌනතාංශයක් දක්වා හෝර්ටන් තැන්න, පිදුරුතලාගල, සමනළ කඳුවැටිය, අග‍්‍රබෝපත්තලාව, දොලොස්බාගේ, කිකිළියාමාන, හග්ගල, නකල්ස් කඳුවැටිය, නමුණුකුල, ගොංගල, මන්දාරම්නුවර වැනි කඳුකර හා උපකඳුකර වනාන්තරවල ද සිංහරාජ වනාන්තරය, කන්නෙළිය, එරත්න, පලාබද්දල, ගිලීමලේ වැනි වර්ෂා වනාන්තරවල ද, රිටිගල, මින්නේරිය වැනි වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවල ද ව්‍යාප්ත වී ඇත. නෙළු කඳුකර වනාන්තරවල යටි රෝපණයේ ප‍්‍රමුඛ සාමාජිකයා බවට පත්ව ඝන යටිරෝපණයක් නියෝජනය කරන ශාකයකි.

 නෙළු සෙන්ටිමීටර් කිහිපයක් උස පැලෑටි, මීටර 2-3 උස පඳුරු සහ සෙන්ටිමීටර් 6-7ක කඳ විශ්කම්භයක් සහිත මීටර් 8ක් පමණ උස ගස් ලෙස මෙන්ම වැතිරී වැඩෙන කඳක් සහිත කුඩා පැලෑටියක් ලෙස ද වර්ධනය වේ. බොහෝ නෙළු විශේෂවල ජීවිත කාලය තුළ එක වරක් පමණක් මල් හට ගනී. මල් වරමින් වසර ගණනක් වැවී එකවර මල් හට ගැනීමෙන් පසුව මියයෑම බොහෝ නෙළු විශේෂවල ලක්ෂණයකි. ඇතැම් විශේෂවල මල් හට ගන්නේ වසර 3කට හෝ 4කට වරකි. තවත් නෙළු විශේෂවල වසර 6කට හෝ 12කට වරක් මල් හට ගන්නා අතර තව සමහර විශේෂවල අවුරුදු පතාම මල් හට ගනී. ශාකයේ වර්ධනය, මල් හටගැනීම, බීජ ව්‍යාප්තිය හා පැලෑටි ඇතිවීම චක‍්‍රයක් ආකාරයෙන් සිදුවේ.

 නව නෙළු ශාකයේ මල් නිරීක්ෂණය කර ඇත්තේ 2020 වර්ෂයේ ජුනි මාසයේ දීය.

 බොහෝ නෙළු විශේෂවල මල් හට ගැනීමට අවුරුදු ගණනාවක් ගතවීමත්, අනෙකුත් රූපීය ලක්ෂණ අතින් බොහෝ විශේෂ එක හා සමානවීමත් නෙළු ශාක පිළිබඳ ගවේෂණය කර ඇති ප‍්‍රමාණය අඩුවීමත් හේතුකොට ගෙන තවත් මේ දක්වා ප‍්‍රකාශයට පත් කර නොමැති නව නෙළු ශාක වාර්තා විය හැකි බවත් ඉදිරියේ දී තවත් නව නෙළු ශාක කිහිපයක් ප‍්‍රකාශයට පත් කිරීමට වැඩ කටයුතු කරගෙන යන බවත්, නිලන්ති රාජපක්ෂ මහත්මිය පවසන්නීය.

 මෙම නව නෙළු ශාක විශේෂය සුදු නෙළු ලෙස ව්‍යවහාර කරන Strobilanthus anceps Nees ශාකයට තරමක් සමාන ලක්ෂණ දරයි. විශේෂ දෙකෙහිම මල් සුදු පැහැතිය, පත‍්‍ර ඕවලාකාරය, පුෂ්ප මංජරිය ආරක්ෂා කරමින් පිහිටන නිපත‍්‍ර කෙළවර ආපස්සට නැවී ඇත, ශාක පත‍්‍ර යටි පැත්තේ කහපාට ග‍්‍රන්ථි පිහිටයි. කෙසේ වෙතත් S’medahinnensis බොහෝ ලෙස ශාකනය නොවූ පඳුරක් වන අතර කඳ රවුම්ය. පුෂ්ප මංජරිය දිගටිය. ශාක කඳ, පත‍්‍රවල වෘන්ත, පුෂ්ප මංජරී අක්ෂ, නිපත‍්‍රවල පිටුපස සහ පරාගධානී තද දම් පැහැයට හුරු දුඹුරු පාටක් ගනී. පුෂ්ප මංජරියේ පිටතින් පිහිටන නිපත‍්‍ර ලන්සාකාර ස්වභාවයක් ගනිමින් ඉතා පැහැදිලිව S. anceps වලින් වෙනස් වේ.

 අනුක ජීව විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව නව විශේෂයේ සහ එයට සමීපතම අනෙක් විශේෂය වන S. anceps හි සම්පූර්ණ ක්ලෝරොප්ලාස්ට් ජිනෝමයන්  ”sequence˜  කිරීම මෙම පර්යේෂණයෙන් ලද විශිෂ්ට ජයග‍්‍රහණයකි. නව ශාක විශේෂයක් සොයා ගැනීමේ දී සම්පූර්ණ ක්ලෝරොප්ලාස්ට් ජිනෝමය ”sequence˜ කිරීම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට මෙමගින් වාර්තා විය. නව විශේෂයේ ක්ලෝරොප්ලාස්ට් ජිනෝමය භෂ්ම යුගල් 144893 කින් පමණ සමන්විත අතර S. anceps හි ක්ලෝරොප්ලාස්ට් ජිනෝමය භෂ්ම යුගල් 144951 කින් පමණ සමන්විතය. නව ශාක විශේෂය ඊට සමීපතම අනෙක් ශාක විශේෂය වන S. anceps ගෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා මෙම පර්යේෂණ පත‍්‍රිකාව තුළින් ක්ලෝරොප්ලාස්ට් හි අඩංගු  ”atpB-rbcl˜ DNA barcoding ලෙස යොදා ගත හැකි බවද පෙන්වා දී ඇත. තවද, මෙම ශාක විශේෂ දෙක අවුරුදු මිලියන 0.33 කට පෙර විශේෂ දෙකක් ලෙස වෙන් වී ඇති ආකාරය පැහැදිලි කර ඇත.

 නෙළු බොහෝ රෝගාබාධ සඳහා ඖෂධීය වටිනාකමකින් යුක්තය. කලින් කලට මල් පිපෙමින් නෙළු ශාක මියයෑම නිසා වනයේ අනෙකුත් ශාකවල වර්ධනය සඳහා ඉඩසලසාදීම පරිසර විද්‍යාත්මක වශයෙන් වැදගත් මෙහෙවරකි. එමෙන්ම පසේ දිය සීරාව පවත්වාගෙන යාමට දායක වේ. ළපටි නෙළු ශාක ගෝනුන්ගේ ප‍්‍රියතම ආහාරයක් වේ. නෙළු මල්වල පැණි බීමට බොහෝ පක්ෂීන් හා මී මැස්සන් පැමිණෙති. සමහර සමනල විශේෂවල ධාරක ශාකය වන්නේ නෙළුය. වැඩුනු කාශ්ඪිය අතු දර වශයෙන් භාවිතා කිරීමේ හැකියාව ඇත. බොහොමයක් නෙළු විශේෂවල පත‍්‍ර නිස්සාරණයෙන් ඉන්ඩිගෝ වැනි ඩයි වර්ග නිෂ්පාදනය කෙරේ.

 නෙළු ශාක පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට කැමති අයෙකුට පරිශීලනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නිලන්ති රාජපක්ෂ විසින් රචිත විස්තරාත්මක ග‍්‍රන්ථයක් සහ CD තැටියක් ද ක්ෂේත‍්‍රයට ගෙන යා හැකි පොත් පිංචක් ද ප‍්‍රදර්ශනය කිරීම සඳහා පෝස්ටර් එකක් ද ඇති අතර ඒවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් ඇණවුම් කළ හැකිය.

 ආර්ථික භෝග සඳහා භූමිය යොදා ගැනීම, ඉඩම් අක‍්‍රමවත් ලෙස පරිහරණය කිරීම, සංවර්ධන ව්‍යාපෘති නිසා වනාන්තර එළි කිරීම, ආක‍්‍රමණශීලී ශාක වර්ධනය, දර සඳහා එකතු කිරීම, අනවසර ගිනි තැබීම්, කාලගුණික විපර්යාස නෙළු ශාක මුහුණ දෙන තර්ජන වේ. මේ හේතු නිසා ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති නෙඝු විශේෂ 21ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

 * ජගත් කණහැරආරච්චි
 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment