ශ‍්‍රී ලංකාවේ 2020 මිරිදිය මත්ස්‍ය හා ශාක පිළිබඳ රතු දත්ත ලැයිස්තු එළි දැක්වේ

232

ශ‍්‍රී ලංකාවේ මිරිදිය  මත්ස්‍යයින් හා  ශ‍්‍රී ලංකාවේ ශාක පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක ඉකුත් දා (03) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදැක්විණි.

 පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් Zoom තාක්ෂණය යොදා ගනිමින් මෙම එළි දැක්වීම සිදු කළේය. මේ සඳහා දායකත්වය දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරකෝන්, මහාචාර්ය සිරිල් විජේසුන්දර හා ආචාර්ය සුභානි රණසිංහ මහත්ම මහත්මීහු මෙම පර්යේෂණ ක‍්‍රමවේදය සම්බන්ධව Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළේය.

 ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය හා අතිරේක ලේකම් ආර්.ඒ.ආර්.ආර්. රූපසිංහ මහතා විසින් රතු දත්ත ලැයිස්තු දෙක අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබීය.

 ඒ සඳහා පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා පැවසුවේ වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත නව සංස්කරණය සකස්කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙන බවයි.

 ”බොහෝ දෙනෙක් හිතන්නේ රතු දත්ත පොත යනු වඳවීමේ හා තුරන්වීමේ තර්ජනයට ලක්ව ඇති වෘක්ෂලතා හා සතුන් පිළිබඳ දැක්වෙන වාර්තාවක් පමණක් ලෙසයි. නමුත් ශ‍්‍රී ලංකාවේ හමුවන සියලූම සතුන් හා ශාක සංරක්ෂණ තත්ත්වයන් පිළිබඳව තක්සේරු කිරීමක් ද මෙම වාර්තාව මගින් සිදුවෙනවා. ඒ නිසා සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේ දී එම සත්ව හා ශාක ප‍්‍රජාවන් සංරක්ෂණය කරගනිමින් කටයුතු කිරීම සම්බන්ධව අපිට අවධානය යොමු කරන්නට සිදුවෙනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

 මෙසේ එළිදක්වන ලද්දේ රතු දත්ත පොතේ වැදගත්ම රතු ලැයිස්තු දෙකක් වන i- 2020 ශ‍්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළීබඳ රතු දත්ත ලැයිස්තුව සහ ii – 2020 ශ‍්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය රතු දත්ත ලැයිස්තුවයි.

 මේ වනවිට පක්ෂීන්, ක්ෂීරපායීන්, උරගයින්, උභයජීවින්, සමනලූන්, බත්කූරන්, කුහුඹුවන්, මීමැස්සන්, මකුළුවන්, මිරිදිය කකුළුවන් හා ගොඩබිම වෙසෙන බෙල්ලන් යන විශේෂ 11ක් සම්බන්ධව රතු දත්ත ලැයිස්තු සැකසීම අවසන් වෙමින් තිබෙන බව හා තවත් විශේෂ 12ක් සම්බන්ධව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් තිබෙනවද, එම අංශ 12 සම්පූර්ණ වීම මගින් අවසන් රතු දත්ත පොත සැකසෙන බවද මෙහෙදී අනාවරණය කෙරිණි.

 රතු දත්ත පොත සැකසීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයට පූර්ණ වගකීම පැවරී තිබෙන බවත්, විද්වතුන් විශාල පිරිසක් මේ සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. එම ජෛව විවිධත්ව අංශයට හා ඒ විද්වතුන් සියලූ දෙනාටත් මේ සඳහා සහයෝගය පළ කළ ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව හා එහි ශාකාගාරයටත්, ලෝක සංරක්ෂණ සංගමය (IUCN)) ටත් මගේ ස්තුතිය පළ කරනවා. මෙම වසර අවසන් වනවිට ඉතිරි සියලූම අංශ සම්පූර්ණ කළ හැකියි. ඒ අනුව ලබන වසර වනවිට අපිට සමස්ත රතු දත්ත පොතම එළිදැක්වීමේ හැකියාව තිබෙනවා. කොවිඞ් 19 තත්ත්වය මැද වුවත් අපේ ජෛව විවිධත්ව ඒකකයේ කාර්ය මණ්ඩලය මේ සම්බන්ධව අවධානය යොමු කර එම කටයුතු අවසන් කිරීම සම්බන්ධව මම මගේ ස්තුතිය පිරිනමනවා.” යැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 මෙම වාර්තාව අනුව ජාතික රතු ලැයිස්තුවට ශාක කුළ 186ක සපුෂ්ප ශාක විශේෂ 3087ක්

 ඇගයීමට ලක්කර ඇත. ඒ අනුව ඒක දේශීය සපුෂ්ප ශාක 863ක් (මුළු සපුෂ්ප ශාකවලින් සියයට 28ක්* ඇතුළත් වේ. 2012 වාර්තාවට ඇතුළත් නොකළ එහෙත් මෙවර වාර්තාවට ශාක විශේෂ 64ක් ජාතික රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇත. 2012 ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ නව විශේෂ 10ක් තවදුරටත් රතු ලැයිස්තුවට අන්තර්ගත වේ.

 2012 වාර්තාව මගින් අප රටෙන් වඳ වී ගිය ලෙස සැලකූ ශාක වර්ග 05කින් තුනක්ම මේ

 මගින් තවදුරටත් සංරක්ෂිත බව තහවුරු කර ඇත. ඒ අනුව ශාක විශේෂ දෙකක් තවදුරටත් වඳ වී ගිය ශාක ලෙස සලකා ඇත.

 පසුගිය කාලයේ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී මහත් ආන්දෝලනයට ලක් වු පඬු කරඳ ශාකය හෙවත් ක්‍රමාස්  Crudia Zeylanica ශාකය මෙරටින් තුරන්ව ගිය ශාකයක් නොවන බවට මෙන්ම දැඩි තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස මෙම වාර්තාවෙන් තහවුරු කර ඇත.

 ඇගයීමට ලක් කරන ලද සපුෂ්ප විශේෂ 3087න් 1496ක්ම තර්ජනයට ලක් ව ඇති බවට ශාක රතු දත්ත ලැයිස්තුව මගින් පෙන්වා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment