ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ අභිනව මහනාහිමියෝ

646

ශ‍්‍රී ලංකා ධරණීතලය සද්ධර්මාලෝකයෙන් එකලූ කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ දූත පිරිස විසිනි. එතැන් පටන් වසර දෙදහස් තුන්සියයකට වඩා වැඩි කාලයක් අනේකවිධ වූ බාධා මැද සම්බුදු සසුන අවිඡ්0න්නව පැවතගෙන එනු ලබයි. අනුබුදු මිහිඳු මාහිමියන් ඇතිකළ ශාසනික ප‍්‍රබෝධය මහනුවර යුගය වනවිට පරිහානිය කරා ගමන් කරමින් පැවතිණ. එම දුර්දශාපන්න තත්වයෙන් ශාසන සම්ප‍්‍රදාය සුරක්ෂිත කරගැනීමෙහිලා පුරෝගාමී වූවෝ බෝධිසත්වගුණෝපේත අසරණ සරණ වැලිවිට පිණ්ඩපාතික සරණංකර සංඝරාජයාණන් වහන්සේය. එනමුදු උන්වහන්සේ සිදුකළ ශාසන සංග‍්‍රහය පරමාර්ථශූන්‍ය බවට පත්වූයේ එකළ වැඩසිටි ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ අදූරදර්ශී ක‍්‍රියාකලාපයන් නිසාය. කුලගොත් විචාරා මිස භික්ෂූන් වහන්සේලාට ගෞතම බුදුසසුනේ උපසම්පදාව ලබානොදීමට කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු නීතියක් පැනවූ බව මන්දාරම් පුවතෙහි සඳහන් වේ. රජුගේ මෙම නියෝගය බුද්ධ නීතිය ඉක්මවා යන්නක් විය. එකළ වැඩසිටි ශාසන භාරධාරී උතුමන් වහන්සේලා රජුට කරුණු කියා මෙය නොකළ යුත්තක් බව පැවසීමට ඉදිරිපත් නොවූයේ මන්දැයි අතීත සිදුවීම් සලකා බැලීමේදී පැහැදිලි වෙයි. එවන් පසුබිමක් තුළ සියලූ කුල පුත‍්‍රයනට ගෞතම බුදුසසුනේ උතුම් මහණ උපසම්පදාව ලබාදිමෙහිලා පුරෝගාමී වූයේ බෝධිසත්වගුණෝපේත වැලිතර මහකරාවේ ඤාණවිමලතිස්ස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ වර්ෂ 1799දී බුරුම රටට වැඩමකොට මහාවිහාර පරම්පරානුඥාත සුපරිසුද්ධ උපසම්පදාව ලබා, වර්ෂ 1802දී ශ‍්‍රී ලංකාද්වීපයට වැඩමකොට සිව්දෙස කුලපුත‍්‍රයන්ට සසුන් පිළිවෙත් පුරන්නට අමරපුර මහානිකාය ආරම්භ කර ඉඩහසර විවර කළේය. ලක්දිව දෙවන මිහින්තලාව ලෙස බලපිටිය අම්බරුක්ඛාරාම මූලමහා විහාරය විරුදාවලිය ලබන්නේ එනිසාය. පූජ්‍ය බෝගහපිටියේ ධම්මජෝති, අත්තුඩාවේ ධම්මරක්ඛිත, කතලූවේ ගුණරතනතිස්ස, කපුගම ධම්මක්ඛන්ධ ආදී මහාස්වාමීන්ද්‍රයන් වහන්සේලා බුරුම රටට වැඩමකොට සුපරිසුද්ධ උපසම්පදාව ලබා මෙරටට වැඩමකොට අමරපුර නිකාය පෝෂණය කළේය.

එතැන්සිට පාර්ශව විසිදෙකකින් සැදුම්ලත්ව ක‍්‍රියාත්මක වන අමරපුර මහානිකායේ උසස්ම පදවිය වනුයේ උත්තරීතර මහානායක ධුරයයි. මෙයට ප‍්‍රථම අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි, අග්ගමහාපණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහානාහිමි, අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමි ආදී මහ තෙරවරුන් වහන්සේලා එම පදවිය හොබවමින් වැඩසිට අපවත්වී වදාළහ. අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස උත්තරීතර මහානාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ එම පදවිය සඳහා සිව්වන වරට ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ මහාමහෝපාධ්‍යාය ශ‍්‍රී කල්‍යාණිවංස නිකායේ මහානායක, කලපළුවාව ගෝතම තපෝවනය ප‍්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021 ජූලි මස 20 වන දින ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ පාලක සංඝ සභාවේ සමානඡුන්දයෙන් තෝරාපත්කර ගන්නට යෙදින. මේ උන්වහන්සේගේ ජීවන ගමන්මග පිළිබඳ මතකාවර්ජනාවකි.

ධීර වීර වීර වික‍්‍රමාන්විත ජාතිවාත්සල්‍යයෙන් හා ආගමාලයෙන් ඔදවැඩුණූ යති ශ්‍රේෂ්ඨයන් වහන්සේලාට සහ රාජ රාජ මහාමාත්‍යාදීන්ට ජන්ම ලාභය දුන් ක්‍ෂේම භූමියක් ලෙස අතීතයේ සිට දක්ෂිණ ලංකාව චිරප‍්‍රසිද්ධය. තවත් එවැනි යතිශ්‍රේෂ්ඨයන් වහන්සේ නමක වන අප කථානායකයාණන් වහන්සේද මාතර දිස්ත‍්‍රික්කයේ, දොඩම්පහල නමැති රමණීය ග‍්‍රාමවරයේදී වර්ෂ 1939 දෙසැම්බර් මස 20 දින එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරිවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා මහතාට දාව උතුම් පුත් රුවනක් මනුලොව උපත ලැබීය. එම දෙපළට දාව උපත ලද මේ කුමරුවා ධන්‍ය පුණ්‍ය ලක්ෂණයන්ගෙන් සමුපශෝභිත විය. සුදුසු වයස පැමිණි විට අධ්‍යයන කටයුතු සඳහා යොමු කළ මෙකුමරුවාණෝ මූලික අධ්‍යයන කටයුතු දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන් ලැබූහ.

මේ අතර, සංසාරගත ධන්‍ය පුණ්‍ය ලක්ෂණ ඉස්මතුවී පැවිදි දිවියට ඇතුළත් වීමට සිත්පහළව ඊට අවැසි මූලික වත් පිළිවෙත් මාතර වීරබා පිරුවණින් ලබා වර්ෂ 1950 නොවැම්බර් 25 දින කුඩාවැල්ල වාලූකාරාමයේ දී, නූපේ ජයමහා විහාරාධිපති, විද්‍යාවිශාරද පණ්ඩිත, මාතර ශ‍්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාලූකාරාමාධිපති, මාතර ශ‍්‍රී සද්ධාරාම නාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් උතුම් ප‍්‍රව‍්‍රජ්‍යා භූමියට ඇතුළත් විය.

පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසු මූලික අධ්‍යයන කටයුතු සඳහා මාතර වීරබා පිරිවෙණට ඇතුළත් වූ දොඩම්පහල චන්දසිරි තෙරණපාණෝ, එහිදී පැවිදි දිවියට අවැසි වත් පිළිවෙත්් මැනවින් උගත්හ. ඉන් අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු වූ උන්වහන්සේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණට ඇතුළත්ව විද්‍යාලෝක පරිවෙණාධිපති ධූරය හෙබවූ, රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, ත‍්‍රිපිටකවාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අකුරටියේ අමරවංස නායක මාහිමියන් වහන්සේ සහ තොටගමු රත්පත් රජමහ විහාරාධිපති රාජකීය පණ්ඩිත, සාහිත්‍ය විශාරද, ගම්මැද්දේගොඩ ශ‍්‍රී පුඤ්ඤාසාර නායක මාහිමියන් වහන්සේ ගුරුතන්හි තබා ගනිමින් සිංහල පාලි සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව ඡුෙන්‍දාලංකාර ආදි විෂයයන් පිළිබඳව ප‍්‍රාමාණික උගතෙකු බවට පත්වූහ.

මේ වන විට විසිවසක් සම්පූර්ණව උපසම්පදාර්හව වැඩ සිටි අප හිමිපාණෝ වර්ෂ 1962 ජූනි මස 17 වෙනි දින මාතර නිල්වලා නදී සීමා මාලකයේ දී එවකට ශ‍්‍රී කල්‍යාණිවංස මහා නිකායේ මහානායක ධුරන්ධරව වැඩ සිටි විද්‍යා විශාරද පණ්ඩිත, මාතර මේධානන්ද මහානායක මාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ මාතර සද්ධාරාම නායක මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සුපරිශුද්ධෝපසම්පදාවට ඇතුළත් විය.

විපස්සනා භාවනා පුහුණුව ලැබූ අපේ චන්දසිරි ස්වාමීන් වහන්සේ කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව වර්ෂ 1962 දී විශේෂ කර්තව්‍යයකට මුල පිරූහ. එනම් කලපළුවාව පෙදෙසින් අක්කර අටක පමණ භූමි භාගයක් ලබා ගෙන එහි ‘ගෝතම තපෝවනය’ නමින් භාවනා මධ්‍යස්ථානයක් පිහිටුවීමයි. අද වන විට මෙය ශාඛා, ප‍්‍රශාඛා වශයෙන් ලක්දිව නොයෙක් පළාත්වල ව්‍යාප්තව ඇත. මේ කර්තව්‍ය අපේ චන්දසිරි ස්වාමීන්වහන්සේ අතින් සිදු වූ වැදගත්ම ක‍්‍රියාව ලෙස අගය කළ හැකිය. අද වනවිට විපස්සනා භාවනා ක‍්‍රමය මේ හේතුවෙන් ලක්දිව පුරාම පාහේ ව්‍යාප්තව ඇත. කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ වර්ෂ 1982 දී අපවත් වූයෙන් ශ‍්‍රී ගෝතම තපෝවනය ප‍්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති ධූරයට දොඩම්පහළ චන්දසිරි ස්වාමීන්වහන්සේ පත්වූහ.

එදින සිට අප දොඩම්පහළ නායක හාමුදුරුවෝ කලපළුවාවේ ගෝතම තපෝවනයට වැඩම කොට, මාතිකමාතා සමිතියේ පිංවතුන් සමග එක්ව ගෝතම තපොවනයේ දියුණුවට සුවිශාල සේවාවක් සිදු කළහ. මේ අතරතුර ශ‍්‍රී කල්‍යාණිවංස නිකාය මගින් ‘තපෝවන සංඝනායක’ පදවිය පිරිනැමූ අතර, ඉන් ටික කලකට පසු ‘ප‍්‍රධාන අධිකරණ සංඝනායක’ ‘අනුනායක’ යන ධුරද්වයෙන් ද පුදනු ලැබූහ. මේ අතර කල්‍යාණිවංස මහ නිකායේ මහා නායක ධූරය හෙබවූ, මහෝපාධ්‍යාය, වීමලකීර්ති ශ‍්‍රී කොග්ගල සිරි විසුද්ධි නායක මාහිමියන් වහන්සේ වර්ෂ 1996 දී අපවත් වූයෙන් එතෙක් අනුනායක ධූරය හෙබවූ දොඩම්පහළ චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1996 මාර්තු 31 දින දොඩන්දූව, ශෛලබිම්බාරාම මූල මහා විහාරයට රැුස්වූ කල්‍යාණිවංසික සංඝසභාව විසින් ඒකමතිකව නිකායේ ‘මහානායක ධුරයට’ තෝරා පත්කර ගන්නා ලදහ. එම දිනයේ සිට මේ දක්වා අප නායක මාහිමියන් වහන්සේ නිකායාභිවෘද්ධිය උදෙසා සිදුකළ සහ සිදුකරණ මෙහෙවර අතිශය ප‍්‍රශංසනීය ය. පැවැත්මෙන් ගමනින් වචනයෙන් සංවරශීලි වූ දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ඉටුවන ලෝකශාසනික සේවාව පිළිබඳ අවධානය යොමුකළ ශ‍්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාව එකී සංඝ සභාවේ උපසභාපති ධුරයකින් ගෞරව කළ අතර වර්ෂ 2013 පෙබරවාරි මස 23 වන දින එම සංඝ සභාවේ සභාපති ධුරයට නිතරගයෙන් තෝරාපත් කර ගනිමින් නැවතත් ගෞරවෝපහාරය පුදකළහ. සභාපති පදවියට පත්ව ගෙවුනු පස් වසර තුළ අමරපුර මහා සංඝ සභාවේ අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකළ සේවය අතිශ්‍යය ප‍්‍රශංසනීයය. එමෙන්ම විවිධ උත්සව ආදිය සඳහා දසතින් ලැබෙන ආරාධනා සඳහා වැඩම වමින් අමරපුර මහා සංඝ සභාවේ නියෝජනය ලබා දීමට උන්වහන්සේ ක‍්‍රියා කළේය. පස් වසරක ධුරකාලය 2018 වසරේදී අවසන් කළ නාහිමියෝ එම වසරේදීම ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය ධුරයෙන් පිදුම් ලැබූහ. සම්බුදු සසුන වෙනුවෙන් උදාරතර ලෝක ශාසනික සේවාවක නිරතවන දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත 2021 ජනවාරි මස 4 වන දින මියන්මාර් රජය මගින් අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමීම සඳහා ද තෝරාගෙන ඇත.

සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අමිල සේවාවක නිරතවෙමින්, ජන්මලාභයෙන් අසූ දෙවසක්ද, පැවිදි දිවියේ සැත්තෑ එක්වසක්ද, උපසම්පදාවෙන් වසර පනස් නවයක් ද සපුරණ ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ අභිනව උත්තරීතර මහානායක, මහාමහෝපාධ්‍යාය, අමරපුර ශ‍්‍රී කල්‍යාණිවංස නිකායේ මහනායක ධුරන්ධර, වංගීසවංශාලංකාර, විපස්සනාකම්මට්ඨානාචරිය කල්‍යාණිවංස කීර්ති ශ‍්‍රී, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේට, ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ දහහතර දහසකට ආසන්න භික්ෂූන් වහන්සේලාගේ සහ සමස්ත මහාසංඝරත්නයේ ආරක්ෂාව සහ පෝෂණය සඳහා අවැසි අවවාද අනුශාසනා ලබාදෙමින් ශාසනචිරස්ථිතිය පිණිස තව තවත් ලෝසසුන් වැඩ වඩන්නට බුද්ධාදිරත්නත‍්‍රයේ ආශිර්වාදය සැලසේවායි ඉතසිතින් ආශංසනය කරම්හ.

අමරපුර කල්‍යාණිවංශ නිකායේ
මහාලේඛකාධිකාරී (වැබ.)
ගිංතොට ශ‍්‍රී ථූපාරාම රාජමහා විහාරාධිපති
විද්‍යානිධි පණ්ඩිත
අම්බලන්ගොඩ සුමේධානන්ද ස්ථවිර

සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment