ශ‍්‍රී ලාංකේය වේදිකා නාට්‍ය සංගීතයේ ගල්ලෙන බිඳ ලෙන් දොර හැරිය එච්.එච්. බණ්ඩාර

619

‘ගල් ලෙන බිඳලා ලෙන් දොර හැරලා” ගීතය නොඇසූ කෙනෙක් නැති තරම්ය. ඒ තරමටම එම ගීතය ලාංකිකයන් වශයෙන් අපගේ ලේවලට මුසු වී තිබෙන ගීතයකි. මෙකී ගීතය වගේම මහාචාර්ය සරච්චන්ද්‍රගේ සිංහබාහු නාටකයේ අනෙකුත් ගී තනු රචනා කළ මහා ගාන්ධර්වයා එච්. එච්. බණ්ඩාර සංගීත ශිල්පියාය.

ලාංකේය වේදිකා නාට්‍ය සංගීතයේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම සංගීත නිර්මාණවේදීන් ; තනු රචකයන් ; අධ්‍යක්ෂවරුන් අතර සුවිශේෂී ස්ථානයක් එච්. එච්. බණ්ඩාරට හිමි වේ. ඊට, ‘ගල් ලෙන බිඳලා‘ ගීතයේ තනු රචනාව පමණක් ම ප‍්‍රමාණවත් නොවේ ද?

ශ‍්‍රී ලාංකේය වේදිකා නාට්‍ය සංගීතයේ ගල්ලෙන බිඳ ලෙන් දොර හැරිය එච්.එච්. බණ්ඩාර
එච්. එච්. බණ්ඩාර

1937 වසරේ උඩුනුවර මැණික්දිවෙල ග‍්‍රාමයේ දී හෙන්නත්ගෙදර හේමේන්ද්‍ර බණ්ඩාර උපත ලැබීය. තලාතුඔය මධ්‍ය මහා විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ද, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ද, ලද බණ්ඩාර 1957 වර්ෂයේ දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන සඳහා සුදුසුකම් ලැබීය.

සිංහල විශේෂවේදී ගෞරව උපාධිය ප‍්‍රථම පන්ති සාමර්ථ්‍යයක් සහිතව සමත් වූ ඔහු 1961 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර පසු කලෙක පරිපාලන සේවයට බැඳී නාවලපිටියේ ප‍්‍රාදේශීය ආදායම් නිලධාරියකු (DRO) ලෙස සේවය කර ඇත.

‘‘සිංහබාහු ලියන විට මේ තනු සමූහය වුව ද ප‍්‍රමාණවත් නොවන බවත් මට පෙනුණි. මම නාඩගම් සින්දු රචනා කළේ නාට්‍යයේ ඒ ඒ අවස්ථාවන්ට සුදුසු යැයි පෙනුණු තනු පළමුවෙන් තෝරාගෙන ය. මා ළඟ තුබූ තනු අවසන් වූයේ නාඩගමේ තෙවැනි අංකය ඒ මැද භාගයෙහි ය. මම පෙළේ ඉතිරි කොටස ලියා ගෙන ගියෙමි. එච්. එච්. බණ්ඩාර නමැති ශිෂ්‍යයෙක් එවකට මගේ පන්තියේ සිටියේය. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට පිවිසුණු ඔහු ගාන්ධර්ව සභාව විසින් එකල පවත්වන ලද සංගීත විභාගවලින් මධ්‍යමය සමර්ථ වී සිටියෙකි. නාඩගම් ශෛලියේ සංගීතය ගැන ඔහුට වැටහීමක් තිබුණු බව මට පෙනිණි. එපමණක් නොව ඔහුට සංගීත ක්ෂේත‍්‍රයෙහි නිර්මාණ ශක්තියක් ද තිබුණි. සිංහබාහු නාටකයේ සිව්වැනි අංකයට අවශ්‍ය තනු සියල්ලම වාගේ ඔහු නිර්මාණය කළේය. ඔහු නිර්මාණය කළ තනු අතර රසිකයින්ගේ සිත් තරයේ ගත් එකකි, ‘‘ගල් ලෙන බිඳලා” යන්න කළ රචනාව”

(සරච්චන්ද්‍ර පිං ඇති සරසවි වරමක් දෙන්නේ 189)

එච්. එච්. බණ්ඩාර සංගීත නිර්මාණකරුවෙක් පමණක් නොව ඔහු දක්ෂ බටනලා වාදකයෙකි. සිංහබාහු නාටකයේ බටනලා වාදනය ද මනමේ නාටකයේ බටනලා වාදනය ද සිදු කරන ලද්දේ ඔහු විසිනි. විශේෂයෙන් මෙම සංගීත නිර්මාණ සහ වාදන සඳහා උත්තර භාරතීය ශාස්ත‍්‍රීය සංගීතය ප‍්‍රගුණ කිරීම ඔහුට මහෝපකාරි වන්නට ඇත.

එච්. එච්. බණ්ඩාර සිංහබාහු නාටකයට තනු නිර්මාණය කිරීමට අමතරව ලාංකේය නාට්‍ය ඉතිහාසයේ මං සලකුණු කළ නාට්‍ය කිහිපයක ම සංගීත නිර්මාණය සහ අධ්‍යක්ෂණය සිදු කොට ඇත.

ඔබට හොඳින් අසා හුරු පුරුදු ”හනික වරෙන් කොල්ලනේ ”(බෙර හඬ)” සත් සියක් කපු මල් රැගෙන මම” (කුවේණි) වැනි ජනප‍්‍රිය නාට්‍ය ගීත රැසකම නිර්මාණකරුවා බණ්ඩාරය.

  • මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ : ‘‘සිංහබාහු” ‘‘මහාසාර”
  • හෙන්රි ජයසේනගේ : ”කුවේණි”
  • බන්දුල ජයවර්ධනගේ: ‘‘බෙරහඬ” ‘‘ස්වර්ණහංස” ‘‘ ඝෝෂක වස්තුව” ‘‘බිහිවුණු බෝසතාණෙනි”, ‘‘දියසේන නොපැමිණීම”,
  • විමල් නවගමුවගේ : ‘‘අජාසත්ත”

වැනි නාට්‍ය නිර්මාණවල සංගීතය නිර්මාණය කරන ලද්දේ ද එච්. එච්. බණ්ඩාර විසිනි.

1963 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ කුවේණි නාටකයේ සංගීත නිර්මාණය සඳහා වසරේ හොඳ ම සංගීත අධ්‍යක්ෂට හිමි සම්මානය බණ්ඩාර දිනා ගන්නා ලදි.

මහාචාර්ය සරච්චන්ද්‍ර මහාසාර නාටකය නිෂ්පාදනය කිරීමට සූදානම් වන විට දී නාටකයට තනු නිර්මාණය කිරීමේ ගැටලූවකට මුහුණ පාන්නට සිදු වී ඇත.

‘‘ඊළඟ ප‍්‍රශ්නය වූයේ නාට්‍යයේ සින්දුවලට තනු නිර්මාණය කරන්නේ කවුරු ද? කියා ය. මගේ වාසනාවට සිංහබාහු නාට්‍යයේ අග කොටසට තනු නිර්මාණය කළ මගේ ශිෂ්‍ය එච්. එච්. බණ්ඩාර එවකට පරිපාලනය සේවයට බැඳී නාවලපිටියේ ඞී. ආර්. ඕ. තනතුරට පත් වී එහි පදිංචි වී උන්නේ ය. ඔහු ලවා මම මහාසාර නාටකයේ සින්දුවල තනු නිර්මාණය කරවා ගත්තෙමි.

මහාසාර නාටකයේ තනු ගැන වචනයක් කිව යුතු යැයි සිතමි. ඒවා ගීතවත් තනු නොව නාට්‍යමය තනු ය. මෙයින් මා අදහස් කරන්නේ ඒවා ස්වරයෙන් රස විඳීමට නිර්මාණය කරන ලද තනු නොවන බව ය. ගද්‍යයෙන් – ගීතයට සංක‍්‍රමණය වීමේ අවස්ථාව පේ‍්‍රක්ෂකයාට නොදැනී, හිඩසක් නොමැතිව ඒ තනුවලින් ඉටු වේ. කතා ලීලාවේ ම ස්වර ඇසුරුකොට තනු නිර්මාණය කළා සේ ය.”

(සරච්චන්ද්‍ර පිං ඇති සරසවි වරමක් දෙන්නේ 202)

එච්. එච්. බණ්ඩාර වේදිකා නාට්‍ය සංගීතය යනු කුමක්දැයි මනාව වටහා ගනිමින් සිය නිර්මාණකරණයේ යෙදුණු බව මහාචාර්ය සරච්චන්ද්‍ර නිර්මාණ කෞශල්‍ය කිසිදු පැකිලීමකින් තොරව අගය කිරීම ම ඔහුගේ ප‍්‍රතිභාව මනාවට කියා පෑමකි.

පසු කලෙක සංස්කෘතික අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකු වශයෙන් ද කටයුතු කළ එච්. එච්. බණ්ඩාර 1971 ලංකාව අත හැර සිය බිරිඳ ලංකා බණ්ඩාර ද සමඟ ප‍්‍රංශය බලා නික්ම යයි. ඔහු ප‍්‍රංශයට ගොස් අවන්හලක සේවය කරයි. පසුව ඔවුන් එංගලන්තය බලා නික්ම යන්නේ සිය ජීවිත කාලය ම එංගලන්තයේ වාසය කිරීමට සිතාගෙන ය. එංගලන්තයට ගොස් බි‍්‍රතාන්‍ය මහා කෞතුකාගාරයේ සුචි නිලධාරී ලෙස බණ්ඩාර සේවය කර ඇත.

එච්. එච්. බණ්ඩාර ලංකාව අතහැර යෑම පිළිබඳව සරච්චන්ද්‍ර මෙසේ දක්වා ඇත. ‘‘බණ්ඩාර ලංකාව අතහැර එංගලන්තයට වාසයට යෑමෙන් කලා ක්ෂේත‍්‍රයට සිදු වූයේ එසේ මෙසේ පාඩුවක් නොවේ. අපේ සංගීතඥයන් වැඩිදෙනකුට භාෂා ඥානයක් හෝ සාහිත්‍ය ඥානයක් නොමැති වීම නිසාත් නාට්‍යයක් බැලීමට ඔවුන් ඉඳහිටවත් නොයෑම නිසාත්, නාට්‍යයට සුදුසු අයුරින් සංගීතයක් නිර්මාණය කරවා ගැනීමට කෙනෙකු සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ.”

(සරච්චන්ද්‍ර – පිං ඇති සරසවි වරමක් දෙන්නේ 202)

ලංකාව අතහැර ගොස් වසර 28ක් විදේශයක ජීවත් වූ මේ

ගාන්ධර්වයා 1998 වර්ෂයේ හෘදයාබාධයකින් සිය දිවි සැරිය නිම කරන විට හැට එක් වන වියේ පසු විය. ඔහුගේ බිරිඳ ලංකා බණ්ඩාරත් මීට වසර කිහිපයකට පෙර සිය දිවි සැරිය නිමා කළා ය. මෙවැනි අග‍්‍රගණ්‍ය නිර්මාණවේදීන් අප රටට අහිමි වන්නේ රටේ අභාග්‍යයකටද අපගේ අභාග්‍යයකට ද නොදනිමි.

හෙළ නාට්‍ය වංස කතාව වූකලි මේ සා විසල් වනස්පතීන් ඇසුරෙහි පෝෂණය ලද අත්‍යුත්කෘෂ්ට කෝෂ්ඨාගාරයකි. මතු පරපුරත්, වත්මන් පරපුරත් එකී වනස්පතීන්ගේ මතක වත, පුරාවත දත යුතු ය. ඉන් පෝෂණය ලැබිය යුතු ය.

පාදක සටහන් :

  • සිංහබාහු රිද්මය අපට දුන් නිහඬ බණ්ඩාර – ආචාර්ය නුවන් නයනජිත් කුමාර, ලිපිය (2014)
  • සංගීත් නිපුන් ජයන්ත අරවින්ද සමඟ සිදු කළ සාකච්ඡාව,

සංජය කුමාර ජයලත්
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර උපදේශක

ශ‍්‍රී ලාංකේය වේදිකා නාට්‍ය සංගීතයේ ගල්ලෙන බිඳ ලෙන් දොර හැරිය එච්.එච්. බණ්ඩාර
advertistmentadvertistment