ශ‍්‍රී ලාංකේය සංගීත කලාවේ සුපිපි අරවින්දය

442

නොවැම්බර් මස 27 වැනි දාට යෙදුණු ප‍්‍රවීණ සංගීතඥ, සංගීත් නිපුන් ජයන්ත අරවින්දගේ 84 වන ජන්ම දිනය නිමිත්තෙනි.

 සංගීතයටම කැප වූ අධ්‍යාපනඥයෙක්. සෞන්දර්ය විෂයෙහිලා ප‍්‍රාමාණික උගතෙක් මෙන්ම ශ‍්‍රී ලාංකේය වේදිකා නාට්‍ය සංගීතයේ එදා මෙදාතුර බිහි වූ සංගීතඥයන් සහ තනු රචකයින් අතුරෙන් ප‍්‍රමුඛ පෙළේ නිර්මාණවේදියකු ලෙස සංගීත් නිපුන් ජයන්ත අරවින්ද සූරීහු අපගේ ගෞරවාදරයට පාත‍්‍ර වෙති.

 1937 නොවැම්බර් මස 27 වන දින පානදුර කෙසෙල්වත්තේ දී වින්ස්ටන් සෝමපාල සහ සෝමවතී සමරවීර යුවලට දාව සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියන් දෙදෙනකු සිටින පවුලේ දෙටු පුත‍්‍ර රත්නය ලෙසින් ජී.ඩබ්. ජයන්ත මෙලොව එළිය දුටුවේය. නැසී ගිය ප‍්‍රවීණ සංගීතඥයෙකු, ගත් කතුවරයෙකු, ගේය කාව්‍ය රචකයකු වූ වින්ස්ටන් සෝමපාල, ජයන්ත අරවින්දගේ පියාණෝය. 1961 වර්ෂයේ විශ්වවිද්‍යාලයෙන් පිට වන ඔහු, පළමු පත්වීම ලබන්නේ වාද්¥ව මධ්‍ය මහා විද්‍යාලයටයි. එම විද්‍යාලයේ පාලි, බුද්ධාගම සහ සිංහල විෂය ඉගැන්වීමේ කටයුතු සිදු කරන අතර කළුතර විද්‍යාලය, කැස්බෑව මහා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වල ගුරුවරයකු ලෙස ජයන්ත අරවින්ද මහතා සේවය කොට ඇත.

 පේමතෝ නාට්‍යයට සංගීත යෙදුවේ ජයන්ත අරවින්දය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුව හුන් කාලයෙහි මම ඔහු සංගීත නිර්මාණයට යෙදුයෙමි. විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෝ සංස්කෘත ‘රත්නාවලී’ පියදාස නිශ්ශංක අනුවාදය නිෂ්පාදනය කරන්නට සිතූහ. ඒ අනුවාදයේ ඉතා කන්කලූ පද්‍ය තිබුණි. ඒ තනු නිශ්ශංකගේ පද්‍ය මෙන්ම ඉතා කන්කලූ විය.

 පිළියන්දල පදිංචිව හුන් ජයන්ත පේරාදෙණියට විත් සති දෙක තුන එක දිගට අපේ ගෙදර වාසය කරමින් ්පෙමතො’ නාට්‍යයට සංගීත නිර්මාණය කළේය. එය නාට්‍යයකට සින්දු දෙක තුන තැනීම මෙන් නොව මහා පරිමාණයේ කටයුත්තක් වූයේ ය. මේ ආදී වශයෙන් ඔහු මහත් කැපවීමකින් හා භක්තියකින් මේ කාර්යයේ යෙදුණේය.’’

 ( සරච්චන්ද්‍ර – පිං ඇති සරසවි වරමක් දෙන්නේ 206,1997 )

 ජයන්ත අරවින්දගේ නිර්මාණාවලියේ පරිපාකය මහාචාර්ය සරච්චන්ද්‍රගේ ‘පෙමතො ජායති සොකො’ නාට්‍යයේ සංගීත නිර්මාණයයි.

 ජයන්ත අරවින්ද සංගීත නිර්මාණවේදියෙක් පමණක් නොව දක්ෂ ශාස්ත‍්‍රීය වයලීන වාදකයෙකි. තම පියාණන්ගෙන් ගුරුහරුකම් ලැබූ ඔහු කුඩා කල සිටම වයලීනයෙන් දස්කම් දක්වා ඇත. 1951 වර්ෂයේදී සරච්චන්ද්‍ර නිෂ්පාදනය කළ ‘රාග රසවින්දන’ නම් වැඩසටහනට වයලීන වාදනය කිරීමට අවුරුදු 14ක් පමණ වයසැති කුඩා ජයන්තට හැකි විය.

 1951දී රතන් ජංකර් පඬිතුමාගේ ශිල්පීන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයට ද ඉදිරිපත් වූ ඔහු ශාස්ත‍්‍රීය වයලීන වාදන බී ශ්‍රේණියේ ශිල්පියෙකු ලෙසින් තේරී පත් වී ඇත.

 1973 වර්ෂයේ ගුරු වෘත්තියට සමුදෙන ජයන්ත අරවින්ද එම වර්ෂයේම ගිරාගම ගුරු විද්‍යාලයේ සංගීත කථිකාචාර්ය තනතුරට තේරී පත් වේ. මෙම කථිකාචාර්ය තනතුරේ සිටියදී 1978 වර්ෂයේ අධිශිෂ්‍යත්වයක් ලැබ සෞන්දර්ය දර්ශනය පිළිබඳ හැදෑරීමට ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු පසුව දිවයිනට පැමිණ කොළඹ, සෞන්දර්ය, හොරණ ශ‍්‍රීපාලි ආදි විශ්වවිද්‍යාලයන්හි අනුයුක්ත කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කොට ඇත. 1985 වර්ෂයේ ගිරාගම ගුරු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තනතුරට පත් වන ජයන්ත අරවින්ද 1987 වර්ෂයේ එහි විදුහල්පති ලෙස උසස්වීම් ලබයි. 1989 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යක්ෂ තනතුරට පත් වන ඔහු එවකට ක‍්‍රීඩා හා විෂය බාහිර අංශයේ කොටසක්ව තිබූ සෞන්දර්ය අංශය වෙනම ශාඛාවක් බවට පත් කර සෞන්දර්ය අංශය ස්ථාපිත කරවීය.

 ජයන්ත අරවින්ද මහතා සෞන්දර්ය අධ්‍යක්ෂව සිටි අවධියේ සිදු කළ එක් සුවිශේෂී කටයුත්තක් නම් ‘ශනි දින බහු ශිල්ප මධ්‍යස්ථාන’ පිහිටුවීමයි. සංගීතය, නැටුම්, චිත‍්‍ර, සාහිත්‍ය, නාට්‍ය යන විෂයන්ගෙන් කැමැති ඕනෑම විෂය ධාරාවක් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තත් විෂයයන් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසීම මෙහි අරමුණ වී ඇත.

 මෙම වැඩසටහන එවකට පාසල් 100ක ක‍්‍රියාත්මක වී තිබේ. පසුව යම් යම් අදිසි ක‍්‍රියාමාර්ග, කූටෝපක‍්‍රම සහ විවිධ එදිරිවාදිකම් හමුවේ එම වැඩසටහන අකර්මණ්‍ය වී ඇත. මේ සමග ‘ශනිදා වාසනාව’ යැයි නමක්ද තමාට පටබැඳුණු බව ජයන්ත අරවින්ද සිහි ගන්වන්නේ සතුටු සිතිනි.

 1989 සිට 1997 වර්ෂයේ විශ‍්‍රාම යන තෙක්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යක්ෂවරයා ලෙස ජයන්ත අරවින්ද මහතා කටයුතු කොට ඇත.

 ජයන්ත අරවින්ද මහතාගේ නිර්මාණාවලිය දෙස බැලීමෙන් ඔහු තුළ වූ අසහාය නිර්මාණාවේශය සහ කලා කෞශල්‍යය මැනවින් සනාථ වේ.

 * වේදිකා නාට්‍ය

 මනමේ (සංගීත නිර්මාණ සහ නවීකරණ)

 සිංහබාහු (සංගීත නිර්මාණ සහ නවීකරණ)

 මහාසාර (සංගීත නිර්මාණ සහ නවීකරණ)

 තවත් උදෑසනක් (සංගීත නිර්මාණ)

 රත්නාවලී (සංගීත නිර්මාණ)

 පෙමතො ජායති සොකො (සංගීත නිර්මාණ)

 රාවණ සීතාභිලාශය (සංගීත නිර්මාණ)

 * මුද්‍රා නාට්‍ය සාරභූමි පැරකුම් විකුම් වෙස්සන්තර

 * සංගීත කෘති

 ගී සී පද (සංස්කරණය)

 සිංහල නාඩගම් සංගීත සම්ප‍්‍රදාය

 සරල ශාස්ත‍්‍රීය ගීත රසාස්වාදනය

 සංස්කෘති සඟරාව (චතුර් මාසිකය සංස්කරණය)

 රත්නාවලී නාට්‍ය ගීත සංග‍්‍රහය

 1998 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ලලිතා සරච්චන්ද්‍ර නිෂ්පාදනය කළ රත්නාවලී නාටකයේ සංගීත නිර්මාණය සඳහා වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ජයන්ත අරවින්ද විසින් දිනා ගන්නා ලද අතර 2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී විශේෂ දිවමන් ප‍්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබ ඇත.

 ‘සංගීත නිර්මාණයෙහි යෙදී සිටින විට අවට සිදුවන කිසිවක් ජයන්ත නොදනී. කවියා කාව්‍ය නිර්මාණය කරන විට මෙන් ඔහු අමුතු ලෝකයකය වෙසෙන්නේ. තමා කන බොන දේ ගැන වත් ඔහුගේ සිත යොමු වේ යැයි මම නොදනිමි.’’

 (සරච්චන්ද්‍ර – පිං ඇති සරසවි වරමක් දෙන්නේ 207,1997)

 මහාචාර්ය සරච්චන්ද්‍ර අරවින්දගේ සංගීත නිර්මාණකරණය මෙලෙස විවරණයක යෙදෙන්නේ ඔහුගේ නිර්මාණ කෞශල්‍යය මනාව වටහා ගනිමින් සහ එයට බුහුමන් දක්වමින්ය.

 ජයන්ත අරවින්ද යනු, අද ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සංගීතඥයෙක් පමණක් නොව ප‍්‍රාමාණික උගතෙකි.

 වර්තමාන සිසු පරපුර, ගුරුවරු, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීහු, කථිකාචාර්යවරු, ආචාර්ය මහාචාර්යවරු ඔහුගේ ශාස්ත‍්‍රීය දැනුම, ඇසූ පිරූ තන්හි ඇති ගවේෂණාත්මක ඥාන සම්භාරය උකහා ගනිමින් අවම වශයෙන් ඔහුගේ ඇසුරවත් ලබා ගත යුතුය යන්න අපගේ හැඟීමයි.

 මහාචාර්ය සුචරිත ගම්ලත් ජයන්ත අරවින්ද මහතාව ‘නාදපති’ යන ගෞරව නාමයෙන් හඳුන්වා ඇත්තේ ද එතුමා තුළ තිබූ ප‍්‍රතිභා මහිමය හේතුවෙන්ම විය හැකිය.

 සංජය කුමාර ජයලත්
 බාහිර උපදේශක
 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment