කඳසුරිඳු පියවි ඇසින් දුටුවන් ඉතා විරලය. එහෙත් එතුමා ජීවමානය. භික්ෂුවක, තාපසයකු, මහලු මිනිසකු හෝ කුඩා දරුවකු ලෙසින් පැමිණ අපෙන් යමක් ඉල්ලා සිටින්නට හෝ යම්කිසි උපකාරයක් කරන්නට ඇත. අතීතයේ එවැනි අවස්ථාවලට මුහුණ දුන් බව කතරගම ජීවත් වූ වැඩිහිටියන් මා සමග පවසා තිබේ. කිරිවෙහෙර ප්‍රතිසංස්කරණයට පෙර වන්දනාවේ පැමිණි, සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමියට දක්නට ලැබුණේ විස්මිත දසුනකි. වල්බිහිවී කඳුගැටයක් ලෙස පැවැති කිරිවෙහෙර මුදුනෙහි කුඩා දරුවකු සිටිනු දැක එතුමිය පුදුමයට පත්වුවාය. ආරක්ෂක අංශ ක්‍රියාත්මක විය. එහෙත් වන සතුන් හැර එවැනි කිසිවකු එහි නොමැති බව දැන ගන්නට ලැබුණි. 1961 වසරෙහි ප්‍රතිසංස්කරණය සඳහා කිරිවෙහෙර වහන්සේට මුල්ගල තැබීමට අග්‍රාමාත්‍යතුමිය ක්‍රියා කළේ ඒ නිසාය. එම සිදුවීම එකල පුවත් පතක පළවූයේ ‘අගමැතිනිය දෙවියන් දකී’ යන ශීර්ෂ පාඨයෙනි.
දෙදහස් දොළහ වසරේ දී – පූජ්‍යපාද කෑගල්ලේ පඤ්ඤාරාම නාහිමියන් කතරගම දී දෙවියන් දුටුවේ, තරුණ මහත්මයකු ලෙසින් බව ඉරිදා පුවත්පතක පළවී තිබුණි. ඒ පිළිබඳ තතු පවසමින් උන්වහන්සේ මෙසේ ද කියා තිබුණි.
“ජාතකට්ඨ කතා පොතේ -සුඛවිහාර ජාතකයට අනුව බුද්ධ ආඥාවක් තියෙනවා. දෙවියන්, දෙවියන්ගේ ස්වරූපයෙන් මනුස්ස ලෝකයේ පෙනී සිටින්නට එපා කියලා, අතීතයේ කතරගම වන්දනාවේ පැමිණි දමිළ බැතිමතුන්, ඔවුන් ඉදිරියේ හමුවන සියල්ලන්ට ම ඇමතුවේ ‘සාමි’ යනුවෙනි. කන්දසාමි කුමන වේශයකින් හෝ තමන් ඉදිරියට පැමිණිය හැකි බව ඔවුන් තුළ විශ්වාසයක් තිබුණි.
ඉන්දියානු සම්භවයක් ඇති ෂඩයම්මා දේව දාසියකි. ඇයගේ මඩම පිහිටා තිබුණේ මුස්ලිම් පල්ලියට සමීපවය. එනම් වර්තමානයෙහි කාලිඅම්මාන් කෝවිල පිහිටා ඇති භූමියේය. අතීතයේ කාලිඅම්මා කෝවිල පිහිටා තිබුණේ – වල්ලිඅම්මා දේවාලයත් මැණික් ගංගාවත් අතර බිම්කඩෙහිය.
කතරගම රෝහල පිහිටා තිබුණේ මුස්ලිම් පල්ලියට අයත් පකීර් මඩම පිටුපසය. පොලිසිය පිහිටා තිබුණේ ඊශ්වර දේවාලයට යාබද ඉඩමේය. රුහුණු මහා කතරගම දේවාලය අබියස ටෙම්පල් වීව් හෝටලය ද පිහිටියේය.
රාම ක්‍රිෂ්ණා මඩම හැර සියලු අවිධිමත් ගොඩනැඟිලි ඉවත් කරමින් පූජා නගරය නිර්මාණය විය. ඉන්දියාව, යාපනය, මඩකලපුව, බණ්ඩාරවෙල, බදුල්ල ආදී ප්‍රදේශවලට අයත් උදවිය පාලනය කළ මඩම් විසිගණනක් ඉවත්කර ශුද්ධ භූමි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී ෂඩයම්මා මෑණියන්ගේ මඩම ද අහෝසිවී ගියේය.
ෂඩයම්මා ගෙන් කිසිවකුටත් කරදරයක් නොවූ අතර සිය මඩමට එන සියලුදෙනාට ම දිනපතා ආහාර පානාදී සංග්‍රහ කළාය. ඇය දේව දාසියක් වූ නිසා ම අවිවාහක ජීවිතයක් ගත කළාය. ගතත්, සිතත් දෙවියන් උදෙසාම කැප කළ අචල භක්තියෙන් යුතු තැනැත්තියකි. නිරතුරුව ඇයගේ මුවග රැඳුණේ මුරුගා… මුරුගා… ඕම්… මුරුගා… යන භක්ති කථනය පමණි. ඇය වෙනත් දෙවි කෙනකු වන්දනා කරනු අප දැකලා නැත. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය විනාශ කොට මංකොල්ලකෑමට පෘතුගීසින් පැමිණි දිනයේ එහි තුළ දේවදාසියන් පන්සියයක් විසූ බව පරංගි සේනාවේ නිලධාරියකු වන කූටෝගේ වාර්තාවක සඳහන්ය.
කතරගම තේවානි අම්මාන් මඩමේ විසූ ඉතා රූමත් තරුණ දේව දාසියක වූ බාල සුන්දරී සමාධිගත කළ සොහොන අදටත් දැකගත හැකිය.
ෂඩයම්මා මඩමේ සීනුව නාද වෙයි. වන්දනාකරුවන් සඳහා දානය පිළිගැන්වීමට පෙර කපුරු පහන දල්වා පොල්ගෙඩිය බිඳ දේව පූජාව ඇරැඹේ. දිනපතා වන්දනාකරුවන් සඳහා දැඩි කැපවීමෙන් පිළියෙල කරගත් දානය පිළිගැන්වීමේදී ජාතිභේද, ආගම්භේද නොමැතිව ඉතාකාරුණිකව සේවය සැලසීම ෂඩයම්මාගේ සිරිතයි.
මෙම දානමය ක්‍රියාවලියට විවිධාකාර ලෙස දායකත්වය සපයන්නේ යාපනය, මඩකලපුව සහ කොළඹ පදිංචි ව්‍යාපාරික පින්වතුන්ය.
‘ෂඩයම්මා අපූරු අත්දැකීමක් ලබයි’
එක් දිනක උදෑසන වනවිට දහවල් දානය සඳහා අවැසිවන සහල්, පොල්, එළවළු, පපඩම්, පොල්තෙල් ආදී සියලු දේ ගොඩගැසී හමාරය. නමුත් ෂඩයම්මා දැඩි කලබල ගතියකින් වීදිය දිගේ ගමන් කරන්නීය. මැණික් ගංගාවෙන් ජලය ගෙන්වා ගැනීමට කුලීකාරයන් තවමත් පැමිණ නැත. ඇයගේ කලබලයට හේතුව එයයි. එකල පූජා භූමියට ජලනළ පහසුකම් හෝ විදුලි බලය ද නැත. සියලු මඩම් සඳහා මෙන්ම හෝටල් ව්‍යාපාර සඳහා ද ජලය ගෙන ආවේ මැණික් ගඟේ සිට කදබැඳ ගෙනය. ජලය පිරවූ හතරැස් ටින් එක සතපහක් මිල ගෙවා ලබාගත යුතුය.
ෂඩයම්මා මඩම පමණක් නොව, සියලු ආයතන සඳහා ජලය ගෙන ඒමට දමිළ ජාතික කුලීකරුවන් සූදානම්ව සිටිති. මේ සියලුදෙනා එකතුවී පෙරහැර වගේ වැඩසිටි කන්දට ජලය සැපයීමේදී යෙදෙන අවස්ථා තිබේ. එදිනට පූජාභූමිය හෙවත් දේවාලය අවට ප්‍රදේශයට කුලීකාරයන් හිඟවේ.
දැන් ෂඩයම්මා මෑණියෝ විලාප දෙන හඬ ඇසෙයි. මුරුගා, මුරුගා, මුරුගා ඇය දෙව් කුමරුන්ට දුක කිය කියා පපුවේ දෑත් ගසාගනී. මහා දේවාලය ඉදිරිපිට වාසල් දොරටුවේ රැඳී දේවාලය දෙසට දෑත් දිගුකරමින් හඬ නඟයි. අනතුරුව ඇය සිය මඩමට පැමිණ බංකුවට බර දී වටපිට බැලුවාය.
හදිසියේ හමා ආ සුළඟින් අතු ඉති ඇඹරී නැමී ගියේය. ටක් ටුක් හඬින් වැහි පොද වැටී දුහුවිල්ල මැකී ගියේය. පාදවල මිණිසලඹ බැඳි තරුණයකු මඩමට ඇතුළු වුණේය.
“මෙන්න මේ වේට්ටිය ප්‍රවේශමට අරන් තියන්න. මම වතුර ගෙනැත් පුරවන්නම්.”
ඔහු අත වූ වේට්ටිය ෂඩයම්මා අතට දෙමින් වටපිට බැලුවේය. මේ තරුණයා දුන් වේට්ටිය රැගෙන ෂඩයම්මා සිය කුටියට ඇතුළු විය. මුදලක් ද අත ඇතිව ඇය යළිත් පැමිණියාය. කෝ මේ ඉලන්දාරියා? පැමිණි තරුණයා පෙනෙන්නට නැත. සියලු ජල බඳුන් ජලයෙන් පිරී ඉතිරී පිටාර ගලයි.
මුරුගා හරෝහරා, හරෝහරා සතුටු කඳුළු අතරින් ඇයගේ භක්තිය දෝරේ ගලයි. පාරේ යන උදවියටත් මේ සිදුවූ හාස්කම පෙන්වයි. ප්‍රිතියෙන් යළි යළිත් මුරුගා කියයි. දේව භක්තියෙන් උපරිම සතුට විඳිමින් ප්‍රමාදයකින් තොරව ඇය එදින දානය සකස් කළාය.
සතියක් දෙකක් ගෙවී ගියේය. අර වේට්ටියේ දී අතුරුදන් වූ තරුණයා නැවත ආවේ නැත. මේ වේට්ටිය ගෙනැවිත් දී ජලය පුරවා නොපෙනී ගියේ මනුෂ්‍යයෙක් නොවන වග ඇය දැන සිටියාය. තවත් ප්‍රමාද නොවී උරුමය ඇති තැනට ම වේට්ටිය භාර දී පැමිණීම ඇඟට ගුණබව තේරුම් ගත්තාය. ගඟෙන් දිය නා පේවී පිරිසිදු ඇඳුමක් හැඳගත් ෂඩයම්මා මෑණියෝ වේට්ටිය හිසමත තබා ගත්තාය. මහත් භක්තියෙන් යුතුව හඬමින් මුරුගා… කියමින් දේව මන්දිරයට ඇතුළු වී වේට්ටිය පූජා කරමින් ස්තෝත්‍ර ගැයුවාය.
කතරගම – නිමල් කුඩාතිහි