ෂර්ලොක් හෝම්ස් ක්‍රමයට වැඩ පෙන්වන අපේ සාත්තර මෑණිවරු

194

අප රටේ ස්වයං රැකියා සම්බන්ධයෙන් කාන්තා පක්ෂය පුරුෂ පක්ෂය ද අබිබවා හිඳින බව ප්‍රසිද්ධ කරුණකි. එමෙන්ම මෙම ස්වයං රැකියා ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් වර්ගීකරණයකට ලක්ව ඇති බව ද පෙනේ. එසේ කිසිදු වර්ගීකරණයකට ලක් නොවූ කාන්තා ස්වයං රැකියාවන් ද යම් පමණකට හෝ තිබිය හැක. නමුදු ඒ අතුරින් එක්තරා සුවිශේෂත්වයකින් යුතු කාන්තා ස්වයං රැකියාවක් වනුයේ “ශාස්ත්‍ර කීම”ය. අප මෙසේ මෙය කාන්තා කේන්ද්‍රීය ස්වයං රැකියාවක් සේ නම් කිරීමට ප්‍රධාන හේතුවක් ද තිබේ. එනම් මෙම ශාස්ත්‍ර කීමේ වෘත්තිය සම්බන්ධ “මෑණි” වරුන්ට සාපේක්ෂව “පියවරුන්” ඉතා දුලබ වීම ය.

එක් දහස් නවසිය අනූව දශකයේ මුල් භාගයේ සිට මේ දක්වාම මම වරින් වර මේ සාත්තර මෑණිවරුන් සිය ගණනක් පිළිබඳව විමසුම් සහ හැදෑරීම් සිදු කොට ඇත්තෙමි. එමඟින් මෙම සෑම මෑණි කෙනෙකුන්ම සම්බන්ධ වැදගත් තොරතුරු සේම පොදු ලක්ෂණ රැසක් ද අනාවරණය කර ගැනීමට මට හැකි විය.

මෙම සාත්තර මෑණිවරුන්ගෙන් බහුතරය මැදිවියට පත් වූ සහ මැදිවිය ඉක්ම වූ කාන්තාවන් වීම ඉන් පළමු පොදු කරුණ ය. එමෙන්ම අප රටේ ජනගහන සංයුතිය පරිද්දෙන්ම මොවුන්ගෙන් බහුතරය උපතින් සිංහල බෞද්ධ ය. අප රටේ ජන වර්ග අතුරින් දෙමළ හින්දු මෑණිවරුන් ද පිළිබඳ තොරතුරු අසන්නට ලැබුණ ද භාෂාත්මක නොහැකියාව මුල් කොට මට ඔවුන් ගැන වැඩිදුර විමසීමේ අවකාශයක් නොලැබිණ.

සිංහල, කිතුනු සම්භවයේ මෙම මෑණිවරුන් නැත්තටම නැතැයි කිව නොහැකි අතර ඔවුන් ඉතා දුලබ බව නම් කිව යුතුම ය. මීට කලකට පෙර කඳාන නැඳුරුපිටිය ප්‍රදේශය ශාන්ත සෙබස්තියන් මුනිවරයාගේ වරමින් ශාස්ත්‍ර කියන එබඳු මෑණි කෙනෙකුන් පිළිබඳව මට අසන්නට ලැබිණ. එහෙත්, පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කිරීමේ දී මට දැන ගත හැකි වූයේ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරුද්ධතා මත ඇය එම ශාස්ත්‍ර කීම් ඒ වන විටත් මුළුමනින් නතර කොට දමා ඇති බව ය. ඒ අතරේ එලෙස ශාස්ත්‍ර කියන මුස්ලිම් කාන්තාවක පිළිබඳ තොරතුරක් ද එක් දහස් නවසිය අනූව දශකයේ අගභාගයේ එවක කල්පිටිය තානායමේ භාරකරු වශයෙන් සේවය කළ සම්පත් නිශාන්ත වෙදගේ වෙතින් අසා දැනගන්නට මට හැකි විය. ඒ අනුව මම ඊට පසු දිනයක ඔහු ද සමඟ ඇය සොයා කල්පිටිය ආශ්‍රිත පල්ලිවාසතුරෙයි නම් ප්‍රදේශයට ගියෙමි. ඇය ශාස්ත්‍ර කියන ස්ථානයට යන මඟ සලකුණු සම්පත් ද හරි හැටි නොදැන සිටි බැවින් අතර මඟ දී හමු වූ කිහිප දෙනකුගෙන් මඟ තොරතුරු විමසීමට අපට සිදු විය. එසේ අප විමසූ එම ප්‍රදේශවාසීන් එම කාන්තාව දරුණු නිග්‍රහයට ලක් කළේ ඇගෙන් ශාස්ත්‍ර ඇසීමට යන අප ද බරපතළ සමච්චලයට ලක් කරමිනි. ඊට හේතුව ඉස්ලාමය මෙවන් ශාස්ත්‍ර, අනාවැකි, පේන කීම්, ඇසීම් මුළුමනින් ප්‍රතික්ෂේප කිරීම නිසා බව මට පසුව දැන ගත හැකි විය. එමෙන්ම එම කාන්තාව දීර්ඝ කාලයක් සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියදී එහි රැකියාවක් කරමින් සිටි පල්ලිවාසතුරෙයි ප්‍රදේශයේ මුස්ලිම් අයකු හා පෙම් සබඳතාවකින් විවාහ වී පසුව ඉස්ලාම් ආගම වැළඳ ගත් සිංහල කාන්තාවක බව ද අනාවරණය විණි. ඒ අනුව ඒ කාන්තාව එසේ ශාස්ත්‍ර කීම අරඹා ඇත්තේ ඇගේ “ආරේ ගතිය නෑරී” ඇති නිසා බව අපට වැටහිණ.

ෂර්ලොක් හෝම්ස් ක්‍රමයට වැඩ පෙන්වන අපේ සාත්තර මෑණිවරු

මෙම ශාස්ත්‍ර කියන මෑණිවරුන් මා හා අමනාප නොවන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් අනාවරණය කරගත් පොදු සත්‍ය කරුණු කිහිපයක් ද කිව යුතුව තිබේ. එහෙත්, මෙම කරුණු ශාස්ත්‍ර කියන සෑම මෑණි කෙනකු සම්බන්ධයෙන්ම ඒකාකාර ලෙස බලනොපාන බව ද කල් ඇතිවම කියා සිටිය යුතු ය. එසේ නොකළහොත් මෙම මෑණිවරුන් ගුප්ත බලයෙන් මට ආපදාවක් කිරීම කෙසේ වෙතත් මගේ මෑණියන්ගේ “ගුණ” සිහිපත් කරනු නිසැක ය.

මෙම සාත්තර මෑණිවරුන් බහුතරය හෝ සැලකිය යුතු කොටසක් ජීවිතයේ ළමා සහ තරුණ වියේ දී බරපතළ ගැටලුවලට මුහුණ දුන් අය වෙති. මොවුන්ගෙන් සමහරක ගේ විවාහ ජීවිත බිඳ වැටී ඇති අතර තවත් පිරිසකගේ විවාහයන් නාම මාත්‍රික මට්ටමට වැටී ඇත. ඒ හැරුණු කොට ඉතා යහපත් පවුල් ජීවිත ගත කරමින් සැමියා සහ දූ දරුවන් සමඟ සතුටින් ගෙවන සාත්තර මෑණිවරුන් වෙත් නම් ඒ ඉතා අඩුවෙනි. මෙසේ ශාස්ත්‍ර මෑණිවරුන් පවසන අන්දමට ඔවුන් හට මෙම ශාස්ත්‍ර කීමේ හැකියාව ලැබී ඇත්තේ දේව වරමකිනි. මෙම වරම යනු දිව්‍යමය වරප්‍රසාදයකි. මෙලෙස අප රටේ කාන්තාවන්ට ශාස්ත්‍ර කීම පිණිස වරම් දීම සම්බන්ධයෙන් චිර ප්‍රසිද්ධ දේවතාවියෝ දෙදෙනෙක් වෙති. ඒ පත්තිනි දෙවඟන හා කාලි දෙවඟන ය. ඔවුන් කාන්තාවනට මිස පිරිමින්ට වරම් නොදීම ශාස්ත්‍ර මෑණිවරුන් තරමට ශාස්ත්‍ර කියන පියවරුන් දක්නට නොලැබීමට ප්‍රධාන හේතුවක් සේ පෙනෙයි. එමෙන්ම මෙම පත්තිනි වරම සහිත මෑණි වරුන්ට වඩා කාලිවරම ගත් ඇතැම් මෑණි වරුන්ගේ චරිතය සම්බන්ධ විෂමතා පවතින බව ද හීන් සීරුවේම හෝ කියා දැමිය යුතුම ය. ඒ මා අසා දැනගත් දේ අනුව මිස මගේ අත්දැකීම් අනුව නොවේ. මෙම වරම් ලැබීම හෝ වරම් ගැනීම සම්බන්ධ මනෝ විද්‍යාත්මක ලෙස විස්තර කළ හැක්කේ එම කාන්තාවගේ මනැස තුළින් ද්විතීයික පෞරුෂයක් ඉස්මතු වීමක් ලෙසිනි.

විසඳාගත නොහැකි බරපතළ ගැටලුවකින් දැඩි මානසික පීඩාවට පත්ව හිඳ එය උච්චතම අවස්වේ දී සමහරුන් තුළ පවත්නා සාමාන්‍ය පෞරුෂය වෙනුවට සිත තුළින් ද්විතීයික පෞරුෂයක් ඉස්මතු වී ඒ අනුව කතා බහ සහ ක්‍රියා කිරීමට පෙළඹීමේ යම් හැකියාවක් තිබේ. එය අප ජන සමාජයේ නිතර අසන්නට ලැබෙන යකුන්, ප්‍රේතයන්, භූතයන් මළවුන් සේම දෙවියන් ‘ආරූඪ වීම’ ලෙසින් හැඳින්වෙන බව ඒ සම්බන්ධ සරල මනෝ විද්‍යාත්මක විවරණයක් ලෙස දැක්විය හැක. නමුත් මීට අමතරව සයිකෝසීය ගණයේ ප්‍රධාන මානසික රෝග ලක්ෂණයක් ලෙස ද ඇතැමුන් කෙරෙන් මෙම ද්විතීයික පෞරුෂය ඉස්මතු වන අවස්ථා තිබේ.

ෂර්ලොක් හෝම්ස් ක්‍රමයට වැඩ පෙන්වන අපේ සාත්තර මෑණිවරු

“භින්නෝන්මාදය, මේනියාව වගේ රෝගවල ලක්ෂණයක් හැටියට වුණත් ඔය පෞරුෂය වෙනස් වීම දකින්න පුළුවන්. එතකොටත් අවට ඉන්න අය ඒක දේව වරමක් කියලා හිතාගෙන ඒ අයගෙන්, සාත්තර අහන්න පෙළඹෙන අවස්ථා තියනවා. නමුත් ඒ රෝගයට සම්බන්ධ අනිකුත් රෝග ලක්ෂණ වරින්වර ඉස්මතු වීම නිසා ඒ සාත්තර කීම දිගටම කරගෙන යන්න ඒ අයට බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ මානසික රෝගය ඒ කාන්තාවට ලැබුණු දේව වරමේ අතුරු ඵලයක් හැටියට හිතන අයත් ඉන්නවා” ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් කීය.

නමුදු දීර්ඝ කාලයක් තිස්සේ එසේ ශාස්ත්‍ර කියන මෑණිවරුන්ගේ දැන උගත්කම කෙසේ වුවත් ඔවුන් තුළ ඒ සම්බන්ධයෙන් පවතින උපායාත්මක හැකියාවන් නම් අති විශිෂ්ට බව නිහතමානීව මෙහි සටහන් කළ යුතු ය.

“අපට දරුවෝ නැති නිසා අපේ ගෙවල් වලින් ලොකු ප්‍රශ්න; බැරිද? අපි දෙන්නට දරුවෙක් ලබා ගන්න උදව්වක් කරන්න” මීට වසර තිහකට පමණ ඉහත කඩුවෙල සමීපයේ පත්තිනි දේව වරමින් ශාස්ත්‍ර කියන ප්‍රකට මෑණි කෙනෙකුන් සමීපයට ගිය මම ඇසීමි. “මොකද බැරි පුතේ; පුළුවන්; යස අගේට පුළුවන්” එවිට ඒ මෑණියෝ ශාස්ත්‍ර ඇසීමට පැමිණි සෙස්සන්ට ද ඇසෙන සේ හඬ නඟා කීවා ය.

“හැබැයි ඉතින් ඒ වුණාට පත්නිනි මෑණියන්ටත් දරුවෝ නම් හිටියෙ නෑ නේද?” ඒ සමඟම මම එම මෑණියන්ට පමණක් ඇසෙන නෑසෙන අන්දමින් කෙඳිරි ගෑවෙමි. “මොකද නැත්තේ දරුවෝ; උඹලා ඔක්කොම පත්තිනි මෑණියන් ගේ දරුවෝ තමයි; නැත්නම් උඹලා පත්තිනි අම්මා කියන්නේ මොන බම්බුවකටද? ඒ ශාස්ත්‍ර මෑණියන් උස් හඬින්ම අසා සිටියේ මා මොහොතකට නිරුත්තර කරමිනි.

මෙම ශාස්ත්‍ර කියන මෑණිවරුන් අතර පවත්නා පොදු ලක්ෂණ අතුරින් “අංක එකේ” ලක්ෂණය වනුයේ ශාස්ත්‍ර කීම ඇරඹූ මොහොතේ සිට එකින් එකට අපගෙන් ප්‍රති ප්‍රශ්න ඇසීම ය. ඒ අනුව එය ඔවුන්ගේ ශාස්ත්‍ර කීමකට වඩා අපෙන් කරුණු විමසීමක් බව බැලූ බැල්මටම පෙනෙයි. “හරි නම් හරි කියපන් දරුවා. නැත්නම් නෑ කියපන්” එවන් අවස්ථාවල එම මෑණිවරුන් එසේ පවසන එවන් ස්ථානවලට යන ඔබටත් ඕනෑ තරම් අසන්නට ලැබී ඇතැයි සිතමු. එහෙත්, දේව වරමකින් හෝ වෙනයම් කවර හෝ ගුප්ත බලයකින් එම මෑණියන්ට එවැනි අසාමාන්‍ය ශක්තියක් තිබේ නම් ඇය තමන් පවසන වැකියෙන් වැකිය මුල් කොට අපගෙන් එහි හරි වැරැද්ද විමසනුයේ මන්දැයි මට නම් නොවැටහේ.

එමෙන්ම මෙම ශාස්ත්‍ර මෑණිවරුන් ශාස්ත්‍රය අසන්නා වෙත තම ප්‍රශ්න යොමු කරනුයේ ද ගම්බද ධීවරයන් වීසි දැල භාවිත කරන ක්‍රමයට ය. කිසියම් ජලාශයක් සමීපයට යන ධීවරයා තම අතෙහි ඇති වීසි දැල සෑහෙන ප්‍රමාණයක් පුරා විසිර යන සේ විහිදුවමින් ඒ ජලාශය මතට දමා ගසනුයේ කිසියම් ලූලෙකු, කාවයියෙකු, තිත්තයෙකු ඉලක්ක කොට නොවේ. එහෙත් නැවත ඒ දැල හකුළන විට ඒ පරාසයේ ජලයේ සිටි සියලුම මසුන් ඒ දැලට කොටු වී ධීවරයා වෙතට ඇදී එනු දක්නට පුළුවන.

“දුකක්, වේදනාවක්, කරදරයක්, පාඩුවක්, වෙන්වීමක් පෙන්නුම් කරනවා දරුවා; හරි නම් හරි කියපන් නැත්නම් නෑ කියපන්” බොහෝ සාත්තර මෑණිවරුන් තමන් වෙතට ශාස්ත්‍ර ඇසීමට පැමිණෙන්නවුන් වෙත මුලින්ම යොමු කරනුයේ එවැනි ප්‍රශ්න ජාලයක් එකට කැටි කළ පැනයකි. එවිට ශාස්ත්‍ර අසන්නා “ඔව්” හෝ “නෑ” යනුවෙන් ඊට පිළිතුරු දිය යුතු ය. ඉහත සඳහන් ජාල ප්‍රශ්නය තුළ ඇති බහු විධ ස්වභාවය කෙතරම් පුළුල් ද යන්නවුන් බොහෝ දෙනකු “ඔව්” යනුවෙන් පිළිතුරු දීම අතිශය ස්වභාවික ය. මක්නිසා ද කිසියම් දුකක්, කරදරයක් විපතක් සිදු වූ විටෙක ලොතරැයි ඇදීමක් වැනි හදිසි ධන ලාභයක් හමුවේ කිසිවකු ශාස්ත්‍ර ඇසීමට නොයන බැවිනි. බොහෝ දෙනකු ශාස්ත්‍ර ඇසීමට යනුයේ දැඩි මානසික ආතතියකින් යුතුව එය කළමනාකරණය කර ගැනීම සඳහා යොදන උපාය මාර්ගයක් ලෙස බව මෙම ශාස්ත්‍ර මෑණිවරු සහ සුද්දෙන්ම දනිති.

“කිසියම් ප්‍රාණයක්, තමන් සන්තක වටිනා දෙයක්; අමතක කරන්න බැරි කාරණයක් හින්දා දරුවා වේදනා විඳින බව පෙන්නුම් කරනවා. ඔව් නම් ඔව් කියපන් නැත්නම් නෑ කියපන්” බොහෝ ශාස්ත්‍ර මෑණිවරුන් දෙවන ප්‍රශ්නය වශයෙන් එවැන්නක් අසා හෙමි හෙමිහිට තම වීසි දැල හකුළුවනුයේ ඒ ආකාරයට ය. මෙය ඉතා සාර්ථක ඉලක්කගත ප්‍රශ්නාවලි ක්‍රමයකි.

ලෝක ප්‍රකට සාහිත්‍යධර ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් විශ්ව සාහිත්‍යයට දායාද කළ ෂර්ලොක් හෝම්ස් නම් සුප්‍රකට මනඃකල්පිත අපරාධ පරීක්ෂකවරයා පිළිබඳව ඔබ හොඳින් අසා දැන තිබෙනු නිසැක ය. ඔහු සිය අපරාධ විමර්ශන කටයුතුවලදී ද මෙම ශාස්ත්‍ර මෑණිවරුන් ගේ ක්‍රමයම අනුගමනය කරමින් ඒ අපරාධය හා සම්බන්ධ අවශේෂ සාක්ෂි එකිනෙක බැහැර කරමින් අපරාධකරු වෙත ළංවීමේ ක්‍රමයක් අනුගමනය කරන අයුරු ඔබ මැනැවින් හදාරා තිබෙන්නට පුළුවන. විද්‍යාත්මකව එම ක්‍රමය හැඳින්වෙනුයේ අනුයාත බැහැරලීමේ ක්‍රමය (Process of elimination) ලෙසිනි.

එහෙත්, ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් හෝ ඔහුගේ මනඃකල්පිත ලෝක ප්‍රකට රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් ගැන උපන් හදවියකට අසා නැති මේ ශාස්ත්‍ර මෑණිවරුන්ද ඔහුගේ උපාය මාර්ග අනුව යමින් අනුන්ගේ සිත තුළට හීන් සීරුවේ රිංගන ක්‍රමය දැන සිටීම සැබැවින්ම පුදුම සහගත ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ සාත්තර මෑණිවරුන්ට තුති පැසසුම් කිරීමේ කිසිදු හැකියාවක් අප තුළ නැත. ඒ ඔවුන් තමන් සතු එම උපායශීලීත්වය යොදමින් දැඩි මානසික ආතතියට පත් අසරණුන් විවිධාකාරයෙන් සූරා කෑමට ලක් කරන බැවිනි.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment