ෂාජහාන් රජු : මුම්ටාස් මහල් තුන්වතාවක් භූමදානය කළේ ඇයි?

729

ෂාජහාන්ගේ උස මදක් අඩු වුවද, තරබාරු සිරුරක් සහ පළල් උරහිස් ඔහුට හිමිය. මෝගල් අධිරාජ්‍යයේ මහිමය වඩාත් පැහැදිලි වූයේ ෂාජහාන්ගේ පාලන සමයේදීය. ඔහු තම පියා මෙන් නිතර තම මතය හෝ ප‍්‍රතිපත්ති වෙනස් කළේ නැත. ඔහු මෘදු හා ආචාරශීලී වූ අතර සෑම විටම යහපත් ආකාරයෙන් කතා කළ පාලකයෙක් විය. ෂාජහාන් ගතානුගතික මුස්ලිම්වරයකු ලෙස ජීවත් වුවද තාපසයෙක් නොවීය. තම පියා වන ජහන්ගීර් මෙන්ම ඔහුද කීර්තිය පැතුවේය. ඉතාලි ඉතිහාසඥ නිකලොවා මනාෂී පැවසුවේ, ”ෂා ජහාන් රාජ්‍ය පාලනයෙන් සිය අවධානය වෙනතකට යොමු කිරීමට සංගීතය සහ නර්තනය ගැන උනන්දු විය. විවිධ සංගීත භාණ්ඩ හා කවිවලට සවන් දුන්නේය. ඔහුම හොඳින් කවි ගායනා කරයි. කාංචන් නම් නර්තන කාන්තා කණ්ඩායමක් සෑම විටම රජු ප‍්‍රීතිමත් කිරීමට සූදානමින් සිටියා” යනුවෙනි.

ෂාජහාන්ගේ මාලිගාවේ සිටි ඉතිහාසඥ ඉනායත් ඛාන්, ඇගේ ”ශාජහන්නමා” කෘතියේ රජු හා අර්සුමානු බානු බෙගම් නොහොත් මුම්ටාස් මහල් අතර තිබූ පේ‍්‍රමනීය සම්බන්ධය ගැන මෙසේ ලියා ඇත: ”මාලිගාවේ හෝ පිටත හෝ ෂාජහාන්, මුම්ටාස් සමඟ ඇති සම්බන්ධය වෙනත් කාන්තාවන්ගෙන් දහසෙන් පංගුවක්වත් නොවීය. ඔහුට ඇය නොමැතිව ජීවත් විය නොහැක…” ෂාජහාන් කෙරෙහි අසීමිත ආදරයක් දැක්වූ මුම්ටාස් රූ රැජිනක් පමණක් නොව ජහන්ගීර්ට ඔහුගේ බිරිඳ නූර් ජහාන් සිටියා සේම රාජ්‍ය පාලනයේදී ෂාජහාන්ගේ ප‍්‍රබල ආධාරකරුවෙක්ද විය. ෂාජහාන් බලයට පත්වී වසර හතරකට පසු මුම්ටාස් මරණයට පත්වෙයි. එය සිදු නොවූයේ නම්, මෝගල් අධිරාජ්‍යය තුළ මුම්ටාස්ගේ බලපෑම බොහෝ සෙයින් වැඩි වීමට ඉඩ තිබුණි. මුම්ටාස් 1631 ජුනි 17 වන දින වර්තමාන මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයට අයත් වන බුර්හාන්පූර්හිදී මරණයට පත්විය. ඇය සිය 14 වැනි දරුවා ප‍්‍රසූත කරන විට පැය 30ක් ප‍්‍රසූත වේදනාවෙන් පෙළුණාය. ”මෙම මරණය ෂාජහාන්ට කොතරම් තදින් බලපෑවාද යත්, ඔහු සතියක් මුළුල්ලේම තම කාමරයෙන් පිටව නොගිය අතර මාලිගාවේ කිසිදු කාර්යයකට සහභාගී නොවීය. නිතරම හඬා වැටෙන්නට විය. අඬන ඇස් දුර්වල වී කණ්නාඩි පැළඳීමට සිදු විය,” ඉනායත් ඛාන් සටහන් කර ඇත. ”මෙම මරණයට පෙර ෂාජහාන්ගේ උඩු හා යටි රැවුලේ තිබුණේ සුදු හිසකෙස් කිහිපයක් පමණක් තිබුණි. නමුත් දින කිහිපයක් ඇතුළත ඔහුගේ රැවුලෙන් තුනෙන් එකක් සුදු විය. මුම්ටාස් මහල්ගේ දේහය මුලින්ම මිහිදන් කරන ලද්දේ බුර්හාන්පූර්හි තප්ති ගං ඉවුරේ පිහිටි උද්‍යානයක ය. මාස හයකට පසු, ඇයගේ සිරුර ගොඩගෙන අග‍්‍රා වෙත ගෙන එන ලද අතර, 1632 ජනවාරි 8 වන දින යමුනා ඉවුරේ නැවත තැන්පත් කරන ලදි. නමුත් මෙය අවසාන එක නොවීය. පසුව තවත් සොහොනක් ඉදි කරන ලද එය මුලින්ම ”රෝසා ඉ මුනව්රා” නම් කළ අතර පසුව ටජ් මහල් විය. ඇත්තෙන්ම ෂාජහාන් විසින් සිය ආදරණීය බිරිඳ තුන් වතාවක් භූමදාන කරන ලදී. ටජ් මහල ඉදිකිරීමේ වගකීම උස්තාද් අහමද් ලාහෝරි හා උස්තාද් අබ්දුල් කරීම් යන දෙදෙනාට පැවරිණි. ජහන්ගීර්ගේ පාලන සමයේදී මොහොමඞ් ඛාන් දකුණු ඉරානයේ ෂිරාස් නගරයේ සිට ඉන්දියාවට පැමිණියේය. ෂාජහාන් ඔහුව ඉදිකිරීම් අමාත්‍යවරයා බවට පත් කළේය.

ෂාජහාන් රජු : මුම්ටාස් මහල් තුන්වතාවක් භූමදානය කළේ ඇයි?

ටජ්මහල ඉදිකිරීම සදහා 1560 ගණන්වල ඉදිකරන ලද දිල්ලියේ හුමායුන්ගේ සොහොන ආදර්ශයට ගෙන ඇත. ටජ්මහල ඉදිකිරීමට තීරණය කිරීමෙන් පසු ෂාජහාන්ගේ පළමු අභියෝගය වූයේ සොහොන සඳහා ස්ථානයක් තෝරා ගැනීමයි. ටජ්මහල ගැන පොතක් ලියූ ඩයනා සහ මයිකල් ප්‍රෙස්ටන් පැවසුවේ ”ෂා ජහාන්ගේ පළමු අරමුණ වූයේ ටජ්මහල නිහඬව තැබීමයි. ඒ අග‍්‍රා නගරයෙන් ඈත්ව සිටීමයි. දෙවන අරමුණ වන්නේ දුර සිට පෙනෙන පරිදි ගොඩනැගිල්ල විශාල කිරීමයි. තෙවනුව, එහි උද්‍යාන ජලයෙන් තොර නොවන පරිදි එය යමුනා ගඟට සමීප විය යුතු බවයි. ෂාජහාන්ට අවශ්‍ය වූයේ ඔහු ජීවත් වූ අග‍්‍රා බලකොටුවේ සිට ටජ්මහල දර්ශනය වීමයි. එබැවින් ඔහු එය අග‍්‍රා බලකොටුවේ සිට සැතපුම් එකහමාරක් දුරින් ඉදි කළේය. ටජ්මහල් ඉදිකිරීම 1632 ජනවාරි මාසයේදී ආරම්භ විය. ගොඩනැගිල්ලේ භාවිතා කර ඇති කිරිගරුඬ සැතපුම් 200 ක් දුරින් ඇති මැක්රානා සිට ගෙන එන ලදී. ඩයනා සහ මයිකල් ප්‍රෙස්ටන්ගේ ‘Taj Mahal (Passion and Genius at the Heart of the Moghul Empire’ යන ග‍්‍රන්ථයේ විස්තර කර ඇත්තේ ”ටජ්මහල තැනීම සඳහා උණ බම්බු සහ ලී කුට්ටි සහ ගඩොල්වලින් සාදන ලද පලංචි නිර්මාණය කර තිබූ බවයි. ”වැඬේ ඉවර වෙලා ෂාජහාන්ට කිව්වා ගඩොල් පලංචිය කඩන්න අවුරුදු පහක් යනවා කියලා. ෂාජහාන් නියෝග කර සිටියේ ඉවත් කරන සියලූම ගඩොල් එම කම්කරුවන්ට අයිති බවයි. මේ නිසා එක රැයකින් පලංචිය කඩා ඉවත් කළා. ටජ්මහල සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට පෙර පිටස්තර අයගේ ඇසින් එය ආරක්ෂා කර ගැනීමට මෙම පලංචිය ඉදිකර ඇති බව නම් මිථ්‍යාවකි. මේ ලෝක පුදුමය ප‍්‍රතිනිර්මාණය කරන්න බැරි වෙන්න ටජ්මහල හදපු හැම කම්කරුවෙකුගෙම අත් කපන ලද බව කියන කතාව වර්තමානයේ පවා සංචාරක මාර්ගෝපදේශකයෙක්ම පවසා සිටී. නමුත් මෙම සිදුවීමට කිසිදු සාක්ෂියක් නොමැති අතර කිසිදු ඉතිහාසඥයකු ඒ ගැන සඳහන් නොකරයි. ෂාජහාන්ගේ චරිතාපදානය පිළිබඳ ‘ෂා ජහාන් – මෝගල් අධිරාජ්‍යයේ නැගීම සහ වැටීම’ පිළිබඳ පොතක් ලියූ ෆර්ගියුසන් නිකොල් පැවසුවේ, ”ටජ්මහල ඉදිකළ බොහෝ කම්කරුවන් හින්දු භක්තිකයන්ය. උද්‍යානය නිර්මාණය කිරීම කාශ්මීරයේ රාම් ලාල්ට භාර දෙන ලදී, ටජ්මහලේ කුරාන වාක්‍ය කැටයම් කිරීමේ වගකීම ද අමනාත් ඛාන්ට පැවරිණි. ටජ්මහලේ තම නම ලිවීමට ෂාජහාන් අවසර දුන් එකම පුද්ගලයා ඔහුය. කුරානයේ වාක්‍ය හැරුණු විට ටජ්මහලේ මල් කැටයම් කෙතරම් ආකර්ෂණීයද යත් සියවස් දෙකකට පසු රුසියානු ලේඛිකාව හෙලේනා ප්ලොවට්ස්කි මෙසේ ලිවීය: ”ටජ්මහලේ බිත්තිවල ඇති සමහර මල් ඉතා යථාර්ථවාදී විය. ඒවා ස්පර්ශ කර බලන්නට මගේ දෑත් දිගු විය. ස්වයංක‍්‍රීයව පිටතට.” ටජ්මහල් ගොඩනැගිල්ලේ ආසියාවේ විවිධ ප‍්‍රදේශවලින් ෂාජහාන් විසින් ඇණවුම් කරන ලද විවිධ ගල් වර්ග 40 ක් අඩංගු විය. ඩයනා සහ මයිකල් ප්‍රෙස්ටන් සඳහන් කරන්නේ කොළ පැහැති ගල් චීනයේ කෂ්ගාර් සිට සේද මාවතේ ගෙන එන ලදී. නිල් මැණික් ආනයනය කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ පතල්වලිනි. බුරුමයෙන් සහ ශ‍්‍රී ලංකාවෙන් ද මැණික් ගෙන එන ලදි. ලාසුනියා පාෂාණය ඊජිප්තුවේ නයිල් නිම්නයේ සිට ආනයනය කරන ලදි. ටජ්මහල ඉදිකිරීමට දශක දෙකකට වැඩි කාලයක් ගත වූ අතර ආර්මේනියාව, ඉතාලිය, ප‍්‍රංශය සහ තුර්කිය වැනි රටවලින් පැමිණි ශිල්පීන් ස්මාරකයේ වැඩ කරමින් සිටියහ. මෙම ස්මාරකය තුළ රත්රන් කිලෝ ග‍්‍රෑම් 4000 ක් සමඟ අර්ධ වටිනා ගල් වර්ග 39 කට වඩා භාවිතා කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස, ටජ්මහල ඉදිකරන අවස්ථාව වන විට, අරමුදල් නොමැතිකම හේතුවෙන් අධිරාජ්‍යයා බරපතළ අර්බුදයකට ලක් විය.

1659 දී ෂාජහාන්ගේ පුත් අවුරන්සබේ විසින් තම පියා සිරගත කර දින කිහිපයකට පසු ඔහු රෝගාතුර විය. ඉදිරියේදී තමාට වැඩි කාලයක් ජීවත්වීමට නොමැති බව වටහාගත් ෂාජහාන් ටජ්මහල හොඳින්ම පෙනෙන බැල්කනියේ වාසය කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කළේය. කාශ්මීර සළුවක් ඔතා ගෙන සිටි ෂාජහාන් 1666 ජනවාරි 21 දින මරණයට පත්වූයේ එම බැල්කනියේදීමය. ඔහුගේ දේහය සඳුන් ලීයෙන් කළ මිනී පෙට්ටියක තැන්පත් කර තිබිණි. ඔහුගේ දියණියට අවශ්‍ය වූයේ අවමංගල්‍ය උත්සවය විචිත‍්‍රවත් ලෙස සිදු කිරීමටයි. නමුත් අවුරන්සබේ ඇගේ කැමැත්තට ගරු කළේ නැත. කුරාන් වාක්‍ය කියවීම සඳහා දේහය මුම්ටාස් මහල්ගේ සොහොන අසල ටජ්මහලෙහි තැන්පත් කරන ලදී.

(බීබීසී දෙමළ සේවයේ වාර්තාවක් ඇසුරින් සකස් කරන ලදි.)

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment