සංකල්ප රූපවාදයෙහි අග්‍ර ඵලය  ‘මනෝ රූප ශතකය සහ වෙනත් කවි’

93

සංකල්ප රූප ගැබ්ව පවතින කවිය, රස උත්පාදනයට බෙහෙවින් උපකාරී වේ. එයින් කවියාට විෂය වූ අනුභූතිය සහෘදයාට ද සම ලෙස විඳිය හැකි වේ. එහෙත් කවියා විසින් යොදනු ලබන රූපාත්මක යෙදුම්හි ප්‍රබලතාවය තීරණය වනුයේ එය පිළිබඳව සර්ව දේශීයව, සර්ව කාලීනව හඳුනාකමක් සහෘද මනසෙහි සටහන්ව තිබූ විටදී ය. එබඳු නිර්මාණ විසල් පාඨක පරිසරයක සැඩ සුළඟක් සේ විසිර යනු ඇත. කවිය භාෂාත්මක වික්‍රමයකැයි සිතා ආකර්ෂණීය යෙදුම් රිසි රිසියේ යෙදූ පමණින් උසස් නිර්මාණ බිහි නොවන වග දැනුවත් වීම නිර්මාණකරණයට වැදගත් වූවකි.

සංකල්ප රූපවාදයෙහි අග්‍ර ඵලය  ‘මනෝ රූප ශතකය සහ වෙනත් කවි’

තත් විචාර සිද්ධාන්ත තම කවිය විෂයෙහි ද උපයෝගි කරගත් විමල් දිසානායක කල්ප විනාශය, නර රකුසා, ඉන්ද්‍රචාපය, නාගල කන්ද, මනෝ රූප ශතකය සහ වෙනත් කවි වැනි කාව්‍ය ග්‍රන්ථයන්ගේ හිමිකරුය. ඒ අතරින් “මනෝ රූප ශතකය සහ වෙනත් කවි” නම් කාව්‍ය කෘතිය මෙහිදී විමසුමට ලක් කිරීමට අපේක්ෂා කරමි. එයට ප්‍රවේශයක් ලෙස ඔහු විසින් ප්‍රස්තාවනාවෙහි දක්වන ලද උපුටනයක් දැක්වීම වඩාත් උචිතයැයි සිතුවෙමි. “මීට අඩ සිය වසකට ඉහත දී ම විසින් පළ කරන ලද, බොහෝ රසිකයන් ගේ පැසසුමට ලක් වූ “මිය ගිය උවැසිය” වැනි පද්‍යයක සංකල්ප රූපවාදයෙහි බලපෑම දක්නට ඇතැයි හඟිමි. “එහි වඩාත් තීව්‍ර ලක්ෂණ සාකච්ඡාවට බඳුන් කරන මෙම කෘතියේ දී විද්‍යමාන වේ.

මනෝ රූප ශතකය සහ වෙනත් කවි කාව්‍ය සංග්‍රහය ආරම්භ වනුයේ “අන්තිම දේශනය” හිසින් යුතු කාව්‍යයෙනි. ආඛ්‍යාන ස්වරූපයක් දිස්වෙන එහි සරසවි ඇදුරකු වශයෙන් හිඳ විශ්‍රාම යන දිනයෙහි විඳි අත්දැකීම් සමුදාය විස්තර වේ. එහිදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වූ පරිසරයෙහි ස්වභාවය, සිසුන්ගේ ආමන්ත්‍රණ, අතීත ස්මරණ, තමන්ගෙන් ඉගෙන ගත් ආදී විද්‍යාර්ථීන් පිළිබඳ තොරතුරු ආදිය සංකල්ප රූප හා විවිධ සිදුවීම් මඟින් නිරූපණය කරන කවියා එහි නිමාව සටහන් කරන්නේ මෙසේ ය.

“මලානික සැඳෑ එළිය
තුරුවැල් අතර රැඳී ඇත
රහසක් සඟවාගෙන මෙන්
කුරුල්ලෙක් ගසක සිට
පියඹා යයි දුක්මුසුව
අඩ සියවසක මතක රැගෙන”

මෙයින් සමස්ත කවිය සංක්ෂිප්තව චිත්‍රණය කළ සේය. කුරුල්ලකු පියඹා යනුයේ නිදහස සොයා ය. නිදහස සුවදායක ය. එහෙත් යුතුකම් වගකීම් පද්ධතියෙන් ඉවත් වූ කල්හි ලැබෙන නිදහස සැබෑම නිදහසක් හෝ සුවයක් නොවේ. කවියේ නිරූපිත කුරුල්ලා අඩ සියවසක මතක රැගෙන දුක් මුසුව පියඹා යනුයේ එ නිසාවෙන් ය. නමුත් ඔහුගේ සේවය ජීවමානව පවතී. එම රහස තවත් පරපුරක උත්පාදනයට සවිය ඇති තුරු ලතා සඟවා ගෙන සිටියි. එනම් සූර්යයා අස්තංගමයට පූර්ව ප්‍රභාවිත කළ ලොව පිළිබඳ රහසයි. කථකයාට විෂය වූ අනුභූතිය සාමාන්‍යකරණය කිරීමට ඔහු දැක් වූ සමත්කම කොයිතරම් අපූර්ව ද? ඉසිඹුලන දින මෙවැනි හැඟීම් නූපදින සිතක් කෙසේ නම් සොයා ගත හැකි වේ ද?

“එදාත් වෙනදා වගේ
නැඟුණි හිරු අහස් ගැබ

විවර කවුළුවෙන් බිම
හිරු රටා ඇඳ තිබිණ

නුබ ගැබේ දෙරණ මත
නෑ කිසිම අමුත්තක්

තේ කෝප්පයක් ගෙන
හිඳ ගතිමි සාලයේ

දුරකථන සීනු හඬ
හදිසියේම නැඟුණේය

අනෙක් පැත්තේ ලොවෙහි
සිට මල්ලි මට කියයි

ඊයේ රෑ නින්දේම
මෑණියන් මැරුණු බව”

“අභාවය” මැයෙන් රචිත මෙම නිර්මාණය හුදු වාර්තාවක් ද? එසේ හැඟීමට බොහෝ අවකාශ ඇත. නමුදු ඉන් ප්‍රකාශිත උපත, විපත, සංසාර චක්‍රය ආදී අධි භෞතික, ආගමික, දර්ශනික මතවාදයන් ගාම්භීරය. වෙනදා වාගේ හිරු එළිය දර්ශනය වීම, අවට පරිසරය තුළ අමුත්තක් නොමැති වීම නියති දහමක ගති ස්වභාවය චිත්‍රණය කිරීමකි. එහෙත් එහි සැබෑම ස්වරූපය ප්‍රකට වනුයේ මෑණියන්ගේ මරණය පිළිබඳ පුවත ඇසීමෙනි. ජීවිතයේ අත් විඳිනු ලබන විප්‍රයෝගයේ වේදනාව පුද්ගල බද්ධ ය. එවැනි වේදානාවන් සැමට උරුම වුව ද ඒවායින් කම්පනයන් උපදිනුයේ ස්වීය වූ විට පමණය.

එය උචිත වූ පද සංයෝජනයකින් කවියා කියා පාන්නේ මවගේ මරණය රාත්‍රි නින්දෙම සිදු වූ බව දැක්වීමෙන් ය. ඒ හේතුවෙන් සමීපව හා දූරව හිඳි දරුවන්ට ඇය සමඟ වදනකුදු කතා කිරීමට නො හැකිව ඇත. එය දරුවෙකුට කොයිතරම් දුක්ඛදායී ඉරණමක් ද? ඉන් කියවෙන යටි අරුත නම් සපිරිවර සහිතව විසූව ද ලොවෙහි ස්වභාවය ත්‍රාණ රහිත වීමය. එනම් බෞද්ධ දර්ශයානුකූලව තනිකම, දුක් වේදනා දරා ගැනීම ආදිය පිණිස මානසිකව කිසිවෙකුට දායක විය නො හැකි බවයි. එබඳු අවස්ථාවක් නිරූපණයට උචිත වූ පරිසර වර්ණනය ද සංයමෙන් යුතුව කවියා මෙහිදී ප්‍රති නිර්මාණය කර තිබේ.

එමතු නොව එම කවිය සර්ව දේශීය වූවකි. එය විදෙස් බසකට පරිවර්තනය කළ ද ඉන් ලැබෙන කාව්‍ය රසය වෙනස් නොවේ. හේතුව නම් කවියා යොදාගත් බස් වහර හා අවස්ථා නිරූපණය යි. දේශීය වශයෙන් පමණක් අරුත් ජනනය වන කිසිදු යෙදුමක්, ස්ථාන නාමයක්, පුද්ගල නාමයක් එහි නො මැත. දෙස් විදෙස් ඕනෑම පාඨකයකුට එය ස්වකීය බසින් රස විඳිය හැක. කවියකු දේශීයත්වයෙන් පරිපූර්ණ වීම අනිවාර්ය වුවත් ඔහු ලොව සියලු තැන් නියෝජනය කිරීමට සමත් විය යුතු බව මෙහිදී අනාවරණය වේ.

“කවියක වදන් ගැලවීලා කවිය බිම
වැටී තිබේ පාමින් සිය දුබලක ම
අලුතින් වදන් එක් කරමින් කවිය මෙම
යළි පණ ගස්වන්ට අද තැත් කරමි මම”

සඳැස් ආකෘතියෙන් රචිත ඉහත කව “මහලු විය” තේමාව යටතේ සඳහන් වන්නකි. කවියා මහලු වන විට කවිය ද මහලු වී ඇත. එහෙත් ඔහු දිරියෙන් යුතුව නව අරුත් සහිත යෙදුම් සොයමින් මහලු කවිය යළි පණ ගැන්වීමට ක්‍රියා කරයි. කවියට ද වයස් සීමාවක් ඇත. එනම් කවියට උපත වූ සමාජ ක්‍රමයෙහි වියපත් සමය යි. එවිට කවියා ද වෙනස් විය යුතු ය. ඔහු නැවුම් නැවුම් අනුභූතීන් සොයා යා යුතුයි. මතවාදයන් කලින් කලට උචිත වන ලෙස වෙනස් කර ගැනීම පැවැත්ම විෂයෙහි ඉවහල් වන ප්‍රබල සාධකයකි. ඉන් අවස්ථාවාදීත්වයක් ප්‍රකාශ නොවේ. කාව්‍යයෙහි මුඛ්‍ය අභිලාෂය වන ආනන්දය හා ප්‍රඥාව රඳවා ගෙන නිර්මාණකරණයෙහි යෙදීම කවියාගේ යුතුකමකි. සිව් පදයක් තුළ විමල් දිසානායක පෙන්වා දෙන්නේ සර්වකාලීන අගයකින් හෙබි සප්‍රයෝජනවත් විචාර සිද්ධාන්තයකි.

ප්‍රස්තුත කාව්‍ය සංග්‍රහයේ “මනෝ රූප ශතකය” උප ග්‍රන්ථයක් සේ රචනා කර ඇත. එහි සංක්ෂිප්ත කවි සියයකි. සංක්ෂිප්ත වූ පමණින් එය සංක්ෂිප්ත හෝ කෙටි කවියක් නො වන්නේ ය. පෘථුල පරාසයක විහිදී ගිය ගැඹුරු දාර්ශනික හරයක් එහි අන්තර්ගත විය යුතුයි. එවන් කාව්‍යයන් කෙරෙහි සිය අවධානය යොමු වූයේ උපාධි අපේක්ෂකයකු වශයෙන් කාව්‍ය අධ්‍යනයෙහි නිරත වූ සමයේ දී පැරණි චීන කවි සමූහයක් කියවීමෙන් යැයි විමල් දිසානායක මෙහි ප්‍රස්තුතයෙහි දක්වා තිබේ.

“සියලු දෙනා බැහැරව ඇත
නිවස මහට බාර දෙමින්
ආලින්දයේ හිඳගෙන මම
ගෙවත්ත දෙස බලා සිටිමි
දසතෙහි පැතිරෙයි නිහඬක්
ඒ මැද මම තනිව සිටිමි
නිහඬ මවන නෙක නෙක රූ
විසිතුරු බලමින් තුටු වෙමි” (42 කවිය)

බෞද්ධ චින්තාවෙහි “ගෘහය” සංසාර මාර්ගය නිරූපණය කරන්නට යෙදූ යෙදුමකි. එය නිර්මාණයට බාහිර අරාම්මණයන් උපදානයෙන් ගැනීම හෙවත් දැඩිව අල්ලා ගැනීම හේතු වේ. නිවස තැනූ සියල්ල හැර ගොසින් ය. කථකයා එහි යථා ස්වභාවය පසක් කරමින් සිටියි. ගෙවත්ත දෙස බලමින් නිහඬ මවන නෙක නෙක රූපයන්ගේ විසිතුරු බව විඳින්නේ එබැවිනි. ලොව නිර්මිත වස්තූන්ගේ සංකල්ප, තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන් ගත හැකි කිසිවක් නො මැති බැව් අවබෝධ කරගනිමින් ය. ඒ හැරත් සියල්ලෙන් වෙන්වනු තැන උපදින සුවය ඔහුගේ මනස සංස්පර්ශ කර ඇති බවක් මින් විද්‍යමාන වේ. සංක්ෂිප්ත වුව ද එම කවියේ අරුත් දාර්ශනික ය. එය ථෙර ථේරී ගාථාවන්හි ප්‍රකාශිත නික්ලේෂි උත්තමයන් අතීත කාමයෙන් වෙන්ව විඳිනු ලැබූ වර්තමාන සුඛස්වාදය හා සමීප වේ. විමල් දිසානායක චීන කවියෙහි පමණක් නොව බෞද්ධ කවියෙහි හෙවණැලි අතර ද සැරිසැරූ බවට එය නිදසුන් සපයන්නකි.

● තැන්නහේනේ නාගිත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment