2024 නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා
1465 දවසක ඉතාලියේ ජීවත් වූ ක්‍රිස්ටෝෆර් කොලම්බස් නමැති තරුණයෙක් මාළු ඇල්ලීම සඳහා බෝට්ටුවක නැඟී දියඹට ගියේය. මේ යන අතර මුහුදේ පාවෙන බෝතලයක් ඔහු විසින් දක්නා ලදි. දැල් කැබැල්ලක් දමා බෝතලය බෝට්ටුවට ගත් ක්‍රිස්ටෝෆර් බෝතලය තුළ ඇති කඩදාසියක් දුටුවේය. බෝතලය බින්ද කොලම්බස් කොළ කැබැල්ල එළියට ගෙන එය කියවීමට තැත් කළ නමුදු එහි වූයේ අමුතුම අකුරු ජාතියකි. මේ නිසා මෙය වෙන රටකින් එන්නට ඇති ලියුමක් බව ඔහු සිතුවේය. ජීවිතයේ කවදා හෝ දවසක රටවල් සොයා මහ මුහුදේ යාත්‍රා කරන බව ඔහු සිතට ගන්නේ එදිනය. ඉන් සෑහෙන කලකට පසු එනම් 1492 ඔක්තෝබර් 12 වැනිදා ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඇමරිකාවට ගොඩබැස්සේය. ඒ ගොඩබසින අතර ඔහු සිතුවේ තමා ඉන්දියාවට ගොඩබැස ඇති බවයි. ක්‍රිස්ටෝෆර් කොලම්බස් යනු ඇමරිකාවට ගොඩබට පළමු වැනි සංක්රාමිකයා හෝ යාත්‍රිකයා නොවේ. ක්‍රි.ව. 1000දී කැන්ඩිනේඩියානු සංක්‍රාමිකයන් 1000ක් පමණ ඇමරිකාවට ගොඩබට කොළණි අටවා තිබිණ. ඊට අමතරව වයිටින් දේශ ගවේශකයකු වූ ලීෆ් එරිසන් නමැත්තා ද සිය පිරිස සමග ඇමරිකාවට පැමිණ තිබිණ. මීට අමතරව ඇමරිගෝ වෙස්පූචි නමැති යාත්‍රිකයා ද මෙහි පැමිණ තිබිණ. ඇමරිකාවට එම නම ලැබෙන්නේ ද ඇමරිගෝ වෙස්පූචි නිසාය. මීට අවුරුදු 15000කට පෙර ද ඇමරිකාව තුළ විවිධ රටවලින් පැමිණි සංක්‍රාමිකයන් සිටි බව දැනගන්නට තිබේ. ඇමරිකාවේ මුල් වැසියන් ලෙස සැලකෙන රතු ඉන්දියානුවෝ ද ඉන්කා, ඇස්පෙක් වැනි ලතින් ඇමරිකානු ගෝත්‍රවලින් පැවතෙන අය වෙති. 1585දී එක්සත් රාජධානියේ නැව් හමුදාවක් ඇමරිකාවට පැමිණෙයි. 1760දී බ්‍රිතාන්‍ය කොළනි 13ක් ඇමරිකාවේ පිටුවනු ලබයි. ක්‍රිස්ටෝෆර් කොලම්බස් ඇමරිකාවට පැමිණ එහි සිටි කළු ජාතික ගෝත්‍රිකයන් දැක ඔවුන් නැව්වලට පටවාගෙනවිත් වහලුන් ලෙස විකිණීමේ කුපාඩි ව්‍යාපාරයක් පටන්ගෙන තිබිණ. මේ වහල්ලු ද වෙන රටවලින් පැමිණි සංක්රාමිකයෝ වෙති. පසු කාලයේදී ඇමරිකාවට පැමිණි බ්‍රිතාන්‍ය සංක්රමණිකයෝ බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වී ඇමරිකාව තුළ වෙනම රාජ්‍යයක් ගොඩනඟා ගත්හ. මෙය සිදුවන්නේ 1700 ගණන්වලය. එම නිසා ඇමරිකාව සම්පූර්ණයෙන්ම සංක්රාමිකයන්ගෙන් පිරුණු රාජධානියකි.
පසුගියදා ඇමරිකාවේ 47 වන ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකය විසින් පිළිගන්නා ලද්දේ මහත් ආදරයෙනි. ජාතිකවාදියකු වූ හෙතෙම තම රට ගැන පමණක් කල්පනා කරන දේශපාලනඥයකු වූ බැවින් තවදුරටත් ඇමරිකාවේ මූලිකත්වයෙන් ලොව පුරා රටවල යුද ගිනි නොඇවිලෙන්නේය යන්න ලෝකවාසීන්ගේ මතය වී තිබේ. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ සිටින සංක්රාමිකයන්ට සපුරා විරුද්ධය. මෙහිදී ඔහු ඇමරිකාවේ මුල් වැසියන් ලෙස හඳුන්වන්නේ එංගලන්තයෙන් පැමිණි සුදු ජාතික සංක්‍රමණිකයන්ගෙන් පැවත එන පිරිසය. මේ හේතුකොට ගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් ඔවුන්ගේ මුල් රටවලට පැටවීම සඳහා විශාල වැඩපිළිවෙළක් අරඹනු ඇතැයි අපේක්ෂිත ය. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මායිමේ පිහිටි මුළුමහත් මෙක්සිකෝවම ජීවත් වන්නේ ඇමරිකාවෙනි. උදේට ටෙක්සාස් මෙක්සිකන් දේශසීමාව පසු කර ඇමරිකාවට ඇතුළුවන මැක්සිකානු නීති විරෝධී සංක්රාමිකයෝ කිසිදු බලපත්‍රයක් නැතිව කැලිෆෝනියාවේ සෑම තැනකම වැඩ කරති. මේ නිසා කැලිෆෝනියානුවන්ට රැකියා හිඟයක් මතුවී තිබේ. සංක්‍රමණික ප්රශ්නය ඇමරිකාවට ලොකු ගැටලුවකි. 1970දී මේ රටේ සිටි සංක්‍රමණිකයන් ගණන රටේ මුළු ජනගහනයෙන් 4.7%කි. 2023 වන විට සිටි සංක්‍රමණිකයන් ගණන රටේ ජනගහනයෙන් 14.3%කි. ගිය අවුරුද්ද වන විට ඇමරිකාව තුළ විවිධ රටවලින් පැමිණි සංක්රමණිකයෝ හාරකෝටි හැත්තැඅට ලක්ෂයක් ජීවත් වූහ. මෙය ලංකාවේ ජනගහනය මෙන් දෙකහමාරකට කිට්ටුය.
මෙයින් හරි අඩක්ම එනම් දෙකෝටියක් පමණ සංක්රාමිකයෝ කිසිදු බලපත්‍රයක් නැතිව එරට රැඳී සිටින අය වෙති. හැබැයි මේ මිනිසුන් උඩ බලාගෙන කල්පනා කරන්නේ හෝ හිඟාකන්නේ නැත. ඔව්හු ද ඇමරිකන් ආර්ථිකයට අති විශාල නිෂ්පාදන සහ මූල්‍යමය දායකත්වයක් එකතු කරති. නිව්යෝර්ක් නගරයේ ටැක්සි රියැදුරන් සියලුම දෙනා රුසියාවෙන්, ආමේනියාවෙන් හෝ තුර්කියෙන් පැමිණි නීති විරෝධී සංක්රාමිකයෝ වෙති. නිව්යෝර්ක් නගරයේ සියලුම කඩවල බඩු කිරන්නේ ඉන්දියානුවන් හෝ බංග්ලාදේශ වැසියෝ ය. චීනයෙන් පැමිණි සංක්රාමිකයෝ නිව්යෝර්ක් නගරයේ වෙළෙඳාමත් පරිගණක ව්‍යාපාරයත් ඉදිකිරීම් කටයුතුත් පාලනය කරති. මේ මිනිසුන් නීති විරෝධීව ඇමරිකාවට පැමිණි අය වුවද ඔවුන් විසින් ඇමරිකාවේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලැබෙන බව අපි නැවතත් මතක් කර දෙමු. ඇමරිකාව යනු සංක්‍රාමිකයන් විසින් ගොඩනගන ලද රාජ්‍යයකි. මෙය ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල තිබෙන විශ්වවිද්‍යාලවලදී මුලින්ම කියා දෙනු ලැබේ. මන්ද මෙයට බොහෝ කලකට පෙර හිස් භූමියක් ලෙස පැවතුණු ඇමරිකන් මහාද්වීපය සෙනඟින් පිරී ඉතිරි යන්නට පටන් ගත්තේ වෙන රටවලින් පැමිණි සංක්‍රාමිකයන් නිසාය. සංක්රාමිකයකුට ඇමරිකාව තුළ ජීවත්වීම ඉතා පහසුය. එම සංක්රාමිකයා කුඩු නඩුවකට හෝ ස්ත්‍රී දූෂණයකට හෝ ළමයින් අපහරණය කිරීමකට හෝ මිනී මැරීමකට හෝ හසුවන තාක් කල් කිසිවෙක් ඔහු පැමිණියේ කවර රටකින් ද විමසන්නේ නැත. සංක්රාමිකයකු මාර්ග නීතියක් කඩකර උසාවියට ඉදිරිපත් කරන විට විනිසුරු විමසන්නේ ඔබ වැරදිකරුද නිවැරැදිකරුද යන ප්රශ්නය පමණි. ඒ ඇරෙන්නට ඔබ කොයි රටින් පැමිණි කෙනෙක්ද, ඔබට පුරවැසිකම තිබේද, නොතිබේද යන්න එහිදී ප්‍රශ්න කරනු නොලැබේ. සංක්රාමිකයාට තිබෙන්නේ තමා ප්‍රවාහන වරදක් කර ඇති බව පිළිගෙන දඩය ගෙවා නවාතැනට යෑම පමණි.
ශ්‍රී ලාංකිකයෝ ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඇමරිකාවේ ජීවත් වෙති. ඔවුන්ගෙන් සමහරු නීති විරෝධී සංක්‍රාමිකයන් වන අතර තවත් සමහරු පුරවැසියන් බවට පත්වූ සංක්රාමිකයෝ වෙති. මේ නිසා අලුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රාමිකයන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අපගේ විශ්වාසය වේ. ඔව්හු තම රටේ සිටින නීති විරෝධී සංක්‍රාමිකයන් අල්ලා පිටුවහල් කරන්නට පටන්ගත්තොත් ලෝකයේ රටවල්වලින් භාගයක්ම ඔහු සමග අමනාප වනවා ඇත. ට්‍රම්ප් බලයට පත්වීමේ සතුට එතැනින් නවතිනවා ද ඇත.