සංගීතයේ මාධූර්යය හා සිතුවමේ චමත්කාරය

200

අප මාතෘ භූමියේ ජාතියක් සනසවාලන ජාතික ගීතයේ නිර්මාතෘ හැටියට කාගේත් ගෞරවාදරයට පාත්‍ර වන ආනන්ද සමරකෝන් නමැති අපූර්වතම මානවයා සංගීතඥයකු” ගීත ප්‍රබන්ධකයකු” කවියකු” නාට්‍ය රචකයකු නිෂ්පාදකයකු” රංගන ශිල්පියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ගත් ප්‍රකට කලා ශිල්පියෙකි.

තම නිර්මාණවලට දේශීය සාරධර්මය හා පෙරදිග සංස්කෘතික ලක්ෂණවලින් පෝෂණය කරන ලද ස්ථාවරයක පිහිටමින් ස්වකීය නිර්මාණ නිරන්තරයෙන්ම නිර්මාණය කිරීමට ආනන්ද සමරකෝන් නම් අති උත්තම ගණයේ මානවයා වග බලා ගත්තේය.

කලා විෂයයන් කිහිපයක මොහු දක්ෂතා දැක්වුවත් එයින් ප්‍රකට වූයේ ඔහුගේ සංගීත ඥානයයි” චිත්‍ර කර්මය පිළිබඳ පරිචයයි. මේ මාධ්‍ය දෙකට මුල් වී ඇත්තේ ඔහු ගේ නෛසර්ගික හැකියාවන් ශිල්පීය ධර්මතා පද්ධතියේ එකින් එක වෙනස් වූ නීති රීතින්ය. එම දෘෂ්ටි පථයෙහි විකාශනය වන්නේ දේශීයත්වය ස්වාධීනත්වය සාරල්‍යය හා සුගම බව වන අතර ජන කලාවන්හි රීතිය ද විශේෂයෙන් බලපා ඇති වග ද කිව යුතුය. ස්වදේශීය වංග දේශීය හා ජන කලාවන්හි ලක්ෂණ ද විශ්ව සංගීතයෙහි කලා ලක්ෂණද තම නිර්මාණ සඳහා ගුරු කොට ගැනීමට කිසිදිනක සමරකෝන් නොපසුබට වූයේ නැත.

මොහුගේ චිත්‍ර අතර කෙකටිය මල් නම් චිත්‍රය තුළ පොදු යුරෝපයේ හා ඇමරිකාවේ ව්‍යාප්ත වී ගිය ශිල්පීය ධර්ම මැනවින් උකහාගෙන නිර්මාණය වුවකි.

“ඔබට කැකුළක් මලක් කළ නොහේ” යන චිත්‍රය තාගෝර් චින්තනය මුල් කර ගත් එකක් වන අතර කැකුළක් පුබුදු කළ හැක්කේ ස්වභාවධර්මයටය යන ව්‍යංග අර්ථය රසිකයා තුළ දැක්වීමට සමරකෝන් මෙයින් උත්සාහ දරා ඇත. “දරුණු චේතනා” නම් චිත්‍රයෙන් ගැහැනියක් දෙසට සතර දෙසින් යොමුවන විවිධ වර්ණිත දෑත් සමූහයක් එල්ල වන අයුරු දැක්වේ. මෙම චිත්‍රය සමරකෝන් සිත්තරා තම අදහස් නිර්මාණාත්මකව හා අර්ථවත්ව විග්‍රහ කිරීමේ ප්‍රබල ප්‍රතිභාවක් ඇති සිත්තරෙකු ලෙස ඒ තුළින් අපට මනාව ඔප්පු වේ.

තාගෝර් චින්තනයේ සෙවනැල්ලක් වූ මොහු ශාන්ති නිකේතනයේ සයමසක් වැනි කෙටි කාලයක් ඉන්දියානු චිත්‍ර කලා ඉතිහාසයේ ප්‍රබල චරිතයක් වූ නන්දලාල් බෝස් යටතේ චිත්‍ර කලාව හදාරා එයින් පසු නැවත ලක්දිවට පැමිණ හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය ආයතනයේ කිරාන් දේ යටතේ චිත්‍ර කලාව ගැන තවත් අගනා පුහුණුවක් ලබා ඇත.

සංගීතයේ මාධූර්යය හා සිතුවමේ චමත්කාරය

මොහුගේ බොහෝ සිත්තම්වලට වස්තු බීජ වී ඇත්තේ මෙරට ගැමියන්ගේ ජන ජීවිතයයි. “ගොවි බත්…” “දර රැස් කිරීම…” “වත්ත පහල” යන සිත්තම් ඉහත කී කාරණයට නිදසුන් කොට දැක්විය හැකි අතර ගොවිබත නම් චිත්‍රයෙන් ගොවියා නියර මත වාඩි වී කොළ පතේ ලු බත බුදියි. පසෙක දිය කළය හා පැන්බඳුනකි. ඒ අසලින්ම මහත් ආදරයෙන් හා සානුකම්පිතව ගෙවිලිය ගොවියා දෙස බලා සිටියි. දැකැම්කළු සුන්දර ගෙවිලියක් බව පෙන්වීමට මේ මගින් සමරකෝන් තෙලිතුඩ ප්‍රඥාගෝචර වී ඇත.

සමරකෝන් අතින් නිර්මාණය වූ “රාහු” නමැති චිත්‍රය ද ඔහුගේ චිත්‍ර කලා ගමන් මගේ බිහි වූ එක්තරා විශේෂ කෘතියකි. සංරචනයෙහි ගාම්භීරත්වය” ශෛලිගතභාවයේ ශාස්ත්‍රියත්වය සරල ජනකලා රීතියෙන් පෝෂණය වූ රාහු නම් චිත්‍රයෙහ් සමරකෝන් වර්ණ වශයෙන් භාවිතා කර ඇත්තේ නිල්” කහ” සුදු යන වර්ණයන්ය. වටකුරු කෝමල හැඩතලයන්ගෙන් පරිපූර්ණ මෙම රාහු චිත්‍රයෙහි අක්ෂිගෝචර ශෝභමානවත් බවක් ප්‍රබල ලෙස මතු කරයි.

“එන්නද මැණිකා” යන චිත්‍රයෙහි නාට්‍යයක මෙන් අවස්ථා වෙන් කර ඇතැයි මහගමසේකර ඇතැම් අවස්ථාවක ප්‍රකාශ කර ඇත. ඒ ඔවුන්ගේ නොපළ ගීත ග්‍රන්ථයෙහිය. එම චිත්‍රයෙහි දක්නට ලැබෙන ආරම්භක චමත්කාරය රසිකයා මන්මත් කරවීමට පත් කරන්නකි. චිත්‍ර මාධ්‍යයෙන් නැමී සිටින මැණිකේ කෙකටිය මල් නෙළන අයුරු දක්වා ඇත. කොළ, දුඹුරු, අඳුන් දුඹුරු සහ සුදු පැහැය ඔහු ඒ සඳහා වර්ණ මාලාව වශයෙන් යොදා ඇත. දුඹුරු වර්ණයෙන් පුනරුක්තිය නිසා සවස් කාලය පිළිබඳ හැඟීමක් ඇති කරයි. ආලෝකවත් පහන් එළියක කෙකටිය මල් නෙළන මැණිකේ කෙරෙහි මානවකයාගේ සිත් සතන් හෙළි කෙරෙන සේ සමරකෝන් මේ චිත්‍රය නිර්මාණය කර ඇති අයුරු ඉතා අපූරුය. ගීතයෙන් කියවෙන අන්‍යාර්ථ” භාජක ශෘංගාරය වර්ණ ගැළපීම නිසා අපූරු අරුතක රසිකයා තුළට මෙම චිත්‍රයෙන් ලබා දෙයි. ඇතැම් විට මෙම චිත්‍රයට අපරදිග වර්ණ පදාස ක්‍රමය ද බලපා ඇත.

සංගීතකරණයෙහිලා තමාට බලපෑවේ තාගෝර් ගේ සංගීත ආර බව තෙමේ විසින් පිළිගෙන ඇති අතර ඔහු ගේ චිත්‍රකරණයට බලපෑවේ බෙංගාලි සම්ප්‍රදාය බව ප්‍රවීණ භාරතීය චිත්‍ර කලා විචාරිකා ජෙස්මින් රෝල් නමැති භාරතීය විචාරිකාවිය ආනන්ද සමරකෝන් ගේ චිත්‍ර විශ්ලේෂණය කිරීමේදී ILLUSTRATED WEEKLY සඟරාවට පවසා ඇත.

“වැනියන් කළු යන ගීතයෙහි ගැමි ජන ගීය සාජුවම ආභාෂයට ගෙන ඇති අතර චිත්‍රයෙහිලා බලි (ජන) චිත්‍ර කලාවෙන් ලබන ලද ආභාසයක් නම් නොපෙනේ. ඒ වෙනුවට සීගිරියෙහි නිදහස් හා සරල කලා ආර කෙරෙහි අවධානය දක්වා තිබේ. සමරකෝන්ගේ චිත්‍ර කලාවට වස්තු විෂය වූයේ සම්භාවිතා න්‍යායන්ට එකඟ ශෛලිගත ශිල්ප ගන්ධි රීතියයි. මෙම රීතියෙන් පිළිබිඹු වී පෙනෙන්නේ රේඛාවේ මාධූර්යය සේම වර්ණයේ මාධූර්යයි. එහි දැක්වෙන පැහැයේ හා රේඛාවේ සංගත හමුව (COLOUR AND LINE HARMONY) ඔහුගේ සංගීතයේ ඇති ස්වර සංගත හමුව නිසැකවම සිහිපත් කරවීමෙන් මේ ද්විප්‍රකාර කලා ක්ෂේත්‍රයෙහි පවත්නා අන්‍යොන්‍ය සහෝදරත්වය හෙළි කර සිටියි. සමරකෝන්ට වස්තු විෂය වූයේ ජීවිතයේ එදිනෙදා අත්දැකීම්ය. එය ගැමි ජිවිතය විෂය කොට පැවතියේ යැයි කීම වඩාත් මැනවි. සංගීතය සහ චිත්‍රය යන ඒ ඒ මාධ්‍යයන්ට ආවේණික වූ හුදෙකලා ශක්‍යතාව එම මාධ්‍යයන් ගේම වෑයමින් අත්දැකීමේ අනන්‍යතාව සාක්ෂාත් කර සිටියි.”

ජෙස්මින් රෝල් නමැති භාරතීය විචාරිකා තවදුරටත් පවසන පරිදි” “සමරකෝන්ගේ චිත්‍ර කලාවේ දක්නට ලැබෙන වර්ණයන්ගේ සංගත හමුව තුළින් පෙනෙන්නේ සංගීතාත්මක මාධූර්යයකි. එය ශාස්ත්‍රීය රාගයන් ගේ මෝහනාත්මක වශීකරණය විසින් හා නිහඬව ගලා බස්නා රේඛාවන්ගේ ළයමානය විසින් පරභෞතික වේදයිනයක් කරා ඔබ කැඳවාගෙන යනු ලබයි. එහි දක්නට ලැබෙන්නේ රිද්මයානුකූල මෝස්තර රටාව විසින් කූටප්‍රාප්ත කරන ලද ඉන්දියන් කලාවේ ස්වරූපයයි. ඔහු සිය ස්ව නිර්මිත සංකේතයන් ද මීට මුසු කර ගනිමින් සිය දේශීය උරුමය ජීර්ණය කරගත් බවද ප්‍රදර්ශනය කර සිටියි. ඔහු ගේ කලාවේ අව්‍යාජ ගුණය සහ පිවිතුරු ගැමි ජීව සුගන්ධයද මින් ධ්වනිත කරවයි. ඔහුගේ දියසායම් රචනයෙහි දැක්වෙන්නේ මොළකැටි මෘදු සිළිටි බවකි. එයින් ඔහු තම පුද්ගල කලා ශෛලියේ චිත්තාකර්ෂණීය අවධානය අප හමුවේ පසක් කර සිටියි. ගායනාත්මක සෞන්දර්යයක් උද්වහනය කරවන සමරකෝන්ගේ වර්ණ සංගතියෙහි උකටලී බව එහි නිසඟ ලක්ෂණයකි. ඔහුගේ තෙලිතුඩ බෙංගාලි කලා ශෛලීයේ නිසඟ ශක්තිය විසින් ප්‍රාණවත් කර තිබේ.”

ඔහුගේ චිත්‍ර කලා දත්තයන් අයදුම් කර සිටින්නේ මෝස්තරාත්මක ගුණයෙන් උපලක්ෂිත සහෝදරත්වයේ සංකේතාත්මක නැවුම් ප්‍රාණයටය. භාවධික අතිශෝක්තියකින් මිදුණු සමරකෝන්ගේ කලා ශෛලිය එහි නෛසර්ගික වටිනාකම විසින් චිත්‍ර කලාවේ නොමැකෙන සිහිවටනයක් කරා පිය නගයි. මෙය මෙම ජෙස්මින් රෝයි විචාරිකාව ප්‍රකාශ කර ඇත්තේ 1947 පෙබරවාරි ILLUSTRATED WEEKLY සඟරාවටය.

සමරකෝන්ගේ චිත්‍ර කලාවන්ට වර්ණ සාදා ගැනීමට වස්තු විෂය වූයේ දේශීය අමුද්‍රව්‍යයයි. දේශීය අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් තමා විසින්ම පිළියෙල කර ගත් වර්ණ මෙම චිත්‍ර වර්ණ ගැන්වීමට බෝහෝ දුරට ප්‍රයෝජනයට ගෙන ඇත. අමුද්‍රව්‍යයන්ගෙන් සම්මිශ්‍රණය වූ මෙම වර්ණ අතර දුඹුරු, ගඩොල් රත, ගොම කොළ පාට, කළු, සුදු සහ රඹ පාට අළු පාට මේ වර්ණ අතර ප්‍රධාන වූ අතර මැලියම් වර්ගයක් මුසු කර ගැනීමෙන් එම වර්ණ ස්ථිරසාර බවින් පෝෂණය කර ගත්තේය.

ආනන්ද සමරකෝන් ගැන ඔවුගේ සමකාලීනයකු වූ සුනිල් ශාන්ත මෙබඳු සටහනක් ලියා ඇත.

“සමරකෝන් මෙලොව පහළ වූයේ සංගීතඥයකු විසින් ද සිත්තරයකු ලෙසින් ද යන වග විසඳීම එතරම් ලෙහෙසි වැඩක් නොවේ.” “එන්න ද මැණිකේ” යන ගීතයෙන් කියවෙන අදහස ඔහු සිත්තමට නඟා තිබූ ආකාරය දුටු දා මා සමරකෝන්ගේ හැකියාවක තරම මැන ගන්තේ (ලංකාදීප 1948 සැප්තැම්බර් 18-පිටුව 14)

ආනන්ද සමරකෝන් තෙළිතුඩින් සුන්දරත්වය මවා පා පෙන්වන බවත් ඔහු සුන්දරත්ව වඩා හොදින් මවන්නේ තෙළිතුඩින් ද නැතහොත් ගීතයෙන් දැයි වෙන් කර දැක්වීම පවා අසීරු බව සමරකෝන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ඉන්දියාවේ පැවැති අවස්ථාවක එක් විචාරකයෙකු පවසා තිබුණි.

චිත්‍ර කලාවේ දුර්ලභ හා අසීරු චිත්‍ර කලා සම්ප්‍රදායක් වන වර්ණ විදීම (SPARY),සේදීම (WASHING PAINT) නොහොත් පිරිදෝ සිතුවම් ශෛලිය සමරකෝන් විසින් අනුගමනය කර ඇත. පිරිදෝ සිතුවම් කලාවේ ලාංකීය අනන්‍යතාව ආනන්ද සමරකෝන් වශයෙන් හැඳින්වුවහොත් වඩාත් නිවැරදි යැයි මම හඟිමි. දැන් අප අතරින් වෙන් වී යන මෙම චිත්‍ර කලා ශෛලිය වත්මනෙහි මා දන්නා පමණින් දෘෂ්‍ය කලා පීඨය තුළවත් දක්නට නොමැත. අක්ෂි ගෝචරත්වයෙන් හා චමත්කාර බවින් පෝෂණය වූ සමරකෝන්ගේ චිත්‍ර කලාව නූතන පරපුර භාවිතයට නොගැනීම බලවත් පාඩුවකි. එය එක පැත්තකින් සමරකෝන්ගේ පිරිදෝ සිතුවම් කලාව වර්තමාන පරපුර විසින් අමු අමුවේ මරා දැමීමකි.

ස්වදේශයේ සමරකෝන් ප්‍රදර්ශන රැසක් පවත්වා ඇති අතර විදේශයන්හි ප්‍රදර්ශන එකොළහක් පමණ පවත්වා ඇත. ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල් මොහු මේ ප්‍රදර්ශන පැවැත්වූ රටවල් අතර ප්‍රධාන වේ. එම ප්‍රකාශයෙන් අපට හැඟෙන්නේ සමරකෝන්ට එතෙරින් ලැබුණු ප්‍රශංසා හා ගෞරවයයි. එහෙත් ඔහුගේ චිත්‍ර ප්‍රදර්ශනයකට අපේ රටෙන් ලැබුණු ප්‍රතිචාරය කෙබඳු ද කියා අපට අජිත් ගලප්පත්ති ලියූ සටහනකින් පහතින් දැක්වීමට පුළුවන.

“ආනන්ද සමරකෝන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කරන වෙලාවේ එතැන හිටියේ ඉන්දීය මහ කොමසාරිස්තුමා විතරයි. රජයේ මැති ඇමැතිවරුන්ට ආරාධනා කළත් ඒ කිසිවෙකු ඇවිත් නැහැ. මල් පැළ ප්‍රදර්ශනය රූප රාජිනි තරඟ යනාදියට නොවරදවාම යන අපේ දේශපාලනඥයන්ට ආනන්ද සමරකෝන් ශූරීන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය එතරම් වැදගත් නැතුව ඇති. (මියගියද නොමියෙන නමක් -ඉරිදා පෙරමුණ -1999 මැයි 30)

වරෙක වීක්ලි ඔෆ් ඉන්දියා 1948 පෙබරවාරි කලාපයේ පිටකවරය සැරසී තිබුණේ ඔහුගේ චිත්‍රයකිනි. තාගෝර්ගේ ගීතාංජලී කෘතියේ ආ ඔබට කැකුළක් මලක් කළ නොහේ නම් සංකල්පය ඊට නිමිති විය. ඉහත සඟරාවේම 1950 කලාපයේ ඇතුළත පිටුවක ද මෙතුමාගේ චිත්‍රයක් ඇතුළත් කර තිබූ අතර ලෝ ප්‍රකට ඉන්දියාවේ පළවන මාර්ග් නම් චිත්‍ර කලා සඟරාවේ ද මොහුගේ කෘති රැසක් පළ වී ඇත. මොහු විසින් අවසන් වරට ඇඳි චිත්‍රය වශයෙන් සැලකිය හැක්කේ ඔහුගේ “නුගගහ යට” නම් චිත්‍රයයි. බුදුන් වහන්සේ නුග ගස පා මුල භාවනාවක යෙදී සිටින අයුරු එම චිත්‍රයෙන් දක්වා ඇත. එයට අමතරව සමරකෝන්ගේ චිත්‍ර රැසක් ඔහුගේ දෙවෙනි බිරිඳ වන කැරලියන් සමරකෝන් මහත්මිය යටතේ තිබෙන අතර මතුගම ඕවිටිගල වලව්වේ ද චිත්‍ර කිහිපයක් තැන්පත් කර ඇති අතර ඒවා ආරක්ෂා වී ඇත්දැයි සැක සහිතය.

1951, 1957, 1962 යන වසරවල දී සමරකෝන් මෙරට ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇති අතර එක් වරෙක සමරකෝන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කිරීමට පැමිණ ඇත්තේ සෝල්බරි සාමි ආණ්ඩුකාරවරයා ය. සමරකෝන් ශූරින් ගේ අභාවයෙන් පසු 1983, 1992, 1999 වසරවලදී පූජ්‍ය මාපලගම විපුලසාර හිමි” කැරලයින් ද සිල්වා හා තාගෝර් සංගමය එකතු වී ප්‍රදර්ශන පවත්වා ඇත්තේ ඔහුව අනුස්මරණය කිරීම නිමිත්තෙනි.

ඔයට අමතරව ඔහු 1948 වසරේදී ක්වාලාලම්පූර් නගරයේ බ්‍රේක්ෆීල්ඩ් විහාරයේ අඩි 80 x 35 ප්‍රමාණයේ තොරණක් ඉදි කළ බව පැවසෙයි. එය ශ්‍රී ලාංකිකයකු අතින් විදෙස් රටක තැනුනු ප්‍රථම වෙසක් තොරණ වන්නේය. එයට අමතරව සමරකෝන් ශූරීන් පෝස්ටර් චිත්‍ර කලාවට හා විකට චිත්‍ර කලාවට ද දක්ෂකම් දක්වා ඇත.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ආනන්ද සමරකෝන් අධ්‍යයනය නම් ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි සමරකෝන්ගේ හොඳම චිත්‍ර කලා විචාරය පළ වී ඇත්තේ විදේශයකදීය. ඔහුගේ චිත්‍රයක් ද ඉලස්ටේ්‍රටඩ් වික්ලී ඔෆ් ඉන්ඩියා සඟරාවේ පළ වූ අවස්ථාවේ එහි සංස්කාරකවරයා මෙබඳු සටහනක් ලියා ඇත. “ඔහු නිසැකයෙන්ම පෙර අපරදිග ශිල්ප විධි මනා සේ සංකලනය කරන්නට සමත්ව සිටියි. නන්දලාල් බෝස් ගෙන් චිත්‍ර ශිල්පය හදාරා ඇතත් ඔහුගේ ශෛලීය කිසිදු ගුරුකුලයකට අයත් නැත. සිත්ගන්නාසුලු විශිෂ්ට රිද්මයානුකූල බවක් ඔහුගේ චිත්‍රවල ඇත.

ජී. ෂෙල්ටන් ආරච්චිගේ නම් ලාංකික චිත්‍ර කලා විචාරකයා පවසන පරිදි සමරකෝන්ගේ චිත්‍ර කලාවෙහි “කබුකි” නාටකයේ දැක්වෙන පරිදි වෙස්මුහුණුවල එන විචිත්‍ර වර්ණ රටා සමරකෝන්ගේ චිත්‍ර කලාවට බලපා ඇති වග කියයි.

අනේක විධි උපහාස දුක්ඛ දෝමනස්සයන් හා අවලාද වලට ලක් වූ සමරකෝන්ගේ චිත්‍ර කලාව හා ඔහුගේ අනිකුත් නිර්මාණ තවමත් නිසි ඇගයීම්වලට මෙරට තුළදී පාත්‍ර වී නොමැත. පසුගිය කාලයේ සමරකෝන් පදනමක් පිහිටෙව්වන් එය ද දැන් අක්‍රිය වී ඇත. පදනම් ද අක්‍රිය වන තරමට සමරකෝන් ශුරීන් අමතක කර දමනවා නම් ඔහුගේ නිර්මාණ ගැන කවර කතා ද?

කෙසේ වෙතත් ඔහු ගේ සමකාලීනයෙකු වු සුනිල් ශාන්තයන් වරෙක මෙසේ ප්‍රකාශ කර ඇත. එක් අවස්ථාවක ඔහු “මා සරස්වතී දේවිය රිලවියක වගේ නටවන්නේ නැහැයි” ප්‍රකාශ කර ඇති අතර සමරකෝන් ශූරීන් ද ඒ මතයේම සිටියේ ය. දුක් කම්කටොළු ඔස්සේ පිය නගමින් හා සමරකෝන් ශූරීන් සරස්වති දේවිය දෙව්මාතාවක් සේ සැලකිය එය විශේෂයෙන්ම අගය කළ යුතුය.

ඒ වගේම සමරකෝන් ශූරීන් දේශපාලනඥයන් වැන වීමට නොගිය අතර ඔවුන් රජ කරවන ඡන්ද ගුණ්ඩු හැටියට ඡන්ද වේදිකාවට නැග ගීත ගැයීමට ගියේ ද නැත. විවිධ ක්ෂේත්‍ර පැතිකඩ හරහා දක්ෂකම් දැක්වු සමරකෝන් ශූරීන් අභිමානය අහංකාරත්වය සඳහා නොයොදා ගත් අතර එම අභිමානය අහිංසකත්වය මත පදනම් කර ගත්තේය.

මෙරට හැම නිමිත්තකටම දිනයක් වෙන් කර ගෙන ඇත. සමහර දින වැදගත් වන අතර සමහරක් ඒවා වැඩකට නැත. රටේ අනන්‍යතාවය සමරන ආනන්ද සමරකෝන් දිනයක් යොදා ගතහොත් වඩාත් වැදගත් යැයි මම ප්‍රකාශ කරමි. සෑම අප්‍රේල් මස 05 වන දින සමරකෝන් සමරු වැඩසටහනක් සෑම පාසලකම දහම් පාසලකම පැවැත් වුවහොත් මැනවි. මතු පරපුර තුළ ආනන්ද සමරකෝන් නාමය ජීවත් කරලීමට එය මහඟු පිටිවහලක් වනු ඇත.

සිය පුතුගේ අකල් වියෝවෙනුන්” ජාතීක ගීය තුළ සිදු වූ අසාධාරණ අරගලය තුළත් රැකියාව අහිමි වීම තුළත් දැඩි සේ චිත්ත පීඩාවට ලක් වී සිටි ආනන්ද සමරකෝන් ශූරීන් නින්ද නොයාමේ රෝගී තත්ත්වයකින්ද පෙළීය. මේ සියලු කාරණා මැද නිදිපෙති අධික ප්‍රමාණයක් පාවිච්චි කර රෝගාතුර වී මෙතුමා 1962 අප්‍රේල් 03 වැනි දා පස්වරු 1.11 ට රෝහල් ගත කළ අතර 1962 අප්‍රේල් 5 වැනිදා සවස 6.15 ට මේ සොඳුරු මිනිසා මෙලොවින් සමුගත්තේය.

චන්දන රණවීර
ව/ගිරි/ අලව්ව මහරච්චිමුල්ල කන්දේගෙදර මහ විදුහලේ හිටපු චිත්‍ර උපදේශක

සංගීතයේ මාධූර්යය හා සිතුවමේ චමත්කාරය

advertistmentadvertistment
advertistmentadvertistment