සංගීතා අගමැතිනිය කරවන චිත‍්‍රපටයක්?

549

සිනමා විචාරය

චිත‍්‍රපටයකටත් වඩා අවස්ථානුකූල චිත‍්‍රපටයක් තැනීමට බෙනට් රත්නායක තීන්දු කර තිබේ. ප‍්‍රබල සිනමා මාධ්‍යය කළමනාකරණය කිරීමටත් වඩා කාලෝචිත ලෙස චිත‍්‍රපටය යොදා ගත යුතු බව ඔහු විශ්වාස කරයි. සිනමාවක් යනුවෙන් යමක් පැවතීමට නම් ජනතාව කෙසේ හෝ සිනමා ශාලා කරා යොමුකරවා ගතයුතු බව ඔහු සිතයි. බෙනට් රත්නායකගේ ‘කවුරුවත් දන්නෙ නෑ’ චිත‍්‍රපටය ජනප‍්‍රිය ප‍්‍රවෘත්ති සංදර්ශනයක්, විචිත‍්‍ර සිනමා ආකෘතියක බහාලීමට ගත් අවස්ථාවාදී යොමුවකි. මෙම ප‍්‍රවෘත්ති ප‍්‍රතිනිෂ්පාදන ආකෘතියෙහි සිනමා ස්වරූපය දවටා තිබෙනුයේ චිත‍්‍රපටයේ අවසන් මිනිත්තු කිහිපයේදී ය. එබැවින් මෙම චිත‍්‍රපටය හුදු ප‍්‍රවෘත්ති සංස්කරණයක් පමණකැයි සිතා බැහැර කළ නොහැකි, නව නොගැඹුරු පටු හා විචිත‍්‍ර සිනමා විලාසයක් යෝජනා කර සිටී. මෙම ප‍්‍රවෘත්ති සංදර්ශනයෙහි ඇති සිනමා ඉඟිය කුමක් ද?

‘කවුරුවත් දන්නෙ නෑ’ යනුවෙන් නම් තබා ඇති මෙම චිත‍්‍රපටයෙහි මුල පටන් අග දක්වා සංස්කරණය කොට ඇත්තේ මෑත දශකයෙහි ජනතාව දැක අසා පුරුදු ප‍්‍රවෘත්ති මාලාවකි. එසේ නම් මෙය අප ජනමාධ්‍ය තුළින් දැක අසා තිබුණා වූ ප‍්‍රවෘත්තිම පුනරූපණය කිරීමකි. එකී පුවත් හා ආශ‍්‍රිත චරිත ප‍්‍රතිනිෂ්පාදනය කිරීම සිනමාව වන්නේ කෙසේ ද?

සැබවින්ම සිදු වූ බවට ප‍්‍රවෘත්ති මගින් ප‍්‍රසිද්ධියේ දක්වන ලද සිදුවීම් සහ චරිත ප‍්‍රසිද්ධ නළු නිළියන් යොදා පුනරූපණය කිරීම සහ එම සත්‍ය සිදුවීම් පුනරුච්චාරණය කිරීම මෙම සම්මානනීය සිනමාවේදියාගේ මේ මොහොතේ කාර්යභාරය වී ඇත. එය සිනමාව නොවේ. සිය සුපුරුදු සිනමා භාවිතය සමග මෙය සැසැඳීමට ද හැකි නොවේ. නමුත් මෙම චිත‍්‍රපටයෙහි ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි සමාජ සත්‍යයක් මෙන්ම එකී සමාජ යථාර්ථය ජනතාව හමුවේ ප‍්‍රදර්ශනය කළ හැකි කාලෝචිත සිනමා විධියක් ගැබ් වී තිබේ. සිනමාකරුවා සිනමා භාෂාව පිළිබඳ දැනුවත් බව මෙම චිත‍්‍රපටය තුළ ඉඟි කෙරේ.

සංගීතා අගමැතිනිය කරවන චිත‍්‍රපටයක්?

චිත‍්‍රපට රස වින්දනය තකා මෙතෙක් මෙරට සිනමා පේ‍්‍රක්‍ෂකයන් භාවිත කළ සිනමා ශාලා වෙත යෑමේ හුරුව හීන වී ඇති යුගයක සිනමාකරුවා නොපසුබටව නම්‍යශීලී වී සිටින තරම මෙම චිත‍්‍රපටයෙහි දැක්වෙයි. පවත්නා සමාජ, දේශපාලන, සංස්කෘතික හා ආර්ථික කලබගෑනි හමුවෙහි පීඩාවට පත් පොදු ජන කුලකය තුළ සිනමා පේ‍්‍රක්‍ෂකයා නමැති කුඩා කුලකය දිය වී සැඟවී ගොසිනි. එබැවින් එකී රසවිඳින්නන් සහ පේ‍්‍රක්‍ෂකයන් සෙවීම වෙනුවට පොදු ජනතාව සිනමා ශාලාවට පොළඹවා ගැනීමේ කදිම උපායක් මේ දැනුවත් සිනමාකරුවා අත්හදා බලයි. එනම් ජනතාව අඛණ්ඩව රසවිඳින උද්වේගකර ප‍්‍රවෘත්ති පුනරූපණය කිරීම යි. පැයෙන් පැය පුවත්, මධ්‍යහ්න පුවත්, නිල නොවන ආරංචි, ප‍්‍රයිම් ටයිම් නිවුස්, සහ මේ දැන් ලැබුණු ප‍්‍රවෘත්ති යනාදී ලෙස දිනපතා නොකඩවා ජනතාව පිනවන ලද ප‍්‍රවෘත්ති මත සිනමාකරුවා ද අවස්ථානුකූලව යැපෙයි. සිනමාකරුවා දක්‍ෂ ප‍්‍රවෘත්ති පුනරූපකයකු බව හැඟෙයි.

චිත‍්‍රපටය අරඹද්දී ම සිය චරිත හා සිදුවීම් සත්‍ය ලෝකයේ කිසිවකුට සම්බන්ධ නැතැයි සිරස්තල යෙදීමෙන් ම මෙම සිනමාකරුවා වැදගත් යමක් ඇඟිල්ලෙන් ඇන ජනතාවට ඒත්තු ගන්වයි. එනම් මෙය ප‍්‍රබන්ධයක් ලෙස ගතයුතු සත්‍යයක් ම බවයි. සත්‍ය සිද්ධීන් හා සැබෑ චරිතවලින් ඔබ්බට පරිකල්පනාමය ප‍්‍රබන්ධ ලෝකයකට සිනමාකරුවා හැරෙනුයේ තම රූපාවලියෙහි අවසන් මිනිත්තු කිහිපයේදී ය. එනම් මෙහි එන පොලිස් ප‍්‍රධානියා ලවා කිහිපවිටක් ම දෙබස්ගත කරන ‘සිස්ටම් එක වෙනස් කිරීම’ සඳහා සත්‍ය ගරුක වී ඵලක් නොමැති බවයි. සිස්ටම් එක වෙනස් කළ හැක්කේ මැජික්කායකු වුවහොත් පමණක් බවයි. ඉන්‍ද්‍රජාලික බලයක් සහිතව මිස අසාධාරණය, අයුක්තිය, අවනීතිය, අදේශපාලනය ආදී දුර්ගුණ කනපිට හැරවිය නොහැකි බව යි.

චිත‍්‍රපටය යනු මායා රූපාවලියකි. ප‍්‍රබන්ධ ලෝකයක සමාධිගත වීමකි. මොහොතකට සිත රවටා ගැනීමකි. මායාවාදීව සත්‍යය සියතට ගැනීමකි. සිනමාකරුවා සත්‍ය ප‍්‍රවෘත්ති පෙළගස්වනුයේ එකී සත්‍ය යථාර්ථයට ජනතාවගේ ප‍්‍රතිචාරය ගැන දැනුවත්ව ය. නිරායුධ, නිශ්ක‍්‍රීය ජනතාව තමාට පාලනය කළ නොහැකි එම සත්‍ය යථාර්ථය ට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ප‍්‍රබන්ධමය මුළාවක දැවටෙනු කැමැති ය. දැනුවත්ව රැවටෙන්නට කැමැති ය. පැයෙන් පැය උණුසුම් ප‍්‍රවෘත්ති සපයන බලධාරීහු මේ බව දනිති. පොදු ජනතාව එකී ප‍්‍රවෘත්ති රස විඳිති.

මෙම චිත‍්‍රපටයේ සිනමාත්මක රූප භාවිතයකින් සහ නිර්මාණාත්මක ශික්‍ෂණයකට නතු කළ යුතුව තිබුණු ප‍්‍රබලතම චරිත සංවිධානය වනුයේ යුක්ති ගරුක පොලිස් ප‍්‍රධානියා සහ පොල් සොරකම් කොට සිරබත් කෑමට සිදුවන අහිංසක දැරිය අතර වන මානුෂික බැඳීම යි. නමුත් අගමැතිනිය ඇතුළු ඇමැතිවරු සහ දූෂිත නිලධාරීන්ට සම්බන්ධ ප‍්‍රවෘත්ති සිදුවීම් පෙළගස්වන උද්‍යෝගය තුළ එම ප‍්‍රබල චරිත සැඟවී යටපත් වී ඇත. සිනමාකරුවා එකී චරිත නිරූපණය සඳහා ප‍්‍රවීණත ම දක්‍ෂ නළු නිළි සමූහයකගේ දායකත්වය ලබා ඇති නමුත් ඔවුනට රඟපෑමට තරම් ගැඹුරු චරිත මෙහි නැත. යම් ප‍්‍රවෘත්තියක ඇත්තේ මතුපිට සිද්ධි දෘෂ්‍යමානය පමණක් වීම ඊට එක් හේතුවකි.

මෙහි පොලිස් ප‍්‍රධානියා ලෙස රඟපාන බිමල් ජයකොඩිගේ විශිෂ්ට රංගනය ප‍්‍රවෘත්ති නිරූපණ සීමාව තුළ නවතයි. ඔහු සිය ඇඳුමෙන් බැහැරව මානුෂික වන තැන් වඩාත් සංවේදීව ගොඩනඟන්නට වුවමනා ශික්‍ෂණය මෙම ප‍්‍රවෘත්ති පුනරූපණ චිත‍්‍රපට ස්වරූපය සමග පෑහෙන්නේ නැත. විමල්ගේ දෙබස් කැවීම් මෙහි යම් තැනක ඊට අදාළ රඟපෑම සමග යා නොවන තරම් අභව්‍ය ය. සංගීතා වීරරත්න මෙහි අගමැතිනිය ලෙස රඟපාන බව චිත‍්‍රපටය අවසානයේ දිගහැරෙන නාමාවලියෙහි සඳහන් ය. මෙහි සත්‍ය නම්ගම්, සිදුවීම් එලෙස ම භාවිත කරන බැවින් මෙම අගමැතිනිය චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විය යුතු යැයි අවධාරණය කරන ඉඟි චිත‍්‍රපටය තුළ ම වෙයි. මෙහි එන චරිත ඇයව අමතන්නේ ‘ලොක්කී’ සහ ‘එච්.ඊ’ කියා ය. එයිනුදු නොනැවතී නිළියගේ දේහ ස්වභාවය හිටපු අගමැතිනියගේ ශරීර ස්වභාවය සමග ගළපන්නට ද මෙම අවස්ථානුකූල නිර්මාණකරුවා යොමු වී ඇත. සංගීතා වීරරත්නගේ හුදෙකලා විශිෂ්ට රඟපෑම එබඳු විසිතුරු ගැළපීම්වලින් හෑල්ලූ වෙයි. තව ද ඇයට රඟපාන්නට තරම් චරිතයක් මෙම ප‍්‍රවෘත්තිමය චිත‍්‍රපට විලාසය තුළ ගොඩනැඟී නැත. චරිතයක් නැති කල රංගන ශිල්පියා කෙතරම් ප‍්‍රශස්ත ලෙස රඟපෑව ද එය දෘෂ්‍යමානයෙන් එපිට ට විඳින්නාගේ පේ‍්‍රක්‍ෂාව යොමු නොවෙයි. රංගන විශිෂ්ටතාව සහ දේහ ලක්‍ෂණ මැනවින් මෙහි භාවිතයට ගත් අනෙක් රංගනවේදියා, මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ භාවිතයෙහි ද යෙදී සිටින බලගතු ඇමැතිවරයා ලෙස රඟපාන ගිහාන් ප‍්‍රනාන්දු ය. මෙතෙක් කල් ප‍්‍රවෘත්තිවලින් ඉඟි කෙරුණු දේශපාලන බලවතාගේ ස්වරූපය ගිහාන් ප‍්‍රනාන්දු විසින් ප‍්‍රාමාණිකව නිරූපණය කෙරේ. එකී දෘෂ්‍යමාන විචිත‍්‍රත්වය අතික‍්‍රමණය කරන රංගන අනන්‍යතාවක් ඔහු මෙහි ප‍්‍රකට කරයි. අනෙක් විශිෂ්ට රංගනවේදිනිය ජයනි සේනානායක මෙහි රඟපානුයේ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකාවක හා මවක ලෙස ය. එම ද්විත්ව චරිත ස්වභාවය චිත‍්‍රපටය තුළ වහා මතු වී යළි යළි සැඟවී යන තරම් ය. දුලීකා මාරපනගේ විශිෂ්ට රංගනයට සිදුව ඇත්තේ ද එම අසාධාරණයම ය. ප‍්‍රබන්ධය සත්‍යය බවට පත්ව සත්‍ය ප‍්‍රබන්ධයක් වී ඇති ලෝකයක මෙම චරිත ද එකී චරිත නිරූපණය කරන ප‍්‍රවීණයෝ ද මුහුණ දෙන්නේ එකම සත්‍යයකට ය. එනම් ප‍්‍රබන්ධමය හා පරිකල්පමය සිනමා රූපය අබිබවා සත්‍යමය හා ප‍්‍රදර්ශනාත්මක ප‍්‍රවෘත්ති දෘෂ්‍යමානයක සිරකරුවන් බවට පත්ව සිටීම ය. සිනමාකරුවාගේ අවස්ථාවාදී වීම දෙස අප සානුකම්පිත උපේක්‍ෂාවකින් බැලිය යුත්තේ එබැවිනි. ජනතාවගේ ප‍්‍රවෘත්ති රස විඳීමේ ඇබ්බැහිකම ඔහු චිත‍්‍රපට ගතවීම සඳහා කාලෝචිතම උපාය ලෙස විශ්වාසය කිරීම වරදක් නොවේ. සංගීතා අගමැතිනිය බවට පත්කරවන උණුසුම් ප‍්‍රවෘත්තිය දෙස ඔහේ උඩ බලා ගෙන සිටින පීඩිත ජනතාව එහි සිනමාවක් නොසොයනු ඇත. කවුරුවත් දන්නේ නෑ යනු චිත‍්‍රපටයක්ම දැයි කවුරුවත් ම දන්නේ නැත්තේ ද එම නිසා ය.

අජිත් ගලප්පත්ති

advertistmentadvertistment
advertistmentadvertistment