සංචාරක කර්මාන්තයේ ව්‍යවසායකයන් රකින සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි

101

ඉකුත් වසරේ දෙසැම්බර් පළමු සතිය තුළදී විදෙස් සංචාරකයන් 16169 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම දින හතෙහි දෙසැම්බර් 6 වැනිදා හැරෙන්නට සෙසු සෑම දිනකම 2000 ඉක්මවූ සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණියහ. මේ ඇතැම් දිනක සංචාරකයන් 2500 ද ඉක්මවා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වෙතැයි දිවයින පුවත්පත මගින් අනාවරණය කර තිබිණි.

මෙහිදී වැඩිම සංචාරකයන්, එනම් 3404 ක් පිරිස රුසියාවෙන් පැමිණ ඇති අතර දෙවනුවට ඉන්දියාවෙන් 2586 ක ප්‍රමාණයක් ද මෙහි පැමිණ තිබිණි.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ඍජු රාජ්‍ය මැදිහත්වීම හා දායකත්වය ලැබුණේ 1965-70 කාලයේදී බවට මට මතකය. එවක ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, රාජ්‍ය ඇමැති ධුරය දැරුවේ, පසුකලක මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතාය. ජයවර්ධන මහතා මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් මෙරටට පහසුවෙන් විදේශ විනිමය උපයා ගත හැකි බව අවබෝධ කරගෙන සිටියේය. මෙරට දේශගුණය, ඓතිහාසික ස්ථාන, සංස්කෘතික උරුමය, මුහුදු වෙරළ, ස්වභාවික පිහිටීම මත ඒවා නැරඹීමට විශාල ලෙස සංචාරකයන් ගෙන්වා ගනිමින් එම කර්මාන්තය දියුණු කරලීමට ප්‍රධාන පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ආවේය. 1966 මාර්තු 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංචාරක මණ්ඩලයක් පිහිටුවීමේ පනතින් අපේක්‍ෂා කළේ සංචාරක ව්‍යාපාරය දියුණු කරලීමට ක්‍රමවත් වැඩපිළිවෙළකි. අප රට ගැන විදේශිකයන්ට ප්‍රචාරය ලබාදී, ඔවුන් ගෙන්වා විදේශ විනිමය රටට ලබාදීමට අවශ්‍ය කටයුතු කරලීම එහි කාර්යභාරය ලෙස ජයවර්ධන මහතා දැක්වීය. එදා මෙදා තුර සංචාරක ව්‍යාපාරයට සංචාරක මණ්ඩලය හා වර්තමානයේ සංචාරක සංවර්ධන අධිකාරිය හරහා දැවැන්ත කාර්යභාරයක් ඉටුවෙයි.

එමෙන්ම ජයවර්ධන මහතා තවත් පනත් මගින් හෝටල් සංස්ථාව ස්ථාපිත කිරීමට පියවර ගත්තේය. එකල සංචාරකයන්ට නවාතැන් දීමට හොඳ හෝටල් පද්ධතියක අවශ්‍යතාව ද ජයවර්ධන මහතා අවධාරණය කළේය.

විදේශ සංචාරකයන්ට පහසුකම් සැලසීමට අවශ්‍ය හෝටල් ඉදිකරලීමට ආණ්ඩුව ඉදිරිපත්වී ක්‍රියාකිරීම අවධාරණය කළ ජයවර්ධන මහතා හෝටල් ඉදිකිරීමට, දියුණු කරලීමට පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ඉඩම්, ණය පහසුකම් ලබාදීම ද කළ යුතු බව දැඩි සේ ප්‍රකාශ කරමින් පෞද්ගලික අංශය හරහා සංචාරක කර්මාන්තය දියුණු කරලීමටත්, ඔවුනට හෝටල් ඇතිකරලීමට උදව් කිරීම මෙන්ම හෝටල් ක්‍ෂේත්‍රයට රාජ්‍ය මැදිහත්වීම උදෙසා හෝටල් සංස්ථාව ස්ථාපිත කරලීමට තවත් පනතක් 1966 අප්‍රියෙල් 23 වැනිදා ගෙන ආවේය. එය පාර්ලිමේන්තුවේ සම්මත විය. ඒ අනුව ලංකා හෝටල් සංස්ථාව බිහිවිය. රජයට මෙන්ම මහජනයාට එම සංස්ථාවේ කොටස්කරුවන් වීමට ඉඩ ලැබිණි. මෙලෙස රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් මෙරට පිහිටුවන ලද මුල්ම ව්‍යාපාරික ආයතනය හෝටල් සංස්ථාව විය. සංචාරක කර්මාන්තයේ දියුණුවට එම ආයතන දෙකම ක්‍රියාත්මක වෙත්දී මෙරට පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් ද බිහිවීම ඇරඹිණි. එවක දියුණුවක් නොලැබ තිබූ පළාත් පාලන ආයතන යටතේ පැවැති තානායම් ද හෝටල් සංස්ථාව යටතට පවරාගෙන වැඩිදියුණු කිරීම ද සිදු කෙරුණු අතර බෙන්තොට කොළඹ මහනුවර වැනි ප්‍රදේශවල හෝටල් ගණනාවක්ම බිහිවූයේ රජයේ අනුග්‍රහය ආධාර සංචාරක කර්මාන්තයට ලබාදීම අවධාරණය කෙරුණු පසුබිමක් උදාවීමත් සමගය. එදා මෙදා තුර අප රටට විදේශ විනිමය කැන්දන මෙන්ම විශාල පිරිසකගේ ජීවනෝපාය ද රැකෙනුයේ සංචාරක කර්මාන්තය හරහාය.

ඉහත පැටිකිරිය මා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එදා ලැබුණු දිරිගැන්වීම ද සිහිපත් කරලීමටය. පසුගිය යුද සමයේදී මෙන්ම කොවිඩ් වැනි වසංගත කාලවල ද දුෂ්කරතා මධ්‍යයේ වුව සංචාරක හෝටල් පවත්වාගෙන යමින් දේශීය ව්‍යාපාරිකයන් සංචාරක කර්මාන්තයට දක්වන මහඟු දායකත්වය අතිමහත් වන්නේය.

වර්තමානයේ බැංකු පොලී අනුපාත වැඩිවීම හා විදුලි බිල ද සංචාරක හෝටල් කර්මාන්තය මුහුණ දෙන බරපතළ ප්‍රශ්න දෙකකි.

බොහෝ දෙනා තම ව්‍යාපාර උදෙසා ගත් ණය ආපසු ගෙවීමට දුෂ්කරතාවලට අද මුහුණ දී සිටිනුයේ බැංකු පොලී අනුපාත සම්බන්ධ ගැටලුව ද හේතුවක් වීම නිසාය. ඇතැම් විට උපයන මුදල එම ණයතුරුස් ගෙවා ගැනීමට ද විශාල ගැටලුවක් බවට පත්ව ඇත්තේය.

අද බොහෝ විට සිදුවන්නේ රටට විනිමය උපයන ව්‍යාපාරිකයන්ට ‘බදු’ ගැසීම වැනි විවිධ පීඩාකාරි දේවල් තුළින් ඔවුන් හෙම්බත් කරලීමය. ව්‍යවසායකයන්ට පහසුකම් ලබාදීම තුළින් ඔවුන් රටට විදේශ විනිමය කැන්දන සම්පත් බව ශක්තිමත් කරලීමට රාජ්‍ය මට්ටමින් ද ලැබිය යුතු පිටිවහල ගැන තවදුරටත් සොයා බැලිය යුතුය. මෙරට සංචාරක කර්මාන්තයට දායක වන ව්‍යවසායකයන් ආරක්‍ෂා කරලීමට බදු සහන දීම ගැන සලකා බැලිය යුතුය. අඩුම තරමින් විදුලි බිලට ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තකරුවන්ටවත් යම් සහන දීමක් කළ යුතුය. සමහරුන්ට තම ව්‍යාපාර වහන්න, මේ නිසා බලපෑම් විය හැකිය. රටට විදේශ විනිමය ගෙනෙන, රැකියා අවස්ථා සලසන ව්‍යවසායකයන් තම ව්‍යාපාර වසා දැමුවොත්, රට හැරගියොත් වන හානිය අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අද රටේ ආර්ථිකය පවතින්නේ පුද්ගලික අංශයේ ව්‍යවසාය දායකත්වය මත බව තීන්දු තීරණ ගැනීමේදී නොතකා හැරීම ඛේදනීය තත්ත්වයකි.

බැංකුවලින් ණය ගන්නකොට තිබූ පොලී අනුපාත මත ණය ගත්ත අය අද එම පොලී අනුපාත වැඩිවීම නිසා මුහුණදී සිටින අර්බුදකාරී තත්ත්වය ද අවධාරණය කළ යුතුයි.

සංචාරක ව්‍යාපාරය දියුණු කරලීමේ කාර්යයේදී පිටරටවල දූත මණ්ඩල දායකත්වය දීම අත්‍යවශ්‍ය වන්නේය. එම රටවල ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා එම විදේශකයන්ට අප රටේ ආකර්ෂණීය බව පිළිබඳ පුළුල් ලෙස ප්‍රචාරය දී කාණ්ඩ වශයෙන් මෙහි තව තවත් සංචාරකයන් කැන්දාලිය හැක.

‘තානාපති’ කාර්යාලවලින් එවැනි පුළුල් වැඩපිළිවෙළක් දියත් කරලීමට රාජ්‍ය මැදිහත්වීම දැඩි කළ යුතුව ඇති මොහොතකි මේ. බොහෝ දූත මණ්ඩල තම තනතුරුවල වැජඹීමට මිස රට වෙනුවෙන් දෛනික කැපවීම කරන්නේ ද යන්න ගැන විදේශ අමාත්‍යාංශය, සංචාරක හා මුදල් අමාත්‍යාංශය ද සොයා බැලිය යුතුය.

රටට එන සංචාරකයන් සීමිත සුපිරි හෝටල් ප්‍රමාණයකට නොයවා රට වටා පිහිටි සියලු පහසුකම් සහිත හෝටල් වෙත සේවා සැපයීමට ක්‍රියා කළහොත් සංචාරක කර්මාන්තයෙන් සැමට ජීවත්විය හැකි ‘ව්‍යවසායක’ පරපුරක ආරක්‍ෂාව ද සහතික කළ හැකිය. එතෙර රටවල සිට මෙන්ම මෙහි සේවා සපයන්නන් හරහා ද මෙහිලා රටට විහිදුණු සේවාවවකට වෙනසක් සිදුකළහොත් එය සංචාරක කර්මාන්තයේ දියුණුවට බලපාන සිස්ටම් චේන්ජ් එකක් ද වන්නේය.

සංචාරක හෝටල් ගැන සංචාරකයන්ට පුළුල් ප්‍රචාර ලබාදීමට දැනට වඩා සංචාරක සංවර්ධන කාර්යාංශයේ අනුග්‍රහය ද අපේ ව්‍යවසායකයන්ට හිමිවිය යුත්තේය. රුසියාව, ඉන්දියාව වැනි රටවල සංචාරකයෝ බොහෝවිට රට පුරා විහිදුණු සංචාරක හෝටල්වල සේවා ලබාගැනීමට ද උනන්දුවක් දක්වති. අප රට තුළම සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථාන ඇත්තේය.

සංචාරක හෝටල් නඩත්තුවට අවශ්‍ය මෙවලම්, උපකරණ ලබාගැනීමට තීරුබදු සහන ලබාදිය හැකි නම් එය ද සංචාරක හෝටල් කර්මාන්තයට රුකුලක් වන්නේය. සංචාරක කර්මාන්තයෙන්, ව්‍යාපාර තුළින් රැකියා උත්පාදනය කරන ව්‍යවසායකයන්ට අවශ්‍ය සහන නොපමාව ලබාදීම මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමට බෙහෙවින්ම හේතුවන බව ද අවධාරණය කළ යුතුය.

සංචාරක කර්මාන්තයේ ව්‍යවසායකයන් රකින සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි

ආචාර්ය පියතිස්ස රාජපක්‍ෂ
වාසිටි – සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment