‘සංතෘප්තිය’ විශිෂ්ට කෙටිකතා පරිවර්තනයක්

533

ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නුවර සිංහල භාෂා විද්‍යාලයේ සේවය කරන ටියුඩර් අමරසේනගේ නවතම කෘතිය වන්නේ, ”සංතෘප්තිය’’ (ගී ද මෝපසාංගේ සංතෘප්තිය සහ වෙනත් ශ්‍රේෂ්ඨ ජගත් කෙටිකතා) නම් (2020) කෙටිකතා පරිවර්තන ග‍්‍රන්ථයයි. ටියුඩර් අමරසේන සිංහල පාඨකයන්ට අමුත්තෙක් නොවේ. 1982 දී ”කාලයයි මේ අවදිවන්නට’’ල 1990 දී ”අළුගෝසුවාගේ සිහිනය’’ හා 2007 දී ”කරල් ඇහිඳින්නෝ’’ නමින් කාව්‍ය සංග‍්‍රහ තුනක් ප‍්‍රකාශයට පත් කළ ඔහු කවියකු වශයෙන් බොහෝ විචාරකයන්ගේ පැසසුමට පත්වීය. ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමට පෙර ඔහු එඞ්මන්ඞ් රණසිංහ හා දයාසේන ගුණසිංහ යන මහත්වරුන්ගේ යුගයේ දී ”දිවයිනට’’ බොහෝ කාව්‍ය රචනා හා විශේෂාංග ලිපි ඉදිරිපත් කළේය.

”සංතෘප්තිය’’ කෙටිකතා පරිවර්තනයේ ලෝ ප‍්‍රකට කෙටිකතාකරුවන් දසදෙනකුගේ නිර්මාණවල පරිවර්තන ඇතුළත් වෙයි. මෙයින් පුෂ්කින්, එඞ්ගාර් ඇලන් පෝ, ටෝල්ස්ටෝයි, මෝපසාං, චෙකොෆ්, ඕ. හෙන්රි, අකුතගාවා යන කෙටිකතාකරුවන් හා ඔවුන්ගේ පරිවර්තිත නිර්මාණ සිංහල පාඨකයාට ආගන්තුක නොවේ. ටියුඩර් අමරසේන ප‍්‍රථම වරට හංගේරියානු ලේඛකයකුගේ ද, මෙතෙක් සිංහලයට පරිවර්තනය වී නොමැති කෙටිකතා ලියූ ප‍්‍රංශ ලේඛකයකුගේ ද, ආජන්ටිනා ලේඛකයකුගේ ද කෙටිකතා සිංහල පාඨකයාට හඳුන්වාදීම විශේෂයක් වේ.

”සංතෘප්තිය’’ මනා පිටකවරයකින් සරසා තිබේ. මේ සියලූ කෙටිකතාකරුවන් පිළිබඳව ලූහුඬු ජීවන ප‍්‍රවෘත්තිද, ඔවුන්ගේ නිර්මාණ ගැනද, ඔවුන්ගේ කෙටිකතා කලාවේ ඇති විශේෂතා ගැනද විස්තර හා සෑම කෙටිකතාවකට උචිත චිත‍්‍රයක් ඇතුළත් කොට තිබීමද කෙටිකතා සංග‍්‍රහයේ අගය වැඩි කරයි. මේ සිත්තම් සකසා ඇත්තේ පරිවර්තකයාගේ පුතණුවන් වන සුදන්තය. තමා පරිවර්තනය සඳහා යොදාගත් මුල් කෙටිකතාවල නම් සඳහන් කළා නම් මැනවැයි සිතේ.

ටියුඩර් අමරසේන විසින් සිංහලයට පරිවර්තනය කිරීම සඳහා තෝරාගෙන ඇති නිර්මාණ කළ කෙටිකතාකරුවන් සියලූ දෙනාම පාහේ දහඅට වැනි හෝ දහනව වැනි සියවස්වල උපන් එම කාල සීමාව තුළ නිර්මාණයෙහි යෙදුණු අය වෙති. එහෙයින් මෙම පරිවර්තනය මුල් යුගයේ ප‍්‍රකටභාවයට පත්වූ කෙටිකතාකරුවන්ගේ රචනා ඇතුළත් වන්නා වූ පරිවර්තනයක් යැයි පැවසිය යුතුය. සමහරවිට පරිවර්තකයා විසින් මෙය වුවමනාවෙන්ම කරන ලද තෝරා ගැනීමක් විය හැකිය. පරිවර්තකයා වික්ටෝරියා ප‍්‍රාන්තයේ සිංහල සිසුන්ට සිංහල උගන්වන හෙයින් ඔහු මෙම කෙටිකතා පරිවර්තනය කරන්නේ සිය සිසුන්ගේ සාහිත්‍ය දැනුම වර්ධනය කිරීම ද සඳහාය. සිංහල ග‍්‍රන්ථ ඔස්ටේ‍්‍රලියාවේදී සොයාගැනීම දුෂ්කර හෙයින් එම දුෂ්කරතාව මැඬලීම සඳහාත්, සිසුන්ගේ භාෂා දැනුම හා සාහිත්‍ය රසවින්දනය දියුණු කරලීම සඳහාත් ඔහු සිය පරිවර්තන යොදාගෙන තිබේ. එය සිසුන්ට කෙටිකතා කලාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ද ඉවහල් වේ. කෙටිකතා කලාවේ වර්ධනය පිළිබඳව සිසුන්ට අවබෝධයක් ඇති කිරීමට ද අවශ්‍යවී ඇති හෙයින් පරිවර්තකයාගේ තෝරාගැනීම නිවැරදිය. ඉදිරියේදී ඔහු කෙටිකතා කලාවේ විවිධ ප‍්‍රවනතා දැක්වෙන පරිදි කෙටිකතා පරිවර්තනයෙහි නියැළෙනු ඇතැයි විශ්වාස කෙරේ. පරිවර්තකයාගේ අධ්‍යාශය වන්නේ සිය සිසුන්ගේ නිර්මාණ කුසලතා වර්ධනය කිරීමද වන බැවිනි. ඔහුගේ සිසුන් අතර නිර්මාණ කුසලතා ඇති සිසුන් රාශියක් ඇති බැව් වික්ටෝරියා භාෂා විද්‍යාලයේ දේශනයක් පැවැත්වූ මම ද අවබෝධකොට ගත්තෙමි.

මෙම කෙටිකතා ගැන වෙන් වෙන් වශයෙන් විවරණයක් කිරීමට මම අදහස් නොකරමි. එහෙත් මෙතෙක් සිංහල පාඨකයන්ට ආගන්තුක වූ කෙටිකතාකරුවන් වන හංගේරියානු ජාතික කාරෝලි කිස්ෆාලූඞ් ගේ ”අදිසි තුවාලය’’ල ප‍්‍රංශ ජාතික අල්ෆොන්ස් ඩෝඬේගේ ”අවසන් පාඩම’’ හා ආජන්ටිනා ජාතික ලූයීබෝර්ගීස් අසවේදු ගේ ”පාපොච්චාරණය’’ වැනි කෙටිකතා ගැන අපගේ විශේෂ අවධානය යොමු විය යුතුය.

සමස්තයක් වශයෙන් ගත් කල්හි මෙම පරිවර්තනය ඉතා විශිෂ්ඨ එකක් වේ. ඉතා පැහැදිලිව, සරලව, සුමටම, නිරවුල්ව කාව්‍යමය බසකින් පරිවර්තනය වී ඇති මෙම කෙටිකතා සංග‍්‍රහය මෙරට ව්‍යාකූල හා කඨෝර බසකින් කෙරෙන හා පාඨකයා පිටු අතර අතරමං කරවන පරිවර්තනවලට වඩා ඉතා ඉහළ මට්ටමක පවතී. එහෙයින් මෙම පරිවර්තනය ආධුනික මෙන්ම පළපුරුදු පරිවර්තකයන්ට ද අනගි ආදර්ශයක් ලබා දෙයි. මෙරට පාඨකයන් හා පරිවර්තකයන් මෙබඳු පරිවර්තකයන් වෙනත් රටක හෝ ජීවත් වන බව දැනගත යුත්තකි. මෙබඳු පරිවර්තකයන් ලංකාවට අහිමිවීම අපේ සාහිත්‍ය පරිවර්තනවලට වූ ඉමහත් පාඩුවක් බැව් මෙම පරිවර්තනයේ සෑම වැකියක්ම පෙන්වා දෙයි. පරිවර්තකයා ඉතා විශිෂ්ට ලෙස සිංහල භාෂාව හසුරුවයි. අවශ්‍ය පරිදි කලාත්මක ආකාරයෙන් දිගු වැකි වශයෙන්ද, කෙටි වැකි වශයෙන්ද වාක්‍ය සංයෝජනයෙහි යෙදෙයි.

මෙම කෙටිකතා සියල්ලක්ම යථාර්ථවාදී රීතියට අනුව ලියැවුණු ඒවා වේ. ව්‍යාකූල නොවූ ආඛ්‍යාන රටාවකින් හා ශෛලියකින් සෘජුවම කෙටිකතාව පාඨකයාට ඉදිරිපත් කෙරෙන හෙයින් පාඨකයා ඒවායේ අන්තර්ගතය අවබෝධ කරගැනීමට වෙහෙසවිය යුතු නැත. එම ශෛලිය මෙම කෙටිකතාවන්ගේ නිර්මාණයෙහි දැක්වෙන ගැඹුර අඩු කරනවා නොව එය තීව‍්‍ර කිරීමට උපකාරි වෙයි. එය රමණීය වූ පඨන අත්දැකීමක් පාඨකයාට ලබා දීමක් වේ.

මීට පෙර සිංහලයට පරිවර්තනය නොවූ කෙටිකතාකරුවන් තිදෙනකුගේ කෙටිකතා මෙම පරිවර්තනයට ඇතුළත් වී ඇතැයි කලින් සඳහන් කළෙමු. මේ අතරින් හංගේරියානු ජාතික කිස්ෆාලූඞ් ගේ ”අදිසි තුවාලය’’ නමැති පරිවර්තිත කෙටිකතාව පාඨකයාගේ සිත් බැඳ ගැනීමට සමත් වෙයි. ප‍්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙතට ආ එක් නිරෝගී පුද්ගලයෙක් සිය නිරෝගී අතෙහි ශල්‍යකර්මයක් කරන මෙන් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. වෛද්‍යවරයා එය ප‍්‍රතික්‍ෂෙප කළ විට එම පුරුෂයාම සිය අතෙහි ගැඹුරු තුවාලයක් සිදුකර ගනියි. ඉන්පසුව ශල්‍ය වෛද්‍යවරයාට එම සැත්කම සිදු කිරීමට සිදුවේ. තමා සුවපත් වූ බව කියතත් ශල්‍ය වෛද්‍යවරයා වෙතට යළිත් පැමිණෙන රෝගියා තවත් ශල්‍ය කර්මයක් කර ගනියි. අදිසි තුවාලයේ සුලමුල හෙළිවන්නේ ඉන් පසුව ශල්‍ය වෛද්‍යවරයාට රෝගියාගෙන් ලැබෙන ලිපියක් මගිනි. රෝගියා තමාට අවංකව ආදරය කළ බිරිඳ නිකරුණේ සැක කොට ඇය මරා දමා තිබේ. ඇයගේ නිර්දෝෂිභාවය ඔහුට හෙළිවන්නේ ඇයගේ මරණයෙන් පසුවය. රෝගියාට වේදනාව ගෙන දුන්නේ සිය බිරිඳ මරා දමන විට අතෙහි තැවරුණු ලේ බින්දුවකි.

ප‍්‍රංශ ජාතික අල්ෆොන්ස් ඩෝඬේ ගේ ”අවසන් පාඩම’’ නම් කෙටිකතාව ජර්මන් ආක‍්‍රමණයෙන් පසුව ප‍්‍රංශයේ ඇල්සාස් හා ලොරේන් යන පළාත්වල ජර්මන් භාෂාව පමණක් ඉගැන්වීමට කරන ලද නියෝගය පදනම් කර ගනියි. එය ගුරුවරයාගේ අවසන් ප‍්‍රංශ පාඩමයි. ගුරුවරයා පවසන්නේ ”ප‍්‍රංශ ජාතිකයන් වන තමන්ගේ එකම ආරක්‍ෂකයා ප‍්‍රංශ භාෂාව බවත්, මිනිසුන් වහල්භාවයට පත් කරනු ලැබූවද, ඔවුන් තම මව්බස භාවිත කරනතුරු තම සිරමැදිරියේ යතුර අත දරන්නන් වන බවත්’’ ය. එබැවින් මව්බස කිසිදාක අමතක කළ යුතු නැත. ගුරුවරයා විසින් සිසුන්ට දෙන ලද අභ්‍යාසයේ අලංකාර අත්අකුරින් ලියා ඇත්තේ ”ඇල්සාස්, ප‍්‍රංශය, ඇල්සාස්’’ යන්නයි. ගුරුවරයා අවසන්වරට ද සිසුන් තුළ දේශපේ‍්‍රමය නංවාලයි. ගුරුවරයා හුණුකූරක් ගෙන කළුලෑල්ලේ විශාල අකුරින් ලියන්නේ ”ප‍්‍රංශය දිනේවා’’ යන්නයි. සිසිලියානු කවියකු වන බුට්ටිට්ටා 1970 දී ලීවේ ජාතික භාෂාව අහිමි වූ විට ඇති වන ඛේදවාචකය ගැනයි.

එඞ්ගාර් ඇලන් පෝ ගේ ”රතු මරණයේ වෙස්මුහුණ’’ වසංගතයකින් දිවි ගලවා ගැනීමට උත්සාහ කරන පිරිසකගේ ඉරණම පිළිබඳව වෙයි. ”රතු මරණය’’ නම් වසංගතය දේශය විනාශ කරමින් පැතිර යද්දී ප්‍රොස්පෙරෝ කුමරු සිය රටවැසියන්ගෙන් අඩක් පමණ වසංගතයට ගොදුරුවී මියගිය විට රාජ සභාවේ වංශාධිපතීන්, ආර්යාවන්, සුරූපි පුරඟනන් අතරින් දහසක් දෙනා තෝරාගෙන ප‍්‍රත්‍යන්ත දේශයක හුදකලාව පිහිටි මහා මන්දිරයකට පිවිසෙයි. එහි දී මියුරු බොජුන් බුදිමින්, මධුපානයේ යෙදෙමින්, සංගීතයෙන් හා නැටුමින් මන්මත් වූවද ”රතු මරණය’’ ඔවුන්ද වසඟයට ගනියි. වර්තමානයේදී කොවිඞ් වසංගතය රට පුරා ලොව පුරා පැතිර ගොස් මහා ව්‍යසනයක් සිදු කරද්දී දේශපාලකයන්ද, නිලධාරීන් ද, ඊනියා විශේෂඥයන් ද, දිස්ති‍්‍රක් මායිම් නොතකා තම පි‍්‍රයයන්ට කෝවිඞ් එන්නත් ලබාදෙන වෛද්‍යවරුන්ද, රට දිගටම වසා තබන්නැයි ඔල්මාද උපදෙස් ලබාදෙන වෛද්‍ය විශේෂඥයන්ද වසංගතයේ ඵලවිපාක සාමාන්‍ය ජනතාවට පමණක් නොවන දෙයක් බව අවබෝධ කොටගත යුතුය. මේ නිසාම මෙම පරිවර්තනයේ කාලීන වැදගත්කමක් ඇත.

සේන තෝරදෙනිය

'සංතෘප්තිය'  විශිෂ්ට කෙටිකතා පරිවර්තනයක්
advertistmentadvertistment
advertistmentadvertistment