සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ගන්න නීතිපති උසාවියේදී එකඟ වූ සමථයට අනුව රජය කටයුතු කර නෑ – නීතිඥ නුවන් බෝපගේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

57

මේ වනවිටත් ගුරු සේවයේ නිරතව සිටින සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස ගුරු සේවයට අනුයුක්ත කරගන්නා බවට නීතිපතිවරයා පසුගිය ජූලි 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී සමථයක් ඇති කරගත් නමුත් වර්තමාන රජය හෝ එකී සමථකරණය අනුව මේ දක්වා කටයුතු කර නැතැයි පෙත්සම්කාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැසීය.

එම පෙත්සම පෙත්සම්කාර පාර්ශ්වය ගොනු කළ මෝසම් පත්‍රයක් අනුව ඊයේ (03දා) ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එම පෙත්සම පසුගිය ජූලි 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් ගුරු සේවයට අන්තර්ගත කර සිටින සංවර්ධන නිලධාරීන් 25,000කට අධික පිරිස විශේෂ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර සුදුසුකම් සපුරාලන පිරිස ගුරු සේවයට අනුයුක්ත කර ගැනීමට එකඟවූ බවද නීතිඥ නුවන් බෝපගේ මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය. දෙපාර්ශ්වය අතර ඇති කරගත් එකී සමථකරණ කොන්දේසි මත එම පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොගොස් අවසන් කරගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය එකඟවූ බවත් එහිදී සිහිපත් කළ නීතිඥ නුවන් බෝපගේ මහතා එලෙස පොරොන්දු ප්‍රකාරව කටයුතු නොකර දැනට ගුරු සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ට විභාගයක් පවත්වා එම ප්‍රතිඵල අනුව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමට තීරණය කිරීම වැරදිසහගත බවද පැවසීය.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මින් පෙර දෙපාර්ශ්වය අතර ඇති කරගෙන තිබූ සමථකරණය අනුව ඉදිරි පියවර ගන්නේ ද නැති ද යන කරුණු විමසා බැලීම සඳහා එම පෙත්සම ලබන පෙබරවාරි 27 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය. එම සමථකරණය අනුව කටයුතු කරන්නේ ද නැති ද යන කරුණු පැහැදිලි කරන වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට ඊයේ නියෝග කළේය. සංවර්ධන නිලධාරියකු වූ චතුර දේවපුර මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment