සංස්කෘතික අයිතියක් හොයා ගන්න බැරි පුරාවස්තුවල කතාව

95

ඖෂධීය තෙල් වර්ග රාශියක් දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත වෙයි. වසර දහස් ගණනක අත්දැකීම් පාදක කොට ගෙන මැනවින් සකස් කර ගන්නා තෙල් වට්ටෝරු බොහොමයක් වර්තමානයේ දී ද කැඩුම් බිඳුම් වෙදකමේ මෙන්ම සර්ප වෙදකමේ ද යොදා ගනී. එයට අමතරව මන්ත්‍ර මගින් ජප කරන ලද තෙල් වර්ග කීපයක් සුරවලට අඩස්සි කොට ග්‍රහ අපල දුරු කිරීමට ද වශී ගුරුකම් සඳහා මෙන්ම වෙඩි නොවැදීම සඳහා ද යොදා ගත් බව පුරාණ අත්දැකීමකි. හෙණරාජ තෛලය ඉන් එක වට්ටෝරුවකි. ඖෂධීය ශාක වර්ගයන්ගේ යුෂයන්ද කුළුබඩු කල්කයන්ද ඇතැම් විට ඛනිජ වර්ගයන්ද අනුපාතයකට එක්කොට තලතෙල්, කොහොඹ තෙල්, මී තෙල්, දොඹ තෙල්, අබ තෙල්, එළඟිතෙල් සහ පොල් තෙල් මාධ්‍යය තුළ සමපාකයට හිඳ ගැනීමෙන් සකස් කර ගන්නා ලද බෙහෙත් තෙල සම මතු පිට ගෑමෙන් පානය සඳහා දීමෙන් හිස ගැල්වීමෙන් සහ නස්න කිරීමෙන් ලැබෙන විශ්මිත සුවය මෙරට ජනතාව බොහෝ පිරිසක් අත් විඳ ඇත. මෙවැනි ඇතැම් තෙල් වර්ග භාජනයක සුරැකිව දීර්ඝ කාලයක් තබා ගැනීමෙන් තෙලෙහි ගුණය වැඩිවන බවද කියා තිබේ.

පොළව අභ්‍යන්තරයේ යම් වස්තුවක් තැන්පත් කොට ආරක්ෂා කරන්නට යෙදේ නම් එයට පැරණියන් නිධානයක් යයි කියූහ. නිධානයක් යැයි පවසන විට මතකයට නැගෙන්නේ ධනය තැන්පත් කරන ලද ස්ථානයකි. නැතිනම් චෛත්‍යයක ධාතු නිධානයකි. එහෙත් පැරණි නිධන් වදුලු පොත්පත්වල බෙහෙත් නිධානයක් ගැනද සඳහන්ය. ධනය හා සමානව මිහි මත නිධන් කරන්නට තරම් බෙහෙත් වර්ග වැදගත් වන්නට ඇත්තේ ඒවායේ තිබෙන ප්‍රබල ඖෂධීය වටිනාකම හෝ බලය නිසා විය හැකිය.

මෙම ලිපියට ඇතුළත් වන්නේ එවැනි තෙල් වර්ග අඩංගු කර තිබෙන පැරණි ගල් භාජන විශේෂයක් පිළිබඳ විමර්ශනයකි. මෙම ගල් භාජන සියල්ල පැරණි අක්ෂර සහිතව දක්නට හැකිය. ලංකාවේ විවිධ පළාත්වලින් ලැබුණේ යැයි කියැවෙන මෙම තෙල් භාජන බහුතරයක් නිධානවලින් ලබා ගත් ඒවා යැයි දැන ගන්නට හැකිය. මෙවැනි තෙල් බඳුනක ඡායාරූපයක් පළමුවරට දැක ගන්නට ලැබුණේ වසර පහළොවකට පමණ පෙරදීය. ඉතාමත් කුඩා ළපටි ලබුගෙඩියක හැඩය ගත් එය කළු පැහැයෙන් යුක්ත ශිලාමය භාජනයකි. ‘මෙම පුරාවස්තුව ලබා ගත් තැනැත්තා විසින් එය දෙකඩ කර තිබුණි. එම භාජනයේ පිට පැත්තේ කැටයම් කීපයකින් යුක්ත වූ අතර අක්ෂර කීපයක්ද විය.(වගුව 1) මෙම පුරාවස්තුව ලග්ගල ප්‍රදේශයෙන් ලැබුණි යැයි දැන ගන්නට ඇත. මා වෙත ලැබුණ දෙවැනි ඡායාරූපයේ තිබුණ ගල් භාජනය ද පළමු කී ලෙසම නිධානයකින් ලබා ගත්තක් යැයි කියැවුණි. එහිද අකුරු කීපයක් සටහන් කර තිබුණි.(වගුව 2) තෙවෙනි භාජනය විනාශයට පත්නොවුණක් විය. නෙළුම් මලක් එහි මුදුනේ දකින්නට ඇත. අකුරු කීපයක් බඳුනේ පිට පැත්තේ ඔබ්බවා තිබුණි. සිවුවන භාජනය මා හට සියැසින්ම දැක බලා ගන්නට හැකි විය. එය මුලින් සඳහන් කළ භාජනවලට වඩා විශාල විය. හොරොව්පතාන ප්‍රදේශයේ මොරවැව ආසන්නයේ පස් කන්දක් කපා බොරලු ලබා ගන්නා කොන්ත්‍රාත්කරුවකු විසින් ගෙන එන ලද පස් ටිපරයක් තුනී කළ පසු එය ලැබී තිබුණි. ගුරු පැහැයට හුරු ගලෙන් නිමා කර තිබුණි. එහිද අක්ෂර කීපයක් කොටා තිබුණ අතර ප්‍රථමයෙන් දක්නට ලැබුණු භාජන වල අක්ෂරවලට වඩා ඒවා වෙනස් බව පෙනුණි.

දැනට මා සන්තකව පවතින සාක්ෂි මෙපමණ නමුත් රත්නපුර, නිවිතිගල, ඇඹිලිපිටිය ආදී ස්ථානවලින් ද මෙවැනි වස්තූන් ලැබුණු බව අසන්නට ලැබුණි. ඉන් එක් ස්ථානයක යම් ගල් පෙට්ටියක් වැනි දෙයක් වටා භාජන හතරක් පිහිටා තිබී ඇත. එම වස්තු මංජුසාව සොරා ගැනීමට පැමිණෙන අය අවහිර කිරීමට යකුන් බැඳ අඩස්සි කළ භාජන බව පසුව දැන ගන්නට ලැබුණි.

සංස්කෘතික අයිතියක් හොයා ගන්න බැරි පුරාවස්තුවල කතාව

මෙම අපූර්ව පුරාවස්තුවල විශේෂය නම් මේ සියල්ල ශිලාමය නිර්මාණයන් වීමයි. ශිලාමය භාජන පිළිබඳ ඉතිහාසය විමසා බැලීමේ දී මිසර ශිෂ්ටාචාරයට අයත් පිරමීඩවල තැන්පත් කරන ලද ගල් භාජන ගැන දැක්විය හැකිය. ඒවා දැනට කයිරෝ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. ඊට අමතරව ඉන්කා ශිෂ්ටාචාරයට අයත් ගල් භාජන රැසක් කැණීම්වලින් මතුකර ගෙන තිබේ. වසර 4000- 3500 අතර කාලවකවානුවලට අයත් මෙම වස්තූන් අපූර්ව කැටයම්වලින් යුක්තය. මෑතකදී ඕමානයෙන් ලැබුණු භාජන කීපයක් මෙසපොතේමියානු නගරවලට අලෙවි කළ නිෂ්පාදන ලෙසට පුරාවිද්‍යාඥයන් හඳුනා ගෙන ඇත. ඒවාද වසර 3500 කට වඩා පැරණිය. එසේම ජෝර්ජියාවෙහි සැවනා ගං නිම්නයෙහි කැණීම්වලින් හමු වූ නව ශිලා යුගයට අයත් ගල් බඳුන් වසර 4000 ක් පමණි පැරණිය. මෙම ගල් භාජන ගැන ඓතිහාසික යුගයේ තිබෙන විශේෂම අත්දැකීම ලැබෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් නොහොත් නෝර්වේ ස්වීඩන් සහ ඩෙන්මාර්ක් ආදී රටවලිනි. ක්‍රි.ව. 800 සිට 1100 දක්වා කාලය තුළ හැදී වැඩී විකාශනය වුණ වයිකින්වරු මෙවැනි ගල් භාජන භාවිතා කළ බවට ද සාක්ෂි ඇත. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ස්වීඩනයේ දෝලානා නම් ග්‍රාමීය ප්‍රදේශයේ භාවිතා කළ ගල් කැටයම් කලාවයි. ඔවුන් විසින් පුරාණයේ යොදා ගත් විශේෂිත අක්ෂරවලින් කැටයම් කළ මේ සිතුවම් විශාල ප්‍රමාණයක් එහි දක්නට හැකිය. මෙම අක්ෂර ජර්මන් පසුබිමක් යටතේ හැදී වැඩුනක් බවට අක්ෂර විද්‍යාඥයන් දක්වා තිබුණද පෙර දිග බ්‍රාහ්මී අක්ෂ මාලාව ද ලංකාවේ සෙල් ලිපිවල තිබෙන ඇතැම් සංකේත අක්ෂරයන්ට ද තිබෙන සමානකම අමතක කළ නොහැකිය. සැබැවින්ම ගල් භාජන පිළිබඳ මෙවැනි පසුබිමක් ඇතැයි දැක්වීමට කල්පනා කරන ලද්දේ ලංකාවෙන් හමුවුණ තෙල් භාජනයන්හි තිබෙන විශේෂතා විමසන කල්හිය.

තෙල් බඳුන්හි අක්ෂර බ්‍රාහ්මී යනුවෙන් දක්වන අක්ෂර මාලාවට සමානකමක් දක්වන්නේ නැත. මේවා විමසන කල්හි පැරණි පල්ලව අක්ෂරවලට යම් සමානකමක් ඇත්දැයි කල්පනා කළ හැකිය. නමුත් එසේද නැත. පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් විසින් ප්‍රකාශයට පත් කළ යක්ෂ ගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කථාව (2009) නමැති ග්‍රන්ථයේ එන අක්ෂර මාලාවට යම් සමාන බවක් නම් දක්වන බව මෙහිදී දැක්විය යුතුය. යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ පුස්කොළ ලේඛන රැකගත් දම්සරා ශ්‍රී පාලි මේ සම්බන්ධව දක්වන අදහස් කීපයක් ද මෙහිදී දැක්විය යුතුය. මෙහි ප්‍රථමයෙන්ම දක්වන ලද තෙල් භාජනයේ සඳහන් අක්ෂර සටහන (පළමුවන වගුව) ඇයට ඉදිරිපත් කළ කල්හි මෙවැනි පැහැදිලි කිරීමක් කරන ලදි. එය මෙලෙස සටහන් කරමි.

සංස්කෘතික අයිතියක් හොයා ගන්න බැරි පුරාවස්තුවල කතාව

‘යක්ෂ පරපුරේ උරුමය සහ අභිමානය සැබෑ සිතින් අවබෝධ සිතින් බලත්වා. දේවතා මහා රිසි ප්‍රධාන උතිය භව ප්‍රාඋණ (තව ජීවත්වන) කලමුඛ එඬේරාගේ (කපිරු) තාලිගුස විසුක්‍ර (තෙල් හා බේත් ) සලම්බ වික්‍ර හෙයිරා කජිග්‍රිය (පටක වර්ධන) දග්නි (ධාරණ ශක්තිය ) වෛරාලි (උඩින් යෑමට හැකි) යේහෙස (ඇතුළත්) (උත්තබල වෛද්‍යබල රාජ යෝග) අඩංගුය. මේ සඳහා තව්රු (ආදේශ ඖෂධ ඇත) මන්ඨක රිදික මණ්ඨක කෞරාන මණ්ඨක පධාන’මෙහි දෙවැනි වගුවේ අක්ෂරයන්ද මීට සමාන අතර තෙවැනි තෙල් භාජනය මේ දෙකටම වඩා වෙනස් වේ. සිවුවන භාජනයේ ඊතල සලකුණක් සහ අකුරු කීපයක් අඩංගුව ඇත. භාජනයේ අභ්‍යන්තරයේ තිබූ තෙල් වර්ගයේ ශේෂ කොටස් ඝනීභවනය වී තිබූ අතර යම් සුගන්ධයක් වහනය විය. මේවා පරීක්ෂා කිරීමෙන් යම් කාල නිර්ණයක් කළ හැකිය.

මෙම භාජන සියල්ල ගලෙන් හෝ ගල් කුඩුවලින් නිම කර තිබේ. ප්‍රථමයෙන් දක්වන ලද භාජන දෙකම තද කළු පැහැයෙන් දක්නට ඇත. වැස්මක්(පියනක්) නොමැති අතර මෙම භාජනවලට තෙල් අඩංගු කරන ලද්දේ කෙසේදැයි පැහැදිලි නැත. තෙවැනි භාජනයේ සහ සිවුවන භාජනයේ නෙළුම් මල කැටයම් කර ඇති බැවින් චෛත්‍ය නිධානයක කොටසක් විය හැකිය. ජාත්‍යන්තර තලයේ කැණීම්වලින් ලැබී තිබෙන ගල් භාජනයන් (Soap stone) යැයි ද කැටයම් සහිත භාජනයන් (carved stone) යැයිද දක්වා ඇත. ලංකාවේ නිල්දණ්ඩාහීන්නෙන් හමුවන නීල ගරුඬ පාෂාණය එවැනි ගල් විශේෂයකි. ඉන් සැදූ බුදු පිළිම චීනයට පවා යවා තිබේ.

මධ්‍ය ශිලා යුගයෙන් පසුව ලංකාවේ නව ශිලා යුගය මීට වසර 8000 ක පමණ සිට ආරම්භ වන්නේ යැයි කියති. හෝර්ටන්තැන්නෙන් ලැබුණු ධාන්‍යවලින් මෙන්ම මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් බලන්ගොඩ නිම්නයේ කරන ලද කැණීම්වලින් ලබා ගත් ධාන්‍යවල අවශේෂයන්ගෙන් ඒ බැව් සනාථ වී තිබේ. මේ සංස්කෘතිය ලෝකයේ නව ශිලා යුගය හා සැසඳිය නොහැකිය. වල් වී වර්ග සහ ධාන්‍ය වර්ග ගෘහස්ථ කරණය කර ගනිමින් ක්‍රමයෙන් ගොවිතැන ජීවන වෘත්තියක් බවට පත් කර ගත් මෙම ස්වදේශිකයන් ගැන තොරතුරු මේ ගවේශනවලින් හෙළිවේ. ඔවුහු ගලින් කරන ලද නොයෙකුත් නිර්මාණ යොදා ගෙන තිබුණි. හල්දුම්මුල්ල හුණුගලාගල ලෙනෙන් හමු වූ ශිලාමය අවශේෂ මගින් ඒ බැව් සනාථ වේ. බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදු වූ අවස්ථාවන්හිදී යක්ෂ නාග ජන කොටස් මෙරටේ දිවි ගෙවා තිබේ. මෙවැනි පසුබිමක සිට අපගේ ප්‍රස්තූතය වන ගල් භාජන පිළිබඳ සැබෑ සංස්කෘතිමය පසුබිම් හඳුනාගන්නට හැකියැයි සිතමි. ගල් භාජනවල තිබෙන අක්ෂර කියවා දැන ගන්නට යම් උත්සාහයක් හෝ ගනු ලැබූවේ දම්සරා ශ්‍රී පාලි. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙවැනි භාජන පුරාවස්තු ලෙසට සලකනු නොලැබේ. පසුගිය කාලයේ නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක් වූ මෙවැනි පුරාවස්තු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් වී ඇත. අවාසනාවකට මේ පරීක්ෂාවන් නිසි පරිදි සිදු නොවීම නිසා එකදු වස්තුවක්වත් මේ වන තෙක් දෙපාර්තමේන්තුවට ලැබී නොමැති යැයි සිතමි. මේ නිසා මේ සම්බන්ධව කළ හැකි ශාස්ත්‍රීය ගවේශනයන්ද අඩපණව තිබේ.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment