සංස්කෘතික ජීවිතයකට අවකාශය අඩුයි…. ඒ වරප‍්‍රසාදය තියෙන්නේ එක්තරා සමාජ පන්තියකට විතරයි

413

වසර විශිෂ්ටතම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත් සුමුදු නිරාගී සෙනෙවිරත්න

දූල්වල අලංකාරේ, නවකතාව පිණිස 2016 වසර විශිෂ්ටතම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත් සුමුදු නිරාගී සෙනෙවිරත්න ඉන් අනතුරුව, ගිහින් එන්න කානිවල්, කෙටි කතා සංග‍්‍රහය රචනා කරමින් 2017 වසර හොඳම කෙටිකතා සංග‍්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය හා රජත පුස්තක සම්මාන හිමිකර ගන්නා ලදී. මෙවර (2020) හොඳම කෙටිකතා සංග‍්‍රහයට හිමි රජ්‍ය සාහිත්‍ය සම්මානය ඇය විසින් රචනා කරන ලද, සිතුවමෙන් නෙරපු කිඳුරෙක්, කෙටිකතා සංග‍්‍රහයට හිමිවිය.

පහත පළ වන්නේ සම්මානනීය ලේඛිකාවක් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන සුමුදු නිරාගී සෙනෙවිරත්න, අකුරු දිගේ, සාහිත්‍ය අතිරේකය හා එක්වෙමින් සිදුකරන ලද පිළිසඳරක්ය.

සංස්කෘතික ජීවිතයකට අවකාශය අඩුයි....  ඒ වරප‍්‍රසාදය තියෙන්නේ එක්තරා සමාජ පන්තියකට විතරයි

ප‍්‍රශ්නය: වරක් හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍යය සම්මාන දිනාගන්නා ඔබ මෙවර ඒ සමත්කම කෙටි කතාව හරහා දක්වන කෙටි කාල පරාසයක් තුළ සාහිත්‍ය ශානරයන් දෙකක් ඔස්සේ අත්පත් කරගත් එම ජයග‍්‍රහණයන් පිළිබඳව දැනෙන හැඟීම කෙබඳුද?

මගෙන් නිතරම වගේ අහන ප‍්‍රශ්නයක් මේ. මට ඉතාම සතුටුයි ඒ ගැන. තමන්ගේ නිර්මාණ ඇගැයීමට ලක් වීම සතුටක්.

ප‍්‍රශ්නය: ඔබගේ මව මෙරට කාන්තා පරපුර නියෝජනය කරමින් නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවක්. ඇයගෙන් ඔබේ නිර්මාණ දිවියට ලැබෙන ආලෝකය මොන වගේද?

අම්මා ලියන්නේ ඓතිහාසික නවකථා. ඒ ඇයගේ කැමැත්ත. ඇය වඩාත් රුචි කරන ක්‍ෂේත‍්‍රය තමයි ඉතිහාසය. එබ`දු නවකථාවලට කැමති පාඨකයන් විශාල පිරිසක් ඉන්නා බවත් පෙනෙනවා. අපි දෙන්නා ලියන ආකාරය එකිනෙකට වෙනස්. මගේ පළමුවන පාඨකයා අම්මා. එකිනෙකාගෙ ලිවීම් ගැන සංස්කරණ යෝජනා කෙරෙන අවස්ථාත් තියෙනවා. හැබැයි ඒ යෝජිත සංස්කරණ සිදුවෙන්නේ එකිනෙකාගෙ අනන්‍යතාවට හානියක් නොවෙනවා නම් විතරයි. ලේඛනයේ යෙදෙන තව කෙනෙක් පවුලේ ඉන්න එක නිසා යම් යම් පහසුවක් සැලසෙනවා වගේම දිරිගැන්වීම් ලැබෙන බවත් කියන්න ඕනෙ.

ප‍්‍රශ්නය: කෙටිකතාවල නවකතාව කියන සාහිත්‍ය ශානරයන් ගත් විට ඔබ වඩාත් හෘදයංගම බවක් දක්වන්නෙ කුමකටද?

සංස්කෘතික ජීවිතයකට අවකාශය අඩුයි....  ඒ වරප‍්‍රසාදය තියෙන්නේ එක්තරා සමාජ පන්තියකට විතරයි

සාහිත්‍ය සමාජය මාව හදුනාගන්නේ නවකථාවකින්. මම මේ වන විට එක් නවකථාවකුත් කෙටිකතා සංග‍්‍රහ දෙකකුත් ලියා තියෙනවා. මට හැෙගන්නේ කෙටිකතා රචනයට මම වඩා කැමති බවක්. මං උත්සාහ ගන්නේ රූපකමය ප‍්‍රකාශනයක් විදිහට කෙටිකතා ලියන්නයි. එතැනදි කෙටිකතා රචකයා කරන්නෙ බාහිර ලෝකයත් එක්ක කිසියම් රූපකමය සම්බන්ධතාවක් ගොඩනැංවීම. මට ඒක විනෝදජනක කාර්යයක් විදිහටයි හැෙ`ගන්නෙ. ඒ වගේම, කෙටිකතාවෙන් කෙටිකතාවට විවිධ අත්දැකීම්, විවිධ මිනිස්සු, විවිධ සංස්කෘතීන් මුණගැසෙන එකටත් මම පි‍්‍රයයි.

ප‍්‍රශ්නය: නවීන කෙටිකතාකරුවන් විසින් අද්‍යතන කෙටිකතාව වර්ධනීය තත්ත්වයක් දක්වා ඔසවා තැබීම පිණිස යම් යම් නිර්මාණාත්මක අත්හදා බැලීම් සිදුකරමින් පවතිනව. එම පරපුර නියෝජනය කරන ලේඛිකාවක් ලෙස ඔබ ඒ කාරණය හා එකඟ ද?

එකගයි. කෙටිකතාව කියන්නෙම විවිධ අත්හදා බැලීම්වලට ලේඛකයන්ව පොළඹවනසුලූ ආඛ්‍යාන මාදිලියක්. ඒ නිසා කෙටිකතා කලාත්මක වශයෙන් ඉතා බහුවිධයි. විචිත‍්‍රයි. දැනට ඉන්නා වැඩිහිටි පරම්පරාවේ කෙටිකතාකරුවන් මේ වන විට සිංහල කෙටිකතාව ඉතා ඉහළ තලයකට නංවලා අවසන්. ඒ නිසා ආධුනිකයන් පිවිසෙන්නේම ජ්‍යෙෂ්ඨයන් විසින් විශිෂ්ටත්වයට නංවන ලද අඩවියකට. ඒක ඔවුන්ට අත් වන පහසුවක් විදිහටයි මම දකින්නේ. ජ්‍යෙෂ්ඨ පරපුරේ කෙටිකතා අවබෝධයෙන් යුතුව කියැවීමම කෙටිකතා කලාව ඉගෙන ගන්නා කෙනකුට හොද අභ්‍යාසයක්. ආධුනික කෙටිකතා රචකයනුත් ස්වාධීනව විවිධ අත්හදාබැලීම් කරන බව ඔවුන්ගේ කෙටිකතා කියවන විට පෙනෙනවා.

ප‍්‍රශ්නය: මෙවර රාජ්‍ය සම්මානයට පාත‍්‍ර වූ ඔබගේ කෘතිය, සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්, කෙටිකතා සංග‍්‍රහය එම නිර්මාණාත්මක අත්හදා බැලීම් පිණිස යොදාගත් වැඩ බිමක් ද?

ඔව්. දැන් කලින් ප‍්‍රශ්නයකට දීපු උත්තරයේදී මම කිව්වනෙ කෙටිකතාවක් කියන්නෙ රූපකමය ප‍්‍රකාශනයක් කියලා. ඒ විදිහට මගේ කතාව සහ බාහිර සමාජය අතර රූපකමය සම්බන්ධයක් ගොඩනගන්න උත්සාහ කළ කතා කිහිපයක්ම මේ කෙටිකතා සංග‍්‍රහයේ තියෙනවා. ඒ වගේම නූතන සමාජයේ අත්දැකීම් ඉදිරිපත් කිරීමේදී ජනශ‍්‍රැතිය යොදා ගත හැකි ආකාරය ගැනත් මම මේ කෘතියේදී අත්හදාබලා තියෙනවා.

ප‍්‍රශ්නය: සාහිත්‍ය කෘතීන් පිණිස සම්මාන ප‍්‍රදානය කිරීමට සමගාමීව නිර්මාණකරුවන් වෙත මූල්‍ය ප‍්‍රධානයන් සිදු කිරීමේ නතාවයක් දකින්නට ලැබෙනව. මේ තත්ත්වය තුළ නිර්මාණාත්මක තරගකාරිත්වයක් ඉස්මතු වෙමින් පවතිනව. ගුණාත්මක අතින් පොහොසත් නිර්මාණ බිහිවීම පිණිස මේ කියන තරගය බාධාවක් නොවෙයි ද?

මේ කාරණයේ පැති කීපයක් තියෙනවා. විවිධ තරගවලින් නර්තනය හා ගායනය වැනි ප‍්‍රාසාංගික කලා ඉතා ඉහළට ඔසොවලා සාහිත්‍යය විතරක් පසෙකට තල්ලූවෙලා තිබුණු අවධියක කැපී පෙනෙන ත්‍යාග මුදලක් සාහිත්‍යයටත් හිමි වීම වටිනවා. සාහිත්‍යයේ හෝ වෙනත් කලාංගයක හෝ විශිෂ්ටත්වය සමාජයට දැනෙන්න ඕනෑ හුදෙක් මූල්‍යමය තල්ලූවක් නිසා නෙවෙයි කියන කාරණයත් මම පිළිගන්නවා. ඒත් මේ ගෙවෙන්නේ අපේ සංස්කෘතික ජීවිතයට බලපාන බොහෝ අංග ජනමාධ්‍ය හා ප‍්‍රචාරණය මගින් හසුරුවන අවධියක්. හැබැයි, තමන් ලියන පොත්වල ගුණාත්මකබව අඩු වෙනවා නම් ඒකෙ වගකීම යන්නෙ ලේඛකයාට බවයි මගේ අදහස.

ප‍්‍රශ්නය: වත්මන් ලෝක සාහිත්‍යය ගත් විට දකින්නට ලැබෙන නව ප‍්‍රවණතාවයන් සමග සංසන්දනය කිරීමේදී ඊට සාපේක්ෂව මෙරට නවකතාවල කෙටිකතාව ස්ථානගත වන, තැන, පිළිබඳව සම්මානනීය ලේඛිකාවක් ලෙස ඔබ තෘප්තිමත්ද?

රටක සාහිත්‍යය සහ කලාව ආශි‍්‍රතව නව ප‍්‍රවණතා බිහි වෙන්න අදාළ ලේඛකයන්ගේ කුසලතා විතරක්ම නෙවෙයි නිදහස් චින්තනයට හා අත්හදාබැලීම්වලට ලැබෙන ඉඩකඩ හා ඔවුන්ට හිමි වන අවස්ථා යනාදියත් හේතු වෙනවා. වෙනස් වීම පරිහානියට කාරණයක් විදිහට දකින සමාජවල නව ප‍්‍රවණතා දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. පුද්ගලයෙක් තුළ නිදහස් චින්තනය වර්ධනය වෙන්නෙ ක‍්‍රමයෙන්. ඊට ඒ පුද්ගලයා ලබන අධ්‍යාපන ක‍්‍රමයේ ස්වභාවයත් බලපානවා. ස්වාධීන චින්තනයට ඉඩක් නැති, ලකුණු ලැබීම පමණක් අරමුණු කරගත් රාමුගත අධ්‍යාපන ක‍්‍රමයකින් නිදහස් චින්තනයක් ඇති අය බිහිවෙන්නෙ නෑ. ඒ සියල්ල මධ්‍යයේ මෙරට ප‍්‍රබන්ධ සාහිත්‍යය තුළ සිදු වන නව ප‍්‍රවණතා ඉතා වැදගත්.

ප‍්‍රශ්නය: මෙරට පාසල් පද්ධතියේ සිට විශ්වවිද්‍යාල පද්ධතිය දක්වා පොදුවේ ගත් කල වත්මන් ශිෂ්‍ය ප‍්‍රජාව කලාවල සාහිත්‍යය ආදියෙන් ඈත් වෙන ආකාරයක් දකින්නට ලැබෙනව. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ලංකාවේ සංස්කෘතික ජීවිතයකට පවතින අවකාශය අඩුයි. ඒ වරප‍්‍රසාදය තියෙන්නේ එක්තරා සමාජ පන්තියකට විතරයි. මම දකින විදිහට සාහිත්‍යය හා කලාව අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයේ අංග බවට පත් වෙලා නෑ. පවුලේ අය එකතු වෙලා චිත‍්‍රපටයක් හෝ නාට්‍යයක් බලන්නට යෑම සිදු වෙන්නේ කලාතුරකින්. ඊට ආර්ථීක දුෂ්කරතාත් බලපානවා. විෂයයක් විදිහට වාදනය හා ගායනය ඉගෙනගන්නා අයගෙන් කීයෙන් කී දෙනාද තමන්ගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ ගායනයේ හෝ වාදනයේ යෙදෙන්නෙ? පවුලේ සාමාජිකයන්ව පිනවීම සඳහා ඒ කාර්යයේ යෙදෙන්නෙ? ඒවා හුදෙක් අධ්‍යාපනය ලැබීමේදී විභාගය සමත් වීම ස`දහා දැනගත යුතු දේවල් බවට විතරක් පත් වෙලා තියෙනවා. වර්තමාන ශිෂ්‍ය ප‍්‍රජාව සාහිත්‍ය කලා සඳහා පොදුවේ දක්වන අඩු නැඹුරුව දිගු කාලයක් තිස්සේ මේ රටේ බලපැවැත්වුණු සමාජ ආර්ථීක කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක්. විශ්වවිද්‍යාලයක් කියන්නේ විශේෂ සංස්කෘතික අවකාශයක්නෙ. ඒ තුළ සංස්කෘතික ජීවිතයකට ඉඩ තියෙනවා. ඒත් ඒ කි‍්‍රයාකාරකම්වල යම් අඩුවක් තියෙනවා තමයි. හැබැයි තාමත් පේරාදෙණියෙ නා්‍යයක් පදර්ශනය කරනකොට ‘වළ’ පිරෙනවා. අපේ රටේ ඇතැම් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ආශි‍්‍රතව මේ වෙනකොට පැාසජ්ක යමප්බසඑසැි අධ්‍යයනාංශ ආරම්භ කරල තියෙනවා. සාමාන්‍ය පෙළින් පස්සෙ සාහිත්‍ය කලා විෂයයන් බොහෝ දුරට අතහැරෙන පාර්ශ්වයක් වෙනුවෙන් ඒ ප‍්‍රවේශය ඉතා වැදගත්.

ප‍්‍රශ්නය: මෙරට පවතින සාහිත්‍ය අවකාශය කියන්නේ ජනපි‍්‍රය ධාරාවේ සාහිත්‍යාංගයන් ගෙන් පමණක් පිරී පවතින තැනක්. එවැනි තත්වයක් තුළ විරෝධාකල්ප සාහිත්‍යට හිමි විය යුතු වේ. අවකාශය අහිමි වෙමින් පවතිනව. වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීම පිණිස එය බාධාවක් නොවේ ද?

මේ ප‍්‍රශ්නයේ කරුණු කිහිපයකටම මම එකග නෑ. මුලින්ම, නූතන සාහිත්‍යයේ තියෙන්නේ ජනපි‍්‍රය ධාරාව පමණයි කියන කාරණය. ඕනෑම රටක පාඨක සමාජය විෂමයි. ඔවුන්ගේ රුචි අරුචිකම් විවිධයි. ඒ නිසා සමහරු සරල රසවින්දනයකට කැමති පිරිසට ලියනවා. තවත් අය සාහිත්‍යය ගැන, නූතන ප‍්‍රවණතා ගැන ශාස්ත‍්‍රාලීය දැනුමක් තියෙන, පුළුල් සාහිත්‍යයික කාර්යක්ෂමතාවක් ඇති අයට ගැළපෙන විදිහට ලියනවා. මේ කොයි සමාජ මට්ටමටත් ගැළපෙන තල සාහිත්‍යයක තිබීම අවශ්‍ය බවයි මගේ අදහස. දෙවැන්න, විරෝධාකල්ප සාහිත්‍යය වඩා යහපත් සමාජයකට හේතු වෙනවා කියන කරුණට මම එකග නෑ. කුමන ආකාරයේ සාහිත්‍යයක් හෝ සමාජය යහපත් කරන සෘජු මෙවලමක් විදිහට යොදාගන්න බැරි බවයි මගේ අදහස. මොකද සාහිත්‍යයේ ප‍්‍රායෝගික ප‍්‍රතිඵල නිශ්චිතව දක්වන්න අපහසුයි. අනෙත් කාරණය තමයි තේමාත්මකව මුවහත් සාහිත්‍ය කෘතියක් කියන්නේම පවතින සමාජය කෙරෙහි දක්වන විරෝධයක් තමයි. ඒ වගේ මුවහත් නිර්මාණයකින් කරන්නේ සමාජය ඇතුළේ ඝනීභූත වෙලා තියෙන විවිධ අහිතකර දෘෂ්ටිවාද ප‍්‍රශ්න කරන එක. ඒක බොහොම සංයමයෙන් දක්වන විරෝධයක්.

සාකච්ඡා කළේ
රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment