දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවැති සිවිල් යුද්ධයෙන් හානි වූයේ ලංකාවේ භෞතික පරිසරයට පමණක් නොවේ. බහුජාතික බහුආගමික ජන ප්‍රජාවක් ලෙසින් පැවැති වාර්ගික සමගියට ද ඉන් වූ හානිය අතිමහත් ය. සමාජ විද්‍යාඥයන් යුද්ධයක අවසානය බහුත්වවාදී ලෙස ජාතිය ගොඩනැඟීමට අවස්ථාවක් ලෙස සැලකුව ද ලංකාවේ එය තවමත් නිම නොවූ ගැටලුවකි. එවැනි පරිසරයක අතීතයේ පැවැති බහුත්වවාදී එකමුතුවක් ගැන අලුත් වටයකින් සාකච්ඡා කළ හැකි නම් එය සාමකාමී බහුත්වවාදී සමාජයකට ද පදනමක් වනු ඇත. මේ අපූරු එකමුතුව අපට හමුවූයේ මඩකලපුව, බාර් රෝඩ් හි පිහිටි සිංහල මහා විද්‍යාලය නමැති පාසල මුල්කරගෙන නිසා එය සෘජුවම ප්‍රකාශනයේ නිදහස සමග ද සම්බන්ධ වන තේමාවකි.
සංහිඳියාව ගැන කතා කිහිපයක්
“අපේ උසස් පෙළ පන්තියේ සේරම ළමයි 20 ක් විතර හිටියා. සිංහල ළමයි හිටියෙ 8 – 10 ක් වගේ තමයි. අනික් ළමයි දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ජාතීන්වල. අපි හිටියේ ලොකු බැඳීමකින්. මට මතකයි මඩකලපුවේම වෙනත් පාසල් සමග අන්තර් පාසල් ක්‍රීඩා තරග පැවැත්වෙනකොට ද්‍රවිඩ පාසලක පිරිමි ළමයි අපේ ළමයින් සමග ගැටුමකට ආවා. ඒ වෙලාවේ අපේ පාසලේ සිංහල ළමයෙකුට ඒ පාසලේ ද්‍රවිඩ ළමයෙක් පහර දුන්නා. එතකොට ඒ ද්‍රවිඩ ළමයාට පෙරළා පහර දුන්නේ අපේ පාසලේ ද්‍රවිඩ ළමයෙක්. ඒ කාලයේ අපේ සිත්වල තිබුණේ අපි එක පාසලේ ඉන්න සහෝදර පිරිසක් කියන බැඳීම මිසක් අපි අර ජාතියේ, මේ ජාතියේ කියන හැඟීමක් නෙමෙයි. පසුකාලීනව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කලබල වැඩිවෙලා අපේ ජයන්තිපුර, විජිතපුර සිංහල ගම්මානවල ජනතාව කොටින් විසින් සමූල ඝාතනය කළාට පස්සේ අමාරුවෙන් පණ බේරාගෙන මඩකලපුවෙන් ඇවිත් අපි ගම්පහ තිබුණු තාත්තගේ ඉඩමක පොඩි ගෙයක් හදාගෙන නතර වුණා. අපිට මඩකලපුවේ අයිතිව තිබූ ඉඩකඩම් කිසිම දෙයක් දැන් අපිට නෑ.”
මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ගම්පහ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මල්ලවාරච්චිගේ සිසිර කුමාර මහතා සිංහල මහා විද්‍යාලයේ අතීත යටගියාව සිහිකළේ ඒ අයුරිනි. ඔහුට උසස් පෙළ අකුරු කිරීමට සිදුවුණේ 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බලය පිහිටුවීමත් 1983 කළු ජූලියත් අතර කාලයයි.
“ඒ කාලයේ පිට පළාත්වලින් මේ ඉස්කෝලෙට ආපු සමහර ගුරුවරු ඉස්කෝලේ ගුරු නිවාසයේත් ඉස්කෝලේ ළඟම තිබුණු චමරියකත් නතර වෙලා හිටියා. මම උසස් පෙළට කළේ කලා විෂයන්. ටියුෂන් නැති ඒ කාලේ විභාග ළංවෙද්දී අපේ ගුරුවරු නිවාඩු කාලයටවත් ගමේ යන්නෙ නැතුව චමරියේම නතර වෙලා ඉඳගෙන අපට හවස පන්ති දාලා නොමිලේම ඉගැන්නුවා. මම උසස් පෙළ හොඳින්ම සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ අතරේ උසස් පෙළ විභාගය කරලා මාස දෙකක්වත් යන්න කලින් මට වාලච්චේන, පියාවඩ්ඩුවාන් සිංහල කනිෂ්ඨ විද්‍යාලයට සහතික නොලත් උපගුරු පත්වීමකුත් ලැබුණා. මම රැකියාව කරමින්ම උපාධියත් අරගෙන ඒ අතරේ අධ්‍යාපන පරිපාලන විභාගයත් සමත් වුණා.”
වාර්ගික සාමය සම්බන්ධයෙන් වූ ගමනේදී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ද වෙනත් වාර්ගිකයන්ගේ ජීවිතවලට නොමඳව බලපෑවේය. ඒ සම්බන්ධයෙන් සෙසු ජාතිකයන් තුළ එකල පැවැති විශ්වාසය කෙබඳුදැයි අපට දැනගැනීමට ලැබුණේ බර්ගර් ජාතික ආදි සිසුවියක වූ සිවා අවුට්ස්කූන්ගෙනි. සිංහල මහ විදුහලේ අතීත මිත්‍ර සන්ථවය මෙන්ම සිංහලෙන් ඉගෙන ගැනීමට සිදුවීමේ විශ්වාසයේ පදනම ගැන ද ඇගේ තිබුණේ මිශ්‍ර අදහසකි.
“අපි බර්ගර් නිසා අපේ පවුල්වල හැමෝම භාවිතා කළේ ඉංග්‍රීසි භාෂාව. අපි ඉපදුණේ හැදුණේ වැඩුණේ මඩකලපුවේ. මේ පළාත්වල රජයේ සහ බැංකුවල රැකියා හැරුණු විට පෞද්ගලික අංශයේ රැකියා තිබුණේ නෑ. රජයේ රැකියාවක් කරන්න නම් අනිවාර්යයෙන්ම සිංහල භාෂාව ඉගෙන ගත යුතු වුණා. ඒ නිසා තමයි මගේ පියා අපව සිංහල මහා විද්‍යාලයට ඇතුළත් කළේ. සිංහල භාෂාව ඉගෙන ගන්න සිංහල ඉස්කෝලෙකට අපිව ඇතුලත් කරපු අනික් ලොකුම හේතුව තමයි රැකියාවක් කළා හෝ නැතුව හෝ මේ සිංහල රටේ සිංහල භාෂාව දැන සිටීම අනිවාර්යයෙන් විය යුත්තක් ලෙස මගේ පියා විශ්වාස කිරීම. ඒ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ඇත්තටම මඩකලපුව සහ ඒ අවට ප්‍රදේශවලට දෙමළ භාෂාව දැන සිටීම ප්‍රමාණවත්. නමුත් පොළොන්නරුවට සහ ඉන් එහාට ගියොත් ඒ ප්‍රදේශවල ජීවත් වන්නේ සිංහල ජනතාව. සිංහල භාෂාව නොදැන සිංහල රටේ ජීවත් වීම අසීරු දෙයක්. අද මම ගොඩක් සතුටු වෙනවා මට සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට හැකිවීම ගැන”
ජාතියකම ළමයි
එකල පත්වීමක් ලැබ පාසලකට එන ගුරුවරයා විවාහකයකු නම් මේ ගමන සිදුවන්නේ බොහෝවිට ඔවුන්ගේ පවුල ද සමග ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ ගුරු පවුලේ දරුවන් ද ඒ පාසලේම අකුරු කිරීමය. 1980 – 1983 දක්වා මෙම පාසලේ විදුහල්පති ධූරය දැරූ යූ. සුමනසේන මහතා ද එසේ තම දරු තිදෙනා ද සමග මේ පාසලේ ගුරු නිවාසයේ නතර වී සිටියේය. ඔහුගේ බිරිඳ එවකට මඩකලපුව රෝහලේ හෙද නිලධාරිනියකි. සුමනසේන මහතාගේ වැඩිමහල් පුත් ෂම්මි 1980 දී මෙම පාසලේ දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර තිබිණි.
“ගුරු නිවාසය තිබුණේ පාසල කෙළවරේ. අපේ පන්තියෙත් හැම ජාතියකම ළමයි ඉගෙන ගත්තා. දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි හැමෝම එකට හිටපු නිසා අපිට දෙමළ වගේම ඉංග්‍රීසිත් කතා කරන්න හැකියාව ලැබුණා. මම කොච්චර හොඳට දෙමළ කතා කළාද කිව්වොත් මම දිගටම දෙමළ භාෂාවෙන්ම කතා කරයි කියලා මගේ මවුපියන් තුළ ලොකු සැකයක් පවා ඇතිවී තිබෙනවා. හරි ආසාවෙන් මම ඒ පාසලේ ඉගෙන ගත්තත් 83 අවුරුද්දේ දකුණේ ජාතිවාදී කලබල ඇතිවෙන කොට තාත්තයි අම්මයි මාරු වීම් අරගෙන අම්බලන්ගොඩ පදිංචියට ආවා. ඒ නිසා මට දිගටම මඩකලපුවේ සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න තිබුණු අවස්ථාව අහිමි වෙලා ගියා.”
කළු ජූලිය නිසා ෂම්මිලා දකුණට පැමිණි අයුරින්ම දකුණේ සිටි අහිංසක දෙමළ ජනයාට උතුරට පලායන්නට සිදුවිය. වසර 41කට පසු හෝ මේ මතකයන් ඔස්සේවත් අපට නැවත ඒකාබද්ධ විය හැකි නම් එය කොපමණ අගේද? කළු ජූලිය නිසා සිංහල දරුවන් පාසලෙන් බැහැර වූ අයුරින්ම එල්.ටී.ටී.ඊ. යේ නැගීම සමග සිංහල මහා විදුහල ද ක්‍රමයෙන් අභාවයට ගියේය. විද්‍යාලය 1986 වසරේදී වැසී යන විට පවා දහස ඉක්ම වූ සිසු සිසුවියෝ පිරිසක් එහි අධ්‍යාපනය ලැබූහ. සෑම ශ්‍රේණියකම පන්ති දෙක බැගින් තිබූ අතර එම පන්තිවලට සරිලන පරිදි සෑම විෂයක් සඳහාම ගුරුවරුන්ගෙන් ද අඩුවක් නොවිණි.
සිංහල මහා විදුහලින් සිප්සයුර තරණය කර ජාතිභේදයකින් තොරව ඉණිමගේ ඉහළට ගිය පිරිස් ගැන අපට කීවේ සිංහල මහා විද්‍යාලයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය භාර ගුරුවරයා ලෙසින් සේවය කළ දැනට කැනඩාවේ ජීවත්ව සිටින ජේ. එම්. සිරිතිලක මහතාය. ඔහුගේ බිරිඳ ඉන්ද්‍රා ආරියසීලි ලියනගේ ද සේවය කළේ එහිම ගුරුවරියක ලෙසිනි.
“නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුර හෙබ වූ චාමස් රාගල් කියන්නේ සිංහල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවෙක්. දැනට කැනඩාවේ ඉංජිනේරුවකු ලෙසින් සේවය කරන රොඩ්නි ගිලීමාත් සිංහල විදුහලේ සාමාන්‍ය පෙළ සමත් වනතුරුම මූලික අධ්‍යාපනය ලැබුවා. දැන් ඔස්ටේ්‍රලියාවේ ජීවත් වෙන රයන් බාට්ලට් සිංහල මහා විද්‍යාලයෙන් 85 අවුරුද්දේ උසස් ලෙස සාමාන්‍ය පෙළ සමත් වූ සිසුවෙක්. මේ තුන් දෙනාම බර්ගර් ජාතික දරුවන්. සිංහල මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වූ විග්නේෂ්වරදාසන් කාලිදාසන් පසුකලෙක උසස් අධ්‍යාපනය හදාරා කැනඩාවේ ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කළා. අපේ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වූ වෙබ්ස්ටර් සෙලර් ද ඉංජිනේරුවරයෙක්. මේ සියලුම දරුවන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා සිංහල මාධ්‍යයෙන්ම සාමාන්‍ය පෙළට මුහුණ දුන්නු දරුවෝ. මේ හැරුණු විට තවත් විශාල පිරිසක් ගුරු, ලිපිකරු, ආරක්ෂක අංශය වැනි වෘත්තීන්වල ඉහළටම ගියා. කොළඹ නාලන්දා විද්‍යාලයේ උප විදුහල්පතිවරයකු වූ ඊ.එම්.ඩබ්ලිව්. ප්‍රේමරත්න කියන්නේ අපේ පාසලේ හිටපු සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් දිනාගත් දක්ෂ ක්‍රීඩකයෙක්.”
අතීත ජයග්‍රහණ සහ සැඟවුණු ඛේදවාචක
සිරිතිලක මහතාගේ කතාවේ අතීත ජයග්‍රහණ මෙන්ම සැඟවුණු ඛේදවාචකයක් ද විය. අප එය මෙහි සඳහන් කරන්නේ අතීත තුවාල පෑරීමට නොව ඔවුන්ගේ භාව විරේචනයටත් ඉඩ දිය යුතු නිසා ය.
සිරිතිලක මහතාගේ බිරිඳ වූ ඉන්ද්‍රා ආරියසීලි මහත්මියගේ බාල සොයුරිය රේණුකා කුමාරසීලි ද එකල අධ්‍යාපනය ලැබුවේ සිංහල මහා විදුහලෙනි. මේ දෙදෙනාගේම පියා වූ මාටින් මුදලාලි යනු එකල මඩකලපුවේ නම් දැරූ ව්‍යාපාරිකයෙකි. මාටින් මුදලාලි රේණුකා ද ඇතුළුව ගැහැනු දරුවන් හතර දෙනකු ගේ සහ පිරිමි දරුවන් හතර දෙනකුගේ පියා විය. ඒ දරුවන්ගෙන් හය දෙනෙක්ම අධ්‍යාපනය ලැබුවේ සිංහල මහා විද්‍යාලයෙනි. 1987 ඔක්තෝබර් 6 දා මාටින් මුදලාලිගේ නිවසට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් ඔහුගේ බිරිඳත්, වැඩිමහල් දියණියන් දෙදෙනා සහ නිවසේ මෙහෙකාරියත් ඝාතනය කරනු ලැබ ඇත. (විශ්‍රාමික ගුරු සිරිතිලක මහතා විවාහ වී සිටි ඉන්ද්‍රා ආරියසීලි ද මෙහිදී ඝාතනය විය) දිවි බේරාගත් දියණියන් දෙදෙනාත් සමග සිරිතිලක මහතා දැන් ජීවත් වන්නේ කැනඩාවේ ය.
සිංහල මහා විද්‍යාලයේ එකල සෑම වසරකම වෙසක් භක්ති ගීත, වෙසක් සැරසිලි පැවැත් වූ බව කීවේ බර්ගර් ජාතික මිනෝන් බාතෙලෝය. විශ්‍රාමික ගුරුවරියක වන මිනෝන් ද එහි ආදිසිසුවියකි. ඇය පවසන්නේ සිංහල මහා විද්‍යාලය සහ ශාන්ත මයිකල් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මෙතෝදිස්ත විද්‍යාලය, ශාන්ත සිසිලියානා කන්‍යාරාමය ආදී වශයෙන් මඩකලපුවේ සියලු පාසල් එක්ව වාර්ෂිකව සැමරූ නිදහස් උත්සවයක් මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ බවයි.
1986 වසරේදී වසා දැමුණු මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ වුණේ 2023 අප්‍රේල් 27 වෙනිදා ය. ඒ, එවකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියව සිටි අනුරාධා යහම්පත් මහත්මියගේ අතිනි. මේ පිටුපස ඇති කතාව මා සමග පැවසුවේ සිංහල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ වයි. ජී. යූ. පී. හේමන්ත මහතා ය.
“මම මගේ බිරිඳ සමග පෞද්ගලික වැඩකට ආණ්ඩුකාරතුමිය මුණගැහෙන්න මඩකලපුවේ කාර්යාලයට ගිය වෙලාවේ එතන රැස්වීමකට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියා. සෑහෙන කාලයක පටන් මගේ හිතේ තිබුණු ගැටලුවක් ඒ වෙලාවේ මම ආණ්ඩුකාරතුමියට ඉදිරිපත් කළා. ඒ තමයි මඩකලපුවට සිංහල පාසලක් නැති ගැටලුව. රැකියාවලින් මාරු වීම් ලබා පැමිණෙන පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදාවලත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් සේවකයන්ගේත් දරුවන්ට යන්න සිංහල පාසලක් මෙහේ නෑ. මඩකලපුවේ විතරක් නෙවෙයි එරාවූර් ජයන්තිපුර මේ කොහේවත් සිංහල පාසලක් නෑ. මේ ගැන කිව්වම ආණ්ඩුකාරතුමිය ක්ෂණිකවම පැවසුවේ “මඩකලපුවට සිංහල ඉස්කෝලයක් නැද්ද? එහෙම නම් ඒක ලොකු අඩු අඩුපාඩුවක්. ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම සිංහල පාසල් තියෙනවා. ඉක්මනින්ම අපි සිංහල පාසලක් ආරම්භ කළ යුතුයි” කියලයි. ඊට පසුව තමයි මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ කරන්න අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේ.”
හේමන්තගේ ගමත් ජයන්තිපුර ය. ඔහු මුලින්ම ජයන්තිපුර සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව මඩකලපුවේ සිංහල මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත.
පසුගිය වසරේ සිංහල මහා විද්‍යාලය නැවත ආරම්භ කරනු ලැබුවේ සිංහල දරුවන් දෙදෙනකුගෙනි. ඒ, මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ සුරංග දිවාකරගේ දරු දෙදෙනා ය. සුරංගගේ පදිංචියත් ජයන්තිපුර ය. දැනට මෙම පාසලේ 5 සහ 3 ශ්‍රේණිවල ඔහුගේ දෙදරුවන් අධ්‍යාපනය ලබයි.
“ඒ කාලේ මේ සිංහල මහා විද්‍යාලයට අවට ගම්මාන ගණනාවකින් ළමයි ඉගෙන ගන්න ආවා. ජයන්තිපුර, විජයපුර, පුල්ලිමලයි, මහඔය, පදියතලාව, ටැම්පිටිය, අම්පාරේ වීරගොඩ, බක්කියඇල්ල, වාලච්චේන, එරාවූර්, පුන්නකුඩා විතරක් නෙමේ තවත් ගම් කීපයකම ළමයි මේ ඉස්කෝලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉස්කෝලේ මේ විදියට දියුණු වෙනකොට දුර බැහැර ළමයින්ගේ පහසුව තකා එරාවූර්වල අලුතෙන් තවත් සිංහල පාසලක් ආරම්භ කළා. එරාවූර් දුම්රියපොළට නුදුරින් ඒ පාසල තිබුණේ. ඒ පාසලටත් ඒ කාලෙ
ගොඩක් ළමයි ඇවිත් තිබුණා. අවාසනාවට 86 න් පස්සේ ත්‍රස්තවාදී උවදුරු මේ පළාත්වල තදින් බලපෑ නිසා අද තියෙන්නේ ඒ පාසලේ ගොඩනැඟිලිවල නටබුන් විතරයි. ජයන්තිපුර සිංහල කනිෂ්ඨ විද්‍යාලයත් ඒ කාලෙදීම විනාශ වුණා.”
පහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ අද වනවිට දරුවෝ දහතුන් දෙනෙක් අධ්‍යාපනය ලබති. මේ දරුවන්ගෙන් පස් දෙනෙක් සිංහල දරුවන් ය. සෙසු අට දෙනා ද්‍රවිඩ ජාතික දරුවෝය. දැනට මෙහි 1 සහ 2 ශ්‍රේණි ඒකාබද්ධ කර ඇති අතර 1 ශ්‍රේණියේ සිසුන් 7 දෙනෙකු සිටිද්දී 2 ශ්‍රේණියේ සිටින්නේ එක් සිසුවියකි. මේ ශ්‍රේණි දෙක භාරව සිටින්නේ කේ. කේතීස්වරන් ගුරුතුමියයි. 3 ශ්‍රේණියේ සිසුන් දෙදෙනකුත්, 4 ශ්‍රේණියේ එක් සිසුවකුත් සිටී. මේ පන්ති දෙකද එකට පැවැත්වෙන අතර එම පන්ති භාරව ප්‍රමිලා වසන්ත කුමාර් ගුරුතුමිය කටයුතු කරයි. 5 ශ්‍රේණියේ සිටින්නේ ද එක් දරුවකු පමණි. ඒ දරුවාගේ සියලු අධ්‍යාපන කටයුතු කරමින් ශිෂ්‍යත්ව විභාගය සඳහා හුරු කරන්නේ දාරිනී බෘන්දාපන් ගුරුතුමියයි. ඇයත්, ප්‍රමිලා වසන්ත කුමාර් ගුරුතුමියත් සිංහල භාෂාව හොඳින් හැසිරවීමට දන්නා අය වෙති. සියලු දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය භාරව කටයුතු කරන්නේ පී. බාලක්‍රිෂ්ණන් ගුරුතුමියයි.
මඩකලපුවේ සංහිඳියා තක්සලාවේ මේ පුනරුදය ගැන වැඩිවිස්තර කීවේ විදුහල්පති රංජිත් කුමාර් මහතා ය.
“මේ විද්‍යාලයට ලබන වර්ෂය සඳහා පළවෙනි ශ්‍රේණියට අලුතින් ඉල්ලුම්පත් දහයක් ලැබී තිබෙනවා. ඒ වගේම ලබන වසරේ සිට හය වසරට ගුරුවරුන් ඉල්ලා කලාප අධ්‍යාපන කාර්යාලයට ලිපිත් යොමු කර තිබෙනවා. මම විශ්වාස කරනවා අපේ මේ උත්සාහය සාර්ථක වෙනව කියලා. අපි සිංහල වගේම දෙමළ භාෂාවත් ඉංග්‍රීසි භාෂාවත් යන භාෂා තුනෙන්ම දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරනවා. ත්‍රෛභාෂා පාසලක් ලෙස ඉදිරියට යෑම තමයි අපේ අපේක්ෂාව. මෙම පාසලට ආසන්නයෙන් පිහිටි අනෙකුත් ගම්මානවල දරුවන් මේ පාසලට ලබන අවුරුද්දේ සිට ඇතුළත් වේවි. ඒ වගේම මඩකලපුව ප්‍රදේශවලට පිට පළාත්වලින් රැකියා ස්ථාන මාරුවීම් ලබා පැමිණෙන සිංහල අයගේ දරුවන්ද මෙම පාසලට ඇතුළත් කළ හැකි මට්ටමට මෙම පාසල අධ්‍යාපනය පැත්තෙන් ඉහළ මට්ටමකට ගෙන ඒම තමයි අපගේ බලාපොරොත්තුව වන්නේ. පාසලට අලුතින් නාමපුවරුවකුත් ආදි ශිෂ්‍යයන් කිහිප දෙනෙක් එකතු වී නිර්මාණය කර දුන්නා”
මාපිය යුවළක් වශයෙන් මේ පාසලේ සියලු දරුවන්ගේ කුදුමහත් කටයුතු පිළිබඳව සොයා බැලීමට අමතරව, දුෂ්කර පාසල් සඳහා රජයෙන් ලබාදෙන උදය ආහාර වේල පිළියෙළ කිරීමෙහි කටයුත්ත ද භාරගෙන සිටින්නේ සුරංග දිවාකර සහ ඔහුගේ බිරිඳ හර්ෂනීය. ඔවුන් පවසන්නේ භාෂා තුනෙන් ම අධ්‍යාපනය ලැබීමේ හැකියාව මෙන්ම මේ පාසල අවට තිබෙන උප්පෝඩෙයි, මුත්තුවාරම්, කිරායිමඩු, ඌරනී, සිඤ්ඤ ඌරනී, කරුවප්පම්කරති, ඉරිදියපුරම්, කුලාවඩි, ජයන්තිපුර ආදී වශයෙන් වූ ගම්මාන රාශියකම දරුවන්ට නගරයේ පාසල්වලට වඩා පහසුවෙන් පැමිණීමට තිබෙන හැකියාව නිසා මේ පාසල යළි විවෘත කිරීමෙන් විශාල සහනයක් සැලසෙන බවයි.
මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ ෆේස්බුක් පිටුව
මේ අතර ආදි සිසු සිසුවියෝ කණ්ඩායමක් එකතු වී පාසලට අලුතින් පැමිණෙන සහ දැනට සිටින දරුවන්ට අවශ්‍ය පොත් සහ අනෙකුත් උපකරණ කට්ටලත්, බෑගයත්, පාවහන් යුවළත් වාර්ෂිකව පිරිනැමීමට සූදානමින් සිටිති. එසේම ගුරු හිඟය පියවා ගන්නා තෙක් තාවකාලිකව ස්වේච්ඡාවෙන් වුව සේවය කිරීමටද ඇතැමුන් සූදානම්ය. මේ පාසල වෙනුවෙන්ම ඔවුහු වට්ස්ඇප් සාමූහිකයක් සහ මඩකලපුව සිංහල මහා විද්‍යාලය නමින් ෆේස්බුක් පිටුවක් ද නිර්මාණය කරගෙන සිටිති. මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය යළි මෙසේ ගොඩනැංවීම තුළින් මේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලාපොරොත්තු වන්නේ ඒ අතීත සබැඳියාවත් සංහිඳියාවත් යළි වගා කිරීමටය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන යළි සාකච්ඡා වෙන මේ සමය ඊට හොඳම කාලයකි.
ස්තුතිය ඉන්ටර්නිව්ස් ආයතනයට
ඉන්දු පෙරේරා