සකි සඳ බලව ස්වර්ණ ශ්‍රී පද්‍ය ආඛ්‍යානය

99

එතුමාගේ නිවසේ ඉදිරිපස කාමරය පුස්තකාලයක් විය. දෙස් විදෙස් අගනා සාහිත්‍ය කෘතීන්ගෙන් සහ විවිධ විෂය ග්‍රන්ථයන්ගෙන් එය පිරී තිබුණේය. එම පුස්තකාල කාමරයට පිවිසෙන උළුවස්සට ඉහළින් බිත්තියේ, රාමුකර එල්ලා තිබූ වැකියක් ‘ඌට බයත් නෑ මූට බයත් නෑ මමයි මගෙ රජා’ යනුවෙන් එහි සඳහන් විය. එලෙසින්ම එතුමා කිසිම විටක අසාධාරණයට හා අයුක්තියට හිස නොනැමූ ආත්මාර්ථය පිළිකෙව් කළ අදීන වූත් උදාර වූත් මිනිසකු විය. ඒ සැබෑ මිනිසා නමින් ‘ස්වර්ණ ශ්‍රී බණ්ඩාර’ නම් වූයේය.

උප්පැන්න සහතිකයේ එතුමාගේ නම සඳහන් වූයේ ‘කුමාරසිංහ රත්නායක මුදියන්සේලාගේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර’ ලෙසිනි. එතුමා උපත ලද 1940 අගෝස්තු මස 02 වැනි දිනට මාසයකට පමණ පෙරදී, අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ නිමවා කොත් පැලඳවීමේ ඓතිහාසික මහා පිංකම පැවැත්විණි. මෙම අසමසම මිනිසා ‘ස්වර්ණ ශ්‍රී’ යන නාමය ලැබුවේ ඒ උතුම් පිංකම හේතුවෙනි. එවන් පුණ්‍යමය සිදුවීමක් අලලා දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බඩපිස්සාට එම නාමය තැබූ දුරදක්නා පියාණන් වූයේ “කුමාරසිංහ රත්නායක මුදියන්සේලාගේ සුමනරත්න බණ්ඩාර’ නම් ඉසිවර වෙදමහතාය. කරුණාසේකර දිසා අධිකාරම්ගේ ඇග්නස් ප්‍රේමශීලි බණ්ඩාර මැණිකේ’ එතුමාගේ මෑණියන් වූවාය. ඈත රජරට, ගල්කිරියා කන්ද පාමුල කුඹුක්කඩවල නම් වැව් ගමේ ගැමියකු වූ ස්වරණ ශ්‍රී බණ්ඩාරයන්ගේ පියා පසු කාලයේ දී ජීවත් වූයේ හලාවත ‘ශ්‍රී රත්න’ වෙද මැඳුරේය. එම නිවස, අසාධ්‍ය රෝගියකු සුවපත් කිරීමේ පිනට එතුමා ලද තිළිණයකි.

එබැවින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් බහ තේරුවේ හලාවත දීය. හාහාපුරා කියා අකුරු කෙරුවේ හලාවත විජය විදුහලෙනි. ඉන්පසුව ශිවපාල බණ්ඩාර නම් සිය සොයුරාගේ මඟ පෙන්වීම අනුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළු විය. ඉන්පසුව කොළඹ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. 1964 දී ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් එයින් පිටවූයේ, වෛද්‍ය උපාධිය සමග එහිම වෛද්‍ය උපාධිධාරිනියක වූ චූලා රංජනී බටුවන්තුඩාව මෙනවිය සිය සංසාර සහකාරිය ලෙස දිනා ගනිමිනි. ඒ වෙනුවෙන් ඇය සිය සැමියාට සජිලා, සංධලී, චූණානි යන දියණියන් තිදෙනා සහ සුජල පුතණුවන් තිළිණ කළාය. හරි හතර රියන් ආරෝහ පරිණාහ දේහයකින් යුතු එතුමා දුටු පමණින් කෙනකුගේ සිත පහදවන ප්‍රසන්න පුද්ගලයකු විය. නිතර මුව මත වූ මඳ සිනහව සහ ප්‍රියජනක කතාබහ ඒ ප්‍රසන්න බවට ආලෝකයක් වූයේය.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට ගීත රචකයෙකි. 1965 දී ‘සාමා’ චිත්‍රපටයට, දේවානන්ද වෛද්‍යසේකර ගැයූ ‘ආශා දෑසින්’ එතුමාගේ ප්‍රථම ගීතයයි.

‘ආශා දෑසින් දකින් සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉප දී
හද තුළ තෙරපෙනවා”

අදටත් මෙම ගීතය ඉතා ජනප්‍රිය එකකි. රූපකය මනා ඖචිත්‍යයකින් යුක්තව යොදාගත් ප්‍රථම සිංහල ගීතය එය විය හැකිය. රූපක මගින් ගීතයේ මතුපිට විනිවිද යටිපෙළ අරුතක් මතුකෙරෙන්නේ සහෘදයාට සියුම් වින්දනයක් ගෙන දෙමිනි. 1985 දී ‘ දූ දරුවෝ’ චිත්‍රපටයට එතුමා ලියූ විශාරද නන්දා මාලනී ගායනා කළ ‘මියුරු සෙනෙහස ඉවුරු බිඳිලා” ගීතය ද එවැනිම විශිෂ්ට නිර්මාණයකි. මෙම රූපකාර්ථවත් භාෂාව එතුමාගේ සමස්ථ ගීතාවලියේම කැපී පෙනෙන ලක්ෂණයකි.

බොළඳ ප්‍රේම විලාපයන්ගෙන් බැහැර වූ මානව ප්‍රේමයේ විවිධ මානයන් ගැඹුරින් සිය නිර්මාණවලට හසුකර ගැනීමට එතුමා සමත් විය. සිය ගැබ්බර බිරිඳ අනුභූතිය කර ගනිමින් ‘රූබර දේවි’ එවැනි උසස් ගීතයකි.

‘මතු උපදින මා පරපුර
කුසින් දරා නිති සුරකින
අරහත් ගමනින් ඇවිදින
රූබර දේවි – මා ප්‍රිය දේවී’
(ගායනය: පණ්ඩිත් අමරදේව)

ගැබ්බර ළඳකගේ ගමන, අරහත් ගමනකට සමකළ විට එයින් මතුකෙරෙන හැඟීම ඉතා නිකෙළෙස් එකකි. විරාගී, සන්සිඳුණ, පුණ්‍යවන්ත බවෙන් පිරි කරුණා රසයකින් සහෘද සිත් පුරවාලීමට මෙම ගීතය සමත් වෙයි.

ඊළඟ මොහොතේ ප්‍රේමයක ඉසියුම් ගැඹුර, ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ගීතයට ගොනු කළේ තවුස් දැක්මකිනි.

‘ඔබේ දෑස් තෙහිළි පොතින්
තියූ ගී වෑහෙන මොහොතේ
ඔබ හමුවුණෙ ජීවිතයේ
වසන්තයේ සැදෑ සමේ’

ගායනය: පණ්ඩිත් අමරදේව/විශාරද නීලා වික්‍රමසිංහ සිය පෙම්වතියගේ දෑස නමැති ස්තෝත්‍ර පොතෙන්, ස්තුති ගීතිකා වෑහෙන බව කීම, සෙනෙහසේ අපිරිමිත බව සහ පිවිතුරු බව හඟවන අති රමණීය යෙදුමකි. එහෙත් ඇය හමුවී ඇත්තේ වසන්තයේ දී නොව, වසන්තයේ සැඳෑ සමයේ දී බව කී විට මතුකෙරෙන හැඟීම කොතරම් ප්‍රබලද? ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ලියූ අමරදේවයන් ගයන

‘දෑතේ එල්ලී මියුරු කතා කී – සුරතල් දෝණියනේ’ ගීතය, දියණියක් මල්වර වී තමාගෙන් දුරස් වනවිට පියකුගේ හද තුළ ඇතිවන ශෝකය සහ වේදනාව ප්‍රබල ලෙස මතු කරන්නකි.

පොත් ගුල ඇතුළේ (බන්දුල විජේවීර), නුඹ, හැරදා උදනැක්කේ (දයාරත්න රණතුංග), ඔබ රූ සිරියෙන් (එඩ්වඩ් ජයකොඩි), දෑස නිල්ල මැකී ගොසින් (මාලනී බුලත්සිංහල) නච්ච ගීත වාදිතයෙන් (සනත් නන්දසිරි), සරා සළෙල දන (අමරදේව), රන්කම් ලියකම් (නීලා වික්‍රමසිංහ) දොවන තරම් (සුනිල් එදිරිසිංහ/නිර්මලා රණතුංග) අයියණ්ඩියේ මං දීලා (මානෙල් රාජකරුණා) ඇතුළු ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ලියූ ඉතා විශිෂ්ට ගීත රාශිය ම එතුමාගේ දුර්ලභ ප්‍රතිභාව පළකර සිටී.

මෙවැනි අගනා ගීත රචනා එක්තැන් කරමින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් පළ කළ එකම ගීත සංග්‍රහය ‘සුදු මුතු කුඩ යට වේ. එම කෘතිය සිය ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතිය යටතේ අනුමත කිරීමට නම්, පොතේ පෙරවදන ඉවත් කළ යුතු බව ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ නිර්දේශය විය. තමන් ඉතා පැහැදිලි පදනමක පිහිටා ලියූ එම ශාස්ත්‍රී පෙරවදන ඉවත් කිරීමට කළ අශාස්ත්‍රීය ඉල්ලීම ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් පිළි නොගත්තේය. පොත ප්‍රතික්ෂේප විය. එතුමන්ගේ අභාවයෙන් පසුව එම ගීත සංග්‍රහය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ විය. කවර මිනුම් දණ්ඩකින් විමසුවද නිසැකව ම අතිවිශිෂ්ට ගීත සංග්‍රහයක් වූ ‘සුදු මුතු කුඩ යට’ ඉතාම දුර්වල කෘතියක් ලෙස, 1995 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ පළමු වටයෙන්ම ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම බරපතළ අසාධාරණය සිදුවීමට හේතුව එකල කුප්‍රකට රහසක්ව පැවතුණේය.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ කවි, විටින් විට පුවත්පත්වල පළවුව ද එතුමා මුද්‍රණයෙන් පළ කළේ එක කවි පොතකි. ඒ ‘සකි සඳ බලව’ (1985) නම් වූ පi ආඛ්‍යානයයි. තමන් ජීවත් වන සමාජය මනා නිරීක්‍ෂණයකින් සහ පුළුල් අවබෝධයකින් සහ මානව හිතවාදී දැක්මකින් යුක්තව විනිවිද දැකීමට එතුමා එමගින් සමත් විය.

‘කසළ පිඩකි මේ සිරුර
වසුරු ගොඩක් මේ සිරුර
අගුලු ලූ සවනින්
නෑසුවෙමි උන්ගේ
සුරා නුරා බස
නො ඉවසුවෙමි උන්ගේ
අතෘප්තිකර සෙනෙහස
නොවින්දෙමි උන්ගේ
ඉඳුරන් සනහන සන්තුෂ්ටිය
පිළිකුලකි මේ සිරුර
වේදනාවකි මේ කම් සැප
අකැපය සියලු දෙය
දරුවනි,
මට කැප තොප පමණ
එසේ වූ ගැහැනිය මමය.”

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ අති දක්ෂ පරිවර්තකයකු විය. සැමුවෙල් බෙකට්ගේ Fin Dep artie නම් වූ විකාරරූපී නාට්‍යය, එතුමා ‘පරපුටුවෝ’ නමින් සිංහලයට පරිවර්තනය කළේය. 1975 දී ඊට රාජ්‍ය සම්මාන හිමිවිය. එතුමා පළකළ එකම කෙටිකතා සංග්‍රහය වූ ‘අල්මේදලා බෝලා ගසති’ 1986 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ‘සංහිතාධ්වනි’ නමින් ලියූ ආයුර්වේදය පිළිබඳ ග්‍රන්ථය මෙන්ම ආයුර්වේද සමීක්‍ෂණ සඟරාවට ලියූ ලිපි, දේශීය වෛද්‍යවරයකු ලෙස එතුමාගේ විෂය ප්‍රවීණත්වය මොනවට පළ කළේය. නඟුල පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයක යෙදෙමින් පළකළ ‘ගැමි දිවිය සහ වප් මඟුල’ කෘතිය, එතුමා සාම්ප්‍රදායික ඥානය ගැඹුරින් හැදෑරීමේ මහඟු ඵලයකි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ අභාවයෙන් පසුව පළවූ ‘කැදැල්ලේ කුරුල්ලෝ’ නම් යොවුන් නවකතාව යොවුන් මනස නිවැරදිව හඳුනා ගනිමින් ඉතා චමත්කාරජනක අත්දැකීම් මාලාවක් පාදක කර ගනිමින් කළ නිර්මාණයක්. ඉසුර සංවර්ධන මාසිකය සහ නවයුගය පුවත්පතට කලාව, සංවර්ධනය, සංස්කෘතිය, සමාජ විද්‍යාව, සන්නිවේදනය ඇතුළු විවිධ විෂයන් ඔස්සේ එතුමා ලියූ ලිපි සැබෑ ශාස්ත්‍රවන්තයකුගේ පුළුල් විෂය ඥානය මෙන්ම විචාරශීලී බව ද පළ කළේය. ශාස්ත්‍රීය කරුණු අරබයා, නවකයකු වුව මතු කළ නව අදහස්වලට ද ඉතා සාවධානව සවන් දී විමසා බලා ඇතැම් විටක තමා ලියූ මුළු ලිපියම වුව වෙනස් කිරීමට තරම් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ඉතා නම්‍යශීලී විය. නිහතමානී විය. එය අතිශය දුලබ ගුණයකි. මෙම සියලු නිර්මාණ සහ ශාස්ත්‍රීය අධ්‍යයනවල දී එතුමා සතුව තිබුණු සිංහල පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා බහුශ්‍රැත භාවය මැනවින් හඳුනාගත හැකිය.

1979 දී රජරට සේවාවේ ආරම්භයත් සමගම, රජරටට පැමිණි ගමන ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ ගුවන් විදුලි ජීවිතයේ නව දොරටු විවෘත කිරීමක් විය. මහජන ගුවන් විදුලි සේවාවක මෙන්ම ප්‍රාදේශීය ගුවන් විදුලියක කාර්යභාරය එතුමා ඉතා නිවැරදිව හඳුනාගෙන සිටියේය. රජරට සේවාව වෙනුවෙන් නිර්මිත එතුමාගේ වැඩසටහන් මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ සාරගර්භව සහ අර්ථපූර්ණව, වැඩසටහන් බවට පත්වූයේ එබැවිනි.

සාම්පප්‍රදායික රජරට ගැමියන් විවේකී සැඳෑ කාලවලදී නිවසේ පිල මත එලූ පැදුරක හිඳගෙන ආගිය තොරතුරු කතා කිරීම සිරිතකි. මෙම ආකෘතිය භාවිත කරමින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ඉතාම නිර්මාණශීලීව ‘පිලේ පැදුර’ වැඩසටහන නිෂ්පාදනය කළේය. අත්තප්පා නමින් රජරට ගැමියනගේ ගෞරවයට පාත්‍ර වන දැනුම් තේරුම් ඇති වියපත් ගැමියකු වශයෙන් ස්වර්ණ ශ්‍රී පිලේ පැදුරේ වාඩි විය. කෘෂිකාර්මික ජනතාවක් ජීවත්වන රජරට ඔවුන්ට තිබූ ගැටලු අවශ්‍යතා නිවැරැදිව වටහාගෙන ඔවුන් මුහුණ දෙන අසාධාරණකම්, අකටයුතු ආදිය අභීතව රට හමුවේ තබමින් වගකිවයුත්තන්ගේ ඇස් ඇරඹීමට එතුමා එයින් සමත් විය. එබැවින්ම ‘පිලේ පැදුර’ රජරට ජනතාවගේ සම් මස් ඇටමිදුළුවලට ම කාවැදී බද්ධ විය. අදටත් රජරට වියපත් ගැමියෝ ‘අත්තප්පා’ ලෙස ගෞරවයෙන් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ව හඳුන්වන්නේ එබැවිනි.

එතුමා නිර්මාණය කළ ‘සංහිඳ’ වැඩසටහන රජරට පුරා විසිරී සැඟවී අහිමි වී යමින් තිබුණු අගනා ජනශ්‍රැති ඇතුළු සංස්කෘතික උරුමයන් සොයා පාදාගෙන මනා ශාස්ත්‍රීය පදනමකින් ඉදිරිපත් කළ දුර්ලභ වැඩසටහනකි. ඒ වෙනුවෙන් එතුමා රජරට ඈත ගම්කොටුවලට ගියේ අපමණක් දුෂ්කරතා විඳ දරා ගනිමිනි. රජරටට ම ආවේණික ‘කිරලා වන්නම, රජරට බිලි යාගය, මෙරටින් සඳහට ම නැතිවී ගියා සේ සැලකුණු කොටහලු මංගල්‍යය, එසේ සංහිඳෙන් මතුකර දුන් රජරට උරුමයන්ගෙන් කිහිපයකි.

උගතුන්, විද්වතුන් සහභාගි කරවාගෙන එතුමා ඉදිරිපත් කළ, ‘එක්තැන් සවිය’ අගනා ශාස්ත්‍රීය මණ්ඩපයක් ලෙස සම්භාවනාවට පාත්‍ර විය. ගුවන්විදුලි සාකච්ඡාවකදී තමන්ගේ පාණ්ඩිත්වය පෙන්වනු වෙනුවට සම්පත් දායකයන්ගේ හඬ අවදිකරවා ඔවුන්ගේ අදහස් සියුම් ලෙස මතුකරගන්නේ කෙසේද යන්නට එක්තැන් සවිය මහාර්ඝ නිදසුනකි.

රජරට පුරා විසිරී සිටි ප්‍රතිභාසම්පන්න ආධුනිකයන්ට අමිල අත්වැලක් සැපයීමට ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ ‘නිර්මාණී’ වැඩසටහන කළ මෙහෙවර සදානුස්මරණීය එකකි. ඔවුන්ගේ නිර්මාණවල ගුණදොස් විචාරශීලීව පෙන්වාදෙමින් සැබෑ නිර්මාණයක රුව ගුණ මතුකර දීම එමගින් සිදුකෙරිණී. නිර්මාණයට වසරක් සපිරුණු 1980 වසරේ දී එයට සම්බන්ධ ආධුනිකයන් රැස්කර ‘පහන් වැට’ නමින් ඉතාමත් අර්ථවත් වැඩමුළුවක් රජරට සේවා භූමියේදී පැවැත්වීමට එතුමා ක්‍රියා කළේය. ධර්මසිරි ගමගේ, කේ. ජයතිලක, සෝමවීර සේනානාය, ඇරැව්වල නන්දිමිත්‍ර, වැනි විශිෂ්ට සාහිත්‍යවේදින් එතුමා පහන් වැටට සහභාගි කරවා ගත්තේය. මෙම සාහිත්‍ය දැවැන්තයන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමට ලැබීම රජරට ආධුනිකයන්ගේ නිර්මාණ කුසලතාව වර්ධනය කර ගැනීමට ලැබුණු දුර්ලභ අවස්ථාවක් විය. පහන් වැට වැඩමුළුවට සමගාමීව මහගමසේකර සූරීන්ගේ කෘති, අත්පිටපත් එතුමා පරිභෝග කළ විවිධ භාණ්ඩ ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වුණි. එය රජරට ආධුනිකයන්, ඉතා ප්‍රඥාසම්පන්නව නිවැරදි මඟට යොමුකළ සදානුස්මරණීය අත්දැකීමක් වූයේය. රජරට ආධුනික නිර්මාණ ශිල්පීන්ට විසල් නුග රුකක් වෙමින් රජරට සේවාව ඔස්සේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් සිදුකළ මෙම අමිල මෙහෙවරේ අගනාම ඵලය වූයේ වර්තමාන ශ්‍රී ලාංකීය කලා කෙතේ ප්‍රතිභාපූර්ණ ගීත රචකයන්, කවියන්, කෙටි කතා රචකයන් මෙන්ම විද්වතුන් රැසක් ජාතියට දායාද වීමයි.

සැබෑ ගුවන් විදුලි මාධ්‍යවේදියකුගේ මාධ්‍ය භාවිතය කෙසේ විය යුතු ද යන්නට ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ගුරු පොතක් වන්නේ එබැවිනි. ඒ සියල්ල එසේ වූයේ එතුමා, විශිෂ්ට ගීත රචකයකු ප්‍රතිභාපූර්ණ කවියකු සම්මානීය සාහිත්‍යවේදියකු විශිෂට පරිවර්තකයකු, දුලභ ගණයේ ශාස්ත්‍රවන්තයකු මෙන්ම උතුම් මානව හිතවාදී ගුණයෙන් පිරි සැබෑ මිනිසකු වීම හේතුවෙනි.

ස්වර්ණ ශ්‍රී බණ්ඩාර නම් වූ ඒ අසමසම මිනිසා 1986 දෙසැම්බර් මස 09 වැනි දින ගන අඳුරේ දැල්වී එළිය දී ඇදහැළුණු උල්කාපාතයක් සේ නිවී ගියේය.

කේ.එම්.අයි. ස්වර්ණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment