සජබ ඇමැති ධුර ගන්නවා නම් ඉක්මනට නම් එවන්න

199

ජනපති සජිත්ට ලියයි

රට බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ද බොහෝ කල් දැමීමට නොහැකි බැවින් ඊට සමගි ජනබල පක්‍ෂයෙන් ද ඇමැතිවරුන් ඇතුළත් කළ යුතු නම් නොපමාව දැනුම් දෙන ලෙස ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක සහ සමගි ජනබල පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.

එම ලිපිය මෙසේය.

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සම්බන්ධයෙන් 2022 මැයි මස 12 දිනැතිව ඔබ විසින් මා වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරු වශයෙනි.

දැනට රට තුළ උද්ගතව පවතින සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුවේ බහුතරයක් පක්‍ෂ නියෝජනය කරනු ලබන අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කිරීම සඳහා අවස්ථාව සලසමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට පසුගිය මැයි මස 6 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාවය ඇතිකර ගන්නා ලදි.

මෙම එකඟතාවයෙන් පසු, නව අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙසට මා විසින් මුලින්ම ආරාධනා කරන ලද්දේ ඔබටය. එම අවස්ථාවේදී, ඔබ විසින් මා වෙත දැනුම් දෙනු ලැබුවේ, ඒ සඳහා ඔබ සූදානම් නොමැති බවත්, කෙසේ වෙතත්, එම ආරාධනය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය හා සමගි ජනබල සන්ධානයේ සෙසු මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කොට ඔබගේ තීරණය දැනුම් දෙනු ලබන බවයි. පසුගිය මැයි මස 9 වැනි දින හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වන තුරු ද මේ සම්බන්ධයෙන් ඔබෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින්, පවතින අස්ථාවර තත්ත්වය කඩිනමින් අවසන් කර අන්තර්වාර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා මා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අනෙකුත් පක්‍ෂ නායකයන් සමඟ ද සාකච්ඡා ආරම්භ කරන ලදි.

මේ අතර මැයි මස 10 වන දින ඔබ විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මගේ නායකත්වය යටතේ, අන්තර්වාර රජයක කිසිදු වගකීමක් භාර ගැනීමට ඔබ සූදානම් නොමැති බවට ප්‍රකාශ කරන ලදී. ඉහත තත්ත්වය තුළ අනෙකුත් පක්‍ෂ නායකයන් සමඟ කරන ලද සාකච්ඡාවන්ගේද ප්‍රතිඵලයක් වශයෙන්, මෙම අභියෝගාත්මක අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සඳහා සුදුසුතම පුද්ගලයා ලෙස අවස්ථා කීපයකදීම මෙරට අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලද පරිණත දේශපාලනඥයකු වන රනිල් වික්‍රමිසිංහ මහතා පත් කිරීමට මම තීරණය කළෙමි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා 12 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට තීරණය වූ අතර, එසේ දිවුරුම් දීමට සුළු වේලාවකට පෙර ඔබ විසින් ඉහත ලිපිය මා වෙත යොමු කරමින්, මෙතෙක් සියලු පක්‍ෂ සමඟ සාකච්ඡා කොට එකඟ වී නැති කොන්දේසි කිහිපයක් යටතේ, අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට සූදානම් බව දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ඔබ විසින්ම අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබූ තත්ත්වයක් තුළ, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අනෙකුත් පක්‍ෂ නායකයන් සමඟද සාකච්ඡා කොට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට මා විසින් ගනු ලැබූ තීරණය මේ මොහොතේ වෙනස් කළ නොහැකි බව දැනුම් දෙමි.

එසේ වුවද, පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම, ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ඔබේ පක්‍ෂයේ යම් පිරිසක් ඉදිරියේදී පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නොපමාව මා දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ආරාධනා කර සිටිමි.

රට බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක, නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ද බොහෝ කල් දැමීමට නොහැකි බැවින් ඔබගේ කඩිනම් ප්‍රතිචාරය අගය කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment