සජිත්ගෙන් සරත්ට පොරොන්දුවක් !

233

සමගි ජනබලවේගය රජයක් යටතේ තමන්ට අනිවාර්යෙන්ම ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත්වීම ලැබෙන බව පසුගිය දෙසැම්බර් 3 වනදා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. ආරක්ෂක ඇමැති ධුරය දැරීමට හිටපු යුද හමුදාපති (2005-2009) ෆොන්සේකාට තිබෙන සුදුසුකම් කිසිවෙකුට ප‍්‍රශ්න කළ නොහැක.

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුව ඇමතූ ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයා අවධාරණය කළේ සමගි ජන බලවේගය නායක සජිත් පේ‍්‍රමදාස ආරක්ෂක අමාත්‍යධුරය සම්බන්ධයෙන් තමන්ට පොරොන්දුවක් ලබා දී ඇති බවයි.

ආරක්ෂක අමාත්‍ය ධුරය දැරීමට තමන්ට ඇති අසීමිත කැමැත්ත ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් ෆොන්සේකා කිසිදු පැකිලීමක් නොමැතිව මීට පෙරද ප‍්‍රකාශ කර ඇත. සමගි ජන බලවේගය මීළඟ රජය පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැති බව පැවසූ ෆීල්ඞ් මාර්ෂල්වරයා තමන්ට දැනටමත් පක්ෂ නායකයාගේ ආශීර්වාදය හිමිවී ඇති බව ද අවධාරණය කළේය.

මෙය තවත් දේශපාලන පොරොන්දුවක්ද? ප‍්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හරහා මැති සභයට පත් වූ ජනතා නියෝජිතයන් 54 දෙනා එක අරමුණක නැත. ප‍්‍රධාන විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් නොවන්නට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 20 වැනි සංශෝධනය (2020 ඔක්තෝබර්) සහ කොළඹ වරාය ආර්ථික කොමිසම පනත (2021 මැයි) තුනෙන් දෙකක ජන්දයකින් සම්මත කර

ගැනීමට නොහැකිය. ආන්දෝලනාත්මක යුගදනවි/නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි ගිවිසුම හේතුවෙන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායමද දෙකඩවී ඇත. දෙපාර්ශ්වයම අස්ථාවරය. ජාතික ආරක්ෂාව අනතුරේය. දේශපාලන අස්ථාවරත්වය වේගයෙන් වර්ධනය වන තත්ත්වයක් තුළ ජාතික ආරක්ෂාව රැකෙන්නේ නැත. ඊට ප‍්‍රධානතම හේතුව දේශපාලන අස්ථාවරත්වය විදේශීය මැදිහත්වීම් වලට අවස්ථාව ලබා දීමයි.

සජිත් පේ‍්‍රමදාස ෆීල්ඞ් මාර්ෂල්වරයාට ආරක්ෂක ඇමැති ධුරය ලබා දෙන බව පළමුවෙන්ම ප‍්‍රකාශ කළේ 2019 ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙරය. ඒ 2019 ඔක්තෝබර් දෙවන සතියේය. ඒ පොරොන්දුව ලබා දුන්නේ එජාපය නායකත්වය දුන් නව ප‍්‍රජාත‍්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙසය. හංසයා ලාංජනය යටතේ තරග කළ එවකට එජාප නියෝජ්‍ය නායක පේ‍්‍රමදාස ජනතාවට ලබා දුන් ප‍්‍රධානතම පොරොන්දුවක් වූයේ ෆීල්ඞ් මාර්ෂල් වරයාට ජාතික ආරක්ෂාව බාර දීමයි. පේ‍්‍රමදාස ජනාධිපති අපේක්ෂක ලෙස ලබාදුන් එම පොරොන්දුව සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ 2019 අපේ‍්‍රල් 21 එල්ල වූ මරාගෙන මැරෙන පාස්කු ප‍්‍රහාර එවකට බලයේ සිටි යහපාලන රජයට කළ බලපෑම ද අවධානයට භාජන කරමිනි.

ත‍්‍රස්තවාදය 2009 දී පරාජය කළ පසුව පැවැත්වූ පළමුවන ජනාධිපතිවරණයට එවකට ජෙනරාල්ධුරය දැරූ විශ‍්‍රාමික හමුදාපතිවරයා ඉදිරිපත් වූයේ පොදු අපේක්ෂකයා ලෙසය. එම ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළා නම් ෆොන්සේකා ආරක්ෂක අමාත්‍යධුරය තමන් වෙත පවරා ගනු නියතය. නමුත් ෆොන්සේකා ජන්ද මිලියන 1.8 කින් පරාජය විය. එජාපය ෆොන්සේකා අතහැර දැම්මේය.

ත‍්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාවට ප‍්‍රබල නායකත්වයක් දුන් ෆොන්සේකා වන්නි අවසන් සටනේදී හමුදා සේනාංකවලට යටත් වූ එල් ටී ටී ඊ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් එවකට ආරක්ෂක ලේකම් සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය මත මරා දැමූ බවට කළ චෝදනාව ඔහුට පාරාවළල්ලක් විය. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදී ‘හමුදාව‘ කිසිදිනක හමුදාමය
ක‍්‍රියාමාර්ගයකින් පරාජය කිරීමට නොහැකි බව අවධාරණය කළ ‘ද සන්ඬේ ලීඩර්‘ පුවත්පතට එම ප‍්‍රකාශය ෆොන්සේකා පළමුවෙන්ම කළේය. නැවතත් රත්නපුරයේදී එම චෝදනාව එල්ල කළේය.

ත‍්‍රස්තවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත පෙනී සිටි ද්‍රවිඩ ජාතික සන්ධානය තමන්ට දුන් සහයෝගය හේතුවෙන් පොදු අපේක්ෂකයා එසේ හමුදාවට චෝදනා කරන්නට ඇත. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් සන්ධානයකින් (ඩිමෝක‍්‍රටික් නැෂනල් එලයන්ස්) 2010 මහා මැතිවරණයට තරල කළ ෆොන්සේකා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්විය. එම පාර්ලිමේන්තු කණ්ඩායමට ජවිපෙ මන්ත‍්‍රීවරු හතරක්, ෆොන්සේකා , ටිරාන් අලස් (වර්තමානයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ) සහ හිටපු එජාප මන්ත‍්‍රී අර්ජුන රණතුංග අයත් විය. මෑතකදී හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක අර්ජුන රණතුංග එජාපයෙන් ඉවත් වූයේ තව වසර තුනකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් බවට ඉඟියක් කරමිනි. අවසන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2019 නොවැම්බර්ය. ෆොන්සේකා පවසන්නේ තමන් සමගි ජන බලවේගයේ නායකත්වයේ ආශීර්වාදයෙන් ආරක්ෂක ඇමැති ධුරය අනිවාර්යෙන්ම තමන්ට හිමිවන බවයි.

එවකට මහින්ද රාජපක්ෂ රජය ගත් සිවිල් සහ හමුදාමය නීතිමය ක‍්‍රියාමාර්ග තුළ ෆොන්සේකාට තම මන්ත‍්‍රී අසුන 2010 ඔක්තෝබර් අහිමි විය. ප‍්‍රබල ඇමෙරිකානු මැදිහත් වීම 2012 මැයි මාසයේ ෆොන්සේකාට නිදහස ලබා දීමට හේතුවිය. ෆොන්සේකාගේ නායකත්වය යටතේ 2015 මහමැතිවරණයට තරග කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට එකම අසුනක්වත් දිනා ගැනීමට නොහැකි විය. ඒ අවස්ථාවේදී ෆොන්සේකාගේ දේශපාලන දිවිය අවසන් වීමට ඉඩ තිබිණි. නමුත් එජාප ජාතික ලැයිස්තු මන්ත‍්‍රී එම්. කේ. ඞී. එස්. ගුණවර්ධනගේ හදිසි අභාවයෙන් ඇතිවූ පුරප්පාඩුවට 2016 පෙබරවාරි මස ෆොන්සේකා පත්වීම ලැබීමත් සමඟ හිටපු හමුදාපතිවරයා යහපාලනයේ කොටස්කරුවෙකු විය. ෆොන්සේකා 2015 ජනාධිපතිවරණයේදී එවකට පොදු අපේක්ෂකයා වූ මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දුන්නේය. එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ ෆොන්සේකා 2015 මැයි මාසයේදී තරු පහේ ජෙනරාල් වරයෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ මැදිහත් වීමෙන් පත් විය. ඒ වනවිට ඔහු ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වීම ලබා තිබුණි. ඒ වනවිට යහපාලන රජය විශ‍්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිට හිමි ඇවන්ට් ගාර්ඞ් ආයතනයට එරෙහිව ගෙන තිබූ නීති ක‍්‍රියාවලියට එම රජය තුළින්ම ප‍්‍රබල විරෝධතාවක් ඇතිවී තිබිණි. ෆොන්සේකා ප‍්‍රාදේශීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ලෙස 2016 පෙබරවාරි අග දිවුරුම් දෙන අවස්ථාව වනවිට නීතිය සහ සාමය අමාත්‍ය තිලක් මාරපන ඉල්ලා අස්වී තිබිණි.

ආරක්ෂක සහ නීතිය සහ සාමය අමාත්‍යාංශ යහපාලන හවුල්කරුවන් වූ ශ‍්‍රීලනිපය සහ එජාපය අතර පිළිවෙළින් බෙදා ගැනීම දේශපාලන ගනුදෙනුවේ කොටසක් විය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යාංශය සියතට ගත් අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තමන්ට පසුව ජනාධිපති ධුරයට පත්වන පුද්ගලයාට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම ව්‍යවස්ථානුකූලව අවහිර කෙරිණි. ඇවන්ට් ගාර්ඞ් පලහිලව්ව හේතුවෙන් නීතිය සහ සාමය අමාත්‍ය තිලක් මාරපන ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට අගමැති රනිල් වික‍්‍රමසිංහගේ මිත‍්‍රයෙකු වූ සාගල රත්නායක පත්විය. ඒ 2015 නොවැම්බර් මාසයේදීය. තිලක් මාරපන සහ ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ඇවන්ට් ගාර්ඞ් පරීක්ෂණය සම්බන්ධයෙන් එක ස්ථාවරයක් ගැනීම යහපාලන රජය දෙකඩ කළේය. ෆොන්සේකා විජයදාස රාජපක්ෂට පහර පිට පහර එල්ල කළේය. යහපාලන රජය ඉතාමත් වේගයෙන් පිරිහුණු අතර 2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන ජන්දය පරාජය වීමත් සමගම රජයේ අසාර්ථකත්වය සම්පූර්ණයෙන්ම පොලිසිය භාර සිටි ඇමැති පිට පැටවිණි. සාගල රත්නායක ඉල්ලා අස්විය. යහපාලන රජයට සම්බන්ධ සිවිල් සංවිධාන පොලිස් පරීක්ෂණ වඩාත් සාර්ථකව කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය දීමට ෆොන්සේකාට පොලිස් ඇමැති ධුරය ලබාදෙන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බව ජනතාවට අමතක නැත. ජනාධිපතිවරයා එම ඉල්ලීම ඉවත දැමූ අතර දෙපාර්ශ්වය අතර ගැටුමකින් පසුව එම ධුරය රංජිත් මද්දුම බණ්ඩාරට හිමිවිය. ඒ වනවිට විජයදාස රාජපක්ෂ හෙබවූ අධිකරණ ඇමැති ධුරය තලතා අතුකෝරලට ලබා දී තිබිණි.

එවකට ජනාධිපති ෆොන්සේකාට නීතිය සහ සාමය අමාත්‍යාංශය කිසිදා පවරන්නේ නැති බවට කළ ප‍්‍රකාශය ජනතාවට අමතක නැත. එජාපය ද මෙම තත්ත්වයට වගකිව යුතුය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ෆොන්සේකා රාජ්‍ය ආරක්ෂක ඇමතිධූරය රුවන් විජේවර්ධනට ලබා දීම සම්බන්ධයෙන් ප‍්‍රබල විවේචනයක් කළේය. ගම්පහ දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රීවරයාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරීමට ඇති සුදුසුකම් ප‍්‍රශ්න කිරීම එජාප නායකත්වයට එල්ල කළ අතුල් පහරකි.

රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා තමන්ට අදාළ රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බවත් එවකට ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ජාතික ආරක්ෂක මණ්ඩලයට මාස හයක් කැඳවීමක් නොලැබුනානම් ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කර ඇත. තමන්ට සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාසගේ මැදිහත් වීමෙන් ආරක්ෂක අමාත්‍ය ධුරය ලැබුන විට තමන් කිරීමට බලාපොරොත්තු වන කටයුතු කීපයක් ඔහු අවධාරණය කළේය. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ එරෙහිව යුද සමයේදී පුද්ගලයන් 11 පැහැර ගැනීම සම්බන්ධයෙන් නැවත විමර්ශනය කරන බවට ෆොන්සේකා පොරොන්දු විය. හතරවන ඊළාම් යුද්ධය පුරාවට පැවති ෆොන්සේකා -කරන්නාගොඩ ගැටුම සමගි ජන බලවේගයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එතුමා අලූත් ආකාරයකට පටන් ගනීවිද? යහපාලන ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටද ෆොන්සේකා බරපතළ දූෂණ චෝදනාවක් එල්ල කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 80 වකට රුසියාවෙන් මිලදී ගැනීමට හැකියාව තිබූ යුද නැවක් අවි ආයුධ රහිතව ඇමෙරිකානු ඩොලර් මිලියන 127 මිලදී ගැනීමට කළ උත්සාහයක් ව්‍යර්ථ කිරීම හේතුවෙන් එවකට නාවික හමුදාපති ධූරය දැරූ වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නායියා විශ‍්‍රාම ගැන්වූ බවට පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. මෙම කරුණු කාරණා සියල්ල ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට අමුතුවෙන් කිවයුතු නැත. පාවෙන කොටි අවිගබඩා විනාශ කිරීමේ මෙහෙයුමට නායකත්වය දුන් සින්නායියා විශ‍්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් ෆොන්සේකා කළ චෝදනා බරපතළය. විමර්ශනයක් නොකර බැහැර කළ නොහැක.

නමුත් ත‍්‍රස්තවාදය පරාජය කර වසර 12 කට පසුව ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට එල්ල වන බලපෑම්, තර්ජන සුළුපටු නොවේ. එම අභියෝග අවි ආයුද වලින් පරාජය කිරීමට නොහැක. වර්තමාන තර්ජන දේශපාලන ව්‍යුහය (පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ) හරහා එල්ල වන බව පැහැදිලිය. හම්බන්තොට වරාය වසර 99 කට චීනයට පැවරීම (2017 දී) මෙන්ම ඇමෙරිකානු නිව් ෆෝර්ට‍්‍රස් එනර්ජි සමාගම සමඟ (ජුලි 2021) ඇතිකර ගත් ගිවිසුම හරහා ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වන බව අවධාරණය කරන්නේ වර්තමාන කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංස සහ උදය ගම්මන්පිල යි. සමස්ත ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ වගවිය යුතුය. වර්තමාන අභියෝගය ද්‍රවිඩ ත‍්‍රස්තවාදීන් එල්ල කළ තර්ජනයට වඩා ප‍්‍රබලය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වර්තමාන අභියෝගයට අවධි විය යුතුය.

ආණ්ඩුව සහ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ තම වගකීම ඉටු කළ යුතුය. ජාතික ආරක්ෂාවට පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය තර්ජනයක් බව අවධාරණය කිරීමට දිය හැකි නිදසුන් තුනක් වන්නේ හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය සහ යුගදනවි ව්‍යාපෘතියයි. පාර්ලිමේන්තු ක‍්‍රමය සහ ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක ආකාරය ගැඹුරින් විමසා බැලීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ අවංක ක‍්‍රියාදාමයකට අවතීර්ණ විය යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment