සතර මහා දේවාලවල කප්සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද ඇරැඹෙයි

48

සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප්සිටුවීමෙන් අද (05දා) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වෙයි.

අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් පෞරාණික චාරිත්‍රානුකූලව කපා ගත් පල නොදැරූ පණස වෘක්ෂයක කඳ කොටස (කප) අලි ඇතුන් සහිත පෙරහැරකින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත වැඩම කරවීම ඊයේ (04දා) සිදු කෙරුණි. එලෙස රැගෙන ආ කප මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කර තබා කප්සිටුවීමේ මංගල්‍යය සිදු කිරීම සඳහා එය කොටස් හතරකට වෙන්කර දේවාල හතරට බෙදාදීම විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්ත මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හිදී කප්සිටුවීමේ මංගල්‍යය අද පෙරවරු 4.10 ට වයඹ දිශාභිමුඛව සිදු කිරීමට නියමිතය.

කප්සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පත්වා ප්‍රථම කුඹල් පෙරහැර අගෝස්තු මස 10 දා වීදී සංචාරය කරන බවත් රන්දෝලි පෙරහැර වීදී සංචාරය 15 දා ආරම්භ කරන බවත් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 19 වැනිදා රාත්‍රියේ වීදී සංචාරය කිරීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහැර ගෙවැදීමෙන් අනතුරුව පසුදින අලුයම සතර මහා දේවාල පෙරහැර ගැටඹේ දියකපනා තොට වෙත ගොස් දියකැපීමේ මංගල්‍යය සිදු කරයි. පසුව දහවල් පෙරහැර 20 දා පැවැත්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවීමට පත්වෙයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment