සත්‍ය පොරොන්දුව න්‍යෂ්ටික යුද්ධයක් වෙයිද?

564

ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි සෑමවිටම ඊශ්‍රායලය හඳුන්වනු ලබන්නේ “පිළිකා ගෙඩියක්” ලෙසයි. එය “සැකයකින් තොරව මුලිනුපුටා දමා විනාශ කළ යුතු එකක් බව” ඔහු කියයි. ඊශ්‍රායලයට විරුද්ධ වීම වත්මන් ඉරාන රාජ්‍ය මතවාදයේ ප්‍රධාන අංගයක් වන අතර 1979 ඉස්ලාමීය විප්ලවයට පෙර දෙරට මිත්‍රයන් ලෙස කටයුතු කළහ. ඊශ්‍රායලය ඉරානයේ සිට කිලෝමීටර් 2100කට වඩා දුරින් පිහිටා තිබේ. භූ ගෝලීය පිහිටීම අතින් ඉරානය ඊශ්‍රායලයට වඩා විශාල වන අතර මිලියන 90කට ආසන්න ජනගහනයක් එහි සිටියි. එය ඊශ්‍රායලය මෙන් දස ගුණයකට ආසන්න ප්‍රමාණයකින් විශාල වේ. නමුත් එය විශාල හමුදා බලයක් බවට පරිවර්තනය නොවේ. ලෝකයේ වඩාත්ම දියුණු ගුවන් හමුදාවක් ඊශ්‍රායලයට ඇත.

උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ වාර්තාවකට අනුව ඊශ්‍රායලය සතුව F-15, F-16 සහ නවීනතම F-35 ජෙට් යානා ඇතුළුව අවම වශයෙන් ජෙට් යානා බලඇණි 14ක් ඇත. පසුගිය අප්‍රේල් මාසයේදී සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි සිය කොන්සල් කාර්යාලයට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට ප්‍රතිඥා දීමෙන් පසු ඉරානය ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේ ප්‍රහාරය ‘විශේෂිත ඉලක්ක’ වෙත අරමුණු කළ බවයි. ඉහළ අණදෙන නිලධාරියකු ඇතුළුව හමුදා නිලධාරීන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් කරමින් සිරියාවේ පිහිටි ඉරාන් කොන්සල් කාර්යාලයට අප්‍රේල් 01 වනදා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. අප්‍රේල් ප්‍රහාරයේදී ඊශ්‍රායලයේ ආරක්ෂාවේ කොඳු නාරටිය වන අයන් ඩෝම් සහ ඇරෝ පද්ධති දෙකෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වළක්වන ලදී. නමුත් ඉරානය දෙවන වරට යුදෙව් රාජ්‍යට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේය. එය අප්‍රේල් ප්‍රහාරයට වඩා දරුණු විය. මේ ප්‍රහාරය ඉරානය නම් කර තිබුණේ සත්‍ය පොරොන්දුව ලෙසය.

සත්‍ය පොරොන්දුව න්‍යෂ්ටික යුද්ධයක් වෙයිද?

ඉරානයේ විප්ලවීය ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් හොසේන් සලාමි ඊශ්‍රායලයට මිසයිල දියත් කරන ලෙස දුරකථනයෙන් නියෝග කරන අයුරු.

2022 වසරේදී ඇමෙරිකානු මධ්‍යම අණදෙන දෙපාර්තමේන්තුවේ ජෙනරල් කෙනත් මැකෙන්සි පැවසුවේ, ඉරානය සතුව බැලස්ටික් මිසයිල 3,000කට වඩා ඇති බවය. දෙවන ප්‍රහාරය සඳහා ඉරානය යොදා ගත්තේ බැලස්ටික් මිසයිලයි. තම රටට බැලස්ටික් මිසයිල 181 එල්ල වූ බව ඊශ්‍රායල අගමැතිවරයා විසින්ම හෙළිකර තිබිණි. මේ ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු නොවූ නමුත් දේපළ හානි වැඩි විය. අඟහරුවාදා මිසයිල ප්‍රහාරයෙන් පසු ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බකෙරි පැවසුවේ “ඉවසීමේ සහ සන්සුන් වීමේ කාලය අවසන්” බවයි. “අපි ඉලක්ක කළේ ඊශ්‍රායලයේ හමුදා සහ බුද්ධි කඳවුරු පමණයි. අපි හිතාමතාම ආර්ථික හා කාර්මික ස්ථානවලට පහර දීමෙන් වැළකී සිටියෙමු,” ඔහු පවසා තිබිණි. ඇත්තෙන්ම හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ඝාතනය වීමෙන් පසුව ඊශ්‍රායලය වෙත කවර හෝ ප්‍රහාරයක් එල්ල කළ යුතු විය. හසන් නසරල්ලා යනු ඉරානයේ හොඳම ගෝලයා විය. ඉරානය විසින් හදා වඩා ගත් බලවත්ම ලෙබනන් යුද නායකයා යුදෙව්වන් විසින් මරා දැමූ විට ඉරානයට අහක බලාගෙන සිටිය නොහැකි විය. අයතුල්ලා අලි කමේනි හිස්බුල්ලා නායකයාගේ මරණයෙන් පසු නිවේදනය කළේ ඊශ්‍රායලයෙන් පාලි ගන්නා බවයි.

ඉරානයේ විප්ලවීය ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් හොසේන් සලාමි ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 200ක ප්‍රහාරය දියත් කිරීමට පෙර සිය යුද කාමරයේ විශාල බැනරයක් ඉදිරිපිට සිටියේය. ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ඉරාන මාධ්‍ය විසින් නිකුත් කරන ලද වීඩියෝවක හුසේන් සලාමි ඊශ්‍රායලයට මිසයිල දියත් කරන ලෙස දුරකථනයෙන් නියෝග කරන අයුරු දක්නට ලැබිණි. ඔහු සිටගෙන සිටි යුද කාමරයේ විශාල බැනරයේ තිදෙනකුගේ ඡායාරූප ඇතුළත් විය. ඒ කවුරුන්ද? හමාස් සංවිධානයේ දේශපාලන නායකයා වූ ඉස්මයිල් හනියේ, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා, කුඩ්ස් බළකායේ අණදෙන නිලධාරී බි්‍රගේ-ජනරාල් අබ්බාස් නිල්ෆෝරූෂාන් වේ. මේ තිදෙනාම ඊශ්‍රායල ප්‍රහාරවලින් ඝාතනය විය. හමාස් සංවිධානයේ දේශපාලන නායකයා වූ ඉස්මයිල් හනියේ ජූලි මාසයේදී ටෙහෙරානයේදී ඝාතනය විය. ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට චෝදනා කර තිබිණි. හනියේ ටෙහෙරානයේ හමුදා ආරක්ෂිත නිවසනයකදී ඝාතනය වීම ඉරානයට බලවත් නිග්‍රහයක් විය. මෙය මොසාඩ් ඔත්තුකරුවන් කෙතරම් සාර්ථක දැයි කියන හොඳම ප්‍රහාරයක් විය. නමුත් අඟහරුවාදා ඉරාන ප්‍රහාරය නම් ඊශ්‍රායල අන්දමන්ද කළ බව කියවේ. ඉරාන හමුදාව තමන් සතු හයිපර්සොනික් මිසයිල මේ ප්‍රහාරය සඳහා භාවිතා කරන ලදී. මේ මිසයිල ඊශ්‍රායලයට ළඟා වීමට විනාඩි 12ක් ගත විය. ඊශ්‍රායල ගුවන් හමුදා කඳවුරු තුනක් සහ මොසාඩ් ඔත්තු ඒජන්සියේ මූලස්ථානය ඇතුළු ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසා තිබිණි. ප්‍රහාරයෙන් පසු ඉරාන අගනුවර වන ටෙහෙරානයේ පැලටයින් චතුරශ්‍රයේ විශාල බැනරයක් සවිකර තිබුණි. ඊශ්‍රායලයේ සංකේතය වන ඩේවිඩ්ගේ තාරකාව හැඩැති ගොඩනැඟිලි දෙසට මිසයිල පියාසර කරන ආකාරය එහි නිරූපණය විය. එහි “සියොන්වාදයේ අවසානයෙහි ආරම්භය” යන වචන අඩංගු විය. ඇත්තෙන්ම අප්‍රේල් ප්‍රහාරයට ඉරානය යොදාගත් ඩ්‍රෝන ඉරානයේ සිට යුදෙව් භූමියට ළඟාවීමට පැය නමයක් ගත විය. නමුත් මෙවර විනාඩි ගණනකින් ටෙල්අවිව් වෙත මිසයිල ළඟා විය. එසේම මේ ප්‍රහාරය පසුගිය ප්‍රහාරයට වඩා දෙගුණයකින් විශාල බව ඇමෙරිකාව පවා පවසා තිබේ.

ඊශ්‍රායල් හමුදාව ලෙබනන් රාජ්‍යය මීට පෙර කිහිප විටක්ම ආක්‍රමණ කර තිබේ. මෙවර ඔක්තෝම්බර් 01 වැනිදා ඊශ්‍රායල් හමුදාව භූමි ආක්‍රමණය ආරම්භ කළ දින රාත්‍රියේම ඉරාන ප්‍රහාරය එල්ල විය. හිස්බුල්ලාවරුන්ට ප්‍රහාර එල්ලවීම ඉරානයට කෙතරම් රිදෙන්නේ දැයි එයින්ම පසක් විය. 1948 දී ඊශ්‍රායල් රාජ්‍යය පිහිටුවීමෙන් පසු පලස්තීන සරණාගතයන්ගේ ප්‍රධාන ගමනාන්තය බවට ලෙබනනය පත් විය. සරණාගතයන් අතරට පලස්තීන විමුක්ති සංවිධානය වැනි පලස්තීන සටන්කාමී කණ්ඩායම් ද ඇතුළත් විය. මෙම සටන්කාමීන් ලෙබනනයේ සිට ඊශ්‍රායලයට පහර දුන් අතර, දෙරටම ගැටුමකට ඇද දැමූහ. ඊශ්‍රායලය ප්‍රථම වරට ලෙබනනය ආක්‍රමණය කළේ, 1978 දී පලස්තීන විමුක්ති සංවිධානය මගී බස් රථයක් තම ග්‍රහණයට ගැනීමට ප්‍රතිචාර වශයෙනි. එහිදී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ඊශ්‍රායල සිවිල් වැසියන් 38 දෙනකු මියගිය අතර ඊශ්‍රායලයේ මෙම ප්‍රහාරය හඳුන්වනු ලබන්නේ වෙරළබඩ මාර්ග සමූහ ඝාතනය ලෙස ය. 2006 දී දින 34ක යුද්ධයක් ඇති විය. මෙම යුද්ධය අතර සටන් විරාමයකින් අවසන් විය. මේ සටන අවසානයේ ලෙබනනයේ පුද්ගලයන් 1,191 දෙනකු පමණ මියගොස් සිටි අතර, ඔවුන්ගෙන් බහුතරය සිවිල් වැසියෝ වූහ. ඊශ්‍රායල් පාර්ශ්වයෙන් සොල්දාදුවන් 121 දෙනෙක් සහ සිවිල් වැසියන් 44 දෙනෙක් මරණයට පත්ව තිබිණි. 2006 ආක්‍රමණය යුදෙව් හමුදාවට වාසිදායක නොවීය. නමුත් මෙවර එය වෙනස්ය. මන්ද හිස්බුල්ලා නායකයා ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරීන් රැසක් පරලොව යැවීමට ඊශ්‍රායල් පාර්ශ්වයට හැකිව තිබේ. නමුත් ගොඩබිම් යුද්දය නම් පහසු එකක් නොවේ. හමාස් සංවිධානයට වඩා හිස්බුල්ලා සංවිධානයේ හමුදාව ශක්තිමත්ය. හිස්බුල්ලා සංවිධානය “මේ මොහොතේ ඊශ්‍රායලයට සිටින අසීරු ම විරුද්ධවාදියා” විය හැකි බව බි්‍රතාන්‍ය හමුදා විශේෂඥ ජස්ටින් ක්‍රම්ප් පවසන අතර ගැටුම පුළුල් වුවහොත් විමතියට පත්වන සිදුවීම් ඇති විය හැකි බව ද පවසයි. ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියට අනුව, හිස්බුල්ලා සංවිධානය සතුව විවිධ වර්ගවල සහ පරාසයන්ගෙන් යුත් ෂෙල් වෙඩි සහ මිසයිල 150,000ක් පමණ මෙන් ම සටන්කරුවන් 45,000ක් පමණ ඇත. පසුගියදා මරණයට පත්වූ හසන් නස්රල්ලා මීට පෙර පවසා තිබුණේ තමන්ට සටන්කරුවන් 100,000 කට වඩා සිටින බව ය.

ඊශ්‍රායලය – ඉරාන ගැටුම හරහා මැද පෙරදිග න්‍යෂ්ටික යුද්ධය අවදානමක් මතුව තිබේද යන ප්‍රශ්නය පැනනැඟී ඇත. නමුත් ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට ඉරානයට ප්‍රහාර එල්ල කිරීමේ අයිතිය ඇති බව කියන නමුත් ඉරාන න්‍යෂ්ටික බලාගාර ඉලාක්ක කර ගැනීමෙන් වළකින ලෙස කියයි. එහෙත් ඊශ්‍රායලය හිටපු අගමැති නෆ්තාලි බෙනට් පවසන්නේ අනිවාර්යයෙන්ම ඉරාන න්‍යෂ්ටික බලාගාර ඉලාක්ක කරගෙන පහරදිය යුතු බවයි. මේ හරහා ලෝකය නම් අර්බුදයකට යන බව පැහැදිලිය. සත්‍ය පොරොන්දුව න්‍යෂ්ටික යුද්ධය බවට පත්විය යුතු නැත. යුක්‍රේන රුසියා යුද්ධය තදින් ඇවිලෙන විටත් ලෝකයට ඉතාම යහපත් ලෙස බලපෑවේය. එය තවමත් ඉදිරියට ඇදෙයි. මැදපෙරදිග ගැටුමෙන් තෙල් මිල ඉහළ ගියහොත් ලාංකික අපටත් බඩේ පහර වදින බව රහසක් නොවේ. එසේ නම් අපේ ප්‍රාර්ථනය විය යුත්තේ සාමය රජවේවා යන්නයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment